This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 6 May 2016

මීගමුව ලන්දේසි කොටුව ගැන බ්‍රෝහියර්ගේ සටහන

 ඉකුත් වසරේ (2015) සැප්තැම්බර් මස පලකල 'මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන්' (එය මෙතනින් කියවිය හැක) නම් ලිපියේ සදහන් කල පරිදි 
පෘතුගීසින් විසින් මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේ ගොඩනගන ලද මීගමුව කොටුවත්, ඔවුන් පාලනයකල  මීගමුව ආශ්‍රිත ප්‍රදේශත් යටත් කරගැනීමට ප්‍රථමයෙන් කටයුතුකල  ලන්දේසි ජාතිකයාවුයේ එවකට ලන්දේසි පෙරදිග වෙළද සමාගමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාවූ කොමදෝරු Philip Lucasz (Heer Philp Lucaszoon). ඒ 1638 දී ලන්දේසි පෙරදිග වෙළද සමාගම සමග දෙවන රාජසිංහ රජ ඇතිකරගත් ගිවිසුමකට අනුවය. ගිවිසුම් ප්‍රකාරව 1640 ජනවාරි 29වෙනි දින Philip Lucasz මීගමුවේ උතුරු කෙරවලේ පිහිටි, අරාබි නැව් ප්‍රතිසංස්කරණය කල කම්මහල් පැවති නිසා ඒ නම ලැබුණු, කම්මල්තුරේට (Kammala/Kaymel/Caymel) නැව් කිහිපයකින් ගොඩබැස ඇති අතර උඩරට රජගේ සහයෝගයද ඇතිව සෙබළුන් 3500ක සේනාවක් සමග මීගමුව කොටුව (Negombo Portuguese Garrison) අල්ලා ගැනීමට  මුහුදින් සහ ගොඩබිමින් ප්‍රහාරයක් දියත්කර ඇත. ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වුවා Philip Lucaszගේ නෞකා කලපුවට කොටුකරගැනීමට එවකට මීගමුව කොටුව භාරව සිටි පෘතුගීසි සෙනවියා වූ සෙබස්තියන් කස්ටලි ලාන්සා (Sebastian Castelli Lanza) සමත්වුවද ඔවුන් පුදුමයට පත් කරමින් ලන්දේසි කොමදෝරු Philip Lucasz මීගමුව කලපුවේ මුහුදට පිහිටිලා පිහිටි පටු ස්ථානයකින් (එනම් වර්තමාන කැපුන්ගොඩ) ඇලක් කපා නැවත මුහුද දෙසින් පැමිණ මීගමුව කොටුව අල්ලාගෙන තිබේ.(Charles Ralph Boxer (1958) 'Christians and spices' / 'Portuguese missionary methods in Ceylon, 1515-1658').

