This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 30 June 2016

සොරකම්කල සුරැවම සොයාගැනේ, එහෙත් අවසානය මෙය විය නොහැක

ඊයේ (29/06/19)  අළුයම 1ට මීගමුව දළුපොත ශාන්ත අන්තෝනි පල්ලියේ එක් දොරක්කඩා එහි තැම්පත්කර තිබූ මීගමුවේ ජනයා මහත් විශ්වාසයෙන් යදින  සුප්‍රකට ශා. අන්තෝනි සුරුවම  සොරකම් කර තිබුණි. දැන් සුළු මොහොතකට පෙර එම සුරුවම සොයාගැනීමට සමත්වී ඇත. එහෙත් භක්තිවන්ත ජනයා විසින් එහි පලදා තිබු 20 ක් පමණවූ     රන්මාල  සියල්ල සොරාගෙන තිබේ. ඒඅනුව මෙම සොරකම පැහැදිලිවම රන්මාල සොරාගැනීම සදහා සිදුකල දෙයක් බව පැහැදිලිය. 

මෙයට පෙරද  මීගමු කට්ටුව ශා. සාර්විස් පල්ලියේ  ශා.සාර්විස් සුරැවමද, ඇළපාරේ පිහිටි ශා. සෙබස්තියන් පල්ලියේ ශා. සෙබස්තියන් සුරැවමද සොරකම් කරන ලදී. ඇළපාරේ පිහිටි ශා. සෙබස්තියන් දේවස්ථානයේ ශා. සෙබස්තියන් සුරැවම පසුව වැල්ලවීදීය දේවස්ථාන භූමියේ දමාගොස් තිබුණි. ඒ ප්‍රදේශයේ වැසියන් සිදුකල දැවැන්ත මෙහෙයුමක් නිසාය. මේ සොයන්නේ රත්තරන්යැයි එවිටද අනුමානය කලේය. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයට ආගන්තුක පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත අවදානය යොමුවී තිබුණි.

එහෙත් ඒ සම්බන්දයෙන් කිසිම පරීක්ෂණයක් සිදුනොවන ලදී. එම සිද්ධීන් දෙකම සිදුවුයේ එම පල්ලිවල වාර්ෂික මංගල්‍යය සමයේ නිසා ඒගැන පොලිසිය ලවා පරීක්ෂන පැවැත්වීමට වඩා සාමකාමීව මංගල්‍යය අවසන්කිරීම එම මීසම්භාර පියතුමන්ලාගේ අරමුණවී තිබුණි. කෙසේවුවද මෙවර  මීගමුව දළුපොත ශාන්ත අන්තෝනි පල්ලියේ සුප්‍රකට ශා. අන්තෝනි සුරුවම  සොරකම් කිරීම ගැන එම මීසම්භාර පියතුමා විසින් පොලීසියට පැමිණිලි කරන ලදී. ඒ අනුව පොලිස්  පරීක්ෂණ දියත්ව තිබේ. මේ සම්බන්දයෙන්වන පොලීස් පරීක්ෂණවල  මුලික සැකකරුවන් වන්නේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතාකරන්නන්ය. එහෙත් 1976  සිටම මීගමුවේ මත්ද්‍රව්‍ය භාවිතාකරන්නන් එමට විය. එහෙත් ඒ කිසිවෙක් පල්ලිවල සුරුවම් සොරකම් කලේ නැත. මෙය නව තත්වයකි.

දිගින් දිගටම මීගමුවේ පල්ලිවලින් සුරැවම්  (ක්‍රිස්තියානි ආගමික ප්‍රතිමා)  සොරකම් කිරීම මගින් සොරුන් බලාපොරොත්තු වන්නේ රත්තරන් සොරගැනීම පමණක්ද නැතිනම් මීගමුව ජනයා අතර කලබලයක් ඇතිකිරීම දැයි යන්න සොයා බැලිය යුතුය.  අනවශ්‍ය ගැටුමක් බවට මෙවැනි දෑ පත්වීමට පෙර නිසි බලධාරීන් අවශ්‍ය පියවර ගතයුතුය. මීගමුව ජනයාද මීගමූවේ සංස්කෘතික උරුමයන් රැකීමට මෙයට වඩා වැඩි උන්නදුවකින් ඉදිරිපත් විය යුතුය. විශේෂයෙන්ම සොරකම්කල මෙම සෑම  සුරැවමක්ම වසර 100කට වඩා පැරණි ආගමික ඉතිහාසයක් ඇති සුරැවම්බව අවදාරණයකල යුතුය. විශේෂයෙන්ම දළුපොත ශාන්ත අන්තෝනි පල්ලියේ සුප්‍රකට ශා. අන්තෝනි සුරුවමට නම් වසර 227ක ඉතිහාසයක් ඇත. ඒගැන දළුපොත ශාන්ත අන්තෝනි පල්ලිය සම්බන්දයෙන් ලියන ඉදිරි ලිපියකදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙමි. ඒහින් නැවත කිවහැක්කේ මීගමූ ජනයා සිය සංස්කෘතික උරුමයන් රැකගැනීමට මෙයට වඩා විශාල උනන්දුවකින් මැදිහත්වියයුතු බවයි. කෙසේවුවද, මෙවැනි සිද්ධීන් හමුවේ කටයුතු කලයුතු ආකාරය ගැන මීගමුව ඇළපාරේ පිහිටි ශා. සෙබස්තියන් දේවස්ථානයේ ශා. සෙබස්තියන් සුරැවම සොරාගත්විට එම මීසමභාර පියතුමා විසින් කදිම ආදර්ශයක් දී තිබුණි. අපි ඒ ආදර්ශය අනුව කටයුතු කිරීම වැදගත්ය. ඒ ගැන මෙතනින් කියවිය හැක
මාකස් ප්‍රියන්ත පෙරේරා
30/06/2016.

