This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 6 November 2015

පෘතුගාලයේ පළමුවන කාලෝස් රජතුමාට පිදූ මීගමුවේ පල්ලිය - ශා.පීතර දේවස්ථානය මීගමුව



මීගමුව නගර මාධ්‍යයේ පිහිටි ශා.පීතර දේවස්ථානය, මීගමුවටත්, ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයටත්, විශේෂවූ කරුණු-කාරනා කිහිපයක් සගවාගත් සූවිශේෂ දේවස්ථානයකි. එය එක් අතකින් මීගමුවේ ප්‍රබල 'සූර්ය' කුලයන් තුනෙන් එකක් වූ මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රෞඩත්වයත්, අනෙක් අතින් පෘතුගාලයේ රජතුමා සහ රෝමයේ පාප්තුමා ලංකාවේ එකවිට ගෙනගිය 'ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයේ ද්විත්ව පාලනය' පැවති සමයේදී මීගමුවේ කතෝලිකයන් ක්‍රියාකලේ කෙසේද යන්න විමසා බැලීමට ද හොද තෝතැන්නකි. 


දැනට වසර 150කට පමණ පෙර, එනම් 1864 දී, ඉදිවන මීගමුව ශා.පීතර දේවස්ථානය ගොඩනගනු ලබනුයේ මීගමුව 'දූව' දූපත කේන්ද්‍රකරගනිමින් සිටි මිහිදුකුලසූර්යවරුන් මීගමු නගර මධ්‍යට සංක්‍රමණයවීමත් සමගය. ඒ වනවිටත් මීගමුව 'මහවීදිය' කේන්ද්‍රකරගනිමින් සිටි කුරුකුලසූර්යවරුන්ට
ද,වැල්ලවීදීය කේන්ද්‍රකරගනිමින් සිටි වර්ණකුලසූර්යවරුන්ටද, සිය ආගමීක සහ සංස්කෘතික ජීවිතයේ අවශ්‍යතා සදහා වෙන වෙනම දේවස්ථාන පැවති අතර නගර මධ්‍යට සංක්‍රමණයවූ මිහිදුකුලසූර්යවරුන්ටද ඒ සදහා නව දේවස්ථානයක් අවශ්‍ය විය. එකල 'දූව' දුපත අද මෙන් මීගමුව ප්‍රධාන ගොඩබිම හා පාලම් මගින් සම්බන්ධවී නොතිබු හෙයින්, මිහිදුකුලසූර්යවරුන්ට ඔවුන්ගේ මහ පල්ලිය වූ දූවේ 'සින්ද්‍රාති මාතා' පල්ලියට නිතර යාත්‍රා කිරීම කරදරකාරීවීම ද නගර මධ්‍යට සංක්‍රමණයවූ ඔවුන්ට නව පල්ලියක අවශ්‍යතාවයන් දැඩිව දැනීමට හේතු වෙන්නට ඇත. 


එහෙත් කුලපරම්පරා අනුව පල්ලි පවා බෙදී තිබු එකල, එකිනෙකාට දෙවෙනි නොවූ මිහිදුකුලසූර්ය, කුරුකුලසූර්ය සහ වර්ණකුලසූර්ය නම් වූ මීගමුවේ බලවත් 'සූර්ය'වරුන්ගේවූ පරම්පාරික අනන්‍යතාවයන් තවදුරටත් නොනැසී ඉදිරියට ගෙනයාමට ඔවුන් තුල තිබු මහත් ලැදියාව නිසාම මීගමු නගර මධ්‍යට සංක්‍රමණයවූ මිහිදුකුලසූර්යවරුන්ට මීගමුව ශා. පීතර නමින් නව පල්ලියක් මීගමුව නගර මධ්‍යයේ ඉදිකිරීමට ඇත්ත වශයෙන්ම බලපෑ මුලික කරුණ බව නොවහලා ප්‍රකාශකල හැක. 

