This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 31 May 2015

හිටපු සෞඛ්‍ය ඇමැති, දැන් ජනාධිපති, මෛත‍්‍රීපාල සිරිසේන නොසලකා හැරී මීගමුව මහ රෝහල සිය සත් මහල් ගොඩනැගිල්ලෙන් ඉවත්වේ.

.


පසුගිය වසර 15ක කාලය තුල මීගමුවේ ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි 03ක් ඉදිවිය. ඒ මීගමුව මහ රෝහලේ මහල් හතක ගොඩනැගිල්ල, මීගමුව නව බස් නැවතුම්පොළ හෙවත් නව බස් පර්යන්තය සහ මීගමුව නව අධිකරණ සංකීරණය ය. 

 මින් පළමුවැන්න වූ මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල 2000 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් දියත්කල ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක මුලික රෝහල් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යට‍තේ ඉදිවූවකි. එම ව්‍යාපෘතිය යට‍තේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 02කට මහල් ගොඩනැගිලි  ලැබුන අතර ඉන් එකක් ගම්පහත් අනික මීගමුවෙත් ඉදිකරන ලදී. ගම්පහ රෝහලේ ඉදිවූ ගොඩනැගිල්ල නිරුපද්‍රිතව තවමත් හොද සේවයක් සපයයි. එහෙත් මීගමුව රෝහලේ ඉදිවූ  සත් මහල් ගොඩනැගිල්ල ඊයේ සිට නිල වශයෙන් භාවිතයෙන් ඉවත්කර ඇත. ඒ මොරටුව විශ්වවිද්‍යාල මගින් එය කඩාවැටීමට ආසන්න යැයි නිලවශයෙන් තීරණය කල නිසාය. දැන් එහි සිටි 5,000කට අධික රෝගීන් සහ කාර්ය මණ්ඩලයත්, එහි ඇති දැඩි සත්කාරක ඒකකය සහ වෙනත් උපකරණත් ලහි ලහියේ ඉවත්කරමින් තිබේ. 

මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල මේ ආකාර ඉරණමකට ගොදුරුවුයේ හදිස්සියේ ඇතිවූ තත්වයක් නිසා නොවේ. එය ගොඩනැගු දා පටන්ම එහි වහලේ සිට දිය කාන්දුවක් තිබුණි. ක්‍රමයෙන් එය විශාලව කුඩා දියපහරක් ලෙස වර්ධනය වී වහලේ සිට දිගින් දිගටම ජලය ගලායන්නට විය. එම ජලකාන්දුව නිසා එහි බිත්තිවල දියසෙවල පවා බැදී, බිත්ති ඉරිතලමින් තිබුණි. එහෙත් විවිධ පැලැස්තර  යොදමින් දිගින් දිගටම මෙම රෝහල් ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගත්තා මිස එය අනාගත පරපුරටත් ප්‍රයෝජනයක් ගතහැකි ලෙස නිවැරදිව ප්‍රතිසංස්කරණ කිරීමට පසුගිය කිසිම රජයක් කටයුතු නොකරන ලදී. 

මීගමුවේ ප්‍රාදේශීය මාධ්‍ය සහ රටේ ප්‍රධාන මධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් නොයෙක් වර අවධානය යොමුකලද, මීගමු ජනතා සංවිධානයන් කෙතෙක් කරනු ඉදිරිපත් කලද, හිටපු සෞඛ්‍ය ඇමැති, දැන් ජනාධිපති, මෛත‍්‍රීපාල සිරිසේන මහතා හෝ අදාල සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ නිලධාරීන්වත් මේ ගැන කිසිවක් සිදු නොකරන ලදී. අඩුම තරමින් හිටපු සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල  සම්බන්දයෙන් එක කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත් කර නැතුවාට සැක නැත. ඔහු එසේ මේ ප්‍රශ්නය ගැන දැනුවත්ව, එක කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත්කර තිබුනේ නම් ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී, එනම් 01/01/2015 දින, මීගමුව 'ලේයිටං පාර්ක්' හී පැවැති ඔහුගේ රැලියේදී 'තමන් මහින්ද රාජපක්ෂ රජයට මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කිරීමට යෝජනාවක් ඉදිරිපත් කල නමුත් ඔහු එය අවඥාවෙන් බැහැර කල බව' කියනු ඒකාන්තය. ඒ වෙනුවට මීගමුව 'ලේයිටං පාර්ක්' හී ඔහුගේ රැලියේදී ඔහු කලේ, ජාතික වීරයන්ට වඩා විජාතික වීරයන් හොදින් අදුනන, මීගමුවේ ජනයා 'චූන්' කිරීමට ඇමෙරිකාවේ සිවිල් සහ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ගැන සටන්කල ක්‍රිස්තියානි පුජකයෙකු වූ මාටින් ලුතර් කිං ගැන කථා කිරීමය. ඔහු කරන්නේ ද මාර්ටින් ලුතර් කිං කල ඉතිහාසගත කාර්ය මෙන් කාර්යක් යැයි පසක් කරදීමට වෙර දැරීමය. 

