This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 31 July 2016

නාමල් සමග නැගිටිමුද ?


මෑත ඉතිහාසයේ නාමල් රාජපක්ෂ තරම් සම්ප්‍රදායට අභියෝගකල, මෙතෙක් පිළිගත් ලාංකීය ඇගයුම් සම්පුර්ණයෙන්ම නොසලකා හරිමින් කටයුතුකල වෙනත් කිසිම දේශපාලනඥයෙක් තවත් නොමැති තරම්ය. 

දළදාමාලිගාව ඉදිරිපිට සහ අගනුවර පාරවල් වසා  කාර් රේස් පැදීමේ සිට රාජ්‍ය දේපළ සිය හිතුමනාපෙට භාවිතා කිරීම දක්වාද,  නිමල් සිරිපාලගේ හෝ වෙනත් කිසිම වැඩිහිටියෙකුගේ කිසිම ලබ්බකට ගරු කිරීම දේවල් ගැනද ඔහු කිසිදු තැකීමක් නොකළේය. එවැනි දෑ සම්බන්දයෙන් කටයුතු කිරීමේදී රටේ පිළිගත් සම්ප්‍රදායක් පවතින බවවත් ඔහුට අදාල නොවිණි. ඔහු තමාගේ හිතුමනාපෙට, තමන්ට ඕනෑ ලෙස සියල්ල කළේය. ඒ ඔහුගේ පියා රට බේරාගත් නායකයාද, රට එක්සේසත් කල මහරජාණන්යැයි දැක්වන බැවින්,  තමා එහි ඔටුන්න හිමි කුමාරයා යැයි සිතා සිටින නිසාද, නැත්නම් ඒ කිසිවක් ගැන කිසිම තැකීමක් ඔහුට නැති නිසාදැයි මම නොදනිමි.

දැන් සිදුකරන පොදු විපක්ෂයේ තවත් 'දේශපාලන භක්ති අභ්‍යාසයක්' වන පාද යාත්‍රාවේද  ඔහු කිසිදු වගවිභාගයකින් තොරව  පාරේ නට  නටා 'ආප්පයා කෑවට, අපි හදනවා අපේ රට' යැයි කිය කිය යයි.  සිය පියා සංවිධානය කල 1992 පාද යාත්‍රාවේ කියූ 'හෙනගහපිය හෙනගහපිය මේ මිනිමාරු පාලනේ'  ආදී දැඩි ආවේගකාරී සටන්පාඨ වෙනුවට ඔහු 'මාරු ආතල්' සටන්පාඨ  මහපාරට ගෙනවිත් ඇත. ඒ ඇතැම් විට දැන් ඇත්තේ ප්‍රේමදාස වැනි මිනීමාරු පාලනයක් නොව එළකිරි ටෝයි පාලනයක් යැයි සිතන නිසාද වියහැක. ඔවුන්ට අනුව එය 'ගොන් රනිල්ගේ පාලනේය. ඔවුන් දෙන්නේ එයට ගැලපෙන ගොන් ආතල්ය.

නාමල් රාජපක්ෂ වැනි මේ අලුත් ඩයල් එක්ක පාගමන් යන සෙස්සෝ කියන්නේ රට විනාශවී හමාරය කියාය. සිංහල-බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කරමින් සිටින බවය. බෙදුම්වාදීන්, අධිරාජ්‍යවාදීන් සිය උවමනාවල් ඉටුකරගනිමින් අප මාතෘ භූමිය අනතුරේ හෙලන බවය. ඊටත් වඩා මෙවැනි 'දේශපාලන භක්ති අභ්‍යාස' ගැන උන්නදුවෙන්නෝ, උද්යෝගයකින් බලන්නෝ, විචාර ලියන්නෝ, රටේ දේශපාලන දෘෂ්ටිය ගැන ප්‍රස්තුත සපයන්නෝ අසන්නේ 'සිංහල-බෞද්ධ පරමාදර්ශ නාමල්ගෙන් බලාපොරොත්තු වන්නේ කෙසේද?' කියාය.

