This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 28 December 2015

එන්රික් (Enrique) ගේ ප්‍රසංගය තුලද නැවත මතුවෙන ශ්‍රී ලංකීකයාගේ සංස්කෘතික අර්බුදය !!!!

පැයකට පමණක් සීමාවූ එන්රික් ඉග්ලේසියස්ගේ (Enrique Iglesias) කොළඹ ප්‍රසංගය රුපියල් 50,000ක් (ආසන්න වශයෙන්  ඩොලර් 300, පවුම් 228) වියදම් කල රසික, රසිකාවියන්ටවත් බලාපොරොත්තුවූ තරම් රසාස්වාදනයක් ලබාදීමට සමත්නොවූ තවත් 'අපි නොදන්න LIVE' ප්‍රසංගයක් වී ඇත
සාමාන්‍යයෙන් ගීත 22ක් ඇතුලත්වන එන්රික් ඉග්ලේසියස්ගේ(Enrique Iglesias) 'Love And Sex' ප්‍රසංගය අඩුම තරමින් පැය දෙකක්, දෙකහාමාරක් පමණ කාලයක් දිවයන්නකි. එහෙත්, ඩෝලර් 13 ලක්ෂයක් ඉපැයූ New York (15/02/2014) ප්‍රසංගයද,  ඩෝලර් 46 ලක්ෂයක් පමණ ඉපැයූ චිලීයේ Santiago (20/05/14), ආර්ජන්ටිනාවේ Buenos Aires (22-23/05/14), මෙක්සිකෝවේ Mexico City (29-30/05/14) ප්‍රසංගද, ඩෝලර් 70 ලක්ෂයක් පමණ උපයා ඇති බොලිවියාවේ, කොස්ටාරිකාවේ සහ එල් සැල්වදෝරයේ ප්‍රසංගද, ඩෝලර් කෝටියකට වඩා ඉපැයූ Los Angeles (10-11/10/14), London (21/06/15), Toronto (19/09/14), Lisbon, Barcelona සහ Chicago නගරවල ප්‍රසංගද පැය තුනහමාරකට වඩා වැඩිකාලයක් දිවගිය ඉංග්‍රීසී මෙන්ම ස්පාඤ්ඤ භාෂාවලින් ද ගී ගැයූ අති දැවැන්ත ප්‍රසංග බව ඔහුගේ බ්ලෝග් අඩවිවල දැක්වේ. 

ඒ සෑම ප්‍රසංගයක්ම ඔහුගේ ප්‍රධාන වේදිකා පරිපාලක නිලධාරියා මෙන්ම ප්‍රධාන ප්‍රසංග අධ්‍යක්ෂකවරයා වන Travis Shirleyගේ අධ්‍යක්ෂය යටතේ සිදුකර තිබේ. එන්රික්ගේ 'Love And Sex' ප්‍රසංගය සදහා කෙතරම් දැවැන්ත විදුලි අලෝකධාරාවන් ප්‍රමාණයක්, ශබ්ද විකාශන යන්ත්‍ර ප්‍රමාණයක් අවශ්‍යදැයි වරක් දක්වා ඇති  Shirley, ඒවා ප්‍රවාහනය කිරීම සදහා ඔහුට ට්‍රක් 14ක් අවශ්‍ය බවත්, දකුණු අප්‍රිකාව වැනි රටවලදී එම මට්ටමේ ප්‍රසංගයක් කිරීමට එම රටවල යටිතල පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බව ඔහු ඇතුළු 'Love And Sex' ප්‍රසංග කණ්ඩායම වටහාගත් බවත් දක්වා තිබේමෙයට අමතරව 'Love And Sex' ප්‍රසංගය සදහා හිපොප් ගායක Pitbull ද සහභාගීවන අතර ඔහුද පැයක පමණ කාලයක ප්‍රසංගයට දායකවේ. එහෙත් එන්රික්ගේ කොළඹ ප්‍රසංගයේදී අඩුම තරමින් ශ්‍රී ලාංකීකයන් වැඩිදෙනා දන්නා ඔහුගේ Hero ගීතයවත් හරියට නොගැවූනු, ශබ්ද පරිපාලනය ඉතාම දුර්වල කිසිමදෙයක් හරියට නෑසුන ප්‍රසංගයක් වී ඇති බව ඉහත වීඩියෝවෙන් පෙනේ.   
එහෙත්, රුපියල් 50,000ක් (ඩොලර් 300/පවුම් 228) වැය කලද, ශ්‍රී ලාංකීක රසික, රසිකාවියන්ට, ඉහත සදහන් කල ආකාරයේ  Travis Shirleyගේ ප්‍රසංග අධ්‍යක්ෂනය යටතේ සිදුකරන, අති උත්කර්ෂවත් සජීවී ප්‍රසංගයක් දැක බලාගැනීමට නොහැකිවී ඇත. කොටින්ම එන්රික් ඉග්ලේසියස්ගේ(Enrique Iglesias) 'Love And Sex' ප්‍රසංගය සිය ශ්‍රී ලාංකීක රසික, රසිකාවියන්ට සලකා ඇත්තේ ඉතාම දිළිදු ආකාරයකටය.

