This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 20 February 2018

විශ්වාසීන්ගේ මහත් භක්තියට පාත්‍රවූ පාතිමා පුදබිම වෙත ගියෙමි.

පාතිමා සිද්ධස්ථානය යනු අප කුඩාකල සිටම ඇසීමටත්, දැකීමටත් බොහෝසේ ආශාකල කතෝලිකයින්ගේ මහත් භක්තියටත්, ආදරයටත් පාත්‍රවූ ආශ්චර්යමත් පුදබිමක් විය. ඒ මීට වසර 101කට පෙර, එනම් 1917දි, ජසින්තා මර්ටෝ, ෆ්‍රැන්සිස්කෝ මර්ටෝ(Jacinta and Francisco Marto) සහ ලුසියා සන්ටෝස් (Lúcia Santos) යන දරුවන් තිදෙනාට දේවමාතාවන් වහන්සේ දර්ශනයවීමත්, ඈ අහසේ පෑ  ආශ්චර්යවත් සිදුවීම් පෙළත් නිසාය. 

එම සිදුවීම් පෙළ ඡයාරූපයට නැගීමටත්, රූප මාධ්‍ය තුල පටිගත කරගැනීමටත් හැකිවීම තුල එය ලොවපුරාම වේගයෙන් ප්‍රචාරණයවිය. පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් ගණනාවකම සාකච්ඡාවට ලක්කර තිබු දේව මෑණියන් වහන්සේගේ පාතිමා දර්ශනය මම කුඩා අවධියේදී නිතර ඇසු විස්තරයක් විය. ඒ හා සමානවම ප්‍රංශයේ ලුර්දු නුවර බෙර්නඩේට් සුබ්‍රියස් (Bernadette Soubirous) නම් දැරියට දේවමාතාවන් දර්ශනයවීම පිලිබද විස්තරයද අප කුඩා කල බොහෝවාරයක් ඇස් දල්වා අසාසිටි විස්තරයක් විය. 

මෙම විස්තරය අපට කියාදුන් මගේ මව, ලොකු අම්මා (මීගමුවේ මවගේ මවට කියනුයේ ආච්චි නොව ලොකු අම්මා කියාය.) මෙන්ම වෙනත් වැඩිහිටියන්ද, පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ද අපට නිතර පසක් කර දෙනු ලැබුවේ කුඩා දරුවන් දේව විශ්වාසයෙන් සහ යහපත්කමින් කල්ගෙවන්නේ නම් ඉතා ප්‍රියකරු, ආශ්චර්යවත් දේවමාතාවන් වහන්සේ වන මරියතුමීය දැක ගැනීමට හැකිවෙතැයි යන්නය.

එය හුදෙක් ලාංකීක කතෝලිකයන් අතර පමණක් නොව ලොව පුරාම බොහෝ කතෝලික ප්‍රජාවල් සිය දරුවන්ට ඉගැන්වූ ධර්මතාවයකැයි දැන් පෙනීයයි. ඒ බව විශේෂයෙන්ම බොස්නියා-හර්සගොවිනියා (Bosnia and Herzegovina) රටේ මජගොරි (Međugorje) ප්‍රදේශයේ දේවමාතාවන් දර්ශනයවීම් සහ ඒ ආශ්‍රිත සිද්ධි සමුදායන් ඔස්සේ තේරුම්ගත හැක. 1980 පටන් දේවමාතාවන් වහන්සේගේ දර්ශනයන් පිළිබද ආරංචිවෙන එම ප්‍රදේශයට පවුල් පිටින් දරුවන් සමග පැමිණ යදින ඇතැම් දෙමාපියන් වාර්තාකරනුයේ තම දරුවන් දේවමාතාවන් දැකගැනීමේ භාග්‍යය අත්විදි බවය. දරුවන් දුටු දර්ශනයන් පිලිබදව කතෝලික පල්ලිය සිය අවධානය යොමුකර ඇත.  

කෙසේවුවද, පාතිමා සිද්ධස්ථානය  පිහිටා ඇත්තේ පෘතුගාලයේවීමද මට එහි යෑමට වූ උවමනාව තවත් දිරිමත් කල අනෙක් කාරණය විය. විශේෂයෙන්ම මාගේ ගම්පලාතවූ මීගමුව සහ පෘතුගීසින් ආශ්‍රිතව පැවති නොයෙකුත් යටත්විජිත සම්බන්දතාත්, ඔවුන් නික්ම ගොස් වසර 350කට අධිකවුවද තවමත් ඔවුන්ගේ සිරිත්විරිත්, කෑමබීම, භාෂා යෙදුම් සහ අංග උපාංගයන් අප මත තබා ඇති විවිධ බර තැබීම් ආදිය නිසාත් පෘතුගාලය නැරබීමට යෑමට මා පමණක් නොව බොහෝ ලාංකිකයන් කැමතිවෙනු ඇත. 

කෙසේවුවද, පෘතුගාලයටත්, පාතිමා නුවරටත් යෑම පිලිබදවවූ අපේ උවමනාව ගිය වසරේදී අප කල් තැබුවෙමු. ඒ පාතිමා දර්ශනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පාප්තුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වැඩසටහන් සදහා 70,000 කට අධික ජන සංඛ්‍යාවක් පෘතුගාලයේ පාතිමා නුවරට පැමිණ සිටීම කරුනුකොටගෙන ඇතිවූ අධික තද බදය නිසාය. 

මේ වසරේ පළමු පාසැල් නිවාඩු සමයේම ඒ සදහා කටයුතු පිලියල කරගනු ලැබුවේ තදබදය මෙන්ම වියදම්ද අඩු සමයක්වීම නිසාය. 

පෘතුගාලයේ ලිස්බන් නුවරට ගුවන් මගින් ගොස් එතැන් සිට ලිස්බන් නුවර සිට දුරගමන් යන බස් නැවතුම් පොළ වන Sete Rios වෙත පැමිණ පාතිමා නුවර බලා අපි පිටත්වුවෙමු. ලිස්බන් නුවර සිට පැය එකාහාමරක (විනාඩි 90) දුරකින් රට තුලට වන්නට පිහිටි පාතිමා නුවරට ලගාවීම එතරම් අපහසු නැත. 

ප්‍රංශයේ ලුර්දු නුවර මෙන් වැඩි වානිජ්‍ය කරණයකට හසුව නොතිබි පාතිමා නුවර බොහෝ කඩ සාප්පු වසා තිබුනද පාතිමා සිද්ධස්ථානය විවෘතව පැවතිනි. 

අප ප්‍රථමයෙන් පාතිමා බැසිලිකා දේවස්ථානයට ගියෙමු. 1917 දේවමාතාවන් දර්ශනය වූ ජසින්තා මර්ටෝ, ෆ්‍රැන්සිස්කෝ මර්ටෝ(Jacinta and Francisco Marto) සහ ලුසියා සන්ටෝස් (Lúcia Santos) ගේ සිරුරු මිහිදන් කර ඇත්තේද මෙම බැසිලිකාව තුලද. කුඩා කදු ගැටයක් මත ඉදිකර ඇති මෙම දේවස්ථානය අතිවිශාල එළිමහන් පීඨයකින් යුතුය. විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනයා මහත් භක්තියකින් මේ දේවස්ථානය තුල යාච්ඤාවේ නිරතවේ. දේවස්ථානය රාත්‍රී 9යට වසනු ලැබේ.   

එහෙත් බැසිලිකාව ඉදිරිපිට පිහිටි කුඩා පල්ලිය පැය විසිහතර පුරාම විවෘතව පැවතිනි. 

මෙම කුඩා පල්ලියවූ කලී අනෙකක් නොව දේවමාතාවන් දර්ශනය වූ ස්ථානයේම ඉදිකළ මුල්ම දේවස්ථානයය. එහි පාතිමා දේව මාතාවන්ගේ සුරුවම තබා ඇති ස්ථානය කුඩා දරුවන් තිදෙනා දේවමාතාවන් හරියටම දුටු ස්ථානය ලෙස සටහන් කර ඇත. ගිය වසරේදී 100වන ජුබිලිය සැමරීමට පැමිණි ෆ්‍රැන්සිස් පාප්තුමා මෙම දේවමාතා සුරුවම ඉදිරිපිට දනින් වැටී යාච්ඤා කරන ඡයාරූපයක් තවමත් මගේ මනසේ මැවී පෙනේ.  මෙම කුඩා දේවස්ථානය දවසේ පැය 24 පුරාම, රාත්‍රීය එළිවනතුරුම, ජනයා විවිධ භාෂාවලින් ජපමාලය කියනු ලැබේ. පෘතුගිසි භාෂාවෙන් ඇට ගනිමින් සිදුකරන යාච්ඤාව හදුන්වන්නේ කොන්තා (kõta) කීම යනුවෙනි. ජපමාලයට ලාංකිකයන් කොන්තේ කීම යනුවෙන් හදුන්වන්නේද මෙම පෘතුගිසි යෙදුම නිසා විය යුතුය.(එමෙන්ම කොන්තා (kõta) යන්න පෘතුගීසි භාෂාව තුල ඇති අනෙක් යෙදුම් සමග විවිධ ලෙස  අරුත් දක්වන බවද මතක් කර සිටිමි. විශේෂයෙන්ම counting / accounting ආදිය සමග) කෙසේවුවද, මෙම කුඩා දේවස්ථානය තුල  මධ්‍යම රාත්‍රියේ පවා විවිධ භාෂාවලින් දේව මෙහෙයන් පත්වනු ලැබේ. ලෝකයේ විවිධ රටවලින් පැමිණි විවිධ ජන පිරිස් එහි විය. 

රාත්‍රී 10ට පමණ අප මෙම කුඩා දේවස්ථානයේ පැවති කොන්තය කීම   අවසන් කර පිටත්වීමට යන විටම ස්පාඤ්ඤයේ සිට බස් රථවලින් පැමිණි 700 පමණවූ වයස 15-21 අතර තරුණ තරුණියන් පිරිසක් රාත්‍රිය එළිවෙනතුරු කොන්තය කීම ඇරබීම සදහා පැමිණියේය. නව යෞවන වියේ සිටි හිරිමල් කොල්ලෝ - කෙල්ලන් රාශිය කොන්තය කීමට පොරෝන රැගෙනවිත් මෙලෙස පෙළගැසෙන හැටි බලාසිටීම පවා සතුට දැනෙන දසුනක් විය. 

ඇල්තාරයට නැග විවිධ භාෂාවලින් කොන්ත පන්ති කියන ජනයා අතර එක්වරම සිංහල භාෂාවෙන් කොන්තය කීමටද පටන්ගන්නා ලදී. එය අපට මහත් ආනන්දයක් ගෙන දුන්නේය. අපද අල්තාරය මත සිට සිංහලෙන් කොන්තය කී තැනැත්තා හා එක්ව සිංහලෙන් කොන්තය කීහ. 

