This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 24 April 2015

D.F. කාරියකරවන නම් මීගමුවේ සිංහල වියතා


 මීගමුවේ භාෂාව ගැන වෙනම කථාකළ යුතුය. ඒතරමට එය සංකීරණය, පැටලලි සහගතය. ඒ මීගමුවේ ජන වහරට සිංහල, දෙමළ, අරාබි, මැලේ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ලතින්, ඉතාලි, ග්‍රීක, සහ කොන්කානි (ගෝවේ භාෂාව) ආදී භාෂාවලින් විවිධ කැලී එකතුවී ඇති බැවිනි.


මීගමුවේ සිංහල පමණක් නොව දෙමළ ද එසේමය. මීගමු දෙමළ  යනුවෙන් වෙනම උපභාෂාවක් ද (Negombo Tamil dialect) දෙමළ භාෂාව තුලවේ. වරක් සාම සාකච්ඡාවලට සහභාගීවූ ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ට මීගමුවේ දෙමලෙන් පොඩ්ඩක් කථා කරන්ඩ යැයි LTTE නියෝජිත ඇන්ටන් බාලසිංහම් මහත් උනන්දුවෙන් ඉල්ලාසිටි බව පුවත්පත් වල ලියවී තිබුනි. අද සිංහල ගීත වලටද මීගමුවේ මේ අපූරු ජනවහර ගෙනගොස් ඇති බව චින්තිගේ සිංදුවක එන 'කඩප්පුලි' යන වචනය මතක්කරදේ. 

එහෙත් සිංහල භාෂාවේ අරුත-නිරුත, ව්‍යාකරණ, පද-විවරණ කියා දුන් විශිෂ්ඨ සිංහල වියතෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ D.F. කාරියකරවන මහතාද බිහිවුයේ මෙවැනි අවුල් සහගත භාෂාවක් ඇති මීගමු පුරවරයෙන්මය. 1922 පෙබරවාරි 08 දා මීගමුව කුරණ ග්‍රාමයේ උපත්ලබා ඉකුත් අප්‍රියල් 21 (2015) දින මියයන විට ඔහු වසර 93 දිවිගෙවා තිබුණි. මුලින්ම පුහුණු ගුරුවරයෙකු ලෙස කටයුතුකල ඔහු සිය ජිවිතයේ විශාලතම සේවය කලේ මාධ්‍යවේදියෙකු ලෙසය. 1947 ඇරබු ලංකාදීපයේ මුල්ම කතෘමණ්ඩල සාමාජිකයෙක් වූ ඔහු පසුව 1951 දී ලේක්හවුස් ආයතනයට බැදී ඇත. 1989 දී ලංකාවේ මුලික පුවත්පත වන  සිළුමිණ පුවත්පතේ කතුවරයා ලෙස විශ්‍රාම ගියද, මැරෙන තුරුම දොස්-නොදොස්, අරුත-නිරුත යනුවෙන් සිළුමිණ පත්තරේ තීරු ලිපියක් ලිවීය. එම ලිපිවලින් සිංහල රචනයේ ඇති ව්‍යාකරණය පිලිබදව නිතර ගුණ-දොස් ලිවීය. 

මීගමුවේ පමනක් නොව රටේ බොහෝ දෙනෙකුට වඩා ඔහුට  සිංහල භාෂාව පිළිබද විශිෂ්ඨ දැනුමක් ලැබීමට හේතුවුයේ මුනිදාස කුමාරතුංග සහ හෙළ හවුලේ ඇසුරය. හෙළ හවුලේ මීගමුවේ ප්‍රධාන සංවිධායකයා ලෙස කටයුතු කර ඇති ව.ස. ප්‍රනාන්දු මහතා D.F. කාරියකරවන මහාතාගේ ගුරුවරයෙකු ලෙසද සැලකේ. මුනිදාස කුමාරතුංග බිහිලක සිංහල භාෂා ප්‍රේමීන් බණ්ඩාරනායකගේ 'සිංහල භාෂා පෙරමුණ' වටා රොක්ව, 'මහජන එක්සත් පෙරමුණ' බිහිකර, ඒ යටතේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර සිංහල ජාතික ව්‍යාපාරයට පණපොවන විට ව.ස. ප්‍රනාන්දුලා, D.F. කාරියකරවනලා, සිය ආගම කතෝලික ආගම වූවද, සිංහල ජාතික ව්‍යාපාරයට උරදෙන ලදී. පසුව මහජන එක්සත් පෙරමුණ පිලිප් ගුණවර්ධන යටතට පත්වනවිට ව.ස. ප්‍රනාන්දු එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 


කෙසේවුවද මුනිදාස කුමාරතුංගගේ අඩිපාරේ ගිය මීගමුවේ හෙළ හවුලේ සාමාජිකයන් සිය කටයුතු සදහා මීගමුවේ අඩිතාලම දමාගෙන ඇත්තේ මීගමුවේ නම පිළිබද විවාදයක් අරබමිනි. එනම් මීගමුවේ නම 'මීගමුව' යන්න වැරදි බවත් එය 'මීගොමුව' විය යුතුබවත් ඔවුන් තර්ක කර ඇත. එය 1940 නිකුත්කර ඇති මුනිදාස කුමාරතුංග ගේ “සුබස” සඟරාවකින්ම දක්වා තිබේ. මුනිදාස කුමාරතුංග ගේ “සුබස” සඟරාවට අනුව මීගමුව, මීගොමුව විය යුතුයැයි යෝජනා කරනුයේ කෝකිල සංදේශයේ 176 කවි පංතියකට අනුවය. එනම්

