This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 3 September 2015

Mystic Pizza සහ காக்கா முட்டை (Kaaka Muttai/කාක මුට්ටයි) Pizza


1988 දී තිරගතවූ Mystic Pizza නම් ඇමරිකානු චිත්‍රපටිය ද, මේ දිනවල දකුණු ඉන්දියාවේ පමණක් නොව ලොව පුරාම වෙසෙන දෙමල චිත්‍රපටි රසිකයන් අතර වඩාත්ම කථාවට ලක්ව ඇති காக்கா முட்டை (කාක මුට්ටයි) හෙවත් කාක බිත්තර නම් දෙමල චිත්‍රපටිය ද නව ගෝලීය ප්‍රාග්ධන සමුච්ච්න ක්‍රියාවලිය විසින් සංස්කෘතිකකරණය කල ආහාරයක් වන පීසා (Pizza) කෑම වටා දිවයන චිත්‍රපටි දෙකකි. 

දහනවන සියවසේ ඉතාලියේ නාපෝලි (Naples) පළාතේ ගැමියන් අතර ප්‍රචලිත සරල ආහාරයක් වූ පීසා (Pizza) දෙවන ලෝක යුද්ද සමයේ ඇමරිකාවට සංක්‍රමණය වූ ඉතාලි ජනයා විසින් ඇමරිකාවට හදුන්වා දෙන ලදී. ඉතාම කෙටිකලක් තුල ඇමරිකාවේ මිලියන 40 කට වඩා වැඩි පිරිසක් රසබැලූ ආහාරයක් ලෙස ජනප්‍රිය වන පීසා (Pizza) කෑම, අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත ගෝලීය ආහාරයක් වනුයේ 1958 දී ෆ්‍රෑන්ක් සහ ඩීන් කාර්නි (Frank and Dan Carney) සොහොයුරන් ඇමරිකාවේ 'විචිටා' විශ්ව විද්‍යාල භුමියේ(Wichita State University) අරම්භ කල 'Pizza Hut' අවන්හල් 1977 දී පෙප්සි කෝලා (PepsiCo) සමාගම මිලදී ගැනීමත්, ඩෝමිනෝස් (Domino's) සහ පපා ජෝන්ස් (Papa Johns)  නම් Pizza (පීසා) අවන්හලවල් බෙයින් කැපිටල් (Bain Capital) ආයතනය මිලදී ගැනීමෙන් අනතුරුවය. ඉන් අනතුරුව Pizza (පීසා) සමග ප්‍රවර්ධනය වූ නව සමාජ-සංස්කෘතික සබදතා කොයි ආකාරයක් ගනිනේ දැයි යන්න ගැන යම් අදහසක් ඉහත චිත්‍රපටි තුලින් ගම්‍ය කරගත හැක.

 Mystic Pizza නම් ඇමරිකානු චිත්‍රපටිය, ඇමරිකාවේ Connecticut ප්‍රාන්තයේ වෙරළ අද්දර පිහිටි පෘතුගීසි ජනයා බහුලව වෙසෙන Mystic නම් ධීවර ගම්මානයේ වීවෘත කල කුඩා Pizza Hut අවන්හලක සේවය කිරීමට පැමිණෙන නව යොවුන්වියේ පසුවෙන කාන්තාවන් තිදෙනෙකුගේ ජීවිතය ඇසුරින් දිග හැරෙන්නකි. ජීවිතයේ විවිධ අරමුණු සාක්ෂාත් කරගැනීමට Pizza (පීසා) අවන්හලේ සේවයට පැමිණෙන මෙම තරුණියන් තිදෙනාගෙන් කෙනෙකුගේ අරමුණ වන්නේ යේල් (Yale University) විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමට මුදල් සොයා ගැනීමය. තව කෙනෙකුගේ අරමුණ වන්නේ තම පෙම්වතා සමග විවාහ වී යහපත් පවුල් ජීවිතයක් ගත්කිරීමය. අනෙකාගේ අරමුණ වන්නේ සුදුසු සහකරුවෙකු සොයාගැනීමය. 