ඉහත සදහන් කල මීගමුවේ 'සූර්ය' වරුන් ගේ ඉතිහාසය ආසන්න වශයෙන් වසර 1000ක් වත් පැරණිය. ඒ ක්‍රි.ව.1848-97 අතර කාලයේදී ලංකාවේ සේවය කල බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයෙකු වූ හියු නෙවිල් මහතා (Hugh Neville) එකතුකළ තමන්කඩුවේ කරාව වංශිකයන් සුරක්ෂිතව ආරක්ෂා කරගෙන සිටි පුස්කොලපොත් නිසාය. අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සූචී අංක Or. 6606 (54) and Or. 6606 (139) යටතේ ඇති 'හියු නෙවිල් එකතුවේ' (Hugh Nevill collection) මෙම පුස්කොලපොත් සුරක්ෂිතව තැම්පත් කර තිබේ. එම තොරතුරු අනුව මීගමුවේ මිහිදුකුලසූර්ය, කුරුකුලසූර්ය සහ වර්ණකුලසූර්යවරුන් ක්‍රි.ව.1154-1264 අතර කාලයේ සිට මීගමුවේ ජීවත්වූ ප්‍රබල කුලපරම්පරා තුනක් බවට සාක්ෂි මතුවේ. එය එක් අතකින් මීගමුවේ ඉතිහාසය ගැන විමර්ශනයේදී ද සැලකියයුතු වැදගත් සාධකයකි.
1978 නව දිස්ත්‍රික් සිමාමායිම් නිර්ණය කිරීමේදී දිස්ත්‍රික්කය විය යුත්තේ මීගමුව නොව ගම්පහ යැයි තරයේ පෙනීසිටී, එම ක්‍රියාදාමය සදහා යම් බුද්ධිමය දායකත්වයක් සැපැයූ, මහාචාර්ය ඒ.වී සුරවීරගේ 'රාජාවලිය'ට (1964) අනුව නම් මීගමුවේ මිහිදුකුලසූර්ය, කුරුකුලසූර්ය සහ වර්ණකුලසූර්යවරුන් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවේ කාවේරි පත්තම්, කිල්ලක්කාර් සහ කාන්චිපුරම් සිට ක්‍රි.ව.1410-1467 ක් අතර කාලයේ මන්නාරමේ සිට මීගමුව දක්වා වූ ප්‍රදේශ අල්ලාගෙන සිටි ඉන්දියානු මුක්කර් (Mukkara) ගෝත්‍රිකයන්ට එරෙහිව සටන් කිරීමටය. සටනින් ජයගත් සූර්යවරුන්ගේ කුරුකුලසූර්ය පරපුරට මීගමු මහවීදියත්, කුරණවීදියත්, වර්ණකුලසූර්යවරුන්ට වැල්ලවීදියත්, මිහිදුකුලසූර්යවරුන්ට මීගමු දූවත් VI වන පරාක්‍රමබාහු රජතුමා විසින් පවරා දුන් බව එහි සදහන් වේ.

එහෙත් H.A.P. අභයවර්ධනගේ (1978) 'කඩ ඉම්පොත් විමර්ශනය', T.S. ධම්මබන්දු ගේ (1962) 'කෞරාව් වංශ කථාව', M.D. Raghavan ගේ (1961) 'The Karava of Ceylon', ආදි කෘතියන් රාශියක මෙයට වඩා වෙනස් විස්තර සදහන් වේ. මෙම කෘතිවලට අනුව මීගමුවේ 'සූර්ය' වරුන්ගේ ඉතිහාසය පළමුවන ගජබා රජ යුගය (ක්‍රි.ව.113-136) දක්වා දිවයයි. 

එමෙන්ම මුලින් විස්තරකල රාජාවලියේ සදහන් පරාජය කරනු ලැබූ ඉන්දියානු මුක්කර් (Mukkara) ගෝත්‍රිකයන්ගෙන් පැවත එන මුක්කුවාර්වරුන් (Mukkuvar) ක්‍රි.ව.1850 වනවිටත් මීගමුවේ සිටි බවට C. Brito විසින් (1876) පලකරන ලද 'The Mukkuva Law of Ceylon' නම් කෘතියේ එන නඩු විස්තරයක් කියවීමේදී පෙනීයයි. (මීගමුවේ මුන්නක්කරය සහ මුක්කුවාර්වරුන් අතර යම් සම්බන්දයක් පවතීද ? ඒ.වී සුරවීර, ඔහුගේ රජාවලිය, ඔහුගේ 'ගම්පහ දිස්ත්‍රික් පුරවැනුම' සහ සූර්යවරුන් සම්බන්ද වෙනත් විස්තර පසු අවස්ථාවක වෙනම සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තුවෙමි.) 

කෙසේවුවද, මෙලෙස මීගමුවේ මුල්බැසගත් 'සූර්ය'වරුන් ධීවර කර්මාන්තය සිය ප්‍රධාන රැකියාව කරගත්තද, 16වන සියවසවනවිට කුරුකුලසූර්යවරුන්ගෙන් සමහරෙක් කෝට්ටේ රජුගේ නාවික හමුදාවට නායකත්වය සපයමින් ක්‍රමයෙන් රජයේ රැකීයා සදහා යොමුවීම අරබා තිබු අතර ඇතමෙක් මීගමුව අත්හැර කොළඹ අවට ප්‍රදේශයන්ට සංක්‍රමණයවී තිබුණි. (කුරුකුලසූර්යවරුන්ගේ ඉහත ක්‍රියාකාරිත්වය තමන්කඩුවේ පදිංචිව සිටි කරවා ජනයා විවේචනය කළබවත්, පෘතුගීසින් මීගමුව අල්ලා ගැනීමෙන් අනතුරුව ඔවුන් තමන්ව පවාදුන් බවත් තමන්කඩුවේ පුස්කොලපොත් එකතුකිරීමට ගිය හියු නෙවිල් (Hugh Neville)ට පැවසුබව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති 'හියු නෙවිල් එකතුවේ' (Hugh Nevill collection)ඇති විස්තර වල සදහන් වේ.

කුරුකුලසූර්යවරුන්, එසේවනවිට 'සූර්ය'වරුන්ගේ වර්ණකුලසූර්යවරුන් දිගින් දිගටම මීගමුව කේන්ද්‍ර කරගනිමින්, රටපුරාත්, විශේෂයෙන් හලාවත සිට මීගමුව දක්වාත්, මුලික වශයෙන්ම ධීවර කර්මාන්තයේ ආධිපත්‍ය පතුරුවමින් එම විෂයෙහි කෙළ පැමිණි වෘත්තිය ධීවරයන් බවට පත්වුහ. 