පසුදිනද මෙම කුඩා දේවස්ථානයේ දිගින් දිගටම විවිධ භාෂාවලින් කොන්ත පන්ති කීම සදහා ජනයා රැස්ව සිටි අතර නොකඩවාම එම ක්‍රියාවලිය කරගෙන ගියහ. නොකඩවා කොන්තය කීම 1917 සිදුවූ පාතිමා දර්ශනයේ එක් ඉල්ලිමක්ද වී තිබුණි.

තවද, ලෙඩ රෝගවලින් සහ වෙනත් කරදරවලින් තමන් මුදවාගන්නා ලෙස ඉල්ලමින් පාතිමා දේවමාතාවන්ට බාර-හාර වූ ජනයා ඒවා ඔප්පුකිරීම පිණිස විවිධ ප්‍රමාණයේ සහ ශරීරයේ විවිධ අංගයන්ගේ හැඩයට නිර්මාණය කර ඇති ඉටිපන්දම් රැගෙන ඉටිපන්දන් දල්වන ස්ථානයේ තම වාරය එළබෙන තෙක් බලාසිටින අයුරු දුටුවිට මෙම ස්ථානය කෙතරම් ආශ්චර්යමත් ස්ථානයක්දැයි නොබදවම සිතේ. 

පාතිමා බැසිලිකාවේ එළිමහන් පීඨිකාවේ එක් කෙරවලක පොලොව යට ඉදිකර ඇති පාතිමා කෞතුකාගාරය නැරබීමටද අපි ගියෙමු. 1917 දේවමාතා දර්ශනය ගැන සියලු තොරතුරු රැස්කර තබා ඇත්තේ මෙම පාතිමා කෞතුකාගාරයේය. ඒහි ඇති තොරතුරු මරිය බැතිය පිලිබදව කතෝලික පල්ලියේ ඉගැන්වීම් පිලිබදව කදිම ශාක්ෂි සපයන්නක් විය. 

මේ පිලිබදව තවදුරත් කියවීම සදහා මා මීට පෙර ලියු 'මරිය බැතිය, පාතිමා පණිවිඩ සහ කතෝලික සභාව' ලිපිය මෙතනින් පිවිසෙන්න.


කතෝලිකයන්ගේ මහත් භක්තියටත්, ආදරයටත් පාත්‍රවූ ආශ්චර්යමත් පාතිමා පුදබිම වෙත සියලු විශ්වාසීන්ට සැදැහැ සිතින් යාමට වරම් අත්වේවායි යන්න මාගේ පැතුමයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
20/02/2018. 












මාකස් ප්‍රියන්ත පෙරේරා 
20/02/2018

Monday, 5 February 2018

සතුටුයි!!!! මීගමු කොටුවේ සංරක්ෂණ කටයුතු අරභයි !!!! එහෙත් යායුතු දුර බොහොමයි !!!!



මීගමුවේ ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු දැන් ආරම්භ කර ඇත. මීගමුව කොටුවේ අද ඉතිරීවී ඇති ඇතුල්වීමේ දොරටුව සහ වික්ටෝරියානු ඔරලෝසු කණුව කඩාවැටීමට ඉතා ආසන්න බව අපි දිගින් දිගටම කීහ. අදාළ අමාත්‍යාංශයවලට ලිපි ලියුහ. රජයේ බලධාරීන්ට දැනුම් දුන්හ. මාධ්‍ය සගයින් ලවා මීගමුව කොටුවේ තත්වය ගැන ජනමාධ්‍යවලින්ද මතුකළේය. කොටුව රැකගැනීමට උන්නදුවූ සියල්ලන් නිරන්තරයෙන් දිරිගැන්වුහ. 



එහෙත් පසුගිය මහින්ද රාජපක්ෂ රජය ඒ කිසිවක් ගැන නැසූ කන් ඇතිව සිටිහය. නිලධාරීන් පැමිණ ගියද කිසිවක් සිදුනොවුනි. කටානේ ලන්දේසි කුළුන කඩා වැටීම ගැන රජයේ දෙපාර්තුමේන්තුවකට කථා කලවිට ඔවුන් කිව්වේ "සුද්දා හැදු දේවල් කැඩුනට කලබල වෙන්න එපා, එහෙත් අපේ රජවරු හදපු ඒවා කැඩුනොත් තමයි ප්‍රශ්නේ" යනුවෙනි. 

රජවරු හැදු කිසිවක් නැති අපේ මීගමුවේ පුරාවස්තුවකට කියා ඇත්තේ මීගමුව කොටුව පමණි. එය අපට ආරක්ෂා කර දීමට අවශ්‍ය බව අපි ඔවුනට කීහ. වර්තමාන යහපාලන රජයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස අකිල විරාජ් කාර්යවසම් මහතා පත්වූවිට අදාළ විෂයභාර ඇමතිවරයා ලෙස ඔහුට මීගමුවේ කොටුව පත්වී ඇති සෝචනීය තත්වයත්, එය රැකගැනීමට ඇති අවශ්‍යතාවයත් පිලිබදව අපි ඔහුට දැනුම් දුන්හ. ඔහු ඒ සදහා කටයුතු කරන බවට පොරොන්දුවිය. එතුමාගේ ලේකම්වරයෙකු වන සුජීව සම්පත් සරත්චන්ද්‍ර මහතා ඒ සදහා සම්බන්ධීකරණ කටයුතු කිරීමට පත්කර ඇති බව දැනුම් දුන්හ. ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා සහ අදාළ අමත්‍යාංශය කටයුතු කරමින් සිටි බව සහ එහි ප්‍රගතිය පිලිබදව සුජීව සම්පත් සරත්චන්ද්‍ර මහතා දිගින් දිගටම අපව දැනුවත් කරන ලදී. දැන් මාස දෙකකට පෙර කොමසාරිස්වරයා සමගවූ රැස්වීමක් අවසාන වූ විගසම සුජීව සම්පත් සරත්චන්ද්‍ර මහතා අපට දුරකථනයෙන් දැනුම් දුන්නේ මීගමුව කොටුව සංරක්ෂණ කිරීමේ කටයුතු ඇරබීමට ඇමැතිවරයා නිලවශයෙන් පියවර ගත් බවත්, ඒ සදහා අවශ්‍ය කටයුතු අවසන් කළබවය. දැන් එම කටයුතු අරභා ඇත. 

ඒ සම්බන්දයෙන් අපි අපේ ස්තූතිය ඔවුනට පුදකරමි. එහෙත් එම කටයුතු අදාළ පුරාවිද්‍යාත්මක නිර්ණායකයන්ට, නිවැරදි ක්‍රම වේදයන් අනුව සිදුවන්නේ දැන් සොයා බැලීමද වැදගත්ය. ඒ සදහාද අවශ්‍ය අවධානය යොමුවෙන්නේ නම් මැනවි. තවද මීගමුවේ කොටුවේ ශ්‍රී විභූතිය නැවත මතුකිරීමට නම් අසල ඇති භාවිතයට නොගන්නා වාහන නැවතුම් පොළ ඉවත්කර අදාළ පරිසරය නිසි පරිදි සකස්කලයුතුය. ඒ සදහා මීගමුව නගර සභාවට තරගවදින මීගමුවේ දේශපාලන නායකයන්ගේ මැදිහත් කාර්යක් ඉටුවෙතයි අපි අපේක්ෂා කරමු. 

වසර ගණනාවක් පුරා අප දරු මෙම පරිශ්‍රමයේ ප්‍රථිපලයක් ලෙස මීගමුව කොටුවේ සංරක්ෂණය කිරීමේ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරගැනීමට තීරණාත්මක මැදිහත්වීමක් කල අධ්‍යාපනය ඇමති ගරු අකිල විරාජ් කාර්වසම් (Akila Viraj Kariyawasam) මහතාට සහ ඔහුගේ ලේකම්වරයෙකු වන සුජීව සම්පත් සරත්චන්ද්‍ර (Sujeewa Sampath Sarathchandra) මහතාට අපේ ස්තුතිය පුදකරන අතරම අප ඉල්ලා සිටිනුයේ එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ජාතික වස්තුවක් ලෙස සලකා මීගමුව කොටුව මෙන්ම ඒ අවට පරිසරයද ආරක්ෂාකර ප්‍රවර්ධනය කිරීම සදහා අදාළ නීතිමය ප්‍රතිපාදනද සලසා දෙන ලෙසය. 

ඇතැම්විට අද (05/02/2018) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ලෙයිටන් පිටියේ පැවැත්වෙන එ.ජා.පක්ෂ රැළියේදී මීගමුව කොටුව සංරක්ෂණය කිරීමට තම රජය ක්‍රියාත්මකවූ බව කියනු ඇත. 

එහෙත් ප්‍රාදේශීය මට්‌ටමින් මීගමුව එ.ජා.පක්ෂයේ නායක-කාරක ආදීන් කිසිවක් තවමත් මෙම ස්ථානයට ගොස් නැත. ඒ ගැන විමසූ විට ඔවුන් කියනුයේ "යන්නම් මල්ලී, දන්නවානේ මේ දවස්වල මේ චන්ද වැඩනේ" යනුවෙනි. 

පැහැදිලිවම එය පිළිගත හැකි පිළිතුරකි. ඔවුන් මීගමුවේ කොටුව සංරක්ෂණයකර, පැරණි මහාධිකරණය ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කර ඒ අවට ප්‍රදේශය මීගමුවේ පෞරාණික නගරය ලෙස ගොඩනැගීමට ක්‍රියාකරන බවට සිය මැතිවරණ ප්‍රකාශනයේම දක්වා ඇත. අවාසනාවකට මීගමුවේ එ.ජා.පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය හැර පොහොට්ටුවෙන් හෝ ශ්‍රී. ල. නි. පක්ෂයෙන් හෝ වෙනත් කිසිදු පක්ෂයකින් හෝ මේ ගැන කිසිදු අවධානයක් යොමුකර නැත. එය කණගාටුවට කරුණකි. 

කෙසේවුවද අප දරූ අති මහත් පරිශ්‍රමක ප්‍රථිපලයක් ලෙස ඇරබුනු මීගමුව කොටුව ප්‍රතිසංස්කරණ කටයුතු අපිට හැකි ඉහලම මට්ටමකින් සිදුකරගැනීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිමු. කිසිසේත්ම තනි උත්සහයක් නොවන මෙම ප්‍රයත්නය සදහා බොහෝ දෙනෙකු උරදී සිටී. ඔවුන් සියළු දෙනාම නම් වශයෙන් සදහන් කිරීම පසුවට කල් තැබුවද, පසුගිය සති දෙක තුල Harin Amirthanathan, Roshan Fernando සහ Ramdas Ragunathan යන මහත්වරු දැක්වූ උනන්දුව ඉතා ඉහලය. 


විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බටහිර සම්භාව්‍යය සංගීතය තුල කලකට පෙර මීගමුවට හිමිව පැවති ස්ථානය නැවත හිමිකර දීමේ උත්සහයක නිරතවන Harin Amirthanathan මහතා මෙම සංරක්ෂණය සදහා දායකවෙන පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට මෙතෙක් අප එකතුකර ඇති මීගමුව කොටුවේ පැරණි පින්තුර ඉදිරිපත්කමින් ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කලේය. 