එහෙත් දෙවන රාජසිංහ රජ සමග ඇතිකරගත් ගිවිසුම පරිදි පෘතුගීසින්ගේ මීගමුව කොටුව විනාශකර දැමීමටත්, ඔවුන්ගේ පාලන ප්‍රදේශ රජට පවරාදීමටත් ලන්දේසි කොමදෝරු Philip Lucasz ප්‍රතික්ෂේප කලහ. ඒ වෙනුවට පෘතුගීසින්ගේ මීගමුව කොටුව ඔවුන් නැවත ශක්තිමත්කර කුරුදූවලට ප්‍රසිද්ධ මීගමුව ඔවුන්ගේ භාරයේ තබාගැනීමට කටයුතු කරන ලදී. එහෙත් කොටුව අල්ලාගෙන දින 11ක් ගතවනවිට Philip Lucasz හදිස්සියේ රෝගාතුරව ඇත. 1640 මාර්තු මාසේදී ඔහුව නැවත  බතාවිය (Batavia, Indonesia)  බලා රැගෙන යන අතර Philip Lucasz මියගොස් තිබේ. ඒ සමග උත්සාහයන් කිහිපයකින් අනතුරුව 1640 දෙසැම්බරයේදී මීගමු ජනයාගේ සහයෝගය ඇතිව පෘතුගීසින් නැවතත් මීගමුව කොටුව අත්කරගෙන තිබේ. එහිලා ලන්දේසින් මීගමුවේ ඒවන විටත් 30,000 වඩා සිටි කතෝලිකයන්ට එල්ල කල ආගමික බලපෑම සෑහෙනදුරට හේතුවන්නට වූ බව Don Peter (1963) /V. Perniola (1983) / R.G.Anthonisz (1929) ශාස්ත්‍රීය අධ්‍යන අනුව පෙනේ. එය ලංකා ඉතිහාසයේ  පෘතුගීසින් විසින් ලන්දේසින්ගෙන් නැවත අත්කරගත් එකම කොටුව විය. එහෙත් ඉන් වසර 04කට පසු එනම් 1644 ජනවාරි 09වෙනි දින බතාවියේ සිට පැමිණි Francois Caron ගේ නායකත්වයෙන් යුතු  ලන්දේසි හමුදාව මීගමුව කොටුව සහ ඒ අවට ප්‍රදේශ නැවත අල්ලාගන්නා ලදී. 
මුහුදෙන් දියත්වූ ක්ෂණික ප්‍රහාරයකට පසු උදේ 10ට ගොඩබිම සටන් ඇරබී ඇති අතර දහවල් 01වනවිට මීගමු කොටුවේ සිටි පෘතුගීසි ජෙනරාල්වරු දෙදෙනාද ඇතුළුව සමස්ත පෘතුගීසි බලඇණියම මරාදමා මීගමුව කොටුව යටත්කර ගැනීමට ලන්දේසීන්ට හැකිව තිබේ. සටනේ අවසානයේදී  කොටුවේ ඉතිරිවූ කොටුව භාර පෘතුගීසි නිලධාරීයා ඇතුළු කිහිපදෙනෙකු ලන්දේසින්ගේ සිරකරුවන් ලෙස යටත්වීම ප්‍රතික්ෂේප කරඇති අතර ඒ වෙනුවට සියදිවි තොරකරගෙන මීගමු කොටුවේම මියයෑම තෝරාගෙන ඇත. මෙසේ මියගිය පෘතුගීසි ජෙනරාල්වරු දෙදෙනා සහ සෙසු පෘතුගීසි නිලධාරීන් මීගමුවේ පැවති පැරණි පෘතුගීසි සුසාන භූමියේද, සටනේදී මියගිය ලන්දේසි ලුතිනන්වරු 04 දෙනා ඇතුළු සෙබළුන් කිහිපදෙනෙකු පෘතුගීසි විසින් පෘතුගීසි කතෝලික සුසානභූමියට වම්පසින් ඒවනවිටත් පිහිටවා තිබු රෙපරමාදු සුසාන භූමියේද මිහිදන් කර ඇත (Richard Gerald Anthonisz (1929) 'The Dutch in Ceylon: An Account of Their Early Visits to the Island, Their..' page60-68 & Ceylon Literary Register Vol. II page 58-85).(දැන් රජයේ සහ පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීම නිසා දැනට දැකිය නොහැකිව ඇති මෙම සුසානභූමි දෙක ගැන පසු දවසක ලියමි) 

කෙසේවුවද, ලන්දේසීන් මෙලෙස  මීගමුව කොටුව අත්කර ගැනීමෙන් අනතුරුව, මීගමුවේ එතෙක් පැවති දුර්වල, කොටුවක් ලෙස නම් කිරීමට පවා නොවටිනා (The Portuguese Fort at  Negombo was  a weak irregular structure, and is said to have been unworthy of the name of a fort) පෘතුගීසි කොටුව ලන්දේසින් විසින් ඉතා ශක්තිමත්ව ගොඩනංවා ඇත (Ceylon Literary Register Vol. II page 53-54). ඉන් වසර 50කට පසුව එනම් 1690දී පමණ ලන්දේසීන් විසින් ඉදිකළ කොටුව සහ  කොටු බැම්මකින් වටවූ මීගමුව නගරය Johannes Vingboons ගේ (1665) අලංකාර 'The Dutch fort in Negombo' නම් සිතුවමේ දක්වා ඇති ආකාරය ඉහත(දෙවන) සිතුවමේ දැක්වේ.

ඉතාමත් ශක්තිමත් පවුරුවලින් වටවූ කොටුව සහ කොටු පවුරකින් වටවූ  සැලසුම්කල මීගමු නගරය සැලසුම්කල පරිදි කෙතෙක් දුරට ඉදිවුයේද යන්න ගැටළුවකි. හැමිල්ටන් ඇළඉවුරේද, එය කලපුවට වැටෙන ස්ථානයේ සිට මුන්නක්කරය පාලම ඔස්සේ කුට්ටිදූව දක්වාත්, නැවත වෙරළ අයිනෙත් තැනින් තැන ඉතා ශක්තිමත්ව බැදි පවුරක පදනම් තවමත් ඉතිරිවුවද Johannes Vingboons ගේ (1665) ඉහත  the Dutch fort in Negombo සිතුවමේ දක්වා ඇති ආකාරයටම මීගමුව කොටුවට එපිටින් වූ කොටුපවුරක් තිබුනේදැයි හෝ ලන්දේසීන්ට එසේ විශාල කොටුපවුරක් ඉදිකිරීමට හැකිවුයේදැයි යන්න ගැන මට තවම නිශ්චිතවම කිවහැකි වාර්තා හමුව නැත.