එහෙත් මේ සියල්ලන්ටම වඩා වෙනස් ලෙස, මිහිදුකුලසූර්යවරුන් සිය මුහුදු විෂය සහ යාත්‍රා පිළිබද දැනුම පෙරටු කරගනිමින් සම්ප්‍රදායක ධීවර කර්මාන්තයටත්, මාදැල් ධීවර කර්මාන්තයටත් වඩා එහා යමින්, විදේශ වෙළදාමේ යෙදෙන්නටත් යොමුවන ලදී. 

ක්‍රි.ව.1830 වනවිට ද මෙම මිහිදුකුලසූර්යවරුන්ගෙන් තිදෙනෙක් වූ මිහිදුකුලසූර්ය ජුවාන් ප්‍රනාන්දු, මිහිදුකුලසූර්ය දුමින්ගු ප්‍රනාන්දු සහ මිහිදුකුලසූර්ය පේදුරු ප්‍රනාන්දු යන සහෝදරයින් තිදෙනෙකුට රුවල් නැව් පවා හිමිව තිබූන බවත්, ලෝකප්‍රකට 'දූවේ පාස්කු' සංදර්ශනය සදහා භාවිතා කරන ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව නිර්ණය කල ඉන්දියාවේ බටහිර වෙරළේ වූ කේරළයේ පිහිටි කොචින් ග්‍රාමයේ සිටි ප්‍රකට ප්‍රතිමා ශිල්පයෙක් වූ 'ජාකොමේ මේස්ත්‍රා' හමුවීමට ගොස් ඇත්තේ ද එම නැව්වලින් බවත් මීගමු දුවේ පාස්කු ඉතිහාසය පිළිබද පොතපතවල සදහන් වේ. 

තවද ක්‍රි.ව.1837 දී එම ප්‍රතිමාව රැගෙන ඒමට ගිය තවත් මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රධානින් කිහිපදෙනෙකු වූ මිහිදුකුලසූර්ය ජෝශප් ස්ටීවන් ද මෙල්, මිහිදුකුලසූර්ය මනුවෙල් ජෝන් තිසේරා, මිහිදුකුලසූර්ය ජුවාන් කුරේරා, මිහිදුකුලසූර්ය රොමෙල් වාස් සහ මිහිදුකුලසූර්ය දියාගු පීරීස් ආදින් ද ඉන්දියාව බලා යාත්‍රා කලබව මීගමුවේ පාස්කු ඉතිහාසය පිළිබද පතපොතවල තවදුරත් සදහන්ය. 
මේ අනුව මිහිදුකුලසූර්යවරුන් ඒවනවිටත් ආනයන, අපනයන වෙලදාම් තුලින් ඉන්දියාවේ පෘතුගීසි පාලන ප්‍රදේශයවූ ගෝවේ (Goa) නගරයේ සිට දකුණු ඉන්දියාවේ කොරමන්ඩල් ප්‍රදේශ දක්වා සබදතා ගොඩනගාගෙන සිටිබව පැහැදිලිය. එය කෙතක් දුරට විහිදී ගොස් තිබුනේදයත් ඉන්දියාවේ මිෂනාරි කටයුතුවල නිරතවූ, එහෙත් ශ්‍රී ලංකාවට ආගන්තුක වූ, සිරියානු-පෘතුගීසි මිෂනාරිකයන් වූ ජාකොබයිට් (Jacobite Missionaries) පියතුමන්ලා ඉන්දියාවේ ගෝවේ (Goa) සිට මීගමු දූව දේවස්ථානයේ තේවාවන් සදහා පැමිණීමත්, ඉන්දියානු බටහිර වෙරළ ප්‍රදේශයේ මුහුදු වැද්දන්ගේ නැටුමක් වූ 'ජවුසන් ජල්ලියා' හෙවත් 'ජවුසන් නැටිල්ල' ආදී සංස්කෘතික අංග මීගමු දුවට පැමිණීමත් දැක්විය හැක. (මෙම නැටුම් සම්ප්‍රදායන් මනමේ නාටකයට පවා භාවිතාකර ඇති බවත්, මනමේ නාටකය නිර්මාණය කිරීමට මීගමුවේ දූවේ මිහිදුකුලසූර්යවරුන්ගේ කලා නිර්මාණ මහත් පිටුවහලක් සපයා ඇති බවත් මම මීට පෙර ලියා ඇත - එය මෙතනින් කියවිය හැක.) 