ප්‍රශ්නය ඇත්තේ නාමල් රාජපක්ෂ දෙන සහ ගන්න fun එක ගැනද? නැතිනම් එසේ fun ගන්න setඑකක් එක්ක ජාතිය, ආගම, මාතෘ භූමිය, ශිෂ්ටාචාරය, බඩු මිල, ජීවන වියදම සහ වෙනත් මහජන දුක් ගැනවිලි මතුකරන එකද? 'නැතිනම් මේවා මෙහෙම තමයි, ඕවා ඔහෝම තමයි' විතරද ? එතකොට අර පරමාදර්ශ? සම්ප්‍රදාය ? සිරිත්විරිත් ? ඇගයුම්? සහ ඒවා ගැන උන්නදුවෙන අයට වෙන්නේ කුමක්ද ?

අයියෝ සිරිසේන !!!! 

නැහැ, වඩා හොදයි 'අයියෝ සිරි' යන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
31/07/2016.

Wednesday 27 July 2016

කළු ජූලියට පෙර මීගමුවේ සිදුවීම් තුනක්

1983 ජුලි 23දා සිට සතියක් පුරා පැතිරිණු දෙමළ ජනයාට අයත් ජීවිත සහ දේපළ  විනාශකිරීමේ කළු ජුලිය මීගමුව නගරයද දවා අළු කළේය. 

මීගමුව නගරයේ ව්‍යාපාර, ආයෝජන, වෛද්‍ය, අධ්‍යාපන, සංස්කෘතික සහ විවිධ කර්මාන්ත ආදියෙහි නිරතවෙමින් පරම්පරිකව ජීවත්වූ දෙමළ ජනයාට අයත් විශාල දේපළ ප්‍රමාණයක් ගිනිතැබීමත්, කොල්ලකෑමත් මේ යට‍තේ සිදුවිය. මීගමූ නගර මාධ්‍යයේ පිහිටි ග්‍රීන්ස් පාර දෙපස සියළුම කඩ සාප්පුද, කෙලින්විදියේ කඩසාප්පු විශාල ප්‍රමාණයක්ද, ඊට අමතරව මීගමුව සා. පීතර විදුහල ඉදිරිපිට පිහිටි කඩසාප්පු රාශියක්ද, රාජ් සිනමා ශාලාවද, මන්ත්‍රී සාප්පු සංකීර්ණයද, රජා පැලස් සහ තවත් ඇදුම් සහ රත්රන් බඩු කඩවල් රාශියක්ද, තෙල්වත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයූ ආයතනයක්ද (නීල් හර්ඩ්වෙයාර්),  හලාවත පාරේ බේකරියක්ද (ආච්චි පුල්ලේ බේකරි), මීගමූ කොච්චිකඩේ ප්‍රදේශයේ කඩ කිහිපයක්ද මෙසේ  ගිනිතැබීමටත්, කොල්ලකෑමටත් ලක්වු ස්ථාන අතර වේ. 

රටේ අනෙකුත් ප්‍රදේශවල කළු ජූලියේ එක් ස්වභාවයක්වූ දෙමළ ජනයාට පහරදීමත්, දෙමළ ජනයාගේ නිවාස, සහ වාහන ගිනිතැබීමත්, දෙමළ ජනයා ඝාතනය කිරීමත් මීගමුවේදී සිදුවී නොමැත.  මීගමුවේදී සිදුවුයේ සම්පුර්ණ වශයෙන්ම දෙමළ ජනයාට අයත් කඩ සාප්පු  ගිනිතැබීම සහ කොල්ලකෑමයි. කෙසේවුවද වැල්ලවීදියේ පිහිටි ප්‍රධාන කෝවිල් තුන සහ වැල්ලවීදිය ශා. සෙබස්තියන් පල්ලිය අවතැන්වූ දෙමළ ජනයාට නවාතැන්දීමට විවෘතව පැවැත ඇත. එහෙත් මීනි මැරීම් තුනක් ගැන සටහන්ය. ඒ සියල්ලෝම ප්‍රදේශයේ සිටි දාමරිකයන්ය. ඒ අතර 'මනී' හෙවත් 'බර්නාඩ්' නම් දාමරිකයා ප්‍රධානවේ. මහාචාර්ය Rajan Hoole 12/09/13 Colombo Telegraph වෙබ්අඩවියට ලියන ලද Institutional Implications Of The JSS And Black July ලිපියේ  එකවට රජයේ අමාත්‍යවරයෙකුවූ පෙස්ටස් පෙරේරා මහතා මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලයේදී කළු ජුලිය සිදුවීමට සතියකට පෙරම එය සිදුවන ආකාරය ගැන දැන සිටියේයැයි දක්වයි. එහෙත් මීගමුවේ කළු ජුලිය යටතේ සිදුවූ ද්‍රවිඩ ජනයාගේ දේපළ ගිනිතැබීමත් සහ  කොල්ලකෑම් ආදියත් දේශපාලන පක්ෂයක මැදිහත්වීමෙන් සිදුකල දේවලට වඩා පුද්ගලයන් සහ මැරයන් විසින් සිදුකල ක්‍රියාදාමයන් විය. ඒ සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මීගමුවේ අද නම්දරා සිටින ධනවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සහ මීගමුවේ ප්‍රසිද්ධ දාමරිකයන්   කිහිපදෙනෙකු සිටීමත් තුල  ඉහත කරුණ තවදුරටත් සනාථ වේ. 

