This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 17 August 2015

අපි මීගමුවට දෘෂ්ටිවාදය රැගෙන ආවෙමු !!!


ලුවී අල්තුස්ර් (Louis Althusser) ගේ ඉගැන්වීම්වලට අනුව දෘෂ්ටිවාදය (ideology) යනු 'පවත්නා තත්වය සමග බැදී සහසම්බන්ධිතයන් විවර කරමින් ඉදිරිපත් කරන දැක්මකි' (Ideology and Ideological State Apparatuses (Notes towards an Investigation (1970)). සිල්වියෝ විඒට්ටා (Silvio Vietta) ට අනුව දෘෂ්ටිවාදය යනු 'ජාතිකවාදය, ආගමික අධිකාරීත්ව සහ අධිපතිවාදී දේශපාලන ව්‍යාපෘතියන් විවර කරන, ආධිපත්‍යවාදයට එරෙහි අදහස් සමුදායන්ය' (A Theory of Global Civilization: Rationality and the Irrational as the Driving Forces of History (2013)). 

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජාතිය සහ රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලිය තුල මීගමුව වැනි ලංකාවේ බහුතර ජනයාගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන් නියෝජනය නොකරන ප්‍රදේශවල වෙසෙන ජනයා සහ ඔවුන්ගේ සංස්කෘතික අවශ්‍යතාවයන් නොසලකා හැරීමට හෝ යටපත් කිරීමට හෝ ලක්කර ඇතැයි අපි පසුගිය කාලය පුරා මතු කළෙමු.  

Facebook පිටුවල, බ්ලොග් සටහන්වල, වෙබ් අඩවිවල,  සගරාවල, පුවත්පත්වල, විවිධ පුද්ගලයන්ට සහ ආයතනවලට විවිධ අවස්ථාවල විවිධ කරනු ගැන අවධානය යොමුකරමින් ලියන ලද ලිපිවල ඉහත කරනු අපි දිගින් දිගටම අවධාරණය කළෙමු. 

දැන් එහි යම් ප්‍රතිපලයක් දැකිය හැකිය. මෙවර මහාමැතිවරණය වෙනුවෙන් (2015) මීගමුව ආසනය තුල මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන  ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂයන් දෙදෙනාම (නිමල් ලන්සා සහ රොයිස් ප්‍රනාන්දු) අපි මෙතෙක් කලක් දිගින් දිගටම මතුකල කරුණු සිය දේශපාල වේදිකාවන් හී සහ මැතිවරණ ප්‍රකාශනයන් හී මතුකරන ලදී.
රොයිස් ප්‍රනාන්දුගේ චන්ද ප්‍රකාශනය තුල

1. මීගමුව දිස්ත්‍රික්කයක් නොවුයේ ඇයි ?

2. ශ්‍රී ලංකාවට සංගීතයත්, චිත්‍රපට කලාවත්, නාඩගම් සම්ප්‍රදායත්, හදුන්වාදුන් මීගමු පුරවරයට මොකද උනේ ? 

3. මීගමු කලා ක්ෂේත්‍රයට අදාල සංස්කෘතික මධ්‍යස්ථානයක්වත්, කෞතුකාගාරයක් වත් නැත්තේ ඇයි ?

4. මීගමුවේ කරවල ව්‍යාපාරය නිසා මීගමු ධීවර ජනයා භේද බින්න කර ලෝකප්‍රකට සංචාරක පුරවරයක් වන මීගමුව ගදේ බැරිවෙන තත්වයට පත්කලේ ඇයි දැයි  මතුකරයි. 

5. තවද මීගමුවේ අදටත් හොදින් ක්‍රියාත්මක වන මිෂනාරී සේවාවන් විසින් ගොඩනගන ලද පාසැල් පද්ධතිය ක්‍රමයෙන් විනාශ වීමට ඉඩ ඇති අයුරු ද රොයිස් ප්‍රනාන්දුගේ චන්ද ප්‍රකාශනය තුල  මතුකර දක්වයි. 

මෙයට අමතරව මීගමුව ග්‍රීන් පාර්ක්, මීගමුව වෙරළ තීරය, රාජපක්ෂ උද්‍යානයට සහ වෙනත් පොදු දේපල විවිධ අයතා ක්‍රියා මගින් විනාශ කර ඇති ආකාරය මතුකර තිබීමද අගය කල යුත්තකි. 

නිමල් ලන්සා ද සිය මැතිවරණ  ව්‍යාපාරය සදහා නිකුත්කල මැතිවරණ ප්‍රකාශනයේ දී මීගමු කලා ක්ෂේත්‍රයට අදාල සංස්කෘතික මධ්‍යස්ථානයක්, කෞතුකාගාරයක්, අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය සහ මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ අවශ්‍යතාවය මතු කර තිබේ.