එහෙත් සුදුසු සහකරුවෙකු සොයාගත්ත ද Pizza (පීසා) අවන්හලක සේවයකරන තමාගේ සමාජ තත්වය එයට හරස්වෙන අවස්ථාවන්ද යෙදෙන බව තම පෙම්වතාගේ නිවසේ රාතී‍්‍ර ආහාරයකට ගිය ඇයට ඒත්තුගැන්වේ. එහෙත් ඒ හැලහැප්පීම් හමුවේ සිය ඉල්ලකයන් කරායැමට මේ තරුණියන්ට හැකිවෙන අයුරැ චිත්‍රපටය අවසානයේ පෙන්නුම් කරයි. එය තමන් කුමන ජාතියකට අයත් වුවත්, කුමන රැකියාවක නිරතවුවත්, ජිවිතයේ මොනතරම් හැලහැප්පීම් සිදුවූවත් තමතමන්ගේ ජීවන අරමුණු කරායෑමට අමෙරිකානු සමාජයේ ඕනෑ තරම් ඉඩඇති බව ප්‍රේක්ෂකයාට ඉදිරිපත්කරන බවක් පෙන්වයි. එක් අතකින්  Mystic Pizza චිත්‍රපටිය Pizza (පීසා) ත්, Pizza Hut අවන්හල් වල සේවය කරන්නන්ගේ සමාජ-ජීවන අරගලයත්, ඇමරිකානු සමාජයේ එක් පැතිකඩ කුත්, ජුලියා රොබට්ස් (Julia Roberts) නම් ඇමෙරිකානු නිළියත් ලෝකයට හොදින් හදුන්වාදුන් චිත්‍රපටියකි.


අනෙක් අතට,  காக்கா முட்டை (කාක මුට්ටයි) චිත්‍රපටිය පියා සිරගතව ඇති පවුලක, දිළිදු මවගේ සහ අචිචිගේ රැකවරණය ලබමින් චෙන්නායි (පැරණි මදුරාසිය / Madras ) නගරයේ කොන්ක්‍රීට් පැල්පතක වෙසෙන ළමයින් දෙදෙනෙකුගේ පීසා කෑමට ඇති ආශාව කේන්ද්‍ර කරගනිමින් දිග හැරෙන චිත්‍රපටියකි. ඇම්. මනිකනාදන් (M. Manikandan) නම් නවක අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටිය තවත් සම්මාන දිනු අධ්‍යක්ෂකවරයෙක් වන විට්ට්‍රිමාරන් (Vetrimaaran) සහ දකුණු ඉන්දියාවේ දැන් ජනප්‍රියම නළුවා මෙන්ම 2011 දී රංගනය පිළිබදව ඉන්දියානු ජාතික සම්මානය දිනූ නළුවා ද වන ධනුෂ් (Dhanush) විසින් මුදල් වියදම් කර නිපදවූ චිත්‍රපටියකි.

ටොරොන්ටෝ, රෝම්, ඩුබායි සහ තවත් ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලවල් ගණනාවක්ම නියෝජනය කර සුවිශේෂ විචාරක ඇගයීම් වලට ලක්ව තිබීම නිසාම මෙම චිත්‍රපටිය  ඉන්දියාවේ නිල වශයෙන් එළිදැක්වූ දිනයේම (05/06/15) දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගැනීමට සමත්වූ අතර තිරගතවී සතියක් යාමටත් මත්තෙන් චිත්‍රපටිය නිපදවීමට වැය වූ මුළු මුදල උපාය දීමට සමත්වූ බව වාර්තා වේ. අනෙක් අතට, එය ළමා චිත්‍රපටිය ලෙස වර්ගකර තිබීම තුල මෙම චිත්‍රපටිය මේතාක් සිදුකල ඉපැයිම් වාර්තාගත තත්වයට පත්ව තිබේ.  