Saturday 25 June 2016

සුද්දෝ, පද්දෝ සහ කළු සුද්දෝ

දිනය  -   24/06/2016.
වෙලාව -  බ්‍රිතාන්‍ය ජනමතවිචාරණයේ  ප්‍රතිපල නිකුත්වී        පැය කිහිපයකට පසු උදෑසන
ස්ථානය -  ලන්ඩනයේ ප්‍රාථමික පාසැලක් අසල දෙමාපියන් පිරිසක්.
ඔහු - Hello Vasily, at least not raining today, isn't it..? You    alright ?
Vasily -    Yes.., yes..., I'm OK, but not good.... this election is very bad...
ඔහු - Yes, unbelievable isn't it ?
Vasily    -  Yes, it's bad, very bad, I don't know what to do. You know my children going to this school. I don't know what to do ? They can't go back to Poland and start studying in polish again, that's bad. 
ඔහු- I know, but I think it will not effect you, you will be fine... 
ඒක තමයි මමත් මේ බැලුවේ, මම හිතුවේ නැහැ සුද්දා මෙහෙම කරයි කියලා.... කියමින් එතනට පැමිණි..
 Jude    -  Hello Vasily..
Vasily    - Hello Jude, see you ..නික්ම ගියේය. ඒ සමගම..
Jude    - පොලිෂ්කාරයට විතරක් නෙමෙයි අපිටත් දැන්  හරි ප්‍රශ්නයක් මල්ලි මේක, මොනව වෙයිද ? 
ඔහු -  නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, කොහොමත් දැන්ම මුකුත්වෙන්නේ නැහැ, අපි බලමු මොකද වෙන්නේ කියලා... 
Jude    - මේකනේ මල්ලි, අපි ඉතාලියේ කබුරලා, කබුරලා පොත හදාගෙන  මෙහෙ ආවේ ළමයින්ට English ටිකක් උගන්වන්න පුළුවන් නිසා. දැන් එකත් නැතිවේනවනේ....  ඒ මදිවට අපේ වියිෆේගේ මල්ලිගේ පවුලත් එන්න හිටියේ පොත හදාගත්ත ගමන්, බලන්නකෝ මාර වැඩේනේ. අපි දැන් මොකද කරන්නේ ?
ඔහු - බලමු මොකද වෙන්නේ කියලා, දැන් ඔය කරන් යන විදිහටම කරන් යමුකෝ ... මම එන්නම්.....
Jude    - ආ, වැඩට යනවා නේ... ok, ok
මිනිත්තු කිහිපයකට පසු දුම්රියපොලක් ඉදිරිපිට එක්තරා ආගමික නිකායක කොල බෙදන වයසක සුද්දෙක් සමග කථාවට වැටෙන.. 
ඔහු - Morning John, did you vote ?
John - No, we don't vote, we don't support earth rulers, our ruler is in the Kingdom of Heaven. He rule us from there. He don't want votes....
ඔහු -Yes, but can you believe the results, it's surprising, isn't it?
John - But you know, Midland people are angry. They are frustrated, that's why they vote like that. They are not against the immigration, they are frustrated with the government, that's why they vote like that ...  
ඔහු -Oh, you got an opinion, even you are not voted... 
John - Of course, I do have an opinion, but we are not voting..
ඔහු - Ok see you tomorrow... කියමින්  දුම්රියපොලට ඇතුල්ව, තමන් සමග කෝච්චියේ යන දුම්රිය එනතුරු වේදිකාවේ සිටින තවත් ශ්‍රී ලංකික මිතුරන් කිහිපදෙනෙකු වේත පියමනින...
ඔහු -කොහොමද මචං...
ජයසිංහ - දැක්කා නේ, දැක්කා නේ... සුද්දා කොහොමද චන්දෙ දුන්නේ කියලා, උබලා මේ යුරෝපා යුනියන් එකේ ඉන්න ඕනෑ කිව්වට සුද්දන්ට උන්ව එපාවෙලා තියන්නේ.. එකනේ කියන්නේ.. උබලට තේරෙන්නේ නැහැ... ඔබලා ඉගෙනගත්තට වැඩක් නැහැ.... යකෝ සුද්දා වැඩකරන හැටි මගෙන් අහගනින්... මම යුරෝපයේ හොදට කරක්ගහලා තියෙනවා. මුන් වැඩකරන්නේ කොහොමද කියලා මගෙන් අහගනින්.. ඒ සමගම පැමිණි, ඒ විගසම අවි අමෝරාගත් තවත් ලාංකිකයෙක් වන... 
විතානගේ සහෝදරයා - අනේ පලයන් ජයසිංහ යන්න... යකෝ ලන්ඩන්වල අපි චන්දෙ දුන්නේ අපි වගේම වෙන රටකින් ඇවිල්ලා, ඔය මොනවා හරි රස්සාවක් කරලා, කාමර කුලීගේවලා ජීවත්වෙන තව එකෙකුට කෙළින එක හරි නැති නිසා. දැන් උබට මතක නැහැ  අපිත් එහෙම එක කාමරේ බෙදාගෙන, හොද්දයි බතයි කාගෙන හිටපු හැටි නේ...බලහන් ඔබ චන්දෙ දීලා කලේ හම්පඩ සුද්දගේ ඇට දෙක මිරිකන එක. උබලට  Eastern European ගෑනු එක්ක නිදාගනිද්දී හොදයි, බැහැයි චන්දේ දෙන්නේ උන්ව එලවන්න... උබලා වගේ කුහකයෝ බන්..
ජයසිංහ - යකෝ උන් අපේ රස්සාවලට කෙලිනවා නේ. උන් ඕනෑ තරම් අඩු පඩියට වැඩ කරන්න එනවනේ. ඒ කතාව කියා කටගන්නටත් පෙරාතුව..
විතානගේ - උබලට පවුම් කිව්වොත් වෙන කිසිදෙයක් නැහැනේ, කීයක් හරි වැඩිපුර දෙනවා කිව්වොත් ඉතින් ඇතිනේ.... එවිට 
ඔහු - හැබැයි එකත් දැන් කඩන් වැටෙනවා ....ඒ වුනාට එක තාවකාලිකයි. එසේ කියමින් එතනට පැමිණි 
සෙනරත් uncle - මුන් මේ එන්ඩගත්ත විදිහට ගියොත් මේ රට විනාශයි. ඕයගොල්ලෝ උනත් තව ටිකක් කල් ඉද්දී හිතෙයි මේක ඕයගොල්ලන්ගේ රට කියලා. උන් ඇවිල්ලා මේක විනාසකරනවා..කියලා වැඩක් නැහැ. අපිට නම් දැන් හිතෙන්නේත් සුද්දෝ වගේ. උන් ඇවිල්ලා මේක විනාසකරනවා.. අපි ආපු කාලේ මේ රට කොච්චර cleanද, දැන් මේ .....සෙනරත් uncleගේ කථාවට බාධාකල 
විතානගේ - දැන් uncleගේ ළමයිනුත් චන්දෙ දුන්නේ යුරෝපියන් යුනියන් එකෙන් යන්නද ?
සෙනරත් uncle - නැහැ, නැහැ, ඒගොල්ලෝ මෙහෙ ඉගෙනගෙන, මෙහෙ විශ්වවිද්‍යයාලයේ ගිහින්, හොද රස්සාවල් කරන අයනේ....... ඒගොල්ලෝ දුන්නේ European Union එකේ එන්න ඕනෑ කියලානේ. මට ඒ අයගේ මතයට විරුද්ද වෙන්න බැහැනේ. දන්නැද්ද ඉතින්, ඒගොල්ලෝ  හිතන්නේ වෙනස් විදිහට නේ...
විතානගේ - ඇයි සුද්දෝ වගේ නෙමේද?
ආරව්වක් ඇති වේගෙන එන අතරම පැමිණි කෝච්චියේ වේගයෙන් ඇරෙන දොර දෙසට දුවයන..
ඔහු -යි මචං මම යනවා... කියමින් දුම්රියට ගොඩවී රැකියාව බලා පිටත්විය. පැය භාගයකින් පමණ සිය රැකියාව කරන ස්ථානයට පැමිණි ඔහුට දැකගැනීමට හැකිවුයේ කිසිදා නොදුටු සතුටකින් පසුවෙන සිය ආයතන ප්‍රධානියා කොරිඩෝවේ වෙනත් සේවකයන් සමග සතුටු සාමිච්චියේ යෙදීසිටින බවයි.  කවදත් අපූල මුහුණක් පෙන්වමින් සිටි, කිසිදා සිනහවක් දැකිය නොහැකිව තිබු ඔහුගේ මහත මුහුණේන් නිදිමැරීම නිසා හෝ රෑ එළිවෙනකම් බීම නිසා හෝ එලියට නෙරාවිත් තිබු රතුපාට ඇස්දෙක දිලිසවමින් තමා දෙසට පැමිණෙන දුටු සිය ආයතන ප්‍රධානියා වෙත සුරත දිගුකරමින්..
ඔහු - Good morning Mr. Howard, congratulation !!!
Mr. Howard - No, no, no congratulation, there was no competition and no rivalry. We just took control. So no congratulation. I know it's not your decision but we all have to go along with that and it's your country and my country too. If we all  work hard together we can come out from any difficulties... 
ඔහු - Of course sir, I will do my very best !!!
Mr. Howard - Very good, see, that's why I like you.. මුන් අපිව එලවන්න දැම්ම ජනමතවිචරණයක් තියෙන එකක් නැහැයි හිතමින් ඔහු සිය මේසයට ගියේය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
25/06/2016.

Thursday 23 June 2016

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට චන්දය දෙයි, දැන් සිදුවන්නේ කුමක්ද ?

බ්‍රිතාන්‍යයගෙන් 52%ක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට චන්දය දී තිබේ. ලන්ඩනය, ස්කෝට්ලන්තය, කේම්බ්‍රිජ්, ඔස්ෆෝර්ඩ්,  උතුරු අයර්ලන්තය වැනි ප්‍රදේශ කිහිපයක් හැරුණු කොට ඉංග්‍රීසි ජාතිකයන් බහුතරයක් වෙසෙන සෙසු ප්‍රදේශවල චන්දය විසින් ඔවුන්ට මෙම ජයග්‍රහණය  තහවුරැ කර දී ඇත. ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතය. 