කළු ජුලිය නිසා මීගමුව නගරයේ සංවර්ධනයට බෙහෙවින් උපකාරවූ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයන්, ආයෝජකයින්, නිෂ්පාදකයින් සහ කර්මාන්තකරුවන්ද රාශියක්ද, චිර ප්‍රරසිද්ධ ඉංග්‍රීසි, ගණිත, විද්‍යා ගුරුවරු රාශියක්ද, නැටුම්, නර්තන, ශාස්ත්‍රීය, සංගීත සහ සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ද ප්‍රවීනයන් රැසක්ද, වෛද්‍යවරැන්, ගණකාධිකාරීන්, වරත් ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක්ද  මීගමුවට අහිමිවිය. එම පිරිස්වලින් බොහෝ දෙනෙකු ආපසු යාපනයටද, පසුව සමහරක් ලෝකයේ වෙනත් රටවලටද පිටත්ව යන ලදී. 

කෙසේවුවද කළු ජූලිය සිදුවීමට පෙර මීගමුවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම්  තුනක් මීගමුවටත්, රටටත් නරක කාලයක් උදාවෙමින් පැවති බවට ඉගි කළේයැයි මීගමුවේ එකල සිටි වැඩිහිටියන්ගෙන් අප අසා ඇත. එම විස්තර සහ තවත් කරුණු අනුව එම සිද්ධියන් පහතින් දැක්වේ.

1. ශා. පීතර පල්ලියේ පාස්කු මඩුව ගිනිගැනීම
දුවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව යොදාගෙන සිදුකරන  පාස්කු සංදර්ශනය 1982 දී යෙදී තිබුනේ මීගමුව නගර මාධ්‍යයේ පිහිටි ශා. පීතර පල්ලියට අයත් පිටියේ රගදැක්වීමටය. 

එහෙත් 1982 අප්‍රියල් මාසේදී පාස්කු සංදර්ශනය සදහා තනා නිමකල පාස්කු මඩුව හදිස්සියේ ඇතිවූ ගින්නකින් සම්පුර්නයෙන්ම විනාශවී ගියේය. මීගමූ ඉතිහාසයේ කවදාවත් සිදුනොවූ මෙම සිද්ධිය ජනයා අතර මහත් කණගාටුවක් සටහන් කර ඇත. පාස්කු මඩුවට අමතරව පෙරුසලම් නගරය දක්වන පසුබිම් චිත්‍රයද විනාශවිය. එවකට ඇමතිවරයෙකු මෙන්ම මීගමුවේ මන්ත්‍රීවරයා වූ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාගේ සහයෝගයෙන් අවශ්‍ය තිර රෙදි සපයාගත හැකිවූ අතර ප්‍රවීණ චිත්‍ර ශිල්පී ගොඩමාන මහතා විසින් නැවත ජෙරුසලම් නගරය දැක්වෙන පසුබිම් චිත්‍රය සිතුවම් කර ඇත. 