මෙලෙස සම්ප්‍රදායික ධීවර කර්මාන්තයෙන්ද, 'මාදැල්' ධීවර කර්මාන්තයෙන් සහ විදේශ වෙළදාමෙන්ද ධනවත්ව සිටි මීගමු දූවේ මිහිදුකුලසූර්යවරුන්, 'රජතුන් කට්ටුව' සහ 'පාස්කු නාට්‍ය' රගදැක්වීමත්, 'ජවුසන් නැටුම්' ආදීයත් නිසා සංස්කෘතික අංගනයන්ගෙන් ද විරාජමානව සංස්කෘතික වශයෙන් ද පොහොසත්ව සිටින ලදී. තවද, ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයේ මුල්කාලය වනවිට මෙම මිහිදුකුලසූර්යවරුන්ගෙන් සමහරෙක් රජයේ වෙන්දෙසියේ විකුණන අවසරලත් රා රේන්ද හිමියන් හෙවත් 'රේන්ද රාළ' ද, පොල් වතුහිමි ධනවතුන් බවට ද පත්විය.

මීගමුව නගර මධ්‍යයේ ශා.පීතර දේවස්ථානය ගොඩනන්වන මීගමු දූවේ සිට සංක්‍රමණය වූ මිහිදුකුලසූර්යවරුන් වුයේ 1.මිහිදුකුලසූර්ය අන්තොනි ප්‍රනාන්දු, 2.මිහිදුකුලසූර්ය දිමින්ගු ප්‍රනාන්දු, 3.මිහිදුකුලසූර්ය සන්තියාගෝ ප්‍රනාන්දු, 4. මිහිදුකුලසූර්ය දියෝගු කුරේරා, 5. මිහිදුකුලසූර්ය ජුවාන් පිංතු, 6.මිහිදුකුලසූර්ය ක්ලැරා පිංතු, 7.මිහිදුකුලසූර්ය ජුවාන් ප්‍රනාන්දු, 8. මිහිදුකුලසූර්ය රොමෙල් වාස් සහ 9.මිහිදුකුලසූර්ය දිමොන්ගෝ තිසේරා ආදීන් බවත් ඔවුන් ක්‍රි.ව.1838 සිට මීගමු නගර මධ්‍යයේ නිත්‍ය පදිංචිකරුවන් වූ බවත් මීගමු ශා.පීතර දේවස්ථානයේ 150 වසරක සමරුව සදහා නිකුත්කළ ප්‍රකාශනයේ සදහන්වේ. ඔවුන්ගෙන් ඇතමෙකු භූමදානය කර ඇත්තේද මෙම දේවස්ථානය තුලම බව අදත්ටත් මීගමුව ශා.පීතර දේවස්ථානයේ දැකිය හැකි ඉහත ආකාර සොහොන්පලක වලින් පිලිබිබුවේ.

මීගමු දූවේ සිට මෙලෙස මීගමුව නගර මාධ්‍යට සංක්‍රමණයවන එම මිහිදුකුලසූර්යවරුන් සම්ප්‍රදායික මෙන්ම මා-දැල් ධීවර කර්මාන්තයෙන්ද, විදේශ වෙළදාමෙන්ද, පොල්වතු සහ රා රේන්ද හිමිකාරත්වයේන්ද ධනවත්ව සිටි මීගමුවේ නව ප්‍රභූ පිරිසක් වූ අතර බොහෝදුරට ඔවුන්ගේ සංක්‍රමණයට හේතුවුයේ සිය ව්‍යාපාරික සහ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සදහාවූ බව පෙනේ.

ඔවුන් අතරින් ඇතමෙක් කෙතරම් ධනවත්ව සිටියේදයත්, 1.මිහිදුකුලසූර්ය අන්තොනි ප්‍රනාන්දූ හෙවත් අන්තොනි රේන්දරාළ, 2.මිහිදුකුලසූර්ය දිමින්ගු ප්‍රනාන්දු හෙවත් දිමින්ගු රේන්දරාළ, 3.මිහිදුකුලසූර්ය සන්තියාගෝ ප්‍රනාන්දු හෙවත් සන්තියාගෝ රේන්දරාළ සහ, මාදැල් මෙන්ම පොල්වතු ද හිමිව සිටි, 4. මිහිදුකුලසූර්ය දියෝගු කුරේරා යන ප්‍රභූන් සතරදෙනාගේ පෞද්ගලික ධනයෙන් පමණක්, එවකට මීගමුවේ විකිණීම සදහා අවට ප්‍රදේශවලින් රැගෙනආ කෙසෙල්කන් ආදී පළතුරු විකුණු කඩපේලිය පැවති, 'වෙල්ගම්වත්තේ' කෙසෙල්කන් කඩපේලිය අසලින් අක්කර 12ක ඉඩමක් මිලදීගෙන වසර 20ක් තුල මීගමු ශා.පීතර නමින් නව දේවස්ථානයක් ඉදිකර එහි නඩත්තුව සදහා මීගමු මඩම්පැල්ලෙන් පොල් අක්කර 35ක් ද මිලටගෙන තිබේ. 
මෙලෙස අතිමහත් ධනයක් වැයකර මිහිදුකුලසූර්යවරුන් මෙම නව  දෙව්මැදුර ඉදිකල අවදියේ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිවලින් කොටසක් රෝමයේ පාප්තුමාගේ නියෝජිතයාවූ ඉන්දියාවේ කොචින් හි අගරදගුරුතුමන්ගේ  පාලනයටද, තවත් කොටසක්  ශ්‍රී ලංකාවේ කතෝලික ධර්මය ස්ථාපිතකල පෘතුගාල රාජ්‍ය නියෝජනය කල පෘතුගාල රජගේ නියෝජිතයා වූ 'ගෝවේ' (Goa) අගරදගුරුතුමන්ගේ පාලනය යටතේ ද පැවති 'ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයේ ද්විත්ව පාලන' සමය විය. එවකට මීගමුවේ පැවති (කුරුකුලසූර්යවරුන්ගේ) මහවීදිය පල්ලිය, (වර්ණකුලසූර්යවරුන්ගේ) වැල්ලවීදිය පල්ලිය මෙන්ම මීගමුවේ සෙසු මීසම් ද රෝමයේ පාප්තුමාගේ නියෝජිතයාවූ ඉන්දියාවේ කොචින් හි අගරදගුරුතුමන්ගේ  පාලනය යටතේ පාලනයවිය. 