එහෙත් මෙම චිත්‍රපටියට හිමිවී ඇති ස්ථානය තීරණය කිරීමෙහිලා වඩාත් බලපා ඇති කාරණය වන්නේ එයට හිමිවී ඇති ඉහල විචාරක ඇගයීම්ය. බොහෝ  විචාරකයින්ට අනුව මෙම චිත්‍රපටිය ප්‍රේක්ෂකයාව 'මායාව තුල ගිල්වනු වෙනුවට යථාර්ථය තුල ජීවත් කිරීමට වෙර දරන චිත්‍රපටියකි'. ගෝලීය ප්‍රාග්ධනයට ඉන්දියානු දොරටු විවර කිරීම හරහා පැමිණෙන නව පාරිභෝජන සහ සංස්කෘතික රටා මගින් සමුච්ච්නය වන නව ලිබරල් ප‍්‍රාග්ධනය විසින් හසුරුවන මිනිස් ආශාවන්, අයිතින්, ජනමාධ්‍ය, දේශපාලන ක්‍රියාකාරීත්වයන්, සමාජ ඇගයුම් සහ වටිනාකම් පිළිබඳව ඉතා සරලවත්, පොදුවේ කාටත් තේරුම් ගතහැකි අයුරකිනුත් සමාජගත කිරීමට මෙම චිත්‍රපටිය සමත්වීම ඉහත සදහන් කල විචාරක ප්‍රතිචාරයන්ට හේතු වූ බව පෙනේ. 

චිත්‍රපටියේ කථාවට අනුව දිළිදුකම නිසා පාසැල් නොයන ළමයින් දෙදෙනාගේත්, මවගේත් මුල්ම පැතුම වනුයේ සිරගතවී ඇති (හේතුව නොදන්වයි) සිය පියා සහ සැමියාව නිදහස් කරගැනීම සදහා නීතීඥයන්ට ගෙවීමට මුදල් සොයාගැනීමය. මව කුඩා බෙලෙක් කම්හලක වැඩ කරන අතර දරුවන් රේල් පාරේ වැටී ඇති ගල් අගුරු එකතුකර විකුණමින් ඉහත පැතුම සාක්ෂාත් කරගැනීමට වෙහෙස වේ. හරි හමන් කෑමක් නැති මෙම දරුවන් අවශ්‍ය ශක්තිය (ප්‍රොටීන්) සපයා ගැනීම සදහා අසල ඉඩමක බෝගසේ ඇති කාක කුඩුවේ කකා බිත්තර බීම පුරුද්දක් කරගනී. එම නිසාම මෙම ලමයින්ට ලොකු කාක බිත්තරය (පෙරිය මුට්ටයි) සහ කුඩා කාක බිත්තරය (සින්න මුට්ටයි)  ලෙස නම්  පටබැදේ. ක්‍රමයෙන් විකසිත වන මෙම කුඩා දරුවන් මුලින්ම සෙල්ලම් බඩු ඉල්ලමින් සිය මවට කරදර කරන අතර පසුව රූපවාහිනී යන්ත්‍රයක්  ලබාදෙන මෙන් සිය මවට ඇවිටිලි කරයි. සිය මවට මෙන්ම අචිචිටද ප්‍රදේශයේ දේශපාලකයෙකුගෙන් සහන මිලට රූපවාහිනී යන්ත්‍ර දෙකක්ම ලැබීම තුල එම ප්‍රශ්නය විසදාගැනීමට හැකිවන මුත්  රූපවාහිනී යන්ත්‍රය තවත් ඉල්ලීම් ගණනාවක්ම ජනිත කරන්නක් වේ. ඒ අතර  නවතම ආහාරයක් වන පීසා (Pizza) ඔවුන්ගේ සිත්සතන් වෙලා ගන්නා අතර ඔවුන් කාක බිත්තර බිව් බෝගස කපා එම ඉඩමේ  පීසා අවන්හලක් ඉදිකිරීමත් සමග එතෙක් රූපවාහිනීයෙන් දුටු  Pizza සැබෑ ඇසින් දැක ගැනීමටත්, සියල්ල පසක තබා 'Pizza එකක් කෑම' සිය අරමුණ කරගැනීමටත් මෙම කුඩා දරුවන් පෙලබේ.  