2. මීගමුව මුතුමාරි අම්මාන් කෝවිලේ කොත කඩා වැටීම
මීගමුව මුතුමාරි අම්මාන් කෝවිල යනු මීගමුවේ දැනට දක්නට ඇති පැරණිම කෝවිලය. 1980 දශකයේදී මෙම කෝවිලේ කොතක් බැදීමට තීරණය කරතිබේ. 1982 දී ඒ සදහා දරන ලද උත්සහය ලත් තැනම ලොප්වී තිබේ. ඒ කොත ඉදිකිරීමට පටන්ගෙන දින කිහිපයකින්ම එය කඩාවැටී තිබේ. එම කාලයේදීම මදුරාසියේද ප්‍රධාන කෝවිලක අතිවිශාල වියදමක් දරමින්, විවිධ දේව රූප තනමින් ඉදිකළ කෝවිලක කොතක්ද කඩාවැටී ඇත. ඒ සමග මීගමුව මුතුමාරි අම්මාන් කෝවිලේ කොත කඩාවැටීම ද මීගමුවේ දෙමළ ජනයා සලකා ඇත්තේ ඉතාම අසුබ සලකුණක් ලෙසය. අදටද මීගමුවේ ශ්‍රී සිට්ටි විනයාගර් (Sri Sitthi Vinayagar) කෝවිලේ ඉතාමත් දැකුම්කළු කොතක් සහිතව සහ කාලි කෝවිල කොතක් රහිතව ඉදිකර තිබුනද මීගමුවේ පැරණිම කෝවිල වන මුතුමාරි අම්මාන් කෝවිලේ කොතක් ඉදිකරන්නේ නැත්තේ එසේ ඉදිකිරීමට සැරසුන කොත කඩා වැටීමෙන් පසුව සිදුවූ කළු ජුලි විනාශය නැවත සිහිවෙන නිසායයි මීගමුවේ දෙමළ ජනයා අතර විශ්වාසයක් පවතී.  











3.පිල්ලියර් කෝවිල ඉදිරිපිට කාක බෝගස කපා දැමීම.   
1982 සැප්තැම්බර් මාසයේදී මීගමුවේ වැල්ලවීදිය පිල්ලයාර් කෝවිල ඉදිරිපිට තිබු යෝධ කාක බෝගහ  පාර පළල් කිරීම සදහා කපා දමන ලදී. කපා දැමූ යෝද කාක බෝගස දැක කම්පාවූ මීගමූවාසීන් මහා ඛේදවාචකයක් ලග එන බව ඒ සමග විශ්වාස කිරීමට පෙළබිණි. ඒ සම්බන්දයෙන් මීගමුවේ උපත ලබා, මීගමුව විජයරත්නම් දෙමළ මහා විදුහලේන් මුලික අධ්‍යාපනය ලැබ, 1983 කළු ජුලිය නිසා මීගමුව අතහැර යාපනයටත් පසුව සිංගප්පුරුවටත් ගිය, සිංගප්පුරුවේ ජනමාධ්‍යවේදිනියක් සහ සාහිත්‍යවේදිනියක් ලෙස කටයුතු කරන, සාහිත්‍ය කටයුතු  සදහා ජාත්‍යන්තර සම්මානයන් පවා පිදුම් ලැබූ කනගලතා ක්‍රිෂ්ණසාමි (Kanagalatha Krishnasamy Iyer) ගේ  'PIPAL TREE' රචනයේ මනස්කාන්ත ලෙස විස්තර කර ඇත. කවදා හෝ සිංහලට පරිවර්තනය කිරීමට උවමනාවක් තිබුනද එය ඉංග්‍රීසියෙන්වුවද පහසුවෙන් කියවිය හැක. මීගමුවේ කළු ජුලිය ගැනත්, එය සිදුවීමට පෙර සහ පසු මීගමුවේ තත්වයත්, මීගමූ දෙමළ ජනයාගේ සමාජ ජීවිතයත් ගැන කනගලතාගේ පහත රචනයෙන්වුවද හොද අවබෝධයක් ලැබිය හැක. 
******************************************************
 'PIPAL TREE' by Kanagalatha Krishnasamy Iyer

Everyone who was born in Negombo before the 1980s, and who grew up there since then, was familiar with the pipal tree which stood in front of the temple, dedicated to Pillaiyaar, the elephant-faced God. Both the tree, and the Young Men’s Hindu Association building behind it, belonged to everyone in the town. It was a tree that didn’t discriminate between race, religion, language or age. What is more, in those days, it was a friend and support to all the pupils of the nearby Vijayaratnam Hindu High School.