"නෑර මුවේ කියන පියලිය රසකොට 

ගීල මුවේ පුරමින් සවන කැරුතුට 

චාගමුවේ ගත් ගොදුරට ලොබනොකොට 

මීගොමුවේ ගෙමුවෝ සිටිති හැම විට" 

එහෙත් මීගමුවට මීගමුව ම කියන තවත් පැරණි කවියක් තිබෙන බව මුනිදාස කුමාරතුංග හෝ හෙළ හවුල නොසලකා හරින ලදී, ජන කවියක් වන එම කවි පන්තිය මෙසේය 

“දුන්න දුනු ගමුවේ 

ඊතල කිතල ගමුවේ 

රාළ මීගමුවේ 

මුවෙක් 

හැඬුවයි සබරගමුවේ”

 මීගමුවට මීගොමුව යැයි කී සිංහල භාෂා ප්‍රේමීන් පසුව මීගොමුව නම හැදුනේ විහාරමහා දේවියගේ දොළ දොලදුක සංසිදවීමට මීවදය සොයාගත් තැන නිසායයි අර්ථකථනය කළහ. තවද දුටුගැමුණු රජගේ කඩොල් ඇතා සොයාගත්තේ මීගමුවෙන් යයිද අර්ථකථනය කළහ. එමගින් දුටුගැමුණු  රජ කේන්ද්‍ර කරගත් මහා සිංහල ජාතික ඉතිහාසයට, යුරෝපීන් පැමිණීමට පෙර එතරම් වැදගත් කමක් නොගත්, හුදු ධීවර ගම්මානයක් වූ මීගමුවද සම්බන්ද කරන ලදී. ඉහත කථා  'ථුපවංශය' යේ එන විහාරමහා දේවියගේ කථාවේ 'ගොළුමුහුද' යන්න වැරදිලෙස අර්ථනිරූපණය කිරීම් තුල නිර්මාණය කරගත් ඒවා වන අතර එවැනි කථා ප්‍රචලිත කරන්නට වෙහෙසුණු තැනැත්තා මීගොමුවේ ව.ස. පනඳු නම් වූ සන්ති ගුරුන්නාන්සේ (ව.ස. ප්‍රනාන්දු) යැයි D.F. කාරියකරවන 2014/07/01 ඉරිදා සිළුමිණ පුවත්පතට ලියා ඇත (http://www.silumina.lk/2014/06/01/_art.asp?fn=cr1406016&p=1). 

 මෙවැනි කථා ඊළගට රටතුල තහවුරු කිරීමට මහත් වෙහෙසක් ගත් තැනැත්තා  D.F. කාරියකරවනය, ඔහු 'කුරණ කාරියකරවන' සහ 'මීගොමු කුමරා' ලෙස ආරූඩ නාම (pseudonym) වලින් පෙනීසිටිමින් මුනිදාස කුමාරතුංගගේත්, හෙළ හවුලේත්,  ව.ස. ප්‍රනාන්දුගේත් ඉහතින් දැක්වූ අදහස් සිය මාධ්‍ය ජීවිතය පුරාම තහවුරු කිරීමට කටයුතු කරන ලදී. 

තමා උපන්, හැදී වැඩුණු, මීගමුවේ ප්‍රාදේශීය වෙනස්කම් කුමක්වුවත්, ශ්‍රී ලංකවේ ඒකීය රාජ්‍ය මොඩලයට ගැලපෙන බහුතර සිංහල බෞද්ධ ජනයාගේ ජාතික අනන්‍යතාවය සෑම අස්සක් මුල්ලක් නෑරම ගොඩනගා ගැනීමෙහිලා සිංහල භාෂා ප්‍රේමීන් ලෙස D.F. කාරියකරවන මහතා විශාල සේවයක් කරනු ලැබුවේ යැයි දැක්වීම තුල ඒ මහතාට සාධරණ්යක් ඉෂ්ඨ වෙනුඇත.  

මාකස් ප්‍රියන්ත පෙරේරා 
(24/04/2015).

7 comments:

  1. කවදත් වගේ බොහෝම වැදගත් ළිපියක්.. ස්තූතියි..

    ReplyDelete
  2. මෙතුමා අතිවිශිෂ්ටයෙක්. ඇත්තටම රටටම හිටිය ජ්‍යේෂ්ටතම විශිෂ්ටයන් ලෙස මෙතුමා ,අමරදේව ,ගුණදාස අමරසේකර , ලෙසටර් ජේමිස් පීරිස්, ආතර් සී ක්ලාක්,ජෙෆ්‍රි බාවා යන අය දැක්විය හැකියි. ඔවුන් තම ක්ශේත්‍රවල පරතෙරටම ගිය ජාතියේ මගපෙන්වන්නන්

    කනගාටුවෙන්න නම් දෙයක් නෑ. මොකද අවුරුදු 93 ක්ම ආයුෂ වැළදූ නිසාත් ඔහුගේ චාරිකාව ජයශ්‍රීයෙන් නිමා කළ නිසාත්.

    ReplyDelete
    Replies
    1. කාරියකරවන නම දැකලයි ආවෙ. පස්සෙන් පස්සට ගිහින් ඔක්කොම ලිපි බැලුවා. හැම එකක්ම හරිම ශාස්ත්‍රීයයි. ඔබේ ආගමනය සතුටක්. ශාස්ත්‍රීය සහ විවිධ විශයන් ගැන ලියන බ්ලොගර්ස්ල තමා අපට අඩු. එන්න අපි හොද ගමනක් යමු.

      Delete
    2. බොහොම ස්තූතියි..මම මේ වැඩේට තාම අලුත් ඔයගොල්ලන්ගේ සහයෝගය හරිම වටිනවා !!!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අනිවාර්යේන්ම !!!

      Delete