එසේම මේ දිනවල ලංකාවට පැමිණ සිටින පෘතුගීසි යුගයේ බලකොටු පිලිබද ශාස්ත්‍රඥයෙක්වන, පෘතුගාලයේ ලිස්බන් විශ්ව විද්‍යාලයේ Dr. Joaquim Rodrigues dos Santos මහතාද මීගමුවට ගෙන්වා මීගමුව කොටුව ගැන යම් තක්සේරුවක් ලබා ගැනීමටද අපට හැකිවිය. ඒ පිලිබදව අපි පසුව ලියන්නෙමු. 

කෙසේ වෙතත් මීගමුව කොටුව සහ ඒ අවට ප්‍රදේශය ප්‍රතිනිර්මාණය කිරීමට මීගමු මහ නගර සභාවේ සහ ප්‍රදේශයේ දේශපාලන නායකයින්ගේ මැදිහත්වීම ඉතා අවශ්‍යය. විශේෂයෙන්ම කොටුව ඉදිරිපිට ඇති භාවිතයට නොගන්නා, වල්වැදී ඇති රථ ගාල ඉවත්කර ප්‍රදේශය පිරිසිදු සහ දර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට ඔවුන්ගේ මැදිහත්වීම අවශ්‍යය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
05/02/2018























Sunday, 28 January 2018

මීගමුවේ ලාන්සලාගේ පොහොට්ටුව පැරදවිය යුත්තේ ඇයි ?


පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරව  මීගමුවේ  දේශපාලනය පෙළගැසුනේ කෙසේදැයි යන්න සොයාබැලීම සදහා මම මීගමුවේ විවිධ දේශපාලන පක්ෂවල නායකයින්ට, අපේක්ෂකයින්ට සහ දේශපාලන ක්‍රියාකාරීන් අතරින් යම් පිරිසකට  කථා කලෙමි. ලැබුනු බොහෝ තොරතුරු පිළිබදව නැවත සොයා බැලීමක් කිරීමටද මම අමතක නොකලෙමි. ඒ ඇසුරින්  මේ දක්වාවූ මීගමුවේ පලාත් පාලන මැතිවරණය සදහාවූ පෙළගැස්ම ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිවිනි.  

පෙනී යන පරිදි මීගමුවේ මැතිවරණ උණුසුම දැනෙන්නට පටන් ගන්නේ පසුගිය නොවැම්බර් 02 දිනයේ (02/11/2017) හවස සිටමය. ඒ  ෆයිසාල් මුස්තාපා ඇමතිවරයා එක් එක් පලාත් පාලන ආයතන සදහා පත්කරගන්නා නියෝජිතයන් සංඛ්‍යාව ඇතුළත් අංක 2043/56 දරන ගැසට් නිවේදනය නිකුත්කල දිනයේ සිටය. එයට පෙර සිටම එළබෙන පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහ නගර සභාවට තරග කරන්නේ කවුද? කෙසේද? යන්න සම්බන්දයෙන් විවිධ කතාබහ පැවතියද සංයුක්ත පෙළගැස්මක් දියත්වනුයේ මින් අනතුරුවය. 

අදාල ගැසට් නිවේදනය නිකුත්කළ සැන්දෑවේ සරත් කුමාර ගුණරත්න මහතාගෙන් මීගමුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු  නාගරික මන්ත්‍රීවරුන්‌ කිහිපදෙනෙකුට දුරකථන ඇමතුමක් ලැබුණි. සරත් කුමාර ගුණරත්න යනු මීගමුවේ  පොහොට්ටුවේ සංවිධායකයා ලෙස කටයුතු කරමින් සිටින මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමතිවරයෙකි. මීගමුව කලපුව සංවර්ධනය කිරීමට වෙන්කළ මුදල් වංචාකිරීම සම්බන්දයෙන් ඔහුට විරුද්ධව නඩු පවරා ඇති අතර කිහිපවරක්ම රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි චුදිතයෙකි. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නොඅඩු අනුග්‍රහය ලබන්නෙකි. සෑම නත්තල් සමයකම ශිරන්ති රාජපක්ෂ මැතිනිය ලන්දේසි Bruder කේක් ගෙඩියක් රැගෙන යන ගෙවල් අතර සරත් කුමාර ගුණරත්නගේ නිවසද වේ. (සරත් කුමාරලාගේ කෙරුවාව ගැන මා මෙයට පෙර ලියු ලිපියට මෙතනින් පිවිසිය හැක). මීගමුවේ එ. ජ. නි. සන්ධානයේ හිටපු  නාගරික මන්ත්‍රීවරුන්‌ටද, තරග කිරීමට අපේක්ෂා කරන අපේක්ෂක, අපේක්ෂිකාවන්ටද සරත් කුමාර ගුණරත්න මහතා ලබාදුන්  ඉහත දුරකථන ඇමතුම ඔස්සේ ඉල්ලා සිටියේ පැවැත්වීමට නියමිත පලාත්පාලන මැතිවරණය සදහා මීගමුව මහ නගර සභාවට තරගකිරීමට සුදානම්වීමේ සාකච්ඡාවට සහභාගීවෙන  ලෙසය.   

එහෙත් සරත් කුමාර ගුණරත්න මහතා මීගමුව මහ නගර සභාවේ සිටි  එ. ජ. නි. සන්ධානයේ මන්ත්‍රීවරු 16ටම ඉහත දුරකථන ඇමතුම  ලබාදුන්නේ දැයි පැහැදිලි නැත. මන්දයත් සරත් කුමාර ගුණරත්න කැදවු සාකච්ඡාවට මීගමුවේ සිටි එ. ජ. නි. සන්ධානයේ මන්ත්‍රීවරු 16 දෙනාම සහභාගී නොවීම එයට හේතුවයි. 

කවුරුත් දන්නා ලෙස මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සරත්  හිතවාදීන් සහ ලාන්සා හිතවාදීන් ලෙස දෙකට බෙදී සිටියහ. නිමල් ලන්සාගේ නිවසේ නීති විරෝධී ද්‍රව්‍ය රැස්කර ඇතයි කියා අපරාධ දෙපාර්තමේන්තුවට දැනුම්දී මීගමුව පින්කො වත්තේ පිහිටි ලන්සාගේ නිවස සහ ඔහුගේ ව්‍යාපාරික සගයන් කිහිප දෙනෙකුගේ නිවෙස්  එකවර වැටලීමේ  දැවැන්ත මෙහෙයුම  පිටුපස  සිටියේ සරත් කුමාර ගුණරත්න බව  නිමල් ලාන්සා විසින් අවස්ථා කිහිපයකදීම මාධ්‍යයට දක්වා තිබුණි. නිමල් ලාන්සා සහ  කුඩු ජාවාරම පිලිබදව කථා පතුරුවන්නේ සරත් කුමාර ගුණරත්නගේ පාර්ශවය බව  ලන්සාගේ පාර්ශ්වයේ අදහසයි. "මෙහෙම ගියොත් මීගමුව කුඩු පුරවරයක් වේයැයි" සරත් කුමාර ගුණරත්න අවස්ථා කිහිපයකම මාධ්‍යට පවසා තිබුණි. අනෙක් අතට සරත් කුමාර ගුණරත්නලාගේ මුහුදු වැලි විකිණීමේ ජාවාරම්, ධීවර අමාත්‍යාංශය හරහා සිදුකල අයථා ගනුදෙනු මාධ්‍යයට හෙළිකළේ ලාන්සා පාර්ශ්වය බව සරත් කුමාරගේ පාර්ශ්වයේ අදහසයි. 

එහෙත්, ඇත්තවශයෙන් සිදුවෙමින් පැවැතියේ නිමල් ලන්සා මෙන්ම  සරත් කුමාර ගුණරත්නද රාජපක්ෂ පාලනය යටතේ තහවුරුකර ගත් දේශපාලන බලය යොදාගෙන සිදුකල විවිධ ජාවාරම්, අයථා ගනුදෙනු, වංචා, සොරකම් සහ කප්පම් මගින් උපයාගත් ලාභයන් බෙදාගැනීමේ තරගය ය.  කුට්ටිය බෙදා ගැනීමේ සහ ගොඩ ලොකු කරගැනීමේ මෙම තරගය තීව්‍රවූ සෑම විටම දෙපිල අතර ගැටුම් ඇතිවිය.  ඒ සෑමවිටම බැසිල් රාජපක්ෂ පමණක් නොව මහින්ද රාජපක්ෂද දෙපැත්ත 'ශේප්' එකේ බිස්නස් කරන ආකාරය දෙපාර්ශවයටම තේරුම්-බේරුම් කරදී ගැටුම් නිරාකරණය කළේය. මෙම කූට, කුජිත, කුහක කලබැගෑනීන් අතර ඉන් විසිවෙන කුඩ්ඩක්, පොත්තක්, කෑල්ලක් සහ ලැබෙන දෙයක් කා ජීවත්වෙන පිරිසක්ද සරත් කුමාරගේ මෙන්ම නිමල් ලංසාගේද පාර්ශවයන් ඇසුරෙන්ද ගොඩනැගුන බව නොරහසකි. එම පිරිස අතර දෙපාර්ශවයේම 'ඉහේ ඉදන් කන කෑ' පිරිස් දෙදෙනාගෙන්ම  "පනයම්" කමින් සිටින බවද සරත් කුමාර මෙන්ම ලාංසලා ද දනිති. මේ සියල්ලන් එකතුකර මීගමුවේ මහ නගර සභා මැතිවරණය සදහා ලැයිස්තු සකසන්නේ කෙසේදැයි යන්න අපි ඉතා ඕනෑ කමින් බලාසිටියෙමු. මෙම පෙළගැස්ම ගැන මම යම් ඉගියක් මීට පෙර ලියු මීගමුව මහනගර සභා මැතිවරණයට නව නගර සංවර්ධන සැලැස්මක්  යන ලිපිය ඔස්සේ සැපයීය. 

මීගමුවේ පොහොට්ටුවේ ලැයිස්තු සකසන්නේ සරත් කුමාර ගුණරත්න විසින් බවත් හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු මෙන්ම නගරාධිපතිවරයෙකුවූ  වයස්ගත හර්මන් කුරේරා මහතා නගරාධිපතිවරයා ලෙසත්, කපිල නන්ද සුලෝචන මහතා උප නගරාධිපතිවරයා ලෙසද ඉදිරිපත් කරන බවට රාවයක් පැතිර යමින් පැවතිනි. හර්මන් කුරේරලා මීගමුවේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ මුල්බැසගත් සාමාජිකයින්විය. කලක් ඔවුන්ගේ පියා, බර්නාඩ් කුරේරා මහතා, මීගමුවේ ශ්‍රී. නි. පක්ෂයේ සංවිධායකවරයෙක් විය. මැතිවරණවලින් පැරදුනු ඔහුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනියව සිටි සමයේදී  ලංකා පිගන් සංස්ථාවේ සභාපති ලෙස දේශපාලන පත්වීමක් ලබාදෙන ලදී. 