එහෙත් ප්‍රශ්නයවී ඇත්තේ ශ්‍රී ලාංකීකයන් ගෙවූ මුදලට සරිලන තරම් ඉස්තරම්  ප්‍රසංගයක්  නොලැබීම නොවේ, එන්රික්ගේ ප්‍රසංගයේදී කාන්තාවක් ඔහුව සිපගැනීම සහ ඔහුට 'බ්‍රේෂියර්' එකක් විසිකිරීමය. එහෙත් මෙවැනි දෑ හෝ මීට සමාන බොහෝ දෑ අනන්තවත් එන්රික් ඉග්ලේසියස්ගේ ප්‍රසංග වලදී මෙන්ම වෙනත් බොහෝ ජනකාන්ත ගායකයන්/සංගීත කණ්ඩායම් සහභාගීවූ ප්‍රසංගවලදී දැකගත හැක්කකි. සුප්‍රකට බීටල් (Beatles) සංගීත කණ්ඩායමට (1964) ඇමරිකාවේදී මුහුණපෑමට සිදුවූ පහත සිදුවීම්  කිහිපය සදහන් වීඩියෝව එයට එක උදාහරණයක් පමණි. 
එමෙන්ම, 1990 දශකයේ මුල් භාගයේදී ඉමහත් ජනප්‍රිය ගායකයෙක්වූ  නාමල් උඩුගම වරක් සහභාගීවූ කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගනයේ පැවති ප්‍රසංගයකදී ඔහුට වේදිකාව මතට ගොඩවීමට ඉඩනොදී ඔහුව බදාගැනීමට, ඔහුව ඇල්ලීමට, ඔහුව සිපගැනීමට, ඔහුගේ කොන්ඩගස් ගලවා ගැනීමට ශ්‍රී ලංකික කාන්තාවන් පිරිසක් පොරකන අයුරු මම දුටුවෙමි. එහෙත් ඒ සම්බන්දන්යෙන් කිසිම අවස්ථාවක රටේ ජනාධිපති කිසිම ප්‍රකාශනයක් කරන අයුරු නොදුටුවෙමි. 

එහෙත් සිරිසේන ජනාධිපතිවරයාට අනුව නම්  එන්රික්ගේ ප්‍රසංගයේදී ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ හැසිරීම අශීලාචාරය. අශිෂ්ටය. ඔහුට අනුව තමන් සිංහල බෞද්ධයෙක් ලෙස තරයේ විරුද්ධ, ලංකාවේ සංස්කෘතියට, සිංහලකමට, මනුෂ්‍යකමට, අපි රැකගෙන තිබෙන දේවලට, අපේ කම්වලට හානිකරන  කථා නොකරම බැරි ක්‍රියාවන්ය.  එපමණක්ම නොව මෙවැනි ප්‍රසංග සංවිධානය කරන ආයතනවලටද 'මඩු වලිගයෙන්'  තැලිය යුතු ක්‍රියාවකි.
සිරිසේන ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ඉහත කාන්තාවන්ගේ ක්‍රියාවන්වලට වඩා ශ්‍රී ලංකාවට හානියක් කර තිබේ. බ්‍රිතාන්‍යයේ BBC (පහත), SKY (පහත), Daily Mail (පහත), Daily Mirror(පහත), The Independent (පහත) සහ International Business Times (පහත) ආදී සියළු පුවත් වාර්තාවල් කියවා බැලීමේදී පෙනීයන්නේ, සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව, ශ්‍රී ලංකාව තුල පැහැදිලිවම බාහිර සංස්කෘතියකට ප්‍රියකරන, එයට අනුගතවන පිරිසක් රටේ සිටින බවත්, ඒමෙන්ම එය රටේ තිබෙනවා යැයි කියන තමන්ගේමවූ සුවිශේෂ දේශීය සංස්කෘතියට තර්ජනයක් බවත්ය. 