ඒ සදහා ක්‍රම දෙකක් අනුගමනය කළහැක. පළමු ක්‍රමය නම්  යුරෝපා ව්‍යවස්ථාවේ 50 වගන්තිය අනුව ක්‍රමානුකූලව ඉවත්වීමය. ඒ සදහා අවම වශයෙන් වසර 02ක් ගතවේ. අනෙක නම් නෝර්වීජියානු ක්‍රමයයි. එනම්  ඝෘජු ඉවත්වීමයි. 

කෙසේවෙතත්, බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවුවහොත් කුමන මාර්ගය අනුගමනය කරන්නේ දැයි කලින් දන්වා නොසිටින ලදී. කොහෙත්ම එවැනි අවස්ථාවක කලයුත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි වැඩසටහනක් කලින් සැලසුම් කර නොතිබිණි. 

දැන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සදහා කමිටුවක් පත් කරනු ලබනු ඇත. එහි නායකත්වය අගමැති ඩේවිඩ් කැමරන්ගන්නවාද?? ඔහු තවදුරත් අගමැතිකමේ සිටිනවාද? යන්න තීරණය කලයුතුව තිබේ. 

බ්‍රිතාන්‍යය මුදල් ඒකකයවන ස්ටාලින් පවුම විශාල ලෙස කඩාවැටීමක් සිදුව ඇත. එයද ක්ෂණිකව ආමන්ත්‍රණය කලයුත්තකක් වනු ඇත. තව පැය කිහියකින් ගනුදෙනු අරබන ලන්ඩන් කොටස් වෙළදපොලේ ඇතිවිය හැකි තත්වයද තීරනාත්මකවනු ඇත. ඒ සදහාද වහා මැදිහත්වීම් අවශ්‍යවනු ඇත. 

උතුරු අයර්ලන්තය සහ අයර්ලන්තය ජනරජ අතර දේශසීමාව නැවත ස්ථාපිත කරන්නේද ? යුරෝපයේ සිට පැමිනෙන ජනයා සම්බන්දයෙන් දැන් කුමක් කරන්නේද ? මෙහි සිටින යුරෝපීන්ට, ඔවුන්ගේ රාජ්‍ය සුබසාදන පහසුකම් වහා නැවත්වන්නේ ද? යන්න ගැන ප්‍රතිචාර දැක්විය යුතුව ඇත. ඒ සම්බන්දයෙන් කුමක් කරන්නේදැයි රාජ්‍ය සේවකයන් පවා බලා සිටිනු aතැයි බලාපොරොත්තුවේ. 

මේ අතර ස්කෝට්ලන්තය සහ  උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ දිගටම රැදී සිටීමට විශාල ජනවරමක් දී ඇත.  බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේන් ඉවත්වූවද ස්කෝට්ලන්තයට සහ  උතුරු අයර්ලන්තයට  යුරෝපා සංගමයේ දිගටම රැදීසිටීමට අවශ්‍යබව දක්වා තිබේ. 

ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වන්නේද ? රැදී සිටින්නේද?    යන්න සම්බන්දයෙන් පැවැත්වූ ජනමතවිචාරණය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේන් පමණක් නොව එක්සත් රාජධානිය වන මහා බ්‍රිතාන්‍යයද බෙදාවෙන්කර ඇත. 

තත්වය කළමනාකරණය කරගැනීම සදහා කුමක් කරන්නේද ? බ්‍රිතාන්‍යය මෙම ජනමතවිචාරණයේ ප්‍රතිපල දැඩි අවදානයට ගෙන   යුරෝපා සංගමය සමග නැවත විශේෂ වැඩපිලිවෙලෙකට අවතීරණය වෙනවාද යන්න ගැන බලාසිටිය යුතුය. 

නිල ප්‍රතිපලය සහ ඉදිරි වර්ධනයන් ගැන පසුව කථාකරමු !

මාකස් ප්‍රියන්ත පෙරේරා
24/6/2016 
7.00am (G.B.T.)

Wednesday 22 June 2016

බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයේ අනාගතය තීන්දුකරන මේ සියවසේ වැදගත්ම ජනමතවිචාරණය

රටකට පමණක් නොව සමස්ථලෝක ප්‍රජාවටම බලපෑ හැකි ඉතාම තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට අද (23/06/2016) බ්‍රිතාන්‍යය ජනයාට අවස්ථාව සැලසේ. ඒ බ්‍රිතාන්‍යය ජාතිකයන්ට සහ මෙරට රැදීසිටින පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ජනයාට සිය ඡන්ද බලය මගින් බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ සාමාජිකත්වයේ රැදීසිටිනවාද? නැතිද? යන්න ප්‍රජාතන්ත්‍රවාදී ජනමතවිචාරණයකින් තීන්දුකිරීමට හැකිවීම නිසාය.

යුරෝපා සංගමයක් බිහිවීමට පදනම වැටෙනුයේ  දෙවන ලෝක යුද්ධය අවසන්වී වසර කිහිපයකට පසුව, එනම් 1951 පැරීසියේදී බිහිකරගන්නා ලද 'යුරෝපා ගල්අගුරු සහ වානේ  සංගමය' ('European Coal and Steel Community-ECSC)' බිහිවීමත් සමගය

ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, ලක්සම්බර්ග් සහ එවකට පැවති බටහිර ජර්මනිය එහි මුල්ම සාමාජිකයන්විය. බ්‍රිතාන්‍යයටද ඒ සදහා ආරාධනා කරන ලදී. එහි නිර්මාතෘවරුන්වූ  Jean Monnet සහ Robert Schuman කිහිපවතාවක්ම බ්‍රිතාන්‍යයට පැමිණ මෙම ගිවිසුමට බ්‍රිතාන්‍යය එකගකරවා ගැනීමට සාකච්ඡාවට කිහිපයක්ම පවත්වනලදී. එහෙත්, වින්සන්ට් චර්චිල්ගේ කාලයේ සිට එක්සත් යුරෝපයක් ගැන බ්‍රිතාන්‍යය සාකච්ඡා කලද එය ප්‍රයෝගිකව ක්‍රියාත්මකවීමට සැකසූ 'යුරෝපා  ගල්අගුරු සහ වානේ සංගමයේ (ECSC)'  සාමාජිකත්වය ගැනීමට බ්‍රිතාන්‍යය අකමැතිවිය. එයට හේතුව වශයෙන් බ්‍රිතාන්‍යය දැක්වුයේ එමගින් තම රටේ ගල්අගුරු සහ වානේ නිෂ්පාදනයට බලපෑම් සිදුවියහැකි බවයි. එවකට (1951  අප්‍රියල්) බ්‍රිතාන්‍ය උප අගමැතිවරයාවූ කම්කරු පක්ෂයේ (Labour) Herbert Morrison දැක්වූ ලෙස යුරෝපා ගල්අගුරු සහ  වානේ සංගමයේ තීරණ පිළිගැනීමට බ්‍රිතාන්‍යයන් සුදානම් නොවනබව දක්වන ලදී ("The Durham miners won't wear it")

බ්‍රිතාන්‍යය මුලපටන්ම යුරෝපයේ මෙම නව ගොඩනැන්ම දෙස බැලුවේ තරමක කුකුසකිනි. එක්සත් යුරෝපයක සාමාජිකත්වය වෙනුවට බ්‍රිතාන්‍යය සිය ජාතික රාජ්‍ය සහ ස්වාධිපත්‍ය (Nation State and Sovereignty) පිළිබද වැඩිබරක් තබමින්, හිරු නොබසින අධිරාජ්‍ය පිළිබද මතකය මෝදුකරමින්, පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වය ගැන පාරම්බාමින්, සිය ජාතිකත්වය සහ ජාතිවාත්සල්‍ය පිළිබද ගුණවයමින් යුරෝපයේ නව පෙළගැස්ම ගැන එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීය. 