අඩුම තරමින් කොටුවේ අභ්‍යන්තර ස්වරූපය සහ එය පැවති ආකාරය ගැන මට තවම හමුව ඇත්තේ සීමිත වාර්තා කිහිපයක් පමනි. ඒ අතරින් Richard Leslie Brohier (R. L. Brohier/ R. L. බ්‍රෝහීයර්) (1978) ගේ 'Sri Lanka and the Netherlands' කෘතිය ප්‍රධාන තැනක් ගනී. එහි පිටු අංක 50-55 දක්වා ඇති කරුණු වලට අනුව නම් ලන්දේසීන් මීගමුවේ ඉදිකළ කොටුව කොළඹට  ආසන්නව පිහිටි  මධ්‍යකාලීන යුගයේ පැවති කොටුමෙන්  මනස්කාන්ත කොටුවක් යැයි දක්වයි ('The Dutch raised over the old the Portuguese defense at the Negombo might today have being a picturesque medieval fort within easy reach of Colombo and an inspiration to both cultural sources and tourism..'p.51).1744 දී ජොහාන් වුල්ෆ්ගන් හෙයෙද්ට් (Johann Wolfgang Heydt) අදින ලද පහත චිත්‍රය මෙම අදහස නැවත තහවුරුකරන බව පෙනේ. මෙම විස්තර කිරීම් වලට අනුව මීගමුව කොටුවට

මුහුද දෙසින් මෙන්ම ගොඩබිම දෙසින්ද ඇතුල්වීමට  තිබු පෙදෙසේ උස් පහත්වන, හැකිලිය හැකි පාලමක් (draw bridge) තිබී ඇත. අද එම පාලම හෝ දිය අගල නැති අතර කෙලින්ම ගොඩබිම මගින් සම්බන්දවීමට හැක. එහෙත් අතීතයේදී එය මධ්‍යතන යුගයේ පැරණි කොටුවක පැවති එක් ආරක්ෂක මෙන්ම අලංකාර අංගයක්වූ උස් පහත්වන, හැකිලිය හැකි පාලමකින් සම්බන්දව ඇත. එම දොරටුවෙන් ඇතුල්වුවිට නැවත  අභ්‍යන්තර කොටු පවුරක් පැවති අතර එය විශාල දොරටුවකින් වසා දමා තිබී ඇත. මෙම දෙක අතට මීටර් 25ක දුරක පරතරයක් පැවැත ඇත. අදද මීගමුවේ කොටුව ඇතුලත පිහිටි බන්ධනාගාරයට ඇතුල්වීමට මෙවැනි දුරක් ඇත. බන්ධනාගාරයට ඇතුල්වන තැන විශාල දොරටුවක් ඇති අතර එම දොරටුවෙන් ඇතුල්වූ පසු ලන්දේසි යුගයේ ඉදිකළ විශාල ශාලා දෙකක් දෙපස ඇති බව මට දැනගැනීමට ලැබී ඇත. තවද අද විනාශ වීමට ඉඩ ඇර ඇති මීගමුව කොටුවේ ඉදිරිපවුරේ කොටස සහ
බන්ධනාගාරය අතර කොටසේ තිබී අඩි 3 පළල අඩි 4ක් උස ලතින් භාෂාවෙන් ලියූ පලකයක් 1939දී සොයාගත් බව R. L. බ්‍රෝහීයර් (1978) ගේ 'Sri Lanka and the Netherlands' කෘතියේ 54 පිටුවේ දක්වයි. මෑතක් වනතුරුම එය මීගමු බන්ධනාගාර භූමිය තුල තිබී ඇත. පොතේ දක්වා ඇති එහි සදහන්දේහි පරිවර්තනයක් පසකින් වේ.  