Many fishermen lived in Negombo, as it was a sea-side town. Most of them were Christians. Besides, there were also well-off tradesmen, upper class Hindus and Buddhists who lived in old-style colonial houses, and Muslims of every sort. So too, there were many communities there: Indian Tamils, Ceylon Tamils of the trading caste, Malays, people from Java, and Anglo-Indians.

Children of all classes and communities who spoke Tamil attended the Vijayaratnam school. All the students from the first to the twelfth class would set off on Friday mornings, walk past the Pipal tree to the Pillaiyaar temple, and sing hymns to the Lord Shiva. The Christian and Muslim children in my class always joined in the Friday procession, even if they didn’t sing the hymns.

On our return, we’d manage, somehow, to pluck off the pale-red tender young leaves of the tree. We’d place them between the pages of our books and compete amongst ourselves to see whose leaves remained intact, without fading or breaking down. In those days, the civil war had not become intense. The children were still like those tender leaves, not touched by the cruelties and sorrows yet to come.

There was a Nagar, an ancient snake-God, a stone-sculpture, beneath that tree. Offerings were made to him everyday. But even though the tree was held to be sacred, the bench that surrounded it was used by everyone. All sorts of things went on there: people begged, played, made love, rested in the shade. There was even a murder there, it was said. And it was there that someone who lived next to the Catholic church drank poison and died.

Whatever stories were told, the most important thing about that tree was that it belonged to all the townsfolk, particularly all the people who lived along Sea-shore Road. It was under that tree that we gathered before setting off to school, to dance–classes or tuition sessions, to the temple or to church festivals.

A narrow lane led from the tree to the bus-stand on Sea-shore Road. To the right of the tree, at some distance, stood the temple to the Goddess Kali, then a church. After that, the road came to an end by the cremation grounds. On this side there was the temple to Mariamman, then the entrance to the school, and the municipal buildings. Beyond that came the fish-market, and finally, the sea. The tree, with its spreading branches, stood like the magnificent chieftain of Negombo’s Sea-shore Road, holding in its possession many, many untold stories.

I still remember that in 1982, when the town was subject to attacks against the Tamil people, the riots never reached beyond the tree. Although it raised the peace-flag at that time, in the years to come it stood as witness to stabbings, murder, fires. People raised black flags there, in protest against the war. On the other hand, soldiers were recruited there, too.

But what’s the use of remembering all this? When Sea-shore Road was widened, they brought the statue of the Nagar inside the Pillaiyaar temple, and took down the tree which had put down its roots and spread its branches for hundreds of years. It wasn’t that easy to cut down the tree, either. I still remember it all. It was Natesan who was asked to cut down the tree. As soon as he began, snakes started to emerge from their pits around the tree. Terrified, he proclaimed he could not do it, and took to his bed. For Natesan, cutting down trees was like peeling bananas, usually. So, when he refused to fell it, they had to bring huge machines in order to do so.

Had there been a Buddha under that tree, they might have left it alone, and built the road around it, or perhaps turned it into a cross-roads. But before anyone could think of such a strategy, it had all happened; the tree was gone.

Everyone in the town was shocked. We were so stricken that it didn’t even occur to any of us to pluck the leaves of the tree which lay fallen beside the road. For some days it seemed as if the whole town was in mourning. Some of the older people predicted that there were evil times ahead for the entire country because the tree was taken down.

After that, the whole town changed. When the civil war became so violent in the 1990s, many families who had lived there for generations took all their possessions and left, emptying the place. But in spite of this, and with all its troubles, the town began to prosper, because of its position: a sea-shore town, right next to the airport, and so close to the capital, Colombo. Hotels and all sorts of facilities for tourists proliferated. People say that Negombo has changed completely now, crowded with tourists and foreigners. 