එහෙත්, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව නැවත හිස එසවීමට අපේක්ෂාකල යුරෝපය, සිය කලාපයේ ස්ථීරසාර සාමයක් සදහා නැවත අමුද්‍රව්‍ය, බලශක්ති සහ සම්පත් වෙනුවෙන් යුද්ධයක් ඇතිනොවීමට අදිටන් කරගන්නා ලදී. ඒ අනුව අදාල රටවල අවශ්‍යතාවය සහ සමාජ උවමනාවන් වෙනුවෙන් සිය රටවල අමුද්‍රව්‍ය, බලශක්ති සහ සම්පත් පොදු සැලැස්මක් තුල භාවිතා කිරීමට 'යුරෝපා ගල්අගුරු සහ වානේ සංගමය' ('European Coal and Steel Community) යටතේ ගිවිසුම් සකස්කළේය. මෙම ගිවිසුම් ක්‍රියාත්මකවීමත් සමග 'යුරෝපා ගල්අගුරු සහ  වානේ  සංගමයේ' රටවල් තමන් ජාතික රාජ්‍ය, ජාතික අභිලාෂයන් සහ ජාතික සීමාවන් ඉක්මවා කටයුතු කරන 'Supranational Union' ලෙස හදුන්වාදුනි.

ඉන් වසර 06ක් ගතවනවිට, එනම් 1957, 'යුරෝපා ගල්අගුරු සහ  වානේ  සංගමය'ට අයත්, ජාතික රාජ්‍ය, ජාතික අභිලාෂයන් සහ ජාතික සීමාවන් ඉක්මවා කටයුතු කරන  'Supranational Union' ලෙස හදුන්වාගත් රටවල් 06  තවදුරටත් ආර්ථික, කෘෂිකාර්මික, සමාජීය සහ දේශපාලන වශයෙන් බද්දකරගැනීම සදහා 'යුරෝපා ආර්ථික හවුල' (European Economic Community -EEC) ගොඩනගා ගන්නා ලදී. ඒ සමග නිෂ්පාදන, අමුද්‍රව්‍ය, බෙදාහැරීම සහ බලශක්ති සදහා බදු සහන මෙන්ම ආධාර සලසන වැඩපිළිවෙලක් EEC සාමාජික රටවල් අතර ක්‍රියාවට  නැන්විනි. එය යුරෝපා හවුලේ රටවල ආර්ථික සහ සමාජ වර්ධනයක් මෙන්ම ව්‍යාපාර එකමුතුවක්ද ඇති කලේය. ඒතුල ජර්මනිය (බටහිර) සහ ප්‍රංශය ඉතා වේගවත් ආර්ථික වර්ධනයකට ලක්විය.

ඇතිවෙමින් තිබු තත්වය හමුවේ බ්‍රිතාන්‍යයටවත්, එහි ව්‍යාපාරික ප්‍රජාවටවත්  තවදුරටත්  'යුරෝපා ආර්ථික හවුල' නොසලකා සිටිය නොහැකිවුයෙන් 1961 දී 'යුරෝපා ආර්ථික හවුලේ' (European Economic Community-EEC) සාමාජිකත්වය ඉල්ලා සිටියහ. එහෙත් එවකට ප්‍රංශයේ ජනාධිපතිවරයාවූ චාල්ස් ඩිගොල් (Charles de Gaulle) විසින් එය ප්‍රතික්ෂේප කළේය. එහිලා හේතුව ලෙස දැක්වුයේ බ්‍රිතාන්‍යය කෙතෙක්දුරට 'යුරෝපා ආර්ථික හවුල' සමග බද්දවීමට සුදානම්ද යන්න සැක සහිත බවත්, ඇය මෙම සංගමයට වඩා ඇමෙරිකාව සමග ඇති සම්බන්දය තීරනාත්මක ලෙස සලකන බවත් දැක්වීය. බ්‍රිතාන්‍යය නැවත නැවත් 'යුරෝපා ආර්ථික හවුලේ' සාමාජිකත්වය ලබාගැනීමට ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම උත්සහකලේය. ඒ සියල්ල සදහා යහපත් ප්‍රතිචාර නොලැබෙන ලදී.
එහෙත් 1973 දී කොන්සර්වේටිව් (Conservatives)  පක්ෂ අගමැති Edward Heathගේ නායකත්වය යටතේ බ්‍රිතාන්‍යයට 'යුරෝපා ආර්ථික හවුලේ' (European Economic Community-EEC) සාමාජිකත්වය හිමිවිය. 

කෙසේවුවද, Edward Heath බලාපොරොත්තුවූ තරම්  ආර්ථික ප්‍රතිලාභයක් මුල්වසර දෙක තුල බ්‍රිතාන්‍යයට හිමි නොවිනි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයට  'යුරෝපා ආර්ථික හවුලේ'  සාමාජිකත්වය සදහා ඉහල සාමාජික මුදලක් ගෙවීමට සිදුවිය. ඔවුන්ට කලින් සාමාජිකත්වය ගත් රටවල කෘෂිකර්ම, කර්මාන්ත, බලශක්ති සහ සේවා අංශවලට හිමිවූ ප්‍රතිලාභ බ්‍රිතාන්‍යයේ එම අංශවලට එතරම් ධනාත්මකව හිමි නොවන ලදී. එහෙත් 'යුරෝපා ආර්ථික හවුලේ' එකගතා ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍යය බැදී සිටියහ. ඒයට එරෙහිව   රටපුරාම වර්ජනද, ඉන් නොනැවතී ආර්ථික අවපාතයක්ද රට තුල ඇතිවිය.  ඒ අවස්ථාවේදී, එනම් 1975දී,  බ්‍රිතාන්‍යය 'යුරෝපා ආර්ථික හවුලේ' රැදී සිටින්නේද? නැතිද? යන්න තීරණය කිරීම සදහා සිය ප්‍රථම ජනමත විචාරණය පැවැත්වූ අතර එහිදී බ්‍රිතාන්‍යයන්ගෙන් 66%ක්ම චන්දය භාවිතාකලේ 'යුරෝපා ආර්ථික හවුල' සමග සිටිය යුතුය යන ස්ථාවරය වෙනුවෙනි. 

ඉන් අනතුරුව ගෙවීගිය වසර 18ක කාලය තුල 'යුරෝපා ආර්ථික හවුල' වඩ වඩා ශක්තිමත්වූ අතර ග්‍රීසිය, පෘතුගාලය, ස්පාඤ්ඤ, ඩෙන්මාර්කය, අයර්ලන්තය, ස්වීඩනය ආදී රටවල් එයට එකතු විය. 1993 දී අත්සන් කල මැස්ට්‍රිච් ගිවිසුමත් සමග (Maastricht Treaty)  'යුරෝපා ආර්ථික හවුල',  'යුරෝපා  සංගමය (European Union) බවට පත්විය. එමගින් සාමාජික රටවල ණය ප්‍රතිශතය, අයවැය පරතර, ගෙවුම් ශේෂය, විදේශ ප්‍රතිපති, පාරිසරික, වන, තෙත්බිම් සහ ස්වභාවික සම්පත් කළමනාකරණය, වානිජ්‍ය සහ ප්‍රවාහන, මත්ස්‍ය සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ කම්කරු අයිතිවාසිකම්, කාන්තා සහ ළමා අයිතිවාසිකම්, පරිහොජන සහ ආහාරපාන ප්‍රමිතීන්, ජීවන තත්වය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ නිවාස ආදී සෑම සියලු ක්ෂේත්‍රයක් සම්බන්දයෙන්ම  ජාතික රාජ්‍ය, ජාතික අභිලාෂයන් සහ ජාතික සීමාවන් ඉක්මවා කටයුතු කරන පොදු රාජ්‍ය එකතුවක් (European Community) සහ පොදු වෙළදපොලක් (Common Market) බවට යුරෝපා සංගමය (European Union) යටතේ පත්වන ලදී.  