කොටුවේ පිටත පවුරේ ස්ථාන 5ක් තරුවක කොනවල් මෙන් ඉදිරියට නෙරා තිබූ අතර මෙම පස් කොනවල් කේන්ද්‍රකරගෙන කාල තුවක්කු ඇති මුරකුටි පිහිටුවා තිබී ඇත. R. L. බ්‍රෝහීයර් (1978) ගේ විස්තරයට අනුව ගොඩබිම පැත්තට මුහුණලා පිහිටි  මුරකුටි දෙක ඩෙල්ෆ් සහ රොටඩැම් ලෙසද, මුහුදට සහ කලපුවට මුහුණලා තිබු කොනවල් පිළිවලින් ඈම්ස්ට්‍රැඩැම්, හූර්න් සහ මිඩ්ල්බර්ග් යන නෙදර්ලන්ත නගර සිහිවීමට නම්කර ඇත. අඩි 22ක් උස කොටු පවුරේ  කොන් කිහිපයක කවාකාර මුර කුටිද තිබී ඇත. එමෙන්ම කොටුව පුරාම අර්ධකවාකාර ආරුක්කුවලින්  කොටුපවුර ශක්තිමත්කර ඇත. එහි සලකුනු  තවමත් දැකිය හැක. 

කොටුව තුල හමුදා කණ්ඩ තුනකට පහසුවෙන් නවාතැන් ගත හැකිව තිබී ඇති අතර විශාල වෙළද බඩු, වයින් සහ ආහාර ඇතුළු  භාණ්ඩ ගබඩා කරතිබූ ගබඩා කිහිපයක්ම පැවත ඇත. තවද පොලව අභ්‍යන්තරයේ වෙඩි බෙහෙත්, අවි ආයුද ගබඩා මෙන්ම සිර කුටිද පැවැත ඇත. ඒ සියල්ල උමන් මාර්ග ඔස්සේ සම්බන්දව ඇත. 

ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ අංගයක්වන උස්‌ පිල වහල්වල්වලට ඉහලින් පිහිටි කවාකාර මුදුන් කොත (Cupola)  ලන්දේසි  කොටුවලද දැකිය හැකිවූ බව දක්වන R. L. බ්‍රෝහීයර් (1978) මීගමුවේ ලන්දේසි  කොටුවේ සීනු කනුව (klokkentoren/bell tower) පැවතියේ  ඒ ආකාරයට යැයි දක්වයි. 1744 දී ජොහාන් වුල්ෆ්ගන් හෙයෙද්ට් (Johann Wolfgang Heydt) අදිනලද (මෙහි ඇති තෙවන පින්තුරයේ දක්වන) චිත්‍රයේහිද එය ඉතා පැහැදිලිව දක්වයි. 

1796 පෙබරවාරියේදී බ්‍රිතාන්‍යයන් මීගමුවේ ලන්දේසි කොටුව පවරාගැනීමෙන් අනතුරව ක්‍රමයෙන් ලන්දේසි කොටුවේ කොටස් කඩා කොටුව සිරගෙදරක් බවට පරිවර්තනය කල අතර සම්ප්‍රදායකව  ලන්දේසීන්ගේ සීනු කනුව (klokkentoren/bell tower) යටින් ඇතුල්වීමට තිබු ප්‍රධාන දොරටුව ගල් බිත්ති බැද අවහිර කර නව ඇතුල්වීමේ දොරටුවක් 1814දී ඉදිකර ඇත. අද කොටුවේ ඇත්තේ මෙම ඇතුල්වීම් දොරටුවය. එහෙත් ලන්දේසින් ඉදිකළ සීනු කනුව සහ සීනුව (klokkentoren) 1899 වන තුරුම කොටුවේ දැන් ඉතිරිවී ඇති නැගෙනහිර කොටසේ සුරක්ෂිතව තිබී ඇත. එහෙත් 1899දී  බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years))  පිරීම සැමරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේද, සියළු යටත්විජිතවලද නව ජුබිලි ඔරලෝසු කණු (jubilee clock towers) පිහිටවීමට පටන්ගත් අතර ඒ අනුව මීගමු කොටුවේ එතෙක් පැවති ලන්දේසින් ඉදිකළ මුදුනත කවාකාර සීනු කනුව (klokkentoren) කඩා ජුබිලි ඔරලෝසු කණුවක්  (jubilee clock towers) ලන්දේසි සීනුවද සහිතව ඉදිකර ඇත. ඒ අනුව අද මීගමුව කොටුවේ ඇති ඔරලෝසු කනුව වූකලී  1899 දී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years))  පිරීම සැමරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේද, සියළු යටත්විජිතවලද ඉදිකළ ජුබිලි ඔරලෝසු කණු (jubilee clock towers) වලින් එකකි. එහෙත් එහි සීනුව සොරාගෙන ගොස් බොහෝ කාලයක් ගතව ඇත. 