පසුව මීගමුවේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සංවිධායකයෙක්වූ, මීගමුවේ දේශපාලනයේ ජඩ යුගය ඇරබු, කුප්‍රකට ආනන්ද මුණසිංහලාගේ සමයේදී මෙන්ම සරත් කුමාර ගුණරත්නලාගේ සමයේදීද කුරේරලා ඔවුන්ට සමීපව සිටිමින් අමත්‍යාංශවල තනතුරු, රථ වාහන සහ වරප්‍රසාද භුක්ති වින්දහ. හර්මන් කුරේරලාගේ සහෝදරයා මෙන්ම ඔහුගේ පුත්‍රයාද ධීවර අමාත්‍යාංශයේ එලෙස තනතුරු දැරුහ. රාජපක්ෂ රජය පෙරලී යහපාලනය පැමිණ සරත් කුමාර ගුණරත්නලාට නඩු වැටෙන විට ඔවුහු වහා වහා නැවත රාජපක්ෂලා බලයට ගෙන ඒමට පෙලගැසෙන්නේ මෙම තත්වය තුලය.

එහෙත් පොහොට්ටුවේ උප උප නගරාධිපතිවරයා ලෙස ඉදිරිපත් කරන බවට රාවයක් පැතිර ගිය කපිල නන්ද සුලෝචන මහතා නිර්ධනයෙක් විය. හේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධායකයෙකු ලෙස පෙරට පැමිණි තැනැත්තෙකි. ඔහු වඩා ප්‍රසිද්ධවී සිටියේ මහජන සේවය නිසාවෙනි. පාරක විදුලි බුබුලක් දමාගැනීමේ සිට පල්ලියේ මංගල්‍යයට ලයිට් දමාගැනීම දක්වා ප්‍රදේශයේ සියලු  ප්‍රශ්න පක්ෂ භේදයකින් තොරව මහජනයා ඔහු වෙතට ගෙන ආවේ ඔහු අවංකවම එම සේවය ඉටුකරදීමට කැපවී සිටින බව ඔවුන් දන්නා නිසාය. මීගමුවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් අතරින් ඇත්තටම මහජන සේවයක් සිදුකළ පුද්ගලයෙකු ලෙස ඔහු ප්‍රචලිතව සිටින ලදී. මීගමුවේ ලාන්සලාගේ දේශපාලනයට  කපිල නන්ද සුලෝචනව මුල සිටම පෙනීගියේ අභියෝගයක් ලෙසය. එහි ප්‍රතිපලය වන්නේ මීගමුවේ මැර දේශපාලනයේ  නාදුනන ප්‍රහාරකයන්ගේ මන්නා පිහිපහරට කපිල ගොදුරුවීමය. වර්ධනය වන තත්වය එතරම් යහපත් නොවන බව තේරුම්ගත් සරත් කුමාරගේ පාර්ශ්වය වහාම කපිල වෙනුවෙන් සිටගත් අතර සියලු පාර්ශවයන්ට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේලාගේ සමයේ දී මෙන් ජෝති-සාති යුගයක් කරා යෑම වළක්වා ගත යුතුවිය. 

''සරත් ලිස්ට් එක හදන්න ගත්තොත්, අපිට පරිප්පු නේද?" යැයි ලන්සලාගේ පාර්ශවයේ අය ලාන්සලාගේන් අහන්නේ මේ තත්වය තුලය. 

"පිස්සුද ඕයි, ඌට එහෙම දෙනවද? ඌට ගමේවත් චන්ද ගන්න බැරි එකා, බැසිල් නැත්නම් ඕකට මන්ත්‍රිකමත් නැහැ, මීගමුවෙත් තිබුනේ ජන්ද 4,000යි, ඕකුන් ඔක්කොටම හැමිනිලා යන්න අයියා එනවා" යැයි එසේ විමසු සියල්ලන්ට ලාන්සා පාර්ශ්වයෙන් පිළිතුරු ලැබී ඇත.   

මීගමුවේ හිටපු නගරාධිපති, ලාන්සලාගේ බළල් අතක්වූ ඇන්තනී ජයවීර  නිමල් ලාන්සා පැමිණෙන බව ප්‍රසිද්ධියේ කියන්නේ මේ තත්වය තුලය. 

ඉන් අදහස් කලේ නිමල් ලාන්සා ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන බවද? නැතහොත් අණඩුවෙන් ඉවත්වී පැමිනෙන බවද? යන්න එක වරම පැහැදිලි නැතිවිය. එයට හේතුවුයේ නිමල් ලාන්සා ආණ්ඩුවේ උප ඇමතිවරයෙක් ලෙස සිටියද පසුගිය කාලේ ඔහු පදිංචිවී සිටියේ ඕස්ට්‍රේලියාවේය. ලංකාවේ ගතකලේ මාසෙකට දින කිහිපයක් හෝ මාස කිහිපයකට දින කිහිපයක් පමණි. 

කෙසේවුවද, ඉකුත් දෙසැම්බර් 19 වෙනිදා බලාපොරොත්තුවූ ලෙස නිමල්  ලන්සා ආණ්ඩුවේ උප ඇමතිකමෙන් අස්වී මීගමුවේ මහ නගර සභාවේ ලැයිස්තුව සකස් කිරීමට පැමිණියේය. ශ්‍රී. නි. පක්ෂයට සමීප ආරංචි මාර්ගවලට අනුව ඔහු ප්‍රථමයෙන් මීගමුවේ ශ්‍රී. නි. පක්ෂ ලැයිස්තුව සැකසීමට ඉල්ලා තිබේ. එහෙත් ඔහුට දන්වා ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයා පත්කළ  මීගමුවේ නව ශ්‍රී. නි. පක්ෂ සංවිධායකයා වන ලලිත් ටෙන්සින් මහතා ඒ සදහා කටයුතු කරන බැවින්, වත්තල සංවිධායකයා ලෙස එහි ලැයිස්තුව සකස් කිරීමට කටයුතු කිරීමට මුල්වෙන ලෙසය. 

එහෙත් ලාන්සලාට අවශ්‍යවුයේ මීගමුවේ ලැයිස්තුව සකස්කිරීම මිස වෙනත් ලැයිස්තු සකස් කිරීම නොවේ. ලාන්සලාගේ පවුල මීගමුවේ beach park තුලින් පමණක් මාසයකට ලක්ෂ 30ක් ලබන බවත් එහෙත් මීගමුව මහ නගර සභාවට ගෙවන්නේ ඉන් ලක්ෂයක් පමණක් බවත්, මීට අමතරව මීගමුවේ අවසරලත් සහ අවසර නොලත් ව්‍යාපාරවලින් රුපියල් කෝටියකට වඩා ලාභ ලබන බවත්, මීගමුවේ වෙරළ කලාපයේ බොහෝ දේපල විකිණීමෙන් සහ මිලදී ගැනීමෙන්ද,  රාජපක්ෂ පවුලේ අනුග්‍රහය ඇතිව සහ නැතිව සිදුකරන තවත් ව්‍යාපාරවලින් ඊටත් වඩා අධික ලාභයක් ලබන බවත්, මීගමුව මහනගර සභාවට වැල්ලවිදිය සහ කුඩාපාඩුව කොට්ඨශවලින් එක්සත් ජාතික පක්ෂයෙන්  තරගවදින දොස්තර හෙන්රි රොසයිරෝ මහතා මෙන්ම හිටපු ගුවන් හමුදා නිළධාරියෙක්වන රොෂාන් කොන්රඩ් මහතාද දැන් ප්‍රසිද්ධියේම චන්ද රැස්වීම්වල කියමින් යයි. 

නිමල් ලන්සාට සිය සොහොයුරා වන දයාන් ලන්සාව නැවතත් මීගමුව මහ නගර සභාව මෙහෙයවීමට ගෙන ඒම අත්‍යවශ්‍ය උවමනාවක් වන්නේ මෙම කරුණු නිසාවෙනි. ඇන්ටනී ජයවීර හෝ වෙනත් කිසිවෙකු නාමික නගරාධිපතිවරයා ලෙස පත්කර දයාන් ලාන්සා උප නගරාධිපති ලෙස සිටිමින් පසුගිය කාලයේ ඔවුන් කළාක් මෙන් 'ගේම' ගසන හැටි ඔවුන් හොදට දනී. 

මහජන මුදල් ගසාකෑ හොරුන්ට එරෙහිව ඇති නඩුවලින් බේරීමටද, දේශපාලනයේ යෙදෙමින් නියම්-අනියම් ආකාරයෙන් රැස්කරන ධනය, බලය සහ වරප්‍රසාද රැකගැනීමටද පිහිටුවා ඇති ලංකාවේ කුජීතම දේශපාලන පක්ෂයවන පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවෙන් නාම යෝජනා දීමට මීගමුවේ සරත් කුමාර පාර්ශවය මෙන්ම නිමල් ලන්සාගේ පාර්ශවයද එකට එකතුවෙන්නේ මේ තත්වය තුලය. 

මීගමුවේ පොහොට්ටුව ගොඩ නැගූ කපිලට මෙන්ම, දේශපාලන වශයෙන් නොකිලිටි, තරුණ වෘත්තීකයෙක් වන පිටිපන විකුම් ප්‍රනාන්දුව මීගමුවේ පොහොට්ටුවෙන් අවසාන මොහොතේ කපා දමන්නේ ඉහත කී අශුද්ධ සන්ධානයට කපිලලා, විකුම්ලා වැනි අය සිටීම තමන්ගේ රෙදි වලට වඩා ඔවුන්ගේ රෙදි සුදුබව පැහැදිලිව පෙනී යෑම ඔවුන්ට අවාසිදායක නිසාය. 

මීගමුවේ මේ අවලම් දේශපාලනය දැන් අහෝසි කල යුතුය.  ලාන්සාලාගේ මෙන්ම සරත් කුමාර ගුණරත්නලාගේද,  ඔවුන්ගේන්  විසිවෙන කුඩ්ඩක්, පොත්තක්, රොඩ්ඩක්, කෑල්ලක් සහ ලැබෙන දෙයක් ගෙන ''රෝම්පි"යෙන්  ජීවත්වෙන පිරිස්ද පරාජයට කල යුතුය. මීගමුවේ මේ එකතුවේ ලැයිස්තුව පොහොට්ටුව වන බැවින් මීගමුවේ පොහොට්ටුව පරාජය කල යුත්තේ  ඒ නිසාය. 

එහෙත්, ප්‍රශ්නය වන්නේ ඒ සදහා මීගමුවේ චන්දේ දෙන්නේ කාටද  යන්නය. 

මීගමුවේ ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම, මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද දුර්වලය. 

මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි  හිටපු නාගරික මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 13 දෙනෙකුම සිටියේ ලාන්සලාගේ සහ සරත්ලාගේ සාක්කුවලය. ඔවුන් දැන් ඉල්ලන්නේ පොහෝට්ටුවෙනි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකයා වන ලලිත් ටෙන්සිල් මහතා නැවතත් මීගමුවේ හොද ශ්‍රී ලංකා කාරයින්ගෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් සෑදීමට කටයුතු කරමින් සිටී. එම උත්සාහය සාර්ථකවේන්නේ නම් යහපත්ය.