යුරෝපා සංගමය (European Union) යටතේ දියත්වූ අනෙක් වඩාත් වැදගත් අංගයවුයේ  'ආබාධ පැමිණීම සහ පිටවීමයි'. එනම් ප්‍රාග්ධනයට, භාණ්ඩ සහ සේවාවලට මෙන්ම මිනිස් ශ්‍රමයට කිසිදු දේශසීමා බලපෑමකින් තොරව නිදහසේ සංචලනය වීමට ඉඩකඩ සැලසීමය. ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික රටක ඕනෑම වැසියෙකුට වෙනත් ඕනෑම සමාජික රටකට ගොස් ජීවත්වීමට, සේවයකිරීමට, එම රටේ සේවාවන් ලැබීමට  ඉඩකඩ සහ නිදහස ඉන් සැලසිනි. එමගින් මෙතෙක් යුරෝපා වැසියන් පුන පුනා බලාසිටි දේශසීමාවලින් තොර නිදහසක් අත්කරගැනීමට හැකිවිය.

බ්‍රිතාන්‍යයද මේ සියල්ලෙන් අඩුවැඩි වශයෙන් ප්‍රතිලාභ භුක්තිවිදින ලදී. එමගින් දෙවන ලෝක යුද්දයෙන් අඩපනවූ බ්‍රිතාන්‍යය ආර්ථිකය නැවතත් ශක්තිමත්ව ලෝක ආර්ථිකයේ 06වෙනි ස්ථානය ලෙස සුරක්ෂිතවීය. ඒ මහජන සුභසාධනය සදහා බ්‍රිතාන්‍ය රාජ්‍යයක් ලෙස ඉහල දායකත්වයක්   සපයන අතරය.

කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුල රැදීසිටිමින් එහි ඉහල ප්‍රතිලාභයන් ලබමින් සිටිනවිටවුවද සිය ජාතික රාජ්‍ය සහ ස්වාධිපත්‍ය (Nation State and Sovereignty) පිළිබදවවූ ප්‍රමුඛතාවය විතැන්කල බවක් නොපෙනිණි. විශේෂයෙන්ම 1995දී යුරෝපා සංගමයේ රටවල් සිය පොදු වෙළෙදපොලට අවශ්‍ය අංගයක් ලෙස සිය ජාතික මුදල් ඒකක ඉවත්කර ඒ වෙනුවට 'යුරෝ' (Euro) නමින් පොදු මුදල් ඒකකයක් හදුන්වාදීමට තීරණය කලවිට බ්‍රිතාන්‍යයද අවසාන මොහොතවනතුරුම පොදුමුදල් ඒකකය සදහාවූ යාන්ත්‍රනයේ කොටස්කරුවෙකුව සිට අවසාන මොහොතේ ඉන් ඉවත්වන ලදී. 

බ්‍රිතාන්‍යය සිය ජාතික රාජ්‍ය සහ ස්වාධිපත්‍ය (Nation State and Sovereignty) පිළිබදව ප්‍රමුඛතාවයදීමත්, යුරෝපා සංගමය ජාතික රාජ්‍ය, ජාතික අභිලාෂයන් සහ ජාතික සීමාවන් ඉක්මවා කටයුතු කරන  'Supranational Union' ලෙස වර්ධනයවීමත් අතර ද්වන්ධනය පසුගිය දසවසර තුල ක්‍රමයෙන් ඉහලයන ලදී. විශේෂයෙන්ම සාමාජික රටවල් 25 විසින් 2004 වසරේ අත්සන්කල යුරෝපා ව්‍යවස්ථාවත් (Treaty establishing a Constitution for Europe) සහ සාමාජිකයන් 751ක් පත්කරගන්නා යුරෝපා පාර්ලිමේන්තුවක් බිහිකළ 2007 ලිස්බන් ගිවිසුමත් (Treaty of Lisbon) නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉහලින් අණපනත් පනවන වෙනත් උත්තරීතර ව්‍යූහයන් බිහිවීමත්, බ්‍රිතාන්‍ය මහජනයා විසින් කෙලින්ම පත්නොකරන නිලධාරීන් පිරිසක් විසින් තීන්දුතීරණ ගැනීම තුල බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයත්, බ්‍රිතාන්‍යයේ  ස්වාධිපත්‍යත්  උල්ලංඝනයවන බව නිතර දැක්විනි. තවද යුරෝපියානු අධිකරණ පද්ධතීන්වන Court of Justice of the European Union /European Court of Auditors සහ යුරෝපියානු මහා බැංකුවේ (European Central Bank) ක්‍රියාකාරීත්වය තුල බ්‍රිතාන්‍යයේ අධිකරණ සහ පිස්කල් ස්වාධීනත්ව පවා විනාශ කර ඇතැයිද චෝදනා එල්ලවේ. 

තවද 2004 වසරේදී කලින් නැගෙනහිර යුරෝපයේ රටවල් ලෙස පැවති පෝලන්තය, ස්ලෝවේනියාව, ස්ලොවැකියාව, ලැට්වෙනියාව, ලිතුවෙනියාව වැනි රටවල් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ගැනීමත්, ඔවුන්ට ද 'ආබාධ පැමිණී සහ පිටවීම' යටතේ කිසිදු දේශසීමා බලපෑමකින් තොරව නිදහසේ සංචලනය වීමට ඉඩකඩ හිමිවීමත් තුල බ්‍රිතාන්‍යයට විශාල සංක්‍රමනිකයින් ප්‍රමාණයක් පැමිණීමත්, එය පාලනය කරගැනීමට බ්‍රිතාන්‍යයට අභ්‍යන්තර වශයෙන් නීති පැනවීමට නොහැකිවීමත් සිදුවිය.

මේ ගැටුම් කළමනාකරණය කරගැනීමට බ්‍රිතාන්‍යය විසින් යුරෝපා සංගමය සමග සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වූ නමුත් ඔවුන් ඒසදහා නිසි ප්‍රතිචාරයක් නොදක්වන බව බ්‍රිතාන්‍යයේ අදහසයි. එහෙත් යුරෝපා සංගමයේ අදහස වනුයේ  සාමාජික රටවල් විසින් පොදු එකගතාවයක් මත ඇති කරගත් ගිවිසුම් එක් එක් රටවල ජාතික අවශ්‍යතා අනුව නැවත සකස් කිරීම සිය ප්‍රතිපත්තිය නොවන බවයි. 

අද (23/06/16) දිනයට යෙදී ඇති  බ්‍රිතාන්‍යය තවදුරටත්   යුරෝපා සංගමයේ සාමාජිකයෙකු ලෙස රැදී සිටිනවාද ? නැතිද ? යන්න තීරණය කරන ජනමත විචාරණය පවත්වනුයේ මෙම පසුබිම තුලය.

එහිදී බ්‍රිතාන්‍යයන් අතර අවධානය දිනාගෙන ඇති ප්‍රධාන කරුණු 03ක් වනුයේ ආර්ථික, සංක්‍රමන සහ  ස්වාධිපත්‍ය පිළිබදවවූ කරුණුය.  ආර්ථික සහ සංක්‍රමණ පිළිබද කරණා එකිනෙකට සම්බන්ධකර තිබේ. එනම් සීමාකල නොහැකි යුරෝපා සංක්‍රමණිකයන් විසින් බ්‍රිතාන්‍ය ආර්ථිකයට, පාසැල්, නිවාස, සෞඛ්‍ය සහ ප්‍රවාහනයට එල්ල කර තිබෙන පීඩනය අති මහත්ය යන්න ඉන් හැගවේ. සංඛ්‍යාලේඛන ගැන විවාදයක් තිබුනද අඩුම වශයෙන් වසරකට ලක්ෂ තුනකට වඩා සංක්‍රමණිකයන් පිරිසක් නිලවශයෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන බව පිළිගනී. එහෙත් එමගින් ආර්ථික උත්පදනයක් සිදුවෙන බව සහ යුරෝපා සංගමය සමග සිටීම තුල ඇතිවෙන ආර්ථික වර්ධනය විසින් අදාල පීඩනය දියකර හරිනබවටද තර්ක ඉදිරිපත්වේ. තවද බ්‍රිතාන්‍ය ජාතිකයන් ලක්ෂ 5ක් පමණ මෙම 'ආබාධ පැමිණී සහ පිටවීම' යටතේ යුරෝපයේ සෙසු රටවල ජීවත්වෙන බවටද ගන්නබලා තිබේ.