එහෙත් මීගමුවේ මිහිදුකුලසූර්යවරුන්ගේ මහ පල්ලිය වූ දූවේ 'සින්ද්‍රාති  මාතා' පල්ලිය පාලනය කලේ පෘතුගාල රජගේ නියෝජිතයා වූ 'ගෝවේ' (Goa) අගරදගුරුතුමන්ගේ පාලනය යටතේ වූ  සිරියානු-පෘතුගීසි මිෂනාරිවරුන් වන ජාකොබයිට් (Jacobite Missionaries) පියතුමන්ලා විසිනි. ඒහින් මීගමු නගර මාධ්‍යට සංක්‍රමණයවූ මිහිදුකුලසූර්යවරුන් අභිනවයෙන් ඉදිකළ  මීගමු ශා. පීතර දෙව්මැදුරේ පාලනයද, සිය මුල් පල්ලිය වූ  දූවේ පල්ලිය අනුව යමින්, පෘතුගාල රජගේ නියෝජිතයා වූ 'ගෝවේ' (Goa) අගරදගුරුතුමන්ගේ පාලනය යටතට ක්‍රි.ව.1864 අප්‍රියල් මස 22 දින නිලවශයෙන් පවරාදෙනලදී. එම වර්ෂයේම 'ගෝවේ' (Goa) අගරදගුරුතුමන් විසින් මෙම පවරාදීම නිලවශයෙන් පෘතුගාලයේ එවකට රජතුමාවූ  පළමුවන කාලෝස් රජතුමාට දන්වා යවා ඇති අතර ඒ සදහා පෘතුගාලයේ රජතුමන් විසින් පිරිනැමූ ගෞවරව ප්‍රණාම, සන්න්නස් සහ පදක්කම් ආදිය ලබාගත්තේ මීගමු ශා. පීතර දෙව්මැදුර ඉදිකිරීමට අතිමහත් කැපවීමත්, ධනයත් වැයකල මිහිදුකුලසූර්යවරුන්ගේන් කවරෙක්දැයි සොයාබැලිය යුතුය.
කෙසේවුවද ක්‍රි.ව.1886 ජුනි 23 දින, 13වන ලියෝ පාප්තුමා සහ පෘතුගාලයේ කාලොස් රජ අතර අත්සන්කල ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික පල්ලිවල භාරකාරත්වය කොළඹ අගරදගුරුවරයාගේ පාලනයට නතුකර දුන් අතර ඒ සමග පෘතුගාලයේ රජතුමා සහ රෝමයේ පාප්තුමා ලංකාවේ එකවිට ගෙනගිය 'ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයේ ද්විත්ව පාලන' සමය අවසන් වනලදී. ඉන් අනතුරුව දූවේ පල්ලිය සහ මීගමු ශා. පීතර දෙව්මැදුරේ පාලනයෙන් 'ගෝවේ'  ජාකොබයිට් පියවරුන් ඉවත්ව ගියහ. වසරක් පමණ කාලයක් පියතුමේක් නොමැතිව සිටි ඔවුන්, පසුව කුරුකුලසූර්යවරුන්ගේ මහවීදිය මීසම යටතේ ද, එහෙත් මිහිදුකුලසූර්යවරුන්ගේ අනන්‍යතාවය තුල වෙනමම මීසමක් බවටද පත්වනලදී. 

ක්‍රි.ව.1837 දී ඉන්දියාවේ 'ජාකොමේ මේස්ත්‍රා' නිර්මාණය කල 'දූවේ පාස්කු' සංදර්ශනය සදහා භාවිතා කරන ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව ඉන්දියාවේ කොචින් ග්‍රාමයේ සිට මීගමුව දූවට රැගෙන ඒමට ගිය පිරිස අතර සිටි මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රධානින් කිහිපදෙනෙකු වූ මිහිදුකුලසූර්ය රොමෙල් වාස්, මිහිදුකුලසූර්ය මනුවෙල් ජෝන් තිසේරා සහ මිහිදුකුලසූර්ය දියාගු කුරේරා ආදින් ද දූවේ සිට මීගමු නගර මාධ්‍යට සංක්‍රමණයවූ මිහිදුකුලසූර්යවරුන් අතර සිටි හෙයින් සෑම වසර 2කට වරක්ම දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව අභිනවයෙන් ඉදිකළ 
 මීගමු ශා. පීතර දෙව්මැදුරට ගෙනවිත් එහි 'තුන්පැය දානය' සහ 'කුරුස යාගය' මහා සිකුරාදා සිදුකිරීමට තීරණය කිරීමද මෙම දේවස්ථානයටත්, එය ඉදිකළ මිහිදුකුලසූර්යවරුන්ටත් මීගමුවේ සුවිශේෂී ස්ථානයක් අත්කර දීමට සමත්විය. 