******************************************************
මාකස් ප්‍රියන්ත පෙරේරා. 
27/07/16.

Wednesday 13 July 2016

මීගමූව ගුවන්තොටුපළේ නම වෙනස් කිරීම සහ දේශපාලන බලයේ හිමිකම

විවිධ රටවල සිදුවන දේශපාලන බලයේ වෙනස්කම් අනුව එම රටවල වැසියන්ගේ පුද්ගල නාමයන්ගේ සිට විවිධ ස්ථානවල සහ විදීවල පවා නම්  වෙනස්වෙන බවට බොහෝ සාක්ෂි තිබේ. ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන සමයේදී මෙන්ම නිදහස ලැබීමෙන් අනතුරුවද එම ක්‍රියාවලිය  දිගහැරුණු ආකාරය ගැන යම් අදහසක් කොළඹ වීදිවල නම් වෙනස්කිරීම ගැන Geoff Ells (2012) ලියූ 'Colombo Jumbo: The Origin of Colombo Street Names' කෘතිය ඇසුරින්වුවද උකහාගත හැක. කෙසේවෙතත්, මෙම ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ අවසාන වශයෙන්  සිදුව ඇත්තේ කුමක්ද? එයින් අත්කරදී ඇති ප්‍රතිපලය කවරාකාරද? යන්න ගැන හොද අවබෝධයක් මීගමුව ගුවන්තොටුපළේ නම වෙනස්කිරීමේ ක්‍රියාවලිය තුලින් දැකගත හැකිය යන්න මගේ අදහසය.

මීගමුවේ නමට බැරවූ  ගුවන්තොටුපළක් සහ ගුවන්පථයක් ඉදිවනුවේ මීගමුව නගර මාධ්‍යයේ සිට සැතපුම් 6.5 දුරින් පිහිටි කටුනායක ස්ථානගතකර තිබු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා (RAF Negombo - Royal Air Force, Negombo) කදවුරේ ඉදිකළ ගුවන්පථය කේන්ද්‍ර කරගෙනය. දෙවන ලෝක යුද්ද සමයේදී ඉදිකළ මෙම ගුවන් පථය එවකට මීගමුව ගුවන්තොටුපළ (Negombo Airport) සහ මීගමුව ගුවන්පථය  (Negombo Airfield)   නමින් හදුන්වාදී ඇති බව බ්‍රිතාන්‍ය යටත්විජිත ලේකම් කාර්යාලය නිකුත්කර ඇති ලිපිලේඛනවලත්, ජාත්‍යන්තර ගුවන්ගමන් සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය එවකට නිකුත්කර ලිපිලේඛනවලත් දැක්වේ (Ref: 2112, Greater Manchester County Record Office with Manchester Archives-UK). 
ඇත්තවශයෙන්ම, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා   කදවුරත් (RAF Negombo),  මීගමුව ගුවන්තොටුපල (Negombo Airport) සහ  මීගමුව ගුවන්පථයත් (Negombo Airfield)   ඉදිකර ඇත්තේ මීගමුව නගරයේ එක් කෙළවරක්වූ 'ගල්කන්ද' හන්දියට එපිටින් පිහිටි 'ගොළුවපොකුණ' වත්තේ සිට කටුනායක ඇවරිවත්ත දක්වා දිවයන අති විශාල පොල් වත්තකය. 

අනෙක් අතින්, එය ඉදිකර ඇත්තේ, රජයේ නොසැලකිල්ල නිසා, මෑතකදී කඩාවැටුණු  මීගමුව කදවල කුළුන  සහ දැන් ඉතාමත් අබලන්ව ඇති ඇවරිවත්ත කුළුන සම්බන්ද කරමින් විහිදුනු බේස්ලයින් පාර (Baseline Road) හරහාය. එය යටත්විජිත යුගයේ ප්‍රධාන මිනින්දෝරු ජෙනරාල්වරයාවූ ෆ්‍රේසර් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු වූ මේජර් ස්කිනර් සහ කැප්ටන් ගැල්වේ විසින් ත්‍රිකෝණීක (triangulation) මිනුම්ක්‍රමය යොදාගෙන ශ්‍රී ලංකාවේ මිනුම් කටයුතු  සැකසීම සදහා යොදාගත් මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක  සම්බන්දකල පාරය.ඒ ගැන වැඩිදුර මෙම යොමුවෙන් කියවිය හැක.  