අනෙක් අතට, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය වෙනුවෙන් සතියකට පවුම් මිලියන 350ක් යොදවන නමුත් එවැනි ප්‍රතිලාභයක් ඔවුන්ගෙන් බ්‍රිතාන්‍යයට අත්නොවන බවත්, ඒහින් එය නිස්කාරන වියදමක් ලෙස දක්වන්නොද වේ. එම මුදල් රට තුල ඉතිරිකරගතහොත් එමගින් එයට වඩා සේවයක් කල හැකිබවද දැක්වේ. එහෙත් අනෙක් අතට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වුවහොත් එමගින් බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැටෙන බවත්, මිලියන 3කගේ රැකියා රැදී ඇත්තේ යුරෝපා සංගමය සමග බවත්, බ්‍රිතාන්‍ය බොහෝ රැකියාවන්හී නියුතුවුවන්ගේ අයිතිවාසිකම්, නිවාඩු සහ වෙනත් දීමනා රැදී ඇත්තේ යුරෝපා සංගමය තුල සිටීම මත බවත් දැක්වේ. තවද යුරෝපා සංගමයෙන් ඉවත්වීම තුල ආහාරපාන ආනයන වියදම් ඉහල ගොස් ජීවීනවියදම වැඩිවීමටත්, මුදලේ අගය පිරිහීමටත් හේතුවන බව පෙනේ. 

ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුල රැදී සිටීම හෝ නොසිටීම තීරණය කිරීම සදහා අද පවත්වන ජනමතවිචාරණය විසින් බ්‍රිතාන්‍යය සහ යුරෝපයේ ආර්ථික ප්‍රවණතා මෙන්ම, යුරෝපයේ සාමය සම්බන්දවද, ජාතික රාජ්‍යයේ (Nation State) විකාශනය තීරණය කිරීම සම්බන්දයෙන්ද, ඉංග්‍රීසි ජාතිකවාදයේ (English Nationalism) පුනරාගමනය අතින්ද, ක්‍රියාවට නැන්වීමේ අඩුපාඩුකම් කෙතෙක් පැවතියද, මිනිස්  ප්‍රජාවක් ලෙස සංකල්පීය වශයෙන් හෝ මෙතෙක් බිහිකරගත් දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආකෘතිය වන යුරෝපා සංගමයේ ('Supranational Union' / 'European Superstate') අනාගතය තීරණය කිරීම අතින්ද ඉතා වැදගත් වනබව මගේ අදහසයි.
මාකස් ප්‍රියන්ත පෙරේරා 
23/06/16.

Sunday 19 June 2016

ඝාතනය කල බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය; මේ සමාජයේ විරල මනුෂ්‍යන් අතරින් කෙනෙකි


ඉකුත් බ්‍රහස්පතින්දා (16/06/16) මරාදැමූ බ්‍රිතාන්‍ය Labour පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්වූ Jo Cox ගේ ඝාතනය මේ සතියේ යෙදෙන බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද? නැතිද? යන ජනමත විචාරය සමග සම්බන්ද බව පෙනේ. එහෙත් ඒ කෙතෙක්දුරට යන්න මේ ඝාතනය ගැන චෝදනා එල්ල වී ඇති, දක්ෂිණාංශික අන්තවාදියෙකුවන, දැනට අත්අඩංගුවේ සිටින Thomas Mair නැමැත්තාගේ පාපොච්චාරණය හෙළිකරනු ඇත. 

ප්‍රථමයෙන් වෙඩිතබා පසුව පිහියෙන් ඇන සිදුකල Jo Coxගේ ඝාතනය දැඩි වෛරයකින් සහ ද්වේෂයකින් සිදුකරනු ලැබුවක් බව පැහැදිලිය.  ඇය දක්ෂිණාංශික අන්තවාදින්ගේ මෙතරම් වෛරයට පාත්‍රවුයේ ඇය සිය ජීවිතකාලය පුරාම ජීවත්කල පවුලෙන්, පල්ලියෙන් සහ වමේ ව්‍යාපාරයෙන් උකහාගත්  වාමාංශික වටිනාකම් නිසාය. 

මියයනවිට  41 වෙනිවියේ සිටි ඇය කුඩාකල සිටම මහන්සිවී වැඩකිරීම ප්‍රගුණකළ තැනැත්තියකි. සිය පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුවත්, උසස් අධ්‍යාපනය අතරතුරත් ඇය දත් බෙහෙත් කම්හලක වැඩකල තැනැත්තියකි. සිය පියාද සිය ජීවිතකාලය පුරාම වැඩකලේ මෙවැනි කම්හලක් තුල කම්කරුවෙක් වශයෙනි. ඔවුන් මෙන්ම උතුරු යෝර්ක්ස්ෂෙයාර් පළාතේ බොහෝදෙනෙකුද කම්කරුවන් ලෙස, විශේෂයෙන්ම ආකර කම්කරුවන් ලෙස, 1980-90 දශකවල මෙරට පැවති කම්කරු පන්ති  ව්‍යාපාරය ගැන මහත් හැගීමකින් යුතුව පෙනීසිටි තැනැත්තන්ය.
ඇයගේ එම පවුල් පසුබිම තවදුරටත් ප්‍රවර්ධනයකලේ පල්ලියේ දේශනාකරන සමානාත්මතාවය, සාමය, සහජීවනය සහ යහපත්කම පිලිබදව ඉගැන්වීම්ය. 

එය තවත් දාර්ශනිකව අවබෝධකර ගැනීමට, Quentin Skinner වැනි මහාචාර්යවරුන් ඉගැන්වීමේ නිරතවන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුල්වී (මා නිතර දක්වන ලෙස) 'සියලූ විද්‍යාවන්ගේ විද්‍යාව'  වන දේශපාලන විද්‍යාව ඉගැනීමට ඇය සමත්වෙන ලදී.  
ඉන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධානයක්වන Oxfam හී ප්‍රතිපත්ති සකසන්නියක් ලෙසත්, මන්ත්‍රී කාර්යමණ්ඩල සාමාජිකාවක් ලෙසත්, මන්ත්‍රීවරියක් ලෙසත් සිය ජීවිතකාලයම කැපකලේ මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමටත්, කාන්තාවන් සහ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙනුත්, වර්ගවාදයටත් සහ යුද්ධයටත් එරෙහිවය. විශේෂයෙන්ම දක්ෂිණාංශික අන්තවාදියෙකු අතින් ඇය මියයනවිට ඇය බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ සිටිය යුතුය යන ස්ථාවරය වෙනුවන් ප්‍රචාරක කටයුතුවල නිරතවන ලදී. මා මීට පෙරද දැක්වූ ලෙස අන්තවාදය නැගීසිටින ඕනෑම මොහොතක එහි පළමු ගොදුරවන්නේ වාමාංශිකයන්ය යන්න ඇගේ මරණය නැවත සහතික කර ඇත. 

තේම්ස් නදියේ නවතා ඇති බෝට්ටුවක් සිය නිවහන කරගනිමින් සිය සැමියා සහ දරු දෙදෙනා සමග ජීවත්වූ ඇය  දේපල සහ ධනය රැස්කිරීමට මහත් වෑයමක් නිරතවන  සියල්ලන්ටම ලබාදී ඇත්තේ වෙනත් කිසිවෙකුට ලබාදිය නොහැකි දැවැන්ත ජීවන දැක්මකි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
19/06/16.

Wednesday 8 June 2016

Cassius Clay to Muhammad Ali - පීඩිතයාගේ ආගම ක්‍රිස්තියානියේ සිට ඉස්ලාම්වීම.