R. L. බ්‍රෝහීයර් (1978) දක්වනුයේ මීගමුවේ කොටුවේ දැනට දැකීමට ඇති වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years))  පිරීම අනුස්මරණ කිරීමට ඉදිකළ ජුබිලි ඔරලෝසු කණුව (jubilee clock towers) පිහිටා ඇත්තේ නිශ්චිතවම ලන්දේසි  කොටුවේ සීනු කනුව (klokkentoren/bell tower) පිහිටි ස්ථානයේ බවය (1978,  පි. 55). ඒ අනුව මීගමුව ලන්දේසි  කොටුවට ගොඩබිමින් ඇතුල්වීමට පිහිටි දොරටුව තිබී ඇත්තේ මෙම ඔරලෝසු කනුව යටිනි. එය ගොඩබිමින් වෙන්ව දිය අගලකින් වටවී තිබී ඇති අතර ගොඩබිමත් කොටුවත් සම්බන්දකර ඇත්තේ  උස් පහත්වන හැකිලිය හැකි පාලමකිනි (draw bridge). ඒ මීගමුව කොටුව ගැන මෙතෙක් අප ඇස ගැටුණු තොරතුරුවලින් බිදක් පමණි. එය සයුරේ පාවෙන අයිස්කුට්ටියක (iceberg) එක් තුඩක් පමණක් වැනිය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
06/05/16.

4 comments:

  1. ඉතාමත් හොඳ විස්තරයක්. ස්තුතියි විස්තර හොයලා මෙවැනි ලිපි පල කරනවාට.

    මමත් කාලෙකට කලින් මීගමු කොටුව බලන්න ගිහින් ඒ ගැන බ්ලොග් ලිපියක් ලිව්වා. විස්තර නම් නෑ මම ඇහින් දැක්ක දේවල් තමයි ලිව්වෙ. ඒත් කියන්න කණගාටුයි අද කොටුව මේ ඡායාරූපව්ලින් පෙනෙන තරමටවත් අලංකාරව නෑ.

    ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වගේ තැනක් සුරක්ෂිත කිරීමට පියවර නොගන්නෙ?

    ReplyDelete
    Replies
    1. මම මේ නොදන්න දෙයක් ගැන අහන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වඩාත් අවධානයක් යොමුකරන්නේ, බෞද්ධ ආගමික නටබුන් සංරක්ශනය සඳහාද? මෙය ආගමික හෝ උරුමයන් පිලිබඳ විවාදයක් මතු කරගන්න උත්සාහයක් නොවේ.

      Delete
  2. නොදන්නා විස්තර බ්ලොග්ස් තුලට ඉතිරිකර තැබීම ගැන ස්තූතියි. සීනු කණු සහ ඔර්ලෝසු කණු පිලිබඳ දැණ ගත්තා මේ ලිපියෙන්.

    ReplyDelete
  3. ඇත්ත, අනුර කියනවා වගේ පුරාවිද්‍යා දෙපර්තුමෙන්තුවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලත් මේගැන නොසලකා සිටින්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට තියෙනවා. විශේෂයෙන්ම ගාල්ල, මාතර වගේ ප්‍රදේශවල ලන්දේසි කොටු හොදට ප්‍රතිසංස්කරණ කරලා ලස්සනට පවත්වාගෙන යද්දී මීගමුව කොටුව රැකගන්න කිසිවක් කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය මීගමු මිනිස්සූ නිතර අහනවා. කොයි ආණ්ඩුව ආවත් මීගමුවේ පැරණි කොටුව, තානායම සහ ලන්දේසි යුගයේ ගොඩනැගිලි ආරක්ෂා කරන්න ප්‍රමාණවත් දෙයක් කරලා. ඒ වගේම හරී කියනවා වගේ දැන් කොටුවේ ඉරණම හරිම සෝචනීයයි. මම මේක ගැන මීට පෙරත් ලියා (මීගමුවේ සංස්කෘතික උරුමය රැකගැනීම සදහා නව උත්සහයක් !/?)http://marcuspriyanthaperera.blogspot.co.uk/2015/11/blog-post_13.html. ඒවගේම හරී මේගැන ලියලා තියෙන ලිපියේ comments දැක්කහම පෙනෙන දෙයක් තමයි ලංකාවේ හුගක් අය මීගමු කොටුවක් ගැන දන්නේ නැහැ !!! සමහර විට පුරාවිද්‍යා දෙපර්තමේන්තුවටත්, මාධ්‍යම සංස්කෘතික අරමුදලටත් එසේම වෙනඩ ඇති.

    ReplyDelete