වර්තමානයේ දී  මුන්නක්කරය පාලම හරහා වීදියක්, වීදියක්   ඔස්සේ උත්කර්ෂවත් ලෙස දිවෙන, බැතිසිත් ඇති සියලුම මීගමු ජනයාගේ මහත් භක්ති අභ්‍යාසයක් වන, ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව දූවේ පල්ලියේ සිට මීගමු නගර මාධ්‍ය පිහිටි ශා. පීතර දෙව්මැදුරටත් නැවත වසරකට පසුව දූව පල්ලියටත්  වැඩමකිරීම පාගමනින් සිදුකරයි. එහෙත්, මුන්නක්කරය පාලම ඉදිකර නොතිබූ අතීතයේදී එය හැමිල්ටන් ඇලේ සිට ඇදී ගිය පාරු යාත්‍රා ඔස්සේ දූව පල්ලියත්ට, දූව පල්ලියේ සිට නැවත ශා. පීතර දෙව්මැදුරටත් රැගෙන යාම සිදුකර තිබේ. ඇල දෙපස සිට, මහවීදිය පාලම මතසිට, කලපු ඉවුරේ සිට, දූව වෙරල අද්දර සිට පාරුයාත්‍රා ඔස්සේ රැගෙන යන ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාවට රතුමල් දැමු ජනයා ගැන අසා ඇත්තෙමු. මීගමු ජනයාට අද අත්විදීමට නොලැබෙන එම භක්ති අභ්‍යාසය කෙතරම් චමත්කාර ජනකවීමට ඇද්දැයි මට අනේකවාරයක් සිතේ ?

මීගමු නගර මාධ්‍යට සංක්‍රමණයවූ  මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රභූ කාර්යභාරය මීගමුව ශා. පීතර දෙව්මැදුර ඉදිකිරීමෙන් පමණක් නැවතුනේ නැත. ක්‍රි.ව.1903 ජුලි 03 දින ගුරුවරුන් තිදෙනෙක් සහ ළමුන් 33 දෙනෙකුගේන් පටන්ගත් මීගමුව ශා. පීතර විදුහලද, මීගමුව පෙරියමුල්ල පල්ලියද, නාත්තන්ඩිය පල්ලියේ දුර්දු ගුහාවද, ක්‍රි.ව. 1910 දී ඔප්පු අංක 2678 දරන නෙලුම්පිටිය පල්ලිය සහ එයට අයත් අක්කර 16 ඉඩමද  මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රභූවරයෙකු වූ මිහිදුකුලසූර්ය ජුවාම් ප්‍රනාන්දූ මහතා ඇතුළු මිහිදුකුලසූර්ය ප්‍රභූන්ගේ සත්කාර්යන් සදාකාලිකව සටහන් කිරීමට සමත්ව ඇත.

ඉහත ආකාරයට  මිහිදුකුලසූර්ය, කුරුකුලසූර්ය හෝ වර්ණකුලසූර්ය ආදීය ලෙස විවිධ නම් සදහන් කුලපරම්පරාවල් පිලිබදව අධ්‍යන අරමුණු සදහා පමණක් වෙන වෙනම සලකා බැලුවද, මීගමුවේ එවැනි කිසිදු භේදයක් කිසිදු වැසියෙක් තුලින් දැකගත නොහැකි බව එක්වරක් හෝ මීගමුවට පා තැබූවෙකුට වැටහෙනු නොඅනුමානය. ඒ සියල්ලටම වඩා මීගමුව සම්බන්දයෙන් මා සිදුකරමින් ඇති අධ්‍යන කටයුතුවලදී මා සොයාගත් කරුණු අනුව ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක මීගමුවේ තරම් විවිධත්වයක් නැත. ඒහි ඇති විවිධ ජන වර්ග, විවිධ භාෂා කථා කරන,  විවිධ ආගම් අදහන පිරිසක් තරම් සමගියෙන්, සතුටින් සහ සහයෝගයෙන් එකටඑක්ව  එකටසිටින ජනපිරිසක් ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් සොයාගත නොහැකිය. ඒ මීගමුවේ අපේ ආඩම්බරය ය. 


* මෙම තොරතුරු සොයාගැනීමට මීගමුව හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ පුතුණුවන් වන රුචිත කුරේරා මහතා දැක්වූ සහයෝගය මම මහත් අගයකොට සලකමි. එම පවුලේ පරම්පාරික ඡයාරූප පවා මගේ මේ අධ්‍යනයෙදී මා හට ලබාදෙන ලදී.  ඒ සියල්ල සම්බන්දයෙන් මා නැවත වාරයක් ඔවුනට ස්තුතිවන්ත වෙමි.