ඒහින්, ඉහත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුරත්, ගුවන්තොටුපළත්, ගුවන්පථයත් මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුර, මීගමුව ගුවන්තොටුපළ සහ මීගමුව ගුවන්පථය ලෙස මීගමුව නගරයේ නම කේන්ද්‍ර කරගනිමින් හැදින්වීමේ අරුමයක් නැත. එහෙත්, ඒ සමගම, වඩාත් නිශ්චිතව, මෙම ගුවන්හමුදා කදවුරත්, ගුවන්පථයත්, ගුවන්තොටුපළත් හැ-දින්වීම සදහා කටුනායක, මීගමුව යන්නද පැහැදිලිවම යොදාගත්බව දැක්විය යුතුමය. 
කෙසේවුවද, ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු නිකුත්කළ ලංකාවට ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථාන දැක්වෙන ගැසට් නිවේදනයේ සිට 1952 කට පසු ක්‍රමයෙන් නිකුත්කල සෑම රාජ්‍ය ලේඛනයකම මෙම ගුවන්තොටුපළත්, ගුවන්පථයත්, ගුවන් හමුදා කදවුරත් හැදින්වීම සදහා එතෙක් භාවිතාකල කටුනායක, මීගමුව යන්නෙන් මීගමුව යන්න ඉවත්කර, හුදෙක් කටුනායක යන්න පමණක් ඉතිරිකර ඇත. 

ඒ මීගමුව ආසනයෙන් 'කටාන' සහ 'කටුනායක-සීදුව' යන ප්‍රදේශ ඉවත්කර  'කටාන' නමින් වෙනම ආසනයක් පිහිටවීමට හෝ 'කටුනායක-සීදුව' නමින් වෙනම නාගරික කලාපයක් බිහිකිරීමටත් පෙරය. ඇතිවෙමින් ඇති තත්වය තුල මීගමුවේ වැදගත්කම නිලවශයෙන් ලඝුකරමින් ඇතැයි මීගමුව තුල යම් හඩක් ගොඩ නැගී තිබේ. එය මීගමුව මහ නගර සභාව තුලත්, ශ්‍රී ලංකාවේ ඉපැරණිම පුවත්පත සහ ලාංකීය කතෝලිකයන්ගේ  සදා නොමැකෙන හඩ වන 'ඥානාර්ථ ප්‍රදීපය' පුවත්පතේත් මතුවූ බව වාර්තාවේ. 

තවදුරටත්, අඩුම වශයෙන් හෝ මෙම ගුවන් හමුදා කදවුරේත්, ගුවන්තොටුපළේත්, ගුවන්පථයේත් 'කටුනායක, මීගමුව' යන්න ඉතිරිවී පැවතියේ බ්‍රිතාන්‍යය රාජකීය ගුවන් හමුදා කදවුර මීගමුවේ (RAF Negombo - Royal Air Force, Negombo) පැවතිතාක්කල් පමණි. එහෙත්, 1956 බලයට පැමිණි S.W.R.D. බණ්ඩාරනායක මහතා නායකත්වයදුන් මහජන එක්සත් පෙරමුණ රජයේ 

ඉල්ලීමට අනුව 1957 දී මීගමුව කටුනායක පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා (RAF Negombo - Royal Air Force, Negombo) කදවුර බ්‍රිතාන්‍යයන් විසින් ඉවත්කරගන්නා ලදී. 