මීගමුවේ පොහෝට්ටුවට පැහැදිලිවම අභියෝග කිරීමට ඉතිරිවී ඇති එකම පක්ෂය මීගමුවේ එක්සත් ජාතික පක්ෂය පමණක්වීම කණගාටුවට කරුණකි. 

රටපුරාම මෙන්ම  මීගමුවේද එක්සත් ජාතික පක්ෂයට විරෝධයක් ඇති බව පැහැදිලිය. එය යුක්ති සහගත විරෝධයකි. මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රොයිස් විජිත ප්‍රනාන්දු මහතාට ජුවෙල් ලංකා ආයතනය කොල්ලකෑම ගැන නඩු විභාගයක් පවතී. එය තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නකි. ලාන්සලාගේ භිෂණයට භය බීරන්තවී සිටි මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් අවධි කලේ රොයිස් විජිත ප්‍රනාන්දු මහතාවුවද ඔහුට ඉදිරිපත්වී ඇති ඉහත චෝදනා නිසාම මීගමුවේ එක්සත් ජාතික පක්ෂය තුල ඔහුට අභියෝග කරන පිරිස්ද කදවුරු බැද සිටී. පැහැදිලිවම ඉහත නඩු විභාගයේදී  රොයිස් විජිත ප්‍රනාන්දු මහතා වැරදිකරුවෙකු වුවහොත් ඔහුට සියලු තනතුරු අහිමිවෙන බව සියල්ලෝමදනී. ජාතික මට්ටමින්  රවී කරුණානායක මහතාගේ සිද්ධිය පමණක් නොව මීගමුවේ එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුලද එවැනි උදාහරණක් වේ. ඒ හිටපු නරාධිපතිවරයෙකුවූ දළුපොත හෙන්රි ප්‍රනාන්දු මහතා අල්ලස් ගැනීමකට වරද කරුවෙකුවූ විට ඔහුව තනතුරෙන් පමණක් නොව පක්ෂයෙන්ද එළවීමට කටයුතු කළේය. දැන් ඔහු මීගමුවේ සරුංගලය නම් ස්වාධීන කණඩායමෙන් තරග කරයි. එම නිසාම ප්‍රදේශයේ කොල්ලෝ කියන්නේ හෙන්රි අයියා දැන් දළුපොත සරුංගල් අරින බවය. මේ අනුව පෙනීයන්නේ රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ දේශපාලන පැවැත්ම ඇත්තේ ඔහු එක්සත් ජාතික පක්ෂය තුල විනයවත්ව, ආදර්ශවත්ව සිටින තාක්කල් පමණක් බවය. පක්ෂයෙන් පිට ඔවුන්ට පැවැත්මක් නැත.

එහෙත්, නිමල් ලාන්සලාව එසේ පාලනය කිරීමට දැන් හැකිද? කිසිම පක්ෂයකට ඔහු පාලනය කල නොහැකි තත්වයකට ඔහු ලගාවී ඇත. ඔහු දැන් තොණ්ඩමන් කෙනෙකු මෙන් එහාට මෙහාට පනිමින් සැරසෙන්නේ මීගමුවේ ජනයාව උකසට තබා, සරත් කුමාරටද කොටසක් දී  තමන්ගේ අවලම්, කුජිත ව්‍යාපාර කරගෙන යෑමට දේශපාලනය යොදා ගැනීම නොවේද? 

මීගමුව මෙන්ම මීගමුවේ ජනයාද මේ කුජීත, කූට, අවලම් දේශපාලනයෙන් පැහැදිලිවම මුදවාගත යුතුය. ඒ සදහා 
මීගමුවේ 
ලාන්සලාගේ පාලනය පරදවමු. 
 මීගමුවේ
පොහොට්ටුවට චන්දේ නොදෙමු !!! 

Tuesday, 2 January 2018

නත්තල අවසන්. නව වසරක් ! අළුත් ඇරඹුමක්?

වැඩ අධික දෙසැම්බර්ය නිමවී නව වසරක් උදාවී ඇත. කාර්ය බහුලත්වයේ අඩුවක් නොමැතිවුවද පසුගිය මාසේ සති අන්තයන් ගෙවාදැමු නත්තල් සිරි විදිම දැන් අවසන්ව ඇත. සෑම දෙසැම්බර් මාසයකම අප සති අන්තයන් ගෙවා දැමුවේ යුරෝපයේ නත්තල් සැමරුමේ අසිරිය විදීමටය. ඒ සදහා ලන්ඩනයේ වීදිවල පමණක් නොව යුරෝපයේ ඇතැම් නගරවලද අපි සංචරණය කලෙමු. එහින් සෑම වසරකම දෙසැම්බර් සති අන්තයන් ඉතා අවිවේකීවූ අතර ඇතැම් දිනවල සතිය පුරාම මෙම අවිවේකීත්වය පැතිර පැවතුනි. එහි ප්‍රථිපලයවුයේ දීර්ඝ වශයෙන් කරුණු දක්වන ලිපිලිවීමට මෙම අවකාශයට පිවිසීමට කාලවේලාව මදවීමය. එහෙත් කෙටිසටහන් කිහිපයක්ම මම මගේ facebook  පිටුවේ තැබීමට අමතක නොකළෙමි. 

කුඩා කුඩා ක්‍රිස්තියානි සංඝයන් මර්ධනයටත්, මරණයටත්, ප්‍රාණ පරිත්‍යාගයටත් මුහුණදෙමින් රහසිගතව භක්තියෙන් ඇදහු ක්‍රිස්තු ධර්මය ක්‍රි. ව. 336 දී කොන්ස්ටන්ටයින් රෝම අධිරාජ්‍යයා (Roman Emperor Constantine) වැළදගැනීමත් සමග ක්‍රිස්තියානීන්ට සිය ආගම  නිදහසේ ඇදහීමට ඉඩප්‍රස්තාවක් සැලසිනි. ඉන් අනතුරුව ක්‍රිස්තියානි ජනයා ක්‍රිස්තුස් වහන්සේගේ උපත ප්‍රසිද්ධියේ සැමරීමට පියවර ගැනුනි. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ කවදාදැයි බයිබලයේ සදහන් නොවන නිසා ඒ සදහා දෙසැම්බර් 25 වෙනි දිනය යොදාගැනීම වඩා උචිතයැයි  තීරණය කලේ ක්‍රි. ව. 338දී පළමුවන  ජුලියස් පාප්වරයාය (Pope Julius I) එහිලා හේතුවුයේ එවකට රෝම වැසියන් ජුලියස් සීසර් (Julius Caesar) අධිරාජ්‍යයාගේ උපන්දින සැමරූ දිනයවූ දෙසැම්බර් 25ට ආදේශකයක් ලෙස බවත්, යුරෝපයේ පැරණි ආගම්වල දෙවිවරුන් (pagan gods and goddess) සැමරූ ශීත උත්සවය යෙදී තිබුනේ මෙම කාලයේ නිසා එයට විකල්පයක් ලෙස බවත් කරුණු දක්වන්නන් සිටී. 

එහෙත්, ක්‍රිස්තියානි පල්ලියේ චිනත්කයෙක් වන ඔගෝස්ටයින් හිපෝ (Augustine of Hippo) ක්‍රි. ව. 368දී දක්වා ඇත්තේ පළමු ජුලියස් පාප්තුමා (Pope Julius I) ජේසු උපත සැමරන නත්තල් දිනය ලෙස දෙසැම්බර් 25 දිනය යොදාගැනීමට තීරණය කලේ එම දිනය රෝම දින දර්ශනයේ ශීත කාලයේ අදුරුම දිනය හෙවත් හිරු එලිය අඩුම දිනය වන winter solstice දිනයවූ නිසාත්,  ඉන් අනතුරුව එලබෙන දිනවල අදුරුකාලය ක්‍රමයෙන් අඩුවී හිරු එලිය ක්‍රමයෙන් වැඩිවන සමය උදාවෙන නිසා බවය. එය බයිබලයේ සදහන් දිවැසිවරයෙකු වන මලචි (Malachi) සහ සුවිශේෂ කතුවරයෙකුවූ ජොහාන් (John) ආදීන්ගේ ඉගැන්වීම්වූ ගැලවුම්කරුවා හෙවත් ජේසුතුමාගේ උපත 'යහපතේ හිරු' (Sun of righteousness) එළියේ උදාව සහ 'ලෝකයේ ආලෝකයේ' (the light of the world) උදාව ලෙස දක්වා තිබීම ඉහත දිනය තෝරාගැනීම හා හොදින් ගැලපීම ඊට හේතුවූ බව ඔගෝස්ටයින් හිපෝගේ(Augustine of Hippo) තර්කයයි . 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදුරු ශීතකාලයේ වර්ණවත්ම සමය නත්තල් කාලය ය. 

නේක වර්ණ ආයිත්ම්ගෙන් සරසා, වයිවාරණ විදුලි බුබුළුවලින් ආලෝකමත්කල නත්තල් ගස්ද, විවිධ වර්ගයේ සැරසිලිවලින් වර්ණවත්වූ  වීදි ද, නත්තල් පොළවල් සහ නත්තල් කඩ පිල්ද (Christmas Market),  කැරොල් ගයනා සහ නත්තල් ගීතද, නත්තල් දින දිව්‍ය පුජාවද, නත්තල් සීයා (Santa Claus) සහ කුඩා ළමුන්ගේ බලාපොරොත්තු ඉටුවීම්ද, නත්තල් රසකැවිලිද, රසවත් කෑම-බීම සහ සතුටු සාමිච්චියන්ද, නෑ-සිය-මිත්‍රාදීන්ගේ එකතුන්ද, නෑගමන් සහ බැහැදැකීම්ද, තෑගී බෝග ආදි බෙදාගැනීම්ද, සුබපැතීම් සහ ලෙන්ගතුකම් පෑම්ද.........කියාපානුයේ 

සත්තකින්ම, නත්තල යනු සොදුරු ලොවක නව උදාව නොවේද? වඩා යහපත්, සුන්දර ලෝකයක් පිළිබද බලාපොරොත්තු දැල්වීමක් නොවේද?

ලෝකයේ ආලෝකය සහ යහපතේ ආලෝකය නත්තල තුල සලකුණු කරන බව එනයින්ම පැහැදිලිය. 

නත්තල් සමය මේ සෙනසුරාදා (ජනවාරි 6/2018) එළබෙන බිලිදු ජේසුතුමා බැහැදැකීමට රජතුන් කට්ටුවේ පැමිණීම (Epiphany) හෙවත් පෙරදිග රජවරු තිදෙනෙක් ජේසුතුමා යුදෙව් නොවන ජනයාගේ (Gentiles) ද ගැලවුම්කරුවා ලෙස පිළිගැනීමේ මංගල්‍යය සැමරීමත් සමග අවසන්වේ. 

ඒ නව වසර උදාවී දින කිහිපයකටම පසුවය. 

අප නව වසර අරඹනුයේ නත්තල තුල දල්වාලූ යහපත පිළිබද අපගේ බලාපොරොත්තු සමගය.

