This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 18 March 2016

ඇයි මේ සෙනග ?

ඊයේද (17/03/16) කොළඹ අතිවිශාල මහජන රැලියකි. ඊට දින දෙකකට පෙරද (15/03/16)  එවැනිම අතිවිශාල මහජන රැලියකි. ඒ දෙකම සංවිධානාත්මක දේශපාලන පක්ෂ විසින් විශාල ලෙස මුදල් වියදම්කර, බස් රථවලින් සෙනග ගෙන්විත්කල මහා රැළිය. 

ඒත් මේසා විශාල ලෙස සෙනග රැගෙනවිත් මහා රැළි කරන්නේ ඇයි?

ඊයේ රැළිය පැවැත්වුයේ ආණ්ඩුවට විරුද්ධවය. ඊට දින දෙකකට කලින් පැවති UNP රැළිය ආණ්ඩුවට විරුද්ධවන්නන්ට විරුද්ධවය. 

ඒත් මෙහෙම සෙනග ගෙනවිත් විශාල රැළි පවත්වා විරෝධය දැක්වුවිට ආණ්ඩුව වෙනස් වේද? ආණ්ඩුවට විරුද්ධවන්නන් නිහඩවේද ? මේ දෙකම නොවනු ඇත. එසේවේ යැයි සිතීම ද අතාර්කිකය.

එහෙත් මෙලෙස විශාල රැළි පවත්වා සමාජය තුල මතයක් තහවුරු කර, දේශපාලන පිබිදීමක් ඇතිකර ආණ්ඩුව මාරු කල හැකියැයි ද, විපක්ෂයට වඩා ආණ්ඩුව ශක්තිමත් යැයි පෙන්විය හැකියැයිද කියති.

එයද නොවිය හැක. මන්ද ලංකාවේ කවදත් ආණ්ඩු මාරුකලේ ජනාධිපතිවරණයකින් හෝ මහා මැතිවරණයකිනි. තවත් වසර 4-5කට මෙහා ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් නැතිකොට එලෙස ආණ්ඩු වෙනස් කරන්නේ කෙසේද?   එහෙත්, ඕනෑනම්, තවම ලංකාවේ සිදුකර නැතිවුවත්, සෙනග මහපාරට බස්සවා, දින, සති, මාසගනන් අගනුවර පාරවල් අවහිරකර කලින් ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් ඉල්ලා ආණ්ඩුව ගෙදරයැවීමට උත්සහයක් දැරිය හැක. එය එක්දින රැළියකින් නම්කල නොහැක. අනෙක එය ගුටිකන්නට විතරක් නොව මැරෙන්නටද සිදුවෙන වැඩකි. එහෙම මැරෙන්න  අපේ රටේ මිනිස්සු එයිද? කටුනායක නිදහස් වෙළද කලාපේ වැඩපොලකවත් නොකඩවා දිනදහයක් එම කම්හලේ කම්කරුවන් සමග අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වාගෙනයෑමට  නොහැකි රටේ, සතිගනන් පාරවල් වල ලැග ආණ්ඩු වෙනස් කිරීමට මිනිස්සූ එයිද? තවම නම් එසේවීමට තරම් ලොකු හේතුවක්ද නැත. 

විරෝධය දැක්වීමටයැයි කීවද, විරෝධය දැක්වීමට තරම් ආණ්ඩුව කලදෙයක්ද නැත. අර ඉන්දියාව සමග ගිවිසුමද තවම නැත. තවම රණවිරුවන් පාවාදී ද නැත. රට දෙකඩ කරද නැත. මහින්දව අත් අඩංගුවටගෙනද නැත. යෝෂිත මෙන්ම සියළු හාමුදුරුවන්ටද ඇපදී ඇති බැවින් ඔවුන් හිරේද නැත. FCIDයට කැදෙව්වද තවම නඩුද නැත. පොහොර නැතිවුද, සුදුරෙදි නැතිවුවද ඒ වෙනුවට සල්ලි දෙති. ඉතින් විරෝධය දැක්වීමට ඇත්තේ කවරකටද?

වෙන මොන පෞද්ගලික විදුහල් අධ්‍යාපනය මුදලට විකුණුවද  ගෙඩිපිටින් විරෝධය දැක්වීමට නම් අන්තරේට මාලබේ පෞද්ගලික වෙද විදුහලවත් තිබේ. එහෙත් ඒකාබද්ද විපක්ෂයට තවම එහෙමටම කියාදෙයක් නොමැත. අනෙක් අතට, පාර්ලිමේන්තුවේ එහෙම් මෙහෙන් සද්දයක්, රැළියක්, පෙළපාලියක්,  මිස ඒකාබද්ද විපක්ෂයෙන්ද  ආණ්ඩුවට තවම එතරම් ලොකු විරෝධයක් එල්ලවී නැත. ඒහින් ආණ්ඩුවට විරුද්ධවන්නන්ට විරුද්ධවීමටද ලොකු රැළි ඕනෑ කරන්නේ නැත. 

