This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 29 April 2016

මහා උනන්දුවක් ඇති මැයි දිනයක් !!!

මේතරම් සෙනග ගෙන්නට උන්නදුවුණු කිසිම මැයි දිනයක් ලංකාවේ තවත් තිබෙන්නට නැතිව ඇත. 

එහෙත් ඒ මිනිස්සුන්ට 'අඩු පැය ගණනක් වැඩකර ජීවත්වන්නට ප්‍රමාණවත් වැටුපක් ලබාගැනීම' නම්වූ මැයි දිනයේ නියම අරමුණ වෙනුවෙන් නම් නොවන බව පැහැදිලිය. 

විවිධ පක්ෂවල/කණ්ඩායම්වල උවමනා ඉටු කරගැනීමට, අනෙකාට වඩා තමාන්ගේ දේශපාලනට වැඩි මහජන ප්‍රසාදයක් ඇතිබව ඔළුගෙඩි ගණනින් පෙන්වීම දැන් එහි අරමුණවී ඇත. 

එම උනන්දුවම මිනිස්සුන්ට 'අඩු පැය ගණනක් වැඩකර ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක්' ලබාදෙන්නට යෙදවුයේ නම් කොතරම් අගනේද? 

සැබෑවටම මැයි දිනය සමරන්නේ ඒ වෙනුවෙනි. 

එසේත් නොමැතිව මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒමටවත්, මෛත්‍රීගේ සහ රනිල්ගේ යහපාලනය ශක්තිමත් කිරීමටවත්, වෙනත් දේශපාලන පක්ෂවල බලය පෙන්වීමටවත් නොවේ. රටක මැතිවරණ පැවැත්වෙනුවේ ඒ වෙනුවෙනි. 

ඒහෙත් සියල්ල එහි මුලික හරයන්ගෙන් ගලවා ඉවත්කර ඇති, පොත්ත පමණක් ඉතිරීවී මැද හිස්වූ,  අපේ රටේ මැයි දිනය පමණක් එසේ නොවී පැවතීමට ඉඩක් තිබීමට නොපුළුවන. 

අවශ්‍යනම් මෙවැනි අවුල්වලට හවුල් නොවී නිරවුල්ව සිටීමට පුළුවන් පුද්ගලයන්ද අපේ රටේ සිටී. මැයි දිනය යනු 'අඩු පැය ගණනක් වැඩකර ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් ලබාගැනීමට' වූ අරගලයේ දිනයයි. එය සාක්ෂාත් කරන මැයි දින මිස තම ගොඩවල් වැඩිකර පෙන්වීමට පොරකන මැයි දිනවලින් ඇති වැඩක් නැත. 

ඒවැනි දේවලට සහභාගීවීමද අරුත්සුන් දෙයකි. එහෙත් වියදමකින් තොරව එක් දින චාරිකාවක් යෑම සදහා හෝ වෙනත් පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් රටේ යම් කොටසක් මෙවැනි ක්‍රියාවලට යොමුවන බව අපි දනිමු. ඒ දිළිදුකම නිසාබව ප්‍රකටය. එමගින් මැයි දිනයට දිළින්දන්ගේ සභභාගීත්වයක්  ලබාදීම සිදුනොවන්නේදැයි? කෙනෙකුට ප්‍රශ්න කල හැක. එය එක් අතකින් 'කම්කරුවන්' යන්න සදහා වන සම්ප්‍රදායක වමේ නිර්වචනය වන 'ශ්‍රමය විකුණා ජීවත්වන්නන්' යන්න වෙනත් ආකාරයකට දීර්ඝ කිරීමක් ද විය හැක. 


එමෙන්ම 'අඩු පැය ගණනක් වැඩකර ප්‍රමාණවත් වැටුපක් ලබාගැනීම' යන්න ලංකාවේ නිදහස් වෙළද කලාප, වෙනත් පෞද්ගලික ආයතනවල සේවයේ නියුක්තවන්නන්, වතුවල වැඩකරන ජනයා, වෙළද සැල්වල සේවයේ නියුක්තවුවන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට පමණක් අදාල ඉල්ලීමක්වීමට ද ඉඩතිබේ.

ඒ ලංකාවේ බොහොමයක් ක්ෂේත්‍ර නිලවශයෙන් කෙසේවෙතත් නොනිල මට්ටමින් 'අඩු පැය ගාණනක් වැඩකර ප්‍රමාණවත් වැටුපක් ඔවුන් කොහොමත් ලබාගන්න නිසාය.  