*මෙහි පළකර ඇති ඡයාරූප අතරින් කිහිපයකම ගෞවරවය සහ අයිතිය හිමිවියයුත්තේ https://www.facebook.com/kurusayagaya/. ඒ සම්බන්දයෙන් මම ඔවුනට ස්තුතිවන්ත වෙමි. 

* තවද මෙම අධ්‍යනයෙදී සොයාගත්, සියළු තොරතුරු,  ඡයාරූප මුල් පිටපත්, ඡයාරූප පිටපත් සහ අනෙකුත් බොහෝ දෑ මෙම ලිපියට ඇතුල්කිරීමට නොහැකිවීම ගැන කනගටුවෙමි. නමුත් ඉදිරි අවස්ථාවක ප්‍රකාශයට පත්කරම සදහා ඒ සියල්ල පරිසමින් තබා තිබේ.

* නම් සදහන් කිරීමට අකමැතිවු නමුත් සහයදුන් සැමට ස්තුතියි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
06/11/2015.

5 comments:

  1. හියු නෙවිල් සංස්කරණය කල The Taprobanian සඟරාව (ඇත්තෙන්ම පොතක් ) පරිශීලනය කරල තියනවද? මට මතක නෑ මීගමුව ගැන තියනවද කියල මොකද මං හෙව්වෙ වෙනත් විස්තර නිසා. හැබැයි තියෙන්න ඕනෑ..
    මං හිතන විදිහට නෙවිල් තමයි ලංකාව ගැන හදාරපු වැඩියෙන්ම versatile scholar.
    ඔහු දැන් අපිට හිතාගන්න අමාරු ප්‍රමාණයක විෂයයන් පිලිබඳව research කරල තියනව

    ReplyDelete
  2. ඔව් තරමක්දුරට, The Taprobanian විතරක් නෙමෙයි, K.D. Somadasa (1987) Catalogue of the Hugh Nevill collection of Sinhalese manuscripts in the British Library, Catalogue of the Hugh Nevill Collection of Sinhalese manuscripts in the British Library / Vol. 1 & 2,3 (1990), 4, 5,6 සහ 7ත් පරිශීලනය කලා. එහෙත් මගේ අවදානය වැඩියෙන්ම යොමුවුණේ or 6603 (139) කොටස්වලට, එයින් තමයි ඉහත සදහන්කර ඇති මීගමුවේ කරාව නායකයන් ලෙස සැලකෙන මිහිදුකුලසූර්ය, කුරුකුලසූර්ය හෝ වර්ණකුලසූර්ය ආදීය ගැන තොරතුරු ගැන යම් අදහසක් ඇති කරගත්තේ. පැහැදිලිවම Hugh Nevill ගේ එකතුව ශ්‍රී ලාංකාව ගැන, විවිධ අධ්‍යන ශික්ෂණයන් ඔස්සේ අවධානයට ලක්කළ ඉහළ අධ්‍යන විටිනාකමකින් යුතු එකතුවක්. මේවා දැන් බ්‍රිතාන්‍ය කෞතුගාරය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ReplyDelete
  3. මාත් මේ ගැන උනන්දුයි. ඔය සූරියලා බටහිර මුහුදුබඩ සිට දකුනට යනකම්ම පැතිරෙනවා නේද .දකුනෙ කරාව කුලයෙ අය කුරුකුලරත්න ,විජේසූරිය ,ගලප්පත්ති වගෙ වාසගම් ද තිබෙනවා නේද. ඔබ කියන සූර්ය වාසගමෙන් බාහිර තවත් වාසගම් රැසක් කරාව අයට තිබෙනවා.

    මට හිතෙනව මීගමු කතෝලික කරා මිනිස්සුත් දකුනෙ බෞද්ධ කරා මිනිස්සුත් එකම ඥාතීන් පිරිසක් කියල. ඔවුන්ගෙ සමාජමය ලක්ෂනවල යම් සාම්‍යයක් තියනවා. ඉහත කාලයකදි ඔවුන් එකම ගෝත්‍රයක් ලෙස ඉන්න ඇති. දකුනෙ කරාව අය තමන්ගෙ කුලයෙ කෙනෙකුට කියන්නෙ ඥාතිය කියල. මීගමුවට වඩා දකුනෙ මේ අයගෙ කුල හැඟීම වැඩියි. මීගමුවෙදි කතෝලික බලපෑම නිසා මෙවැනි පසුගාමී දේවල් අධෛර්ය කරනවා වෙන්නත් පුලුවන්.

    කරාව කුලය ඉන්දියාවෙ කෞරව /කුරු ජනකොටසට සමාන කිරීමේ හා පැරණි ක්ශත්‍රිය කුලයට ඈදන එකෙ නම් විකාරයක් නේද. කරාව කතාව කියන පොතේ මේ ස්වෝත්තමවාදී අදහස තිබෙනවාලු .මා නම් කියවා නැහැ.