උදාවූ නව වසර 'යහපතේ ආලෝකයේ' ම වසරවේවා යැයි යන්න මගේ ප්‍රාර්ථනයයි !!!

විශේෂයෙන්ම එම 'යහපතේ ආලෝකය' මේ වසර තුලදීවත් අපගේ නගරයවන මීගමුවට ලැබේවා යැයි යන්න ඊටත් වඩා මගේ ප්‍රාර්ථනයයි!!!

පල්ලි, පන්සල්, කෝවිල්වල අඩුවක් නැති අපේ මීගමුවට අද වෙනදාටත් වඩා යහපතේ ආලෝකය පැහැදිලිවම  අවශ්‍යව ඇත. 

පුංචි රෝමය ලෙස හැදින්වූ  අපගේ මීගමු නගරය අද ජරාජීරණවී, දුගන්දයෙන් පිරී, අපිරිසිදුකමින් ඉහවහ ගොස් ඇතිවාට අමතරව මත්ද්‍රව්‍ය, අපරාධ, දුෂණ, වංචා, දිළිදුකම, අල්ලස, සූරා කෑම, අකටයුතුකම සෑම අස්සක් මුල්ලකම අරක්ගත්, නැති බැරි මිනිහා පාගා පොඩිකර දමමින්  එකෙක් දෙදෙනෙක් පමණක් සුරසැප විදින,  පාදඩකම රජකරන නගරයක් බවට පත්ව ඇත. 

අපේ නගරයට යහපත පිළිබද ආකල්පය අපි රැගෙනා යුතුව ඇත. 

ඒ සදහා එළබෙන සෑම අවස්ථාවකදීම ඒ සදහා එක ලෙස පෙලගැසෙමු. 

මීගමුවේ මහනගර සභා මැතිවරණය මෙහිලා හොද අවස්ථාවක් කරගනිමු.

යහපතේ ආලෝකය මීගමුවට රැගෙන ඒමට, මීගමුවේ පාදඩ පාලනය පන්නා දමමු!!! 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
02/01/2018.

Monday, 20 November 2017

ඔව්, අපි බොන්ඩ් මගඩිය කළා !!!!



මම දන්නවා කිසිම වගකීමක් ඇති දේශපානඥයෙකුට මෙහෙම කියන්නත් බැහැ, මෙහෙම කරන්නත් බැහැ කියලා. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ බැදුම්කර කොමිසමට ඇවිත් මෙහෙම කිව්වොත්:

" ඔව් අපි බැදුන්කර මංකොල්ලය කළා. මොකද අපිට දේශපාලනය කරන්න සල්ලි ඕනෑ. රාජපක්ෂලා අවුරුදු 10ක් තිස්සේ රැස්කරපු සල්ලි එක්ක අපිට හැරෙන්නවත් බැහැ. අපි ඔය පාර්ලිමේන්තුවේ අපේ පැත්තේ ඉන්න උන් ටික තියාගන්න විතරක් කෝටි ගණන්වල වාහන පර්මිට්, අමාත්‍යාංශවලට ගොඩනැගිලි ගන්න කියලා කොච්චර දුන්නත් උන් බලන්නේ තවත් කොහොන් හරි කොහොමද ගාණක් කපාගන්නේ කියලයි. ඒනිසා රාජපක්ෂලාට මැච් වෙන්න තරම් අපිටත් සල්ලි ඕනෑ. නැතිනම් මේක කරන් යන්න බැහැ. එත් මේ කොමිසම කරගෙන යන්න ඕනෑ. මොකද කෝප් කාලේම අපි දැනගත්ත දෙයක් තමයි, අපි ඒකට එකතුවෙලා හොරකම් කරපු එකේනුත් අපේ උන් හොරකම් කරලා කියලා. ඒ නිසා උන්ට දඩුවම් දෙන්න මේ කොමිසම කරගෙන යන්න ඕනෑ.''

රනිල් ඔහොම කිව්ව නම්, ඔය රනිල්ට අරක බැහැ, මේක බැහැ කිය කිය ඉන්න උනුත් කියන්නේ නැතිද " අඩෝ මු මාර බුවෙක්නේ, අරුන් අවුරුදු 10කින් දුන්න ගේම් ටික මේ යකා විනාඩි 10යෙන් දුන්නා නේ. මු නම් අර කියනවා වගේ නළුවෙක් නෙමේ මොලයක් තමයි'' කියල? මන් අහන්නේ එහෙම කියන්නේ නැද්ද?

ඒ විතරක්ද, වැඩේ වෙන්නේ මේ විදිහට නම් අපේ වික්‍රමබාහු සහෝදරයටත් මෙහෙම කියන්න පුළුවන් එළිපිටම. "අයිසේ අපි දන්නේ නැත්ද මුන් හොරු කියලා. අපි දන්නවා. අපි උනත් විප්ලවය කරන්න, අරගලය කරගෙන යන්න සල්ලි හොයන්න බැංකුවක් කඩන්න උනොත් බැංකුවක් කඩන්නේ නැද්ද ? කඩනවනේ. අපිට එහෙම සදාචාරය ගැන ප්‍රශ්න නැහැනේ. ප්‍රශ්නේ තියෙන්නේ ෆැසිස්ට්වාදය පරාජය කරන්නේ කොහොමද කියන එකනේ? (එතකොට බාහු මාර විප්ලවාදියෙක් වෙන්නේ නැද්ද?

මම දන්නවා ඔය කට්ටියට ඔහොම කියන්න බැහැ. හැබැයි ඔය කට්ටිය ඔහොම කිව්වොත් ලංකාවේ ජනතාවට ඔය අය ගැන දැන් තියෙන ආකල්පය වෙනස් වෙන්නේ පුදුම විදිහට නේමේද? අපේ දේශපාලනයේ නිර්ණයන් ඇත්තේ කොතැනද කියලා හිතාගන්න දැන් පුළුවන් නේද?


====================================================================
අනික් අතට ඔය ලියලා කතාවේ තවත් කථාවක් තියෙනවා. ඒ තමයි මම එකතුකරලා තියෙන වික්‍රමබාහුගේ කොටස. 

වික්‍රමබාහුගේ කොටස නැතිව ඔය ලියා ඇතිදේ වෙනම කියවූහොත්, ඒය එක එල්ලේම තවත් ගේම් කාරයින්ගේ කථාවක් වනු ඇත. කොටින්ම එය තවත්
 වක් වෙනවා.

ඇත්තටම, මෙම රචනයේ වික්‍රමබාහුගේ කොටස සිදුකර ඇත්තේ කුමක්ද? 

අදාල සාකච්ඡාව දේශපාලනයකරණය කිරීමය. 

ඇත්ත වශයෙන්ම, ලංකාවේ වම කරන්නේ, කරමින් සිටින්නේ මේ දෙය නෙමේද ? ලාංකික දේශපාලනයට දේශපාලන විඥානය සැපයීම නොවේද? මේතාක් එයින් වැඩිම ප්‍රයෝජනයක් අත්වුයේ ධනපති පන්තියට බව වෙනම කතාවකි.

දැන් බලමු විමල් විරවංශ පසුගියදා පාර්ලිමේන්තුවේ කල  ප්‍රකාශය:

''කුරුදුවත්තතෙ ලංසි පැපොල් වලට වඩා පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි" 

මෙම ප්‍රකාශය තුල බටහිර විරෝධය සහ දේශීයත්වය අගය කිරීමක් කියවෙනවා මෙන්ම, ලංසි වැනි සිංහල-බෞද්ධ නොවන ජනවර්ග හෙලා දැකීමක් සිදුවෙනවා නොවේද? එහෙත් සංකල්ප රූපීය අර්ථයක් තුල මෙසේ ඇසිය හැක: 

ඉහත ප්‍රශ්නයට අනුව දැන් ගම්‍යවනුයේ බණ්ඩක්කා වලට වඩා ලංසි පැපොල් හොද බවකි. බණ්ඩක්කා වලට, කුරහන් වලට වඩා මොඩ්  බවකි, නුතන බවකි. 

බණ්ඩක්කා, කුරහන් සහ පැපොල්වලට අදාල චරිත යාකලොත්, සිරිසේනගේ, රාජපක්ෂගේ දේශපාලනයට වඩා රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය නූතන බවක් මින් කියවෙනවා නේද ? 

ඒ අනුව යම් ආකාරයකට විමල් විරවංශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයට අලුත්  දේශපාලන සටන්පාඨයක් සැපයීමකි. 

මෙවැනි දේවල් තේරුම් ගැනීමට critical discourse analysis විෂයම හැදෑරීමට අවශ්‍ය නොවණු ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
20/11/2017.

Sunday, 12 November 2017

ඇල්බට් අයින්ස්ටයින්ගේ මීගමු සංචාරය සහ අයවැයෙන් මීගමුවට මුදල් වෙන්කිරීම

මෙවර අයවැයෙන් මීගමුව කලපුව ඇතුළු රටේ තවත් කලපු 10යක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ. ඊට අමතරව මීගමුව සහ මාරවිල මුහුදු වෙරළ සංචාරක පුරවරයන් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම සදහා තවත් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ. අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර, එනම් 24/10/17 දින, ශ්‍රී ලංකා රජයේ නිල වෙබ්අඩවිය දැක්වුයේ මීගමුව කලපුව සංවර්ධනය කිරීමට වරාය නගර (port city project) සංවර්ධන ව්‍යාපෘතිය විසින්ද රුපියල් මිලියන 50ක් වෙන්කර ඇතිබවය.  එම නිවේදනයේ තවදුරටත් දැක්වුයේ මීගමුව කළපුව විශාල පාරිසරික දුෂණයකට ලක් වී තිබීම තුල පරිසරයටත්, ධීවර කර්මාන්තයටත් බලපෑ ඇතිබවය. එම නිවේදනය මෙසේය: 

"මීගමුව කළපුව දැනට විශාල පාරිසරික දුෂණයකට ලක් වී තිබේ. එයට හේතු කිහිපයකි. 

1. අවට කරවල වියලීමේ කර්මාන්තයේ දෙදෙන පිරිස් විසින් කරවලට යොදන ලුණු ටොන් සිය ගණනක් දිනපතා කළපුවට මුදා හරිති. එමගින් කළපුවේ ජලයේ සමබරතාව ගිලිහී යාම නිසා ජලජ ජීවින් හා පැළෑටි වර්ධනයට එය ඉමහත් බාධාවකි. 

2. එමෙන්ම ඉවත ලද මත්ස්‍ය අපද්‍රව්‍ය කලපුවට බැහැර කිරීම හා මීගමුව කලපුව අවට මලාපවහනය කාණු 11ක් ඔස්සේ මීගමුව කළපුවට බැහැර කිරීම ද සිදුවේ. 