එහින් මැයි දිනයද, එහි හරයද, එහි පදනමද අපේ රටේදී නිරූපණයවන්නේද, ක්‍රියාත්මක වන්නේද  එහි ස්ථාපිත මුලික අර්ථයෙන් නොවනබව පැහැදිලිය. 

මේ සියල්ල ගැන මට නැවත කිවහැක්කේ  මැයි දිනයද ශ්‍රී 
ලංකාවේ සිදුකරන තවත් එක් 'දේශපාලන භක්ති අභ්‍යාසයක්' (political ritual practice) පමණක් බවය. ඒ ගැන මම මීට පෙරද ලියා ඇත. එය (ඇයි මේ සෙනග ?) නම් ලිපිය ඔස්සේ කියවිය හැක. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
29/04/2016
* ලිපියේ මුලින්ම එන ඡයාරූපය වමේ මැයි රැළියක වේදිකාව නිර්මාණය කල තැනත්තෙකු  ඡයාරූපයකි. එහෙත් අවසාන රූපය දකුණු අප්‍රිකානු වෘත්තීය සමිති කොංග්‍රසය (Congress of South African Trade Unions (COSATU)) සිය මැයි දින රැළියක් වෙනුවෙන් නිකුත්කල පොස්ටරයකින් උපුටාගත්තකි. COSATUය එරට යටත්විජිත පාලනයට විරුද්ධවද, සුදු වර්ගවාදයට එරෙහිවද, එරට මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතුකරන, අප්‍රිකාවේ ඇති විශාලතම වෘත්තීය සමිතියය. එම පොස්ටරය මම 2014 මැයි දිනය වෙනුවෙන් මාගේ facebook පිටුවේ පලකරන ලද්දකි. එම සටහන පහතින් වේ.


'මැයි දිනය වසරේ තවත් එක දිනයක් වී හමාරය. යුරෝපයේ බොහෝ රටවලට අද (මැයි 01) තවත් වැඩකරන දිනයකි. ඒ වෙනුවෙන් ඊ ළග සදුදා නිවාඩුව ලබා දෙන මුත් මැයි දිනයේ මුලික අර්ථය වූ 'ලෝක කම්කරු දිනය' යන්න එයින් වියැකී ගොස් තිබේ. ඒ වෙනුවට දැන් දැන් මැයි 01 යනු වසන්ත කාලයේ 'පළමු දිනය' ( first day of summer) නම් පුර්ව ක්‍රිස්තියානි (පෙගන් / Pagan) උත්සවයක් හා එය සම්බන්ද කරමින් පවතී. ශ්‍රී ලංකාවේ නම් අද දේශපාලන පක්ෂ වල වාර්ෂික වැඩ සටහනේ තවත් වැදගත් දිනයකි. එය අද වමේ නොවන පක්ෂ විසින් සිය බලය ප්‍රදර්ශනය කිරීමටත්, වමේ පක්ෂ විසින් වඩාත් රතු (වම) කව්ද ? යන්න මතු කිරීමට තවත් දැඩි උත්සාහයක නිරතවන දිනයකි. මේ සියල්ලේන්ම සිදුවී ඇත්තේ මැයි දිනයේ මුලික අර්ථය වියැකී යාමයි. එනම් වැඩ කරන, නිමක්නැති බිල් ගෙවන, හාල්මැස්සාගේ සිට බදු ගෙවන, ජනයා, 1886 ඇමෙරිකාවේ චිකාගෝ නුවර ජනයා මෙන්, එකට එක්ව නැගී සිටියොහොත් යම්තම් හෝ වඩා යහපත් තත්වයක් ගොඩනගා ගතහැකි යැයි ලොවට හෙලිකල වැදගත් දිනයක් යැයි යන්න අවදානයෙන් ගිලිහී යාමයි. එය අනුසමරණය කිරීමේ වැදගත්කම වනුවේ එය අප වැනිම වැඩ කරන, බිල් ගෙවන, බදු ගෙවන මිනිසුන් වෙනුවෙන් වෙන් වූ එකම දිනය නිසාය. ඒහින් මැයි දිනය අපේම දිනය බව අමතක නොකරමු !!!'

01/05/2014. මාකස් ප්‍රියන්ත පෙරේරා (facebook)

2 comments:

  1. ලෝක කම්කරු දිනය අසම්ජ්ජාති දේශපාලකයන්ගේ බයිට් එකක් වෙලා.

    ReplyDelete
  2. ඒක ඒගොල්ලන්ගේ වාර්ෂික වැඩසටහනේ තවත් එක අංගයක් විතරක් වෙලා.

    ReplyDelete