ඉහත ප්‍රකාශනයට අනුව රටේ තිබෙනවා යැයි කියන තමන්ගේමවූ, ශීලාචාර, ශිෂ්ට, සුවිශේෂ, අපේකම ආරක්ෂා කරන  සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය  බව ඉහත සදහන් කල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන්ම පැහැදිලිය. එයට හානිකරනවා යැයි කියන බාහිර සංස්කෘතිය බටහිර සංස්කෘතිය බව එනයින්ම පැහැදිලිය. මේ දෙක අතර ඇත්තේ කවරාකාර පරතරයක් ද ? පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නේ කවර නම් පරාසයක්ද ? යන්න අවිනිශ්චිතය. එයට හොදම උදාහරණය සිරිසේන ජනාධිපතිවරයාම වරක් බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින තමාට අතට අතදීම ගැන මහත් ආශ්වාදයෙන් සහ උන්මාදයෙන් කථා කරන අයුරැය. එය ඔහුට ඔහුගේ ජීවිත කාලයේදී ලැබූ ස්වර්ණමය අවස්ථාවක් බව කියනු අපි අසා සිටියෙමු. අද ඔහුම එන්රික් ගැන උන්මාදයට පත් තරුණියන්ට පමණක් නොව එම ප්‍රසංගය සංවිධානය කල පිරිස් වලට පවා  ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවූ පැරණි මෙලේච්ච දඩුවම් ක්‍රම ක්‍රියාත්මක කිරීමට යෝජනා කරයි. නොබෙල් සාම ත්‍යාගයට ඔහුගේ නම පලමුවටයට හෝ යෝජනා කිරීමට අදහසක් තිබුනේ නම් දැන් එයත් ඉවරය.

ඇත්තවශයෙන්ම, ශ්‍රී ලාංකීකයන් එතරම් ප්‍රකාශකිරීමට අකමැතිවුවද, ඔවුන් තමන්ගේ යැයි කියන දේශීය සංස්කෘතියේ සීමා-මායිම්, එහි දිග-පළල, එය නුතන යුගයට කෙතෙක් අදාලද යන්න සහ එය කෙතරම් යැල් පැනගොස් ඇද්ද යන්න ගැන හොදහැටි දනී. එමෙන්ම ඔවුන් යම් ආකාරයකට බටහිර සංස්කෘතියට, එහි උත්කර්ෂවත් බවට මෙන්ම එහි ප්‍රතිලාභ භූක්තිවිදීමට ද කැමැත්තක් දක්වයි. එහෙත් සිය ආගම, භාෂාව, කුඩා කල සිටම අනුගත නොවූ නිසා ඇතිවෙන චකිතය සහ ආගන්තුක බව නිසාත්, ආර්ථික බාධාවන් නිසාත් එවැනි බටහිර සංස්කෘතියට කැමති අයට පවා එයට නිසි ආකාරයට අනුගතවීමට නොහැකිව තිබේ. ජනාධිපතිවරයාගේ පුතා වුවද, රුපියල් 50,000 සිට 5,000 දක්වා මුදල් ගෙවා ටිකට්පත් ගෙන එන්රික්ගේ හෝ වෙනත් ඒ ආකාර ඕනෑම  ප්‍රසංගයකට ගියද ඔවුන් එවැනි කටයුතුවලදී තමන් පිටස්තරයන් හෝ අදාල සංස්කෘතියට ආගන්තුකයන් බව ඔවුන්ටම ප්‍රත්‍යක්ෂවේ. තවද බටහිර රටවලට ඇතුල්වුවද බොහෝ ශ්‍රී ලාංකීයන් එම රටවල නැවතත් කුඩා පන්සල්-දේවාල ආදිය ගොඩනගාගනිමින් නැවතත් තමන්ට හුරුපුරුදු සංස්කෘතියම සොයා යන්නේ ඒ නිසාය. ඇතමෙක් බටහිර  සංස්කෘතියේ ඇති සාරය හෙවත් ක්‍රීම් (cream) එක වෙනුවට කොටස් (crack) තෝරා ගනිති. එනම් බීතෝවන් (Beethoven) / මොර්සාඩ් (Mozart) ආදීන් වෙනුවට බොබ් මාලී (Bob Marley) තෝරාගනිති. ඒ අනුව හෝ මහා සම්ප්‍රදායෙන් බැරි නම් චූල සම්ප්‍රදායෙන් හෝ බටහිර  සංස්කෘතියට අනුගතවීමට උත්සහ කරති. එය කබලෙන් ලිපට වැටීමක් වීමටද පුළුවන. 