මේ සියවසේ විශිෂ්ඨම ක්‍රීඩකයා ලෙස මියයනවිට තමන් තරගකල බොක්සින් තරග 61කෙන් 05ක් පමණක් පරාජයවී ඉතිරි තරග 57ම ජයගෙන, 1964 සිට 67 දක්වාත්, 1974 සිට 78 දක්වාත්, අනතුරුව 1978 සිට 79 දක්වාත් ලෝක ශූරයා ලෙසද, වයස 18 පිරෙත්ම ඔලිම්පික් රන් පදක්කමක් හිමිකරගත් වීරයෙකු ලෙසත්, කළු ජනයාගේ අයිතිවාසිකම් වෙනුවන් හඩ නැගූ අභීත යුග පුරුෂයෙක් ලෙසත් කිරුළු පැලදී Muhammad Ali (මොහොමඩ් අලි) සිය මුල් ආගමවූ ක්‍රිස්තියානි ආගම සහ බෞව්තිස්ම ක්‍රිස්තියානි නාමය වූ Cassius Clay (කැලැෂියස් ක්ලේ) යන්න  අත්හැර  1964 ජුනි මාසයේදී ඉස්ලාම් ආගම වැළදගන්නා ලදී.  

ඒ සදහාවූ ඔහුගේ පෙලබීම කුමනාකාරදැයි යන්න Karl Evanzz (1967) ගේ 'I Am the Greatest: The Best Quotations from Muhammad Ali' යන කෘතිය ඇසුරින්වුවද විමසා බැලිය හැකිය. Muhammad Ali සිය නම සහ ආගම වෙනස්කර ගැනීම ගැන දක්වා ඇති අදහස් ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට ගොනුකල හැකි බව මගේ විශ්වාසයයි.

(1.) සිය මුල් කාලීන දේශපාලන දැක්ම සකස්කරන්නාවූ Malcolm X පරිදිම Muhammad Aliද 1964 දීම දැක්වුයේ සිය ක්‍රිස්තියානි නම සහ වාසගම වන Cassius Clay යන්න තමන්ගේ වහල් නාමය බවය (slave name). එනම් තමන්ගේ සීයාට හෝ මුත්තන්ට Clay යන නමදී ඇත්තේ ඔවුන්ගේ වහල් හිමියන් විසින් බවය. ඒ අනුව ඔවුන්ට නව මිනිසෙකුවීමට නම් ඉන් නිදහස්වීම අවශ්‍ය බව එමගින් අදහස් කළේය. තවද Muhammad යන්න තුල වඩා ප්‍රසංසා ලැබිය යුතු තැනැත්තා යන්න (The Most Praised One) සහ Ali යන්න තුල උසස් තැනැත්තා යන්න ගැබ්ව තිබීම Muhammad Ali ගේ "I am the Greatest" යන සිහිනය විකසිත කරන්නක් විය. 

(2) නම පමණක් නොව සෙසු සියල්ලෙන්ද කළු මිනිසා සුදු මිනිසාගෙන් වෙනස් බවත්, එහෙයින් කළු මිනිසා සුදු මිනිසාගෙන් වෙන්ව, විගලිතව  සිටිය යුතු බවත්, සුදු මිනිසාගේ සංස්කෘතියෙන් සම්පුර්ණයෙන්ම නිදහස් විය යුතු බවත් ඔහු 1960 සිට 1976  දක්වා  අවස්ථා රාශියකදීම දක්වා තිබේ. බහුතර ඇමරිකානුවන් නාදුනන ඇමරිකානුවා නියෝජනය කරන්නාවීමේ දේශපාලනය සිය සංස්කෘතිය කරගැනීම ඔහුගේ ප්‍රකාශනයන්ගේ සාරය ලෙස මතුව තිබුණි (“I am America. I am the part you won't recognize. But get used to me. Black, confident, cocky; my name, not yours; my religion, not yours; my goals, my own; get used to me”). ඔහු ඒ චින්තනය උකහා ගත්තේ Malcolm X ගෙනි.

1960 දශකයේ දිග හැරුණු කළු ඇමෙරිකානුවන්ගේ අයිතීන් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන්වූ යෝධ ව්‍යාපාරයේ නායකයා ලෙස Martin Luther King (මාටින් ලූතර් කින්) මතුව සිටියද, ඔහුට වඩා වෙනත් ප්‍රවේශයකින් එම සටනට නායකත්වයදීමට  Malcolm X ඉදිරිපත්විය. Martin Luther King සිය දේශපාලන ව්‍යපෘතිය ඔස්සේ සමානත්වය (I believing neither in black supremacy nor white supremacy, I believing equality - L. Journal, 20/03/1964, page 11) මුල්කරගත් සමාජයක කළු සහ සුදු ජනකොටස් සංකලනයවී (integration) සහජීවනයෙන් ජීවත්වීම යෝජනාකරන විට Malcolm X පෙනීසිටියේ සුදු මිනිසාගෙන් සම්පුර්ණයෙන්ම වෙන්වයාමය. Malcolm X සුදු මිනිසාව ද්වේශසහගත ලෙස පිළිකුල්කල අතර සුදු මිනිසාගේ ප්‍රචණ්ඩත්වයට  එරෙහිව කුමන හෝ ප්‍රචණ්ඩත්වයක් යෝජනාකළේය. එමගින් එතෙක් කුලෑටිව  සුදු මිනිසාගේ ඕනෑම ප්‍රචණ්ඩත්වයක් ඉවසා සිටීමට පුරුදුව සිටි කළු මිනිසාව සටන්කාමී ලෙස අවධිකලේ යැයි Muhammad Ali දක්වා තිබුණි. Malcolm X බොහෝ වාක්‍ය Muhammad Aliගේ  මුවින්ද ඒ ආකාරයෙන්ම පිටවිය. එයට හොදම උදාහරනයක්  ඔහුගේ "Integration is wrong. We don’t want to live with the white man; that’s all" නම් ප්‍රකාශය දැක්විය හැක. Muhammad Aliට Malcolm X ගේ ආභාෂය කෙතෙක් දැඩිව ලැබී තිබුනේදයත් ඔහු Muhammad Ali ලෙස සිය නම වෙනස්කරගැනීමට පෙර කලක් Cassius X Clay ලෙස තම නම භාවිතාකර තිබේ.

කෙසේවුවද, වැඩි කලක් නොගොස්ම Malcolm X යනු ප්‍රකාශකයෙකු පමණක් බවත් නිස්සාර ජීවිතයක් ගතකරමින්, අයාලේ සිරගෙවල්වල ලැගමින් සිටි Malcolm Xට මගපෙන්වීමක් සහ දේශපාලන දැක්මක් ලබාදී ඇත්තේ Elijah Muhammad විසින් නායකත්වයදුන් Nation of Islam නම් ඇමරිකානු කළු මුස්ලිම් සංඝය විසින් බව නොබෝ කලකින්ම  Muhammad Aliට අවබෝධවිය. අනතුරුව ඔහු Malcolm Xගෙන් බිදීගොස් Elijah Muhammad ගේ Nation of Islam මගපෙන්වීමට අවනතවිය. මේ අතර Elijah Muhammad විසින් බාලවයස්කාර කාන්තාවන් ආවාහ කරගමින් වසන්නේයැයි මාධ්‍යට හෙළිකරමින් Malcolm X සිය ගුරුවරයාවූ  Elijah Muhammadට සහ Nation of Islam ව්‍යාපාරයට එරෙහිව වෙනත් මුස්ලිම් සංඝයක් ගොඩනැගීමට කටයුතු කරනලදී. මෙම පාර්ශව දෙකේ ගැටුම Malcolm X ගේ ඝාතනය දක්වා දිවෙන ලදී. 