3. ඒ හැර අත්හැර දමා තිබෙන බෝට්ටු විශාල ප්‍රමාණයක්ද කළපුව අවට දක්නට ලැබේ. මෙම කටයුතු තුළින් මීගමුව කළපුව විශාල පාරිසරික දුෂණයකට ලක්වීමත්, එමනිසා ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනයට එය මහත් බාධාවක්ව ඇති බවත් නිලධාරිහු පෙන්වා දුන්හ. මේ නිසා මීගමුව කළපුව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 50ක මුදලක් වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා තිබේ."

වරාය නගර ව්‍යාපෘතියට මීගමුව අවට මුහුදෙන් වැලිගැනීම නිසා ධීවරයන්ගේ ජීවනෝපායන්ට හානි පැමිණෙන බැවින් මීගමුව සහ ඒ අවට ධීවරයෝ දැවැන්ත විරෝධතාවයක නිරතවිය. ඒ සම්බන්ධයෙන් එල්ලවූ විරෝධතාවය අවසානයේ වරාය නගර ව්‍යාපෘතිය ඉවත්කිරීම කෙසේවෙතත් මීගමුව කලපුවේ අපද්‍රව්‍ය ඉවත්කිරීමේ එකගතාවයකින් විරෝධතා කෙලවරවී ඇති බවක් පෙනේ. යහපාලන රජය සමයේ දියත්වෙන බොහෝ විරෝධතාවයන් අවසානවී ඇත්තේ අදාල ව්‍යාපෘතිය නවතා දමනු වෙනුවට ව්‍යාපෘතිය රැකෙන නමුත් විරෝධතාවයන් එකගතාවකින් කෙලවරවීමෙනි. ඒගැන මම මීට පෙර ලියා ඇත (සාමාන්‍යකරණ කල සමාජයක ආන්තික සටන් හෙවත් මීගමු ධීවරයන්ගේ වරාය නගරයට එරෙහි සටන). සයිටම් සටන සම්බන්දයෙන්ද එවැනි ලක්ෂණ දැකිය හැකිවුවද ඒගැන කීමට තවම කල්වැඩිය. එහෙත් මීගමුවෙන් නැගුන වරාය නගර විරෝධයේ නම්  තත්වය එසේ බවකීමට ඇති ඉඩ වැඩිය. 

එක් අතකින් කටුනායකදී රොෂාන් චානක සහ හලාවතදී ඇන්ටනී ප්‍රනාන්දු යන පුද්ගලයන්ට පසුගිය 'රාජපක්ෂ අය්යලා-මල්ලිලාගේ රජය' විසින් එල්ල කල වෙඩිපහරින් සහ මේලේච්ච මර්ධනයෙන් අත්කරදුන් "සමාදානයේ සැතපීම" (එම දෙදෙනාම කිතුනුවන් බැවින් මම ඒ පදය යොදමි) වෙනුවට මීගමුව ධීවරයන්ගේ විරෝධය මෙවැනි  එකගතාවයකින් හෝ අවසන්වීම යම් ප්‍රමාණයක සැනසීමකි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ රජය සමයේදී, එනම් 2014 අයවැයෙන්, මීගමුව කලපුව සංවර්ධනය කිරීමට ලබාදුන් මිලියන 1500යක මුදල මීගමුව හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, ගම්පහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය ධීවර ඇමතිවරයෙකු වූ, සරත් ගුණරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයටත්, සිය අවශ්‍යතාවයන්වලටත් වියදම් නොකර මීගමුව කලපුව  සංවර්ධනය කිරීමට යෙදවුයේ නම් අද මීගමුව ධීවරයන්ට වරාය නගර ව්‍යාපෘතියෙන් මුදල් ලබාගෙන මීගමුව කලපුව සංවර්ධනය කිරීමට අළුත් උවමනාවක් කිසිසේත්ම අවශ්‍ය නොවනු ඇත (සරත් ගුණරත්න මහතා සහ මීගමුව කලපුව සංවර්ධනය කිරීමට දුන් මුදල්වලට සිදුවූ දේ ගැන මෙතනින් කියවිය හැක).

කෙසේවුවද. මීගමුව කලපුව මෙන්ම මීගමුව වෙරළ තීරයද පැහැදිවම සංවර්ධනය කල යුතුය. මීගමුව ලංකාවේ 04වෙනි ප්‍රධානම නගරයවුවද, ලංකාවේ වඩාත් ප්‍රකටම සංචාරක පුරයන්ගෙන් එකක්වුවද මීගමුව කලපුව හෝ මීගමුව වෙරළ තීරය  ඊට කිසිසේත්ම ඔබින ලෙස සංවර්ධනය වී නොමැත. එක් අතකින් මීගමුව කලපුව යනු 'මීගමුවේ ජීවනාලිය'ය (Negombo's life). ඒ මන්දැයි ('ඊලග මහා ගංවතුරෙනුත් මීගමුව බේරේයිද?' )  යන ලිපිය කියවා බලන්න. 

අනෙක් අතින්, මීගමුවේ වෙරළ යනු 'මීගමුවේ ආඩම්බරය'ය (Negombo's pride) - ඒගැන අමුතුවෙන් දැන ගැනීමට අවශ්‍ය නම් ('අනූවිය සපුරන එලිසබෙත් රැජිනගේ මීගමූ සංචාරය සහ මීගමු වෙරළ පිළිබද ගැටළුව') යන ලිපිය ඔස්සේ කියවිය හැක.

රාජ-රාජ මහා මන්ත්‍රීන්, දෙස් විදෙස් සුපතල ප්‍රභූන්, ජනකාන්ත නළු-නිලියන්, ලොව සුපතල ගායක-ගායිකාවන්, සංගීතඥයින් සහ මහා ප්‍රාඥයින්ගේ සංචාරක සටහන් අතර ලියවුණු මීගමුව වෙරළ අද නිමල් ලාන්සා ඇතුළු මීගමුවේ දේශපාලකයින්ගේ  අනුහසින් කරවල මුදලාලිලා කිහිපදෙනෙකු බදුගෙන,  මුළුමහත් වෙරළ තීරයම විනාශකර ඇත. එහෙත් එය කලකට පෙර දෙස්විදෙස් සංචාරක සගරාවල පිටුගණන් ඡයාරූප,  සංචාරක සටහන්වල සහ සංචාරක ප්‍රවර්ධන දැන්වීම්වල පළවූ වෙරළ තීරයකි.

පසුගිය නොවැම්බර් පළමුවෙනිදා (01/11/17) Island පුවත්පතේ පළවූ ලිපියකින් කියවුනේ ලෝකප්‍රකට විද්‍යාඥානයෙක්වන, නොබෙල් ත්‍යාගලාභී, ඇල්බර්ට් අයින්ස්ටයින් (Albert Einstein) මහා විද්වතාණන් සහ එම මැතිනියද යටකී මීගමුව වෙරළේ සුන්දරත්වය විදීමට  1923 ජනවාරි 19 දා මීගමුවට  පැමිණ ඇති බවය.

ජපානයේ පැවති විද්වත් සමුළුවකට නැවෙන් ගමන් කල ඔහු ජපානය බලායන අතරතුර කොළඹටත්, පසුව සමුළුව අවසාන වී නැවෙන් ආපසු යමින් සිටියදී නැවත කොළඹට පැමිණ ඇති අතර එතැන් සිට මීගමුවට දුම්රියෙන් ගොස් තිබේ. ඒ 1909 දී මීගමුව දුම්රිය මාර්ගය ඉදිකර වසර 14කට පසුවය. (ඒ ගැන මීගමුවට ප්‍රථමවරට දුම්රිය පැමිණි දා) යන ලිපිය ඔස්සේ කියවිය හැක. මීගමුව දුම්රිය ස්ථානයට පැමිණි මෙම දෙපල එතැන් සිට රික්ෂෝ රථයකින් මීගමුව නගරයේ සිරි නරබා ඇත. ඒම යුගයේ මීගමුව නගරයේ රික්ෂෝ රථ ධාවනය සිදුවී ඇති අතර. රික්ෂෝකරුවන්ගේ සහ මීගමුවේ කරත්ත කරුවන්ගේ වැඩවර්ජනයක් ගැනද, පැරණි ලංකා සම සමාජ පක්ෂය ඔවුන් සමග සමීපව කටයුතු කල අයුරැ ගැනද තොරතුරු තිබේ. 

කෙසේවුවද,  අයින්ස්ටයින් මහතාව හෝ එම මැතිනියව මීගමුවේදී හෝ ඔහු  කොළඹ නගරයේ සැරිසරනවිටදී හෝ අදුනාගත් බවක් නොපෙනේ. ඒ වෙනුවට මීගමුවේදී රික්ෂෝ රථයෙන් ගමන් කරන මේ අමුත්තන් කවුදැයි විමතියෙන් විමසන අයුරු ගැන ඔහු සිය දින සටහනේ සටහන් කර ඇත. මීගමුව මහවීදියේ රික්ෂෝ රථයෙන් ගමන් කරමින් සිටින විට ගෙවල් අතරින් උසට වැවුන පොල් ගස් තිබු බව සදහන් කරයි. අද මෙන්  විශාල ගොඩනැගීලි ප්‍රමාණයක් නොතිබි එකල ගොඩනැඟිලි අතරින් පතර පොල් ගස් විශාල ප්‍රමාණයක් තිබීම මවනුයේ අලංකාර චිත්‍රයකි.  

අනතුරුව, මීගමුව වෙරල දෙසට පිවිසි ඇති රික්ෂෝකරුවන් අයින්ස්ටයින්ව මීගමුව වෙරළට ගෙනගොස් තිබේ. මෙම වෙරළ තීරය වෙන කිසි පෙදෙසක් නොව අද කරෝල මුදලාලීලා විනාශ කර ඇති මීගමුව කොටුව පිටිය අසල ඇති මීගමුව නව තානායම පිහිටි වෙරළ තීරයය. එහිදී ඔහු මීගමුව ධීවරයන් අතර එකල ජනප්‍රියවූ අඩනිරුවත් කැහැපොට සරම ගැන සටහන් කර ඇත්තේ නිරුවත්ව සිටීමක් ලෙසය. එහෙත් ධීවර දරුවන් නම් නිරුවතින් සිටී බව පැහැදිලිය. රුවල් ඔරු ගමන්කරන වේගය ගැනද. මාළු බේරන ධීවර කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් ගැනද අයින්ස්ටයින් සටහන් අතර වේ. එමෙන්ම වෙරළ අද්දර කලපුවේ සිට පැමිණෙමින් සිටි විශාල කිබුලෙකුට ධීවරයන්ගේ දරුවන් විසින් ගල්ගසා එලවා දැමු බවද  දක්වා තිබේ. කලකට පෙර මීගමුව කලපුවේ සිටි කරදිය කිබුලන් දඩයම් කිරීම ගැන මා සතුව ඇති විස්තර මම පසුව සටහන් කරමි.  අනතුරුව මීගමුව නව තානායමට ගොස් දිවා ආහාරය ගත් අයින්ස්ටයින් යුවල පසුව නැවතත් මීගමුවේ සිට කොළඹට යෑම සදහා මීගමුව දුම්රිය ස්ථානයට පැමිණ තිබේ. එහිදී ඔහුට මුණගැසුණු ලංදේසි සහ සිංහල මිශ්‍ර සුන්දර යුවතියක් ගැන සිය දින පොතේ සටහන් කරන අයින්ස්ටයින් දක්වනුයේ ඒ ඔහු  දුටු සුන්දරම කාන්තාව ඇය බවය. තමන් සමග දවස ගෙවූ රික්ෂෝකරුවන්ට රුපියල් 05ක් දුන් බවද, මීගමුවෙන් කෙසෙල් මිලදී ගත්බවද සදහන්ය.