 එහෙත් නිමල් ලන්සා හෝ රොයිස් ප්‍රනාන්දුගේ මැතිවරණ ප්‍රකාශනයන් හී කිසිදු තැනක මීගමුව කොටුව නැවත ගොඩනැන්වීම පිළිබද කිසිදු අදහසක් ඉදිරිපත් කර නොතිබීම ගැන කණගාටු වියයුතුය. මීගමුවේ ඉදිරි දේශපාලන පෙළගැස්ම මීගමුව කොටුව කේන්ද්‍ර කරගනිමින් සිදුවන බව ඔවුන් අවධාරනයෙන්ම තේරුම්ගත යුත්තකි.  

මීගමුවේ ජනයාගේ ප්‍රශ්න සහ ලංකාවේ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න අතර ඇති අපුර්ව සමානකම් ගැන මීගමුවට මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් තරගකරන ෂාෆී රාහීම් මහතා සැසදීමට යම් උත්සහයක් කර තිබුන ද එහෙත් ඒගැන වැඩියමක් කීමට තරම් අවශ්‍ය තොරතුරු නොමැත. 

මීගමුවේ ජනයාගෙන් චන්දය ඉල්ලා පැමිණේන  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනියවත්, ෆ්ර්ලික්ස් පෙරේරා, කවින්ද ජයවර්ධන, ජෝෂොප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුන්ග හෝ වෙනත් කිසිවෙක් මීගමුවේ ජනයාගේ සුවිශේෂ ප්‍රශ්න පිලිබදව කිසිම අවදානයක් යොමුකරන බවක් නොපෙනුණි.  

ජනතා විමුක්ති පෙරමුණේන් මීගමුවට තරගකරන ගාමිණී ප්‍රනාන්දු සහෝදරයාට සිය පක්ෂය විසින් ඉගැන්වූ කරුණු කරනා කටපාඩමින් මීගමුවට අදාල කරමින් කියවනවා ඇරෙන්නට ඔහු ජාතික දේශපාලනයේ ගොඩනැංවීම් මීගමුව ඇසුරින්වත් අවබෝධකර ගත් බවක් නොපෙනේ. 

තත්ත්වය එසේවුවද, මෙවර මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට අද දක්වා කිසිදු විටක කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් අපි පෙනී නොසිටියෙමු. අඩුම තරමින්  පුද්ගලිකව Facebook post එකක්වත් share නොකෙරුවෙමි. ඒ මෙවර මැතිවරණයේදී කිසිදු දේශපානය පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් චරිත සහතික දිය නොහැකි බැවිනි. කිසිදු පක්ෂයක් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජාතිය සහ රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලිය පිළිබද විවේචනාත්මක දෘෂ්ටිකෝණයකින් රටේ ජාතික ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට උත්සහ නොකිරීම ද මෙයට එක් හේතුවකි. 

මෙම මැතිවරණයේදී ඉතිරිවී තිබු ඊලග විකල්පය වුයේ විවිධ පක්ෂවල වඩා යහපත්යැයි සිතිය හැකි පුද්ගලයන් වෙනුවෙන් චන්දය දීම පමණි. එහෙත් එය සාපේක්ෂය.  පුද්ගලානුබද්ධය. ඒ සම්බන්යෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටීමෙන් පලක් නොවේ. 

එහෙත් පසුගිය කාලය පුරාම මීගමුව ගැන ලියූ, කියූ දේවලින් යමක් සිදුවෙමින් ඇති බව නම් පැහැදිලිය. එහෙයින් තරමක් බර වැඩිවුවද 'අපි මීගමුවට දෘෂ්ටිවාදය රැගෙන ආවෙමු' යැයි කියන්නට පැකිලීමක් නැත !!!  


මාකස් ප්‍රියන්ත පෙරේරා. 
(17/08/2015).

4 comments:

  1. වටිනා බ්ලොගයක්... අදයි අාවේ... දිගට ම ලියන්න..... අපි ඒනවා බලන්න

    සින්ඩියටත් දා ගත්තා

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  2. රොයිස්ගෙ අදහස් ඉදිරිගාමීයි වගේ. ඔහුට අප හිතුවාට වඩා දැක්මක් තියනවා. සතුටුයි.

    ReplyDelete
    Replies
    1. තවම ඒහෙම කියන්න බැහැ. නමුත් මීගමුව ගැන, එහි ඉතිහාසගත ගොඩනැන්වීම්, ගැන අපි ලිවූ කරුණු ගැන නම් අවධානය යොමුකරපු බව පැහැදිලියි. ඉස්සරහට බල්ලමු !!

      Delete