1965 පෙබරවාරියෙදී සිය පැරණි මිතුරා මෙන්ම ඔහුගේ මුල්කාලීන දේශපාලන දැක්ම සකසන්නාවූ Malcolm Xගේ ඝාතනය ගැන Muhammad Ali පැහැදිලිවම කම්පාවු බව ඔහුගේ ප්‍රකාශන ඇසුරින් පෙනීගියද, එම ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුතුවු Elijah Muhammadගෙන් සහ ඔහුගේ Nation of Islam  ව්‍යාපාරයෙන් Aliට ඉවත්වීමට එය හේතුවක් නොවිණි. ඒ වෙනුවට ඔහු තවදුරටත් එහි කොටස්කරුවෙක් වෙනලදී. එහිලා ඔහු 1967දී ඇමෙරිකාව වෙනුවෙන් වියට්නාම් යුද්දයට යෑම ප්‍රතික්‍ෂේප කිරීම නිසා උද්ගතවූ තත්වයද හේතුවන්නටවිය. වියට්නාම් යුද්දයට යෑම ප්‍රතික්‍ෂේප කිරීම  නිසා Aliට   වසර 4ක බොක්සින් තහනමක් පැනවිණි. එය ඔහුගේ ක්‍රීඩා දිවියේ හොදම වසර 06ක කාලයක් ඔහුගෙන් උදුරාගත් තීරණයක් විය. එහෙත් වියට්නාම් යුද්දය ගැන ඔහුගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොවන ලදී. ඔහු දැක්වූ ලෙස: “Why should they ask me to put on a uniform and go 10,000 miles from home and drop bombs and bullets on Brown people in Vietnam while so-called Negro people in Louisville are treated like dogs and denied simple human rights?...The real enemy of my people is here. I will not disgrace my religion, my people or myself by becoming a tool to enslave those who are fighting for their own justice, freedom and equality. If I thought the war was going to bring freedom and equality to 22 million of my people they wouldn't have to draft me, I’d join tomorrow. I have nothing to lose by standing up for my beliefs. So I’ll go to jail, so what? We've been in jail for 400 years...”Muhammad Ali (මොහොමඩ් අලි)ගේ මෙම අදහස් Elijah Muhammad ගේ (1973) 'Message to the Blackman in America' කෘතියේ එන බොහෝ අදහස්වල ප්‍රතිබිම්බයකි.
 Muhammad Aliට සිය මුල් ආගමවූ ක්‍රිස්තියානි ආගම සහ බෞව්තිස්ම ක්‍රිස්තියානි නාමය වූ Cassius Clay (කැලැෂියස් ක්ලේ) යන්න  අත්හැර  1964 ජුනි මාසයේදී ඉස්ලාම් ආගම වැළදගැනීමට පෙලඹවූ (3) අනෙක් කරුණ වශයෙන් පෙනීයනුවේ ඔහුට කුඩාකල සිටම බටහිර ක්‍රිස්තියානි ආගම මෙන්ම බටහිර ශිෂ්ටාචාරය විසින් ගොඩනගා ඇති විවිධ අඛ්‍යාන ගැන තිබු දැඩි විවේචනාත්මක ප්‍රවේශයය. තමා කුඩාකල සිටම ජේසු සහ වෙනත් සාන්තුවරුන් සුදු ශරීර වරණයෙන් යුතුව, නිල් ඇස් ඇතිව සිතුවම් කරඇත්තේ ඇයි ? කළු සාන්තුවරුන්, දේවදුතයන් නැත්තේ ඇයි? සුදු ටාසන් පමණක් සත්තු එක්ක කථාකරන්නේ ඇයි?  යනුවෙන් ප්‍රශ්න කල බව සහ ඒවැනි ගැටළු  ඔහුට කෙතෙක් කාවැදී තිබුනේදැයි යන්න ගැන 1971 දී BBCයේ  Michael Parkinson සමග ඔහු පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවෙන් අවබෝධකරගත හැක. 

ඒවැනි ගැටළු  පැහැදිලිවම සිය ජීවන වටපිටාවත් සමග සම්බන්ද, එදිනෙදා ජීවිතයේදී ඔවුන් මුහුණදෙන ගැටළු ඇසුරින් පැනනැගි ගැටළු බව පැහැදිලිය. 

මේ සියල්ල ඇසුරින් පෙනීයනුවේ පීඩිතයාගේ ආගමක් ලෙස ප්‍රභවය ලබන ක්‍රිස්තියානි ආගම 1960 දශකය පමණ වනවිට  පීඩකයාගේ ආගම ලෙසට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තිබුන බවක්  නොවේද? රෝම අධිරාජ්‍යයේ සිට පිඩිත ජනයාගේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් බලාපොරොත්තු දැල්වූ ක්‍රිස්තියානි ආගම ඇමරිකානු එක්සත් ජනපදයේ වහල් වෙළදාම පැවති සමයේ පවා එම සාරය ඇතිව පැවති බව John Warner Barber සහ Arthur Abraham (1840) දි පලකල 'The Amistad revolt: struggle for freedom'  ඇසුරින්ද,  Steven Spielberg (1997) නිර්මාණයකල Amistad චිත්‍රපටිය ඇසුරින්දවුවද  අවබෝධකරගත හැක.   

1960 දශකයේ  Martin Luther King (මාටින් ලූතර් කින්) ගේ නායකත්වයෙන් දියත්වූ  කළු ඇමෙරිකානුවන්ගේ අයිතීන් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන්වූ ව්‍යාපාරය තුලද ඉහත සදහන් කල ක්‍රිස්තියානි ආගම පනපෙවූ පිඩිත ජනයාගේ යුක්තිය සහ සාධාරණත්වය පිලිබදවවූ බලාපොරොත්තුව නොඅඩුව තිබුන නමුදු තමාගේම ආගම අදහන තමන්ගේ පීඩකයා විසින් එල්ලකරන පීඩනයේ සහ ප්‍රචණ්ඩත්වයේ ඉහලයෑම තුල පීඩිතයාගේ ආගම ක්‍රිස්තියානියේ සිට ඉස්ලාම්වීම දක්වා ක්‍රමයෙන් ව්‍යාප්තව යාම ඇරබි බව Muhammad Aliගේ ජීවන චරිතය ඇසුරින් පෙන්වාදිය හැක. මේ තත්වය වර්තමානය වනවිට කෙතෙක් වර්ධනයවී ඇත්දැයි මා කලකට පෙර සමබිම පුවත්පතට ලිවූ 'සමන්තා ලෙව්ලිත් අත්අඩංගුවට ගැනීමට ඕනෑ කර තිබේ' යන ලිපිය තුල විස්තරකර ඇත. 

කෙසේවුවද, 1977 සිට   Muhammad Aliට ඇමරිකාවේ විවිධ ජනාධිපතිවරුන් විසින් සම්මාන, පිළිගැනීම් සහ විවිධ අභිෂේකයන් පවත්වාතිබුනද, පසුගිය ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ ආරම්භ උත්සවයේ පහන දැල්වීමට පවා ආරාධනා කලද, නයිට් නාමය ලබා දෙන යෝජනා ඉදිරිපත්වන තරමට බටහිර සමාජය ඔහුව පිළිගැනීමට ලක්කලද හේ නැවත Cassius Clay බවට පත්වීමටවත්, තමා දැඩිව ප්‍රතික්ෂේප කල ප්‍රචණ්ඩත්වය ඉස්ලාම් ආගම නාමයෙන් වඩා ඉස්මතුව පෙනෙන තත්වයක් මතුවුවද, Muhammad Ali සිය නමවත්, ඉස්ලාම් ආගමවත් අත්හැරියේ නැත. ඒ  Cassius Clayගේ සිට Muhammad Ali දක්වා වූ වෙනස්වීම පීඩිතයාගේ ආගම ක්‍රිස්තියානියේ සිට ඉස්ලාම් ආගම දක්වා පරිවර්තනයවෙමින් පවතින බව සංකේතවත්කල පුරෝගාමීන්ගෙන් කෙනෙකු වූයේ තමායැයි ඔහු අවබෝධකරගෙන සිටි නිසාදැයි නොදනිමි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
09/06/16.