මේ කරුණු The Island (01/11/17) පුවත්පතට එම ලිපිය සම්පාදනය කල ප්‍රකට ලාංකික  විද්‍යාඥානයෙක්වන  Kirthi Tennakone මහතාගේ සටහන්වල තිබුනේ පහත සදහන් ආකාරයටය: 

"Einstein and Elsa got into a tramcar, proceeded to the Fort Railway station and took a train to Negombo. Stepping down from the train at Negombo, the couple hired two rickshaws, one of the drivers probably knew some German as he had worked as a mahout in Hagenbeck’s circus in Hamburg. Hagenbeck was a German zoo-keeper who lived in Sri Lanka for a long time. Einstein says, along the Negombo Main Street houses stood separated amidst coconut palms. When they were strolling, passersby inquisitively looked at them, a gesture not different, if a Sinhalese couple were to walk in the streets of Berlin. The rickshaw men took, Einstein and Elsa to the Negombo Fishing Port. Here Einstein had been curious to observe the speed with which trawlers sail, despite crudeness and saw how a flock of greedy crows following a boat approaching the shore. They have also seen a gigantic crocodile in a marshland, near a stream. Einstein says it spanned about 30-feet, when villagers threw stones, the animal quietly retracted to the stream. After lunch at the Negombo Guest House, Einstein and Elsa were driven to the Negombo Railway Station. Einstein gave five rupees each to the rickshaw men and they were so delighted the fellow who was in Hamburg, returned to the station in a while and presented a gift of bananas to Einstein. While waiting on the platform, Einstein says he met a young Sinhalese lady with her sister and mother and learnt that her grandfather was Dutch. Einstein says they were village aristocrats, and that she was one of prettiest women he had ever seen.'' 

මේ සම්බන්දයෙන් තවත් විස්තරයක් මම Josef Eisinger (2011) ලියූ Einstein on the Road කෘතියේ කියවීය.  එය පහතින් දැක්වේ:




ඇල්බට් අයින්ස්ටයින්ගේ පමණක් නොව මීගමු ගැන ලියවී ඇති පැරණි විස්තර කියවීමේ දී පෙනීයන කරුණක්වනුවේ මීගමුව යනු කෙතරම් වාසනාවන්ත නගරයක්ද, එයට කෙතරම් නම් හොදින් විරාජමානව නැගී සිටිය හැකිව තිබු නගරයක්ද? යන්නය. එහෙත් නිදහසින් පසු ගෙවීගිය 70 වසරක කාලය තුල එයට අත්වූ ඉරණම කියාපානුයේ රටටම අත්වූ ඉරණමේ එකම ආනිසංසය නොවේද? අපි අපේ නගරය හදා රටට හදමුද?

මාකස් ප්‍රියන්ත පෙරේරා
12/11/2017.

Sunday, 22 October 2017

මීගමුව මහනගර සභා මැතිවරණයට නව නගර සංවර්ධන සැලැස්මක් !!

මුළු මීගමුව නගරයම නැවතත් ශ්‍රී ලංකාවේ සුන්දරම නගරවලින් එකක් බවට පත්කිරීමට මීගමු වැසියන්ට අවස්ථාවක් ලබන වසරේ පැවැත්වෙන  මහනගර සභා මැතිවරණයත් සමග එළබෙන බව පෙනීයයි. ඒ සදහා අවශ්‍ය පෙලගැස්ම දැන් ගොඩනැගෙමින් තිබේ. මෙයට කලින් පැවති සියලු මහනගර සභා මැතිවරණවලට වඩා ඒ අනුව එළබෙන මහනගර සභා මැතිවරණය මීගමුවට සුවිශේෂිවනු ඇත. ඒ මන්දයත් මීගමුව ඉතිහාසයේ පළමුවරට මීගමුව මහ නගර සභාවට තරග කිරීමට අපේක්ෂා කරන පක්ෂ සහ කණ්ඩායම්  කිහිපයක්ම මීගමුව නගරය සුන්දර සහ ආකර්ශනීයම ස්ථානයක් බවට පත්කරන්නේ කෙසේද යන්න සම්බන්දයෙන් විවිධ සැලසුම් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබීමය.  

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන සංවිධායකයා වන පළාත්සභා මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයෙන් මෙන්ම මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අභියෝග කරන තවත් පාර්ශවක්ද  ඒක සමාන උනන්දුවක් දක්වන බව පෙනේ. 

එහෙත් අභියෝගාත්ම සහ වඩාත් ආකර්ශනීයම නගර සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරතැයි සැලකෙනුයේ මීගමුව  මහ නගර සභාවට බැසිල් රාජපක්ෂගේ 'පොහොට්ටුවෙන්' තරගකිරීමට අපේක්ෂාකරන කණ්ඩායමෙනි. 

මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් අතර මේ සදහා එතරම් පැහැදිලි පෙළගැස්මක් දක්නට නැති නමුත් නිමල් ලාන්සාගේ සහ දයාන් ලාන්සාගේ අනුග්‍රහය හිමිවීම හෝ නොවීම මත මීගමුව නගර සංවර්ධන සම්බන්දයෙන් යම් සැලැස්මක් එම පාර්ශවයෙන්ද ඉදිරිපත්වෙනු ඇති බව පෙනේ. 

මෙයට අමතරව තවත් පාර්ශවයක් ද මීගමුව මහ නගරසභා මැතිවරණයට කිසියම් සැලැස්මක් සමග ඉදිරිපත්වීමේ ඉඩ කඩක්ද පවතී.

මෙම සියලු පාර්ශව ඉදිරිපත් කරන නගර සංවර්ධන සැලැස්මේ කුමන අඩුපාඩු සහ වෙනස්කම් පැවතියද ඔවුන් පොදුවේ අවධානය යොමුකරන ප්‍රධාන කරණා කිහිපයක් පවතින බව පෙනේ.  ඒ  අතර 

1. මීගමුව ලන්දේසි කොටුව, කොටුව පිට්ටනිය අවට වෙරළ කලාපය සහ මීගමුව නව තානායම සහ ඒ අවට ප්‍රදේශය සංචාරකයන්ගේ අවධානය දිනාගත හැකි. මීගමුව නගර වැසියන්ට සහ මීගමුව නගරයට පැමිණෙන ජනයාට මුහුදු වෙරළේ සිරි නැරබිය හැකි. නිස්කලංකව කාලය ගතකල හැකි ස්ථානයක් බවට පත්කිරීම. 

2. මීගමුව නගරය ක්‍රමවත්, මනා රථවාහන සැලැස්මක් සහිත, වාහන නවතා තැබිය හැකි පහසුකම සහිත, කැනි කසල සහ මදුරු උවදුරෙන්  තොර අලංකාර නගරයක් බවට පත්කිරීම. 

3.මීගමුවට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනයක්, සිනමා ශාලාවක්, රංගශාලාවක් සහ කෞතුකාගාරයක් ඉදිකිරීම. 

ආදිය වේ. 

මේ සම්බන්දයෙන් මා සමග අදහස් හුවාමරු කරගත් මීගමුවේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකුටම මා පෙන්වාදුන් තවත් කරුණු දෙකක්ද මම මෙහිදී සටහන් කරමි. 

 1. නිමල් ලාන්සා මීගමුවේ නගරාධිපතිවරයා ලෙස සිටි සමයේ නීතී විරෝධී ලෙස සිය හිතවත් ව්‍යාපරිකයන්ට කඩ කරගෙන යෑමට බෙදා දුන් මීගමුව ග්‍රීන් පාක් පිටිය නැවත පවරාගෙන, එය මහජනයාට නිදහසේ ගැවසිය හැකි, නත්තල් සමයේ නගර විශාල නත්තල් ගසක් හෝ වෙසක් සමයේ  අලංකාර වෙසක් කූඩුවලින් සැරසිය හැකි, විවිධ මැජික් කරුවන්ට, මාවතේ අපි වැනි වීදි ප්‍රසංග කරවන්ට සිය දක්ෂතා දැක්විය හැකි, පිරිසිදු, නිදහස්, සුරවම්, ස්මාරක හෝ ප්‍රතිමා නැති, ගස් කිහිපයක් සහ බැංකු කිහිපයක් පමනක් ඇති නිදහස් පෙදෙසක් (open space) බවට පත්කිරීම.  

2. මීගමුව දුම්රිය පොළ ඉදිරිපිට, නගරය හරහා ගලයන හැමිල්ටන් ඇළ අවට, කලපු ජලතීරය සහ මුහුදුවෙරලේ ස්ථාන කිහිපයක  සහ වෙනත් ඉඩ ඇති සෑම තැනකම මනාලෙස පිරිසිදුකර  මහජනයාට වාඩිවී සිටිය හැකි ලෙස බංකු ඉදිකිරීම. 

මෙම යෝජනා දේශපාලන යෝජනා නොවන අතර එය  හුදෙක් නගරය ජනයාට ප්‍රියමනාප නගරයක් කිරීමේ උවමනාවෙන්ම ඉදිරිපත් කරන ලැබූවකි. විශේෂයෙන් කලපුව, වෙරළ සහ හැමිල්ටන් ඇළ ආදීවූ මීගමුවේ ජල තීරුව (waterfront) මීගමුව නගරයට සුවිශේෂී අලංකාරකත්වයක් එක් කර දීමට සමත්වෙන නමුත් එහිලා අවශ්‍ය කරන කිසිදු ක්‍රියාකාරකමක් මීගමුව නගර සභාව මෙතක් කර නොතිබීම පිලිබදව අපි කණගාටු වෙමු. නගරයේ යම් යම් ස්ථානවල බංකු සවිකිරීම් වැනි කාර්යන් ක්‍රියාත්මක කිරීමට මීගමුව නගර සභාවට එතරම මුදලක් වැය නොවේ. එහෙත් මෙවැනි කරණා කෙතෙක් ක්‍රියාවට නැන්වෙදෝයි දැයි මම නොදනිමි. හුදෙක් ජාතික තලයේ දේශපාලන කථා කියමින් එළබෙන පළාත්පාලන මැතිවරණයට තරග කිරීම වෙනුවට මීගමුව නගර සංවර්ධනය සම්බන්දයෙන් නිශ්චිත වැඩ පිළිවලක් ඉදිරිපත් කිරීමට එළබෙන පලාත් පාලන මැතිවරණයේදී මීගමුව මහ නගර සභාවට තරගකරන යම් යම් පාර්ශවයන් දරණ මෙම උත්සාහයට අපි අපේ උපරිම සහය පල කිරීමට පුන පුනා බලා සිටිමු. 
මාකස් ප්‍රියන්ත පෙරේරා 
22/10/2017