ඒ සමග බ්‍රිතාන්‍ය රජයේ සහ  බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British council) අනුග්‍රහයෙන් එම ගුවන් හමුදා කදවුර භූමියේ පවත්වාගෙන ගිය ඉංග්‍රීසි භාෂා  පුහුණු පන්ති, ටෙනිස්, ටේබල් ටෙනිස්, ක්‍රිකට්, පිහිනුම්, පාපන්දු, අසුන් සහ පොනින් පිටයෑම පුහුණු කිරීම්, තරග සදහා වෙඩි තැබීම පුහුණුකිරීම්, මල්වගාව, කේක්, පාන් සහ පෙස්ට්‍රි සැකසීමට ඉගැන්වීම්, විලාසිතා සහ මෝස්තර පංති, කදවුරේ පිහිටි සිනමා ශාලාවේන් මසකට දෙවරක් සති අන්තයේ නොමිලේ ප්‍රදර්ශනයකල ඉංග්‍රීසි චිත්‍රපටි නැරබීමේ අවස්ථාව වැනි දහසකුත් එකක් අවස්ථා මීගමු වැසියන්ට අහිමිවන ලදී. මෙම මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුරෙන් සැපයු සේවාවන් තුලින් ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ජයගත් පුද්ගලයන් රාශියක්විය. ඒ අය අතරින් 60-70 දශකවල බ්‍රිතාන්‍යයේ ප්‍රකට බොලින් සහ ටෙනිස් ක්‍රීඩිකාවක් බවට පත්වූ, බ්‍රිතාන්‍ය වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය පවා නියෝජනයකල පිප් කෙයාර් (Pipp Care) මුල්තැන ගනී. ඇය සිය ක්‍රීඩා දිවිය ආරම්භ කර ඇත්තේ මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුරෙන්වූ අතර ඇගේ ප්‍රථම ජයග්‍රහණයවී ඇත්තේ මීගමුව ටෙනිස් ශුරතාවය දිනීමයි (1959 Negombo Tennis Club Championship). ඇයගේ එම  ජයග්‍රහණය ගැනත්, මීගමු ටෙනිස් සමාජය ගැනත්, මීගමුව ටෙනිස් ශුරතාවය ගැනත්, මීගමුව බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර ගැනත් (RAF Negombo), ඇය නැසීයාමට මත්තෙන් සිදුකල සාකච්ඡාවකින් කොටසක් පහතින් වේ. 
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර ඉවත්කර ගැනීමෙන් 
අනතුරුව එම ගුවන් තොටුපළද, ගුවන් පථයද, ගුවන් හමුදා කදවුරද ශ්‍රී ලංකා රජය අභිනවයෙන් ගොඩනගන ලද ලංකා ගුවන් හමුදාවට පවරන ලදී. ඔවුන්ද 1990 දශකයේ ආරම්භය දක්වාම එම ගුවන් හමුදා කදවුරේ පිහිටි පිහිනුම් තටාකය, සහ ටෙනිස් පිටිය පුහුණු පංති සදහා විවෘතව තබන ලදී. එහෙත් බ්‍රිතාන්‍ය රජයේ සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British council) අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය අනෙක් සියලූ සේවා නැවත ස්ථාපනය නොවිණි. 

ඒ සියල්ලටම වඩා, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර ඉවත්කර ගැනීමෙන් අනතුරුව පිහිටවූ ලංකා ගුවන් හමුදා කදවුරද, එහි ගුවන්පථය සහ ගුවන්තොටුපළද හැදින්වුයේ 'ලංකා ගුවන් හමුදා කදවුර කටුනායක' ලෙස මිස කටුනායක, මීගමුව යනුවෙන් නොවේ. ඉන් මීගමුව යන්න සදහටම අතුරුදහන් කරවන ලදී. 

1960 දශකය ආරම්භවෙනවාත් සමග  මෙම ගුවන්පථය සහ ගුවන්තොටුපළ ජාත්‍යන්තර තත්වයට ගෙන එම පිළිබදව යෝජනා ඉදිරිපත්ව ඇත. ඒ සම්බන්ධයෙන් මහත් උනන්දුවෙන් කටයුතුකර ඇත්තේ 1964 රජයේ සන්නිවේදන ඇමතිවරයා ලෙස කටයුතුකල ලංකා සම සමාජ පක්ෂයේ අනිල් මුණසිංහ මහතාය. ඔහු කැනඩා රජය සමග මිත්‍රත්ව ගිවිසුමක් අත්සන්කර ගුවන්පථය පුළුල්කර, අවට මංමාවත් නවීකරණයකර,   ගුවන්තොටුපළට නව ගොඩනැගිලි ඉදිකරදී  කටුනායක ගුවන්තොටුපළ නමින් ලංකාවේ ප්‍රථම  ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිහිටුවන ලදී. 

එහෙත්, 1970 බලයට පත්වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ රජය මෙම ගුවන