එහෙත් මේසා වියදම් කරමින්, මේහැටි සෙනග ගෙනවිත් මහා රැළි කරන්නේ ඇයි ? 

ඒ වෙන මොකටවත් නොව, මෙතරම් සෙනග ගෙනවිත් මහා රැළි කරන්නේ ලංකාවේ පක්ෂ තමන්ගේ පක්ෂත්, දේශපාලන වැඩපිළිවෙලත්, පාක්ෂිකයනුත් නඩත්තු කිරීමය. එය අන්තරේ ප්‍රමුඛ පෙරටුගාමීන්ටද, JVPයටද, ඒකාබද්ද විපක්ෂයටද, දැන් UNPයටද පොදුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අද හෙටම එවැන්නක් නොකර නොසිටිනු ඇත.  මැතිවරණයක් අතරතුර, මැයි දිනයක් සහ පක්ෂ සංවත්සරයක් අතරතුර තම පක්ෂයේත්, පාක්ෂිකයන්ගේත් ජවය නඩත්තු කිරීමට නම් එවැනි සංවිධානාත්මක දේශපාලන පක්ෂ විසින් විශාල ලෙස මුදල් වියදම්කර, බස් රථවලින් සෙනග ගෙනවිත් දැවැන්ත රැළි පැවැත්වීම අවශ්‍ය. පක්ෂිකයන්ට විනෝද චාරිකාවකුත්, නරබන්නට ආශ්වාදයත් අත්කර දෙන මෙම මහා රැළි සියල්ලටම වඩා ප්‍රමුඛතාවය දෙන්නේ සිය නායකත්වයේ සිට පහලම සමාජිකයාත්, සුබපතන්නන් දක්වාත්වූ සියල්ලන්ටම තමතමන්ගේ ආවේගයන් උපරිම ලෙස පිටකල හැකි අවකාශයක් සකසාදීමටය. ඔවුන් සිය පක්ෂවල දේශපාලන වැඩපිලිවලුත්, පක්ෂියන්ගේ ක්‍රියාකාරිත්වයත් නොකඩවා රැකගැනීමට අවශ්‍ය උත්තේජය ලබාගන්නේ එලෙසය. 

බටහිර රටවල සාමාන්‍යයෙන් පළාත් මට්ටමේ සමුළු, ජාතික සමුළු සහ විවිධ උත්සව (functions)  පවත්වා සිදුකරනදෙය අපේ රටේ කරනුයේ මහා සෙනගක් පාරට ගෙනවිත් මහා රැළියක් පැවැත්වීමෙනි. එම රටවල දැවැන්ත දේශපාලන රැළියක් සංවිධානය කරනුයේ යම්  කරුණක් පිලිබදව සාකච්ඡාවට ගණනාවකින් (consultation)  පසුවත් ප්‍රතිපලයක් නොලැබීමෙන් අනතුරුවය. එහෙත් අපේ රටේ නම්  වැඩේ පටන්ගන්නේම මහා රැළියක් පවත්වමිනි. එය අපේ පිළිවෙත වියහැක. එහෙත් අපේ රටේ නිතර සංවිධානය කරන විශාල දේශපාලන රැළි සහ එයට සහභාගීවන්නන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මට නම් පෙනෙනුයේ 'දේශපාලන භක්ති අභ්‍යාසක්' ලෙසය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
18/03/16

5 comments:

  1. මාකස්ල පෙ රේරල මොකුත් නො තේ රෙන තොක්ත ජේසු බබාල නේ.....

    ReplyDelete
  2. බටහිරටම තව ආවඩන්න කෝ..... එන්.ජී.ඕ. නත්තල් පප්පල ගෙනල්ල දෙනව නෙ කට්ටියට කට පු රෝල.....

    ReplyDelete
  3. රනිල්ගේ කෙරුවාව ගැන දන්න නිසා, දැනටමත් ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කරලද කියලත් සැකයි.

    ReplyDelete
  4. ආණ්ඩුව ගෙදර යැවිල්ල කෝක වෙතත් මේ ආණ්ඩුව තව ටික කලකට තිබුණොත් ඊලඟ වතාවේ චන්දයක් තියන්නවත් අපට රටක් ඉතුරු කරයිද කියල සැකයි.

    ReplyDelete
  5. හැමදාම තැලෙන්නෙ පීඩිත ඡන්ද දායකයින්!! ආන්ඩු මාරැ කිරීමද මේකට විසඳුම?

    ReplyDelete