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වරයාව සිටි මහින්ද රාජපක්ෂ රජයේ පසුගිය වසර දහයක කාලය තුල මීගමුව මහ රෝහලේ සිදුවූ විශාලම සංවර්ධනය නම් එතෙක් කුඩාවට පැවති මීගමුව රෝහලේ බුදුකුටිය කඩා රෝහල් භූමියේ පර්ච්ස් ගණනාවක පැතිරෙන ලෙස විශාල බුදුමැදුරක් ඉදිකිරීමය.  රෝහලේ  ගොඩනැගිලි වල වැහි වතුර බේරෙන, බිත්ති වල දියසෙවල බැදී, වැසිකිලි ඉතිරී, ඇදන් නොමැතිව බිම හා බංකුවල රෝගීන් වැතිරී සිටින, මැසි මදුරු උවදුර ඉයවහ ගිය තත්වයක් තුල පමණක් නොව, මීගමුව රෝහලට බෙහෙත් ගැනීමට පැමිනෙන ප්‍රදේශයේ බහුතරයක් වූ ක්‍රිස්තියානි ජනයාට දැඩි ආගමික පීඩනයක්ද එල්ල කරන තත්වයක් තුලය.  

දැන් මෙම රෝහල් ගොඩනැගිල්ලේ සිටි 5,000කට අධික රෝගීන් සහ කාර්ය මණ්ඩලය මීගමුව රෝහලේ වෙනත් ගොඩනැගිලිවලට මාරු කරමින් ඇති අතර දැනටමත් අධික රෝගීන් පිරිසක් සිරවී සිටින මීගමුව මහ රෝහල මෙම නිසා දැඩි අර්බුධයකට යන බව නැවත කිවයුතු නොවේ. අනෙක් අතට මෙම තත්වය මීගමුව පුරා පිහිටුවා ඇති නවලෝක, ආසිරි, ආවේ මරියා, දිසානායක ආදී රෝගීන්ගේ සෑම ලේ බිංදුවක්ම, කදුළු පොදක්ම මුදල් ආකරයක් කරගත් පෞද්ගලික රෝහල්වලට නම් අතිමහත් සම්පතකි. 

වෙන්නප්පුව, මාරවිල, නාත්තන්ඩිය, දන්කොටුව වැනි පුත්තලම් දිස්ත්‍රික්කයේ පමණක් නොව, කුලියාපිටිය, ගිරිඋල්ල, මීගහකොටුව වැනි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලින් ද, දිවුලපිටිය, කටාන, මරදගහමුල, ජා ඇල වැනි ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලින් ද, කටුනායක නිදහස් වෙළද කලාපයෙන්ද, විදේශිකයන් ද ඇතුළුව  දිනකට 8,000 -15, 000 ක් අතර රෝගීන් පිරිසක් පැමිනෙන මීගමුව රෝහලේ දැන් උද්ගතවී ඇති තත්වය ගැන මෛත‍්‍රීපාල සිරිසේන රජය ඉතා ඉක්මනින්, වැඩි අවදානයකින් යුතුව, ඉතා ඉහල යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබේ. ඒ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේන් ඔහුට වැඩිම චන්ද ප්‍රමාණයක් හෙවත් වැඩි චන්ද 27, 000 ක් ලබාදෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජය ද ඔහුට හිමිකර දුන්නේ මීගමුවේ ප්‍රගතිශීලී ජනයා වන නිසාත්, මිගමුව රෝහලේ කඩා වැටීම ඔහු සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කල කාලයේදී ඔහුගේ සේවයට කළු පැල්ලමක් එකතු කරන නිසාත්ය.  

අනෙක් අතට මීගමුව රෝහලට මෙම ගොඩනැගිල්ල ලබාගැනීමට දැඩි උනන්දුවෙන් ක්‍රියා කල හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ගේ බිරිද මෙන්ම මීගමුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කල සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද අමාත්‍යවරියක්ව සිටින තත්වයක් තුලත්, ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත්ව මීගමුව ජනයාගේ චන්ද ලබාගැනීමට බලාපොරොත්තු වෙන නිමල් ලන්සා, සරත් ගුණරත්න, රොයිස් විජිත වැනි මහත්වරැන් ලහි ලහියේ කටයුතු කරමින් සිටින තත්වයක් තුලත්, මීගමු මහ නගරසහා මැතිවරණ ඉදිරියේදී පැවැත්වීමට ඇති තත්වය තුලත්, මීගමුව රෝහලේ මෙම ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් ලබදෙන්නට ඒ සියල්ලන් එකහෙලා කටයුතු කල යුතුව ඇති බව අවදානයට ලක් කල යුතුය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
31/05/2015. 

No comments:

Post a Comment