එහෙත් එය එතරම් පහසු කටයුත්තක් නොවේ. මන්දයත්, දවසකට රුපියල් 10ක මුදලක් ගල් අගුරු එකතුකර විකුණමින් උපයන මෙම කුඩා දරුවන්ට ඉන්දියානු රුපියල් 300 වන පීසා එකක් කෑම මහත් අභියෝගයක් වන බැවිනි. දරුවන්ගේ ආශාව වටහාගන්නා ආච්චි තෝස පදම මත එළවලු අතුරා පීසා ප්‍රචාරක පත්‍රිකාවල පෙන්වන පීසා හා සමාන තෝසයක් සකස් කර දෙනමුත් එය පීසා මෙන් (මසොරෙල්ලා (Mozzarella cheese) වැනි චීස් නැති නිසා) ඇදෙන්නේ නැතයැයි කියමින් දරුවන් එය ප්‍රතික්ෂේප කරයි. එතෙක් පටන් මෙම කුඩා දරුවන්ගේ ඒකායන අරමුණ වන්නේ කෙසේ හෝ පීසා එකක් මිලදී ගැනීමය. ඒඅනුව ඔවුන් ගල්අගුරු හොරකම් කර විකිණීම, බේබද්දන්ව කුඩා කරත්තයක තබාගෙන ගොස් ගෙවල් වලට ඇරලීම, තාප්ප පිරිසිදුකර මුදල් සොයා ගැනීම ආදී කටයුතු වල නිරතවේ.

අවසානයේ අවශ්‍ය මුදල සොයා ගත්තද පීසා අවන්හලට මෙම දරුවන් වැද්ද නොගනුයේ ඔවුන්ගේ කිලිටි  ඇදුම් එහිලා නොගෙලපෙන බව එහි ආරක්ෂකයා දන්වන බැවිනි. එය පීසා කෑමට නම් එහි හා බැදී සෙසු සංස්කෘතික අංග-උපාංග ද අනිවාර්යය යන්න මෙම කුඩා දරුවන් පසක්කරදේ. පීසා කෑමට මුදල් ඇති මෙම දරුවන් අනතුරුව හොද ඇදුම් සොයා සුපිරි සාප්පු සංකීර්ණයක් ලගට ගියද  ඔවුන් එහි ඇතුල් නොවෙනුයේ එයින් ඔවුන් එලවා ගනු ඇතැයි යන බිය නිසාය. එහෙත් පසුව ඔවුන් සුපිරි සාප්පු සංකීර්ණයෙන් ඇදුම් මිලට ගෙන පැමිනේන 'වීදියේ කෑම' ප්‍රිය කරන තවත් කුඩා ළමයින් දෙදෙනෙකු සමග  'වීදියේ කෑම' සහ ඔවුන් මිලදී ගත් ඇදුම් හුවමාරු කරගනිමින් එම බාධකයද ජයගනී.  එය එක් අතකින් මුදල් ඇති එකා සාමාන්‍යයෙන් පාරේ විකුණන 'වීදියේ කෑම' රසවිදීමටත්, මුදල් නැති එකා සුපිරි කෑම රසවිදීමටත් යොමුකරවන විෂම ආශාවන් සහ පන්ති විඥනයන් සිහිකැදවන්නකි. එහෙත් නැති එකාට එහි ඇති අභියෝගය කෙබදුද යන්න සිහිකැදවන්නේ චිත්‍රපටියේ ඉන් අනතුරුව දිගහැරෙන කොටස්වලිනි.