    කරාව කුලයට වෙනම ධජ පතාක පවා තිබිලාලු ? .එය සත්‍ය නම් ඒ කියන්නෙ ඔවුන් වෙනම ජනකොටසක් ලෙස දීර්ඝකාලයක් සංවිධානය වෙලා සිටියා කියන එකයි.
    බටහිර මුහුදුකරයේ කරාව ජනතාව වැඩි වැඩියෙන් සෙසු ජනයා සමග මිශ්‍ර වෙලා තියනවා. ඔවුන් තුල යුරෝපීය පෙනුම හා අප්‍රිකානු පෙනුම සහිත අයද සිටිනවා . මේ මිශ්‍ර වීම නිසා ඔවුන් තුල ගෝත්‍රික මානසිකත්වය නැතිව යන්න ඇති.මීගමුව ගැන ඔබ කියා ඇති දේ අපූරුයි. ඒ වගේම සහතික ඇත්තයි.

    මීගමුව කියන්නෙ මටත් හුරුපුරුදු නගරයක් . මම මීගමුවෙ මිනිසුන්ගෙ මානව රූපාකෘති විද්‍යාත්මක ලක්ෂන නිරීක්ෂනය කර තිබෙනවා.හරිම අපූරුයි. වයිවාරන්න මිනිස්සු. කලුම කලු එවුන් ,සුදුම සුදු එවුන්. මාර විවිධත්වයක්. මම හරි ආසයි ඒකට.

    ReplyDelete
  4. මහා භාරත වෑනි පෑරණි සාහිත්‍ය කෘති වල සදහන් පරිදි කෞරව වන්ශය යනු ක්ශත්‍රිය කුලයේ රාජකීය වන්ශයක් බව සදහන්වේ.ඒ අනුව කෞරව වන්ශයට වසර 30000 පමණ ඉතිහාසයක් ඈත.පෑරණි ඉන්දියාවෙ පිහිටි ජනපද අතර පිහිටි කුරු ජනපදයේ කුරු ක්ශත්ත්‍රීයන් හෙවත් කෞරවයන්ගේ මුල් නිජබිමයි.ආර්‍ය‍යන්ගේ කුළ ගෝත්‍ර වන්නේ ක්ශ්ත්ත්‍රිය,බ්‍රාහ්මණ.වයිශ්‍ය්, - මෙහි සින්හල අරුත රජ,බමුණු,වෙළද, යන්නයි.සෙසු අය ආර්යන්ට අයත් නෑත.ඔවුන් එනම් ක්ශුද්‍රයෝය.ගොවි කුලය ක්ශුද්‍රයන් ලෙස සෑලකුහ.එනම් ඔවුන් ක්ශත්‍රීය කුලයට අයත් නොවූහ.ඔවුන් අයත් වූයේ යක්ශ ගෝත්‍රිකයන්ටය.ක්ශ්ත්‍රියයන් අයත්වූයේ නාගගෝත්‍රිකයන්ටය.පොලොන්නරුවේ නිශ්ශන්ක මල්ල සෙල්ලිපියේ ලියවී ඈත්තේ ගොවි කුලයේ අය කොතරම් බලවත් වුවත් රජකමට නුසුදුසු බවයි.මෙ අනුව කෞරව ක්ශත්‍රියන්ගේ පෞරාණික වෑදගත් භාවය පෑරණි මූලාශ්‍රවලින් සොයා ගත හෑකිය.

    ReplyDelete
  5. මහා භාරත වෑනි පෑරණි සාහිත්‍ය කෘති වල සදහන් පරිදි කෞරව වන්ශය යනු ක්ශත්‍රිය කුලයේ රාජකීය වන්ශයක් බව සදහන්වේ.ඒ අනුව කෞරව වන්ශයට වසර 30000 පමණ ඉතිහාසයක් ඈත.පෑරණි ඉන්දියාවෙ පිහිටි ජනපද අතර පිහිටි කුරු ජනපදයේ කුරු ක්ශත්ත්‍රීයන් හෙවත් කෞරවයන්ගේ මුල් නිජබිමයි.ආර්‍ය‍යන්ගේ කුළ ගෝත්‍ර වන්නේ ක්ශ්ත්ත්‍රිය,බ්‍රාහ්මණ.වයිශ්‍ය්, - මෙහි සින්හල අරුත රජ,බමුණු,වෙළද, යන්නයි.සෙසු අය ආර්යන්ට අයත් නෑත.ඔවුන් එනම් ක්ශුද්‍රයෝය.ගොවි කුලය ක්ශුද්‍රයන් ලෙස සෑලකුහ.එනම් ඔවුන් ක්ශත්‍රීය කුලයට අයත් නොවූහ.ඔවුන් අයත් වූයේ යක්ශ ගෝත්‍රිකයන්ටය.ක්ශ්ත්‍රියයන් අයත්වූයේ නාගගෝත්‍රිකයන්ටය.පොලොන්නරුවේ නිශ්ශන්ක මල්ල සෙල්ලිපියේ ලියවී ඈත්තේ ගොවි කුලයේ අය කොතරම් බලවත් වුවත් රජකමට නුසුදුසු බවයි.මෙ අනුව කෞරව ක්ශත්‍රියන්ගේ පෞරාණික වෑදගත් භාවය පෑරණි මූලාශ්‍රවලින් සොයා ගත හෑකිය.

    ReplyDelete