කෙසේවුවද, පියදාස සිරිසේන නව කථා ලියන යුගයේ සිටම මෙම තත්වය සිංහල ජනයා අතර සාකච්ඡාවට ලක්වෙන අතර එය සම්පුර්ණයෙන්ම අළුත් තත්වයක් නොවේ. සිංහල භාෂාවේ එන 'උණු නිසා බීමටත් බැරි, කිරි නිසා අහක දැමීමටත් නොහැකි' යැයි යන උපහරණය මේ තත්වය එක්තරා ආකාරයකට පහදයි. විසදුම ලෙස ශ්‍රී ලාංකීකයන් වැඩි දෙනෙක් තෝරාගැනීමට කැමැත්ත ඇත්තේ කිරි පමණක් නොව ඇල් වතුරද නිවා බීමටය. එය උණු කිරි වීදුරුක් තරම් ප්‍රබෝධමත් පානයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් කිරි තියා 'පාන්' කියාගන්නවත් බැරි රටක ?
   
කෙසේවුවද, රටේ තිබෙනවායැයි කියන තමන්ගේම වූ, ශීලාචාර, ශිෂ්ට, සුවිශේෂ, අපේකම ආරක්ෂා කරන දේශීය සංස්කෘතියකටත් ගෝලීය වශයෙන් සංස්කෘතිය ලෙස සැලකිය හැකි බටහිර සංස්කෘතියක ප්‍රවණතාවයන්ටත් ගොදුරුව සිටින ශ්‍රී ලාංකීකයන්ගේ සංස්කෘතික සහ සමාජ අර්බුදය තේරුම්ගැනීමට එන්රික් (Enrique) ගේ ප්‍රසංගය හරහා ගොඩනැඟුණු මෙම සිද්ධිදාමයද හොද පිටුවහලක් සපයන බව පැහැදිලිය. 

*රුසියානු ජාතික Pavel Tchelitchew (1898-1957) විසින් 1938 දී අදින ලද PHENOMENA (ප්‍රපංච/සංසිද්ධි) චිත්‍රය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
(28/12/2015). 

5 comments:

  1. ඇතමෙක් බටහිර සංස්කෘතියේ ඇති සාරය හෙවත් ක්‍රීම් (cream) එක වෙනුවට කුඩ්ඩ (crack) එක තෝරා ගනිති. එනම් බීතෝවන් (Beethoven) / මොර්සාඩ්(Mozart) ආදීන් වෙනුවට බොබ් මාලී (Bob Marley) තෝරාගනිති.

    ???
    How can one compare these three people with each other ? In my opinion Bob Marley did a great service to the society both through his music and his lyrics. I dont think, one can categorize him as "Crack" of the pop culture.

    (Sorry I dont have sinhala to type this response)

    ReplyDelete
  2. Well, I am not comparing them but Bob Marley does not representing the mainstream western culture only a specific type of music, usually recognize as a genre.

    ReplyDelete
  3. ඔව්, ආපහු කියවලා බලද්දී මටත් හිතනවා මුලින් යෙදු 'කුඩ්ඩ' කියන වචනය එතනට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ වගේම බොබ් මාලීගේ සින්දුවලට, රැගේ සංගීතයට, ඔහුගේ දේශපාලන භාවිතයට කැමති කෙනෙක් විදිහට මමත් ඒ යෙදුම තුල ඔහුට අසාධාරණයක් කරලා තිබෙනවා කියලා මටත් හිතෙනවා. ඇත්තටම මට අවශ්‍යවුනේ Douglas Holt සහ Douglas Cameron ගේ (2010) Cultural Strategy පොතේ සංකල්පගත කරලා තිබෙන 'cream & crack' සංකල්ප දෙක මෙතනදී යොදා ගන්නයි. එහෙත් මම crack යන්න 'කුඩ්ඩ' ලෙස යොදාගැනීම එතනට හරියන්නේ නැහැ. (සමහර විට ඒක මගේ ඔළුවට ආවේ Crack cocaine / crack coke / crack යන්නට ලංකාවේ කියන නමත් එක්කද දන්නැහැ). කොහොමවුනත් මම crack යන්න සදහා කොටස් යන්න ලෙස වෙනස් කලා. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි,

    ReplyDelete
  4. මං මේ කල්පනාකරන්නේ අපේ මඩු වලිග සේඩෝ-මැසොශිස්ටික් සංස්කෘතිය ගැන !

    ReplyDelete
  5. හා හා, ඔබ අදහස් කරන්නේ sado-masochistic (sadomasochistic) නේද ? සමහර විට ප්‍රායෝගිකව ලංකාවේ ඒ විදිහටම නැතිව ගියත් ඔය මඩු වලිග, හරක්.. ආදිය තුල ඔය වගේ guilty pleasure අදිය පිලිබදව ඇති නැබුරුව උනත් තියෙන්න පුලුවන්නේ ?

    ReplyDelete