අවශ්‍ය මුදල් සහ ඇදුම් පැලදී මේ කුඩා දරුවන් පීසා කෑමට නැවතත් පීසා අවන්හලට යනමුත් එහි ආරක්ෂකයා මෙම කුඩා දරුවන්ට පහරදී එලවනුවේ මුදල් තිබුනද, ඇදුම් තිබුනද පීසා කෑමට පැමිණීමට උබලා කවුදැයි සරදම් කරමින්. බලාපොරොත්තු කඩවන මෙම කුඩා දරුවන් හිස්ලුලු අත දිවයන අතර මෙම සිද්ධීය වීඩියෝ කරගැනීමට තවත් කුඩා දරුවන් පිරිසක් සමත්වේ. එම වීඩියෝව අත්කරගන්නා වැඩිහිටියන් දෙදෙනෙකුකගෙන් එක් අයකු එය පීසා අවන්හල් හිමියාට පෙන්වා මුදල් සොයාගැනීමට යන අතර අනෙකා එය රූපවාහිනී නාලිකාවකට විකුණා මුදල් සොයාගනී. ඒ සමග පීසා කෑමට පැමිණි දිළිඳු දරුවන්ට පහර දී එලවා දැමීම ජාතික ප්‍රශ්නයක් ලෙස ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවල විකාශනය කරන අතර මාධ්‍ය ඔස්තාර්ලා සහ බුද්ධිමතුන් ප්‍රශ්න කරනුයේ මුදල් ගෙවා හෝ සාමාන්‍ය ජනයාට පීසා (Pizza) අවන්හලකට ගොඩවී කෑමක් කෑමට නොහැකිද ? ඇමෙරිකාවේ, යුරෝපයේ සහ වෙනත් බටහිර රටවල සාමාන්‍ය ජනයාට එසේ කිරීමට හැකි නම් ඉන්දියාවේ අපිට එසේ කල නොහැක්කේ මන්ද? යනුවෙනි. සිද්ධීයට මුහුණදුන් කුඩා දරුවන්ට පවා නොදැනුවත්වම ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවලින් ජාතික දේශපාලනයේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්කල ඔවුන්ගේ ප්‍රශ්නය විසදෙනුයේ, පොලිසියේ මැදිහත්වීමෙන් සොයාගන්නා  කුඩා දරුවන් දෙදෙනාව රතුපලසකින් පීසා (Pizza) අවන්හලක්ට කැදවා ඔවුන්ට පීසා සංග්‍රහයකින් සැලකීමෙනි. තම පීසා (Pizza) අවන්හලට ලැබුණු විශාල මාධ්‍ය ආවරණය හමුවේ මාධ්‍ය ඉදිරියට පැමිණෙන පීසා (Pizza) අවන්හල් හිමියා කියා සිටිනුයේ  පීසා (Pizza) දුප්පත් පොහොසත් සැමට රසවිදිය හැකි ආහාරයක් බවත් එය කෑමට පොහොසතෙක්ම වීමට අවශ්‍ය නැති බවත්ය. එහෙත් අපමණ උත්සයකින් අනතුරුව පීසා (Pizza) එකක රසබලන ඉහත සදහන් කල ළමයින් දෙදෙනා පීසා (Pizza) අවන්හලෙන් පිටවී යන්නේ 'ඒවා තමන්ගේ ආචීචී  තෝස පදම මත එළවලු අතුරා පිසූ පීසා තරම්වත් රස නැතියි' කියමිනි.

 ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවලියට හසුව සංස්කෘතිකකරණය වූ ඇමෙරිකාවේ, යුරෝපයේ සහ බටහිර සාමාන්‍ය ජනයාගේ වීදී ආහාරයන් ආසියානු-අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු කලාපයේ අඩු දියුණු රටවලට පැමිණෙන විට සුපිරි ආහාරයක් වන්නේ කුමන ආකාරයකට ද ? ඒමෙන්ම විශාල මුදලක් ගෙවා, මහත් ආයාසයෙන් ඒවා රස බලන එම ජනයාට තම තමන්ගේ පුරුදු ආහාර මෙන් ඒවා රස නැත්තේ ඇයි දැයි ? යන විවිධ පැතිකඩයන් මෙම  காக்கா முட்டை (කාක මුට්ටයි) චිත්‍රපටියෙන් හොදාකාරව පෙන්නුම් කරයි. එය එක්තරා ආකාරයකින් ලංකාවේ ඇතැම් කොටස් වලට මැක් ඩොනල්ඩ් (McDonalds), KFC, පීසා (Pizza) ආදිය සුපිරි කෑම වෙන්නේ කෙසේද ? ඒවායින් කෑවද, ඇතැම් කොටස් වලට, ඒවා හොද්දක්-බතක් තරම්වත් රස නැති සේ දැනේන්නේ  ඇයි වැනි පැතිකඩයන් පෙන්නුම් කරන්නකි.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
(03/09/2015)

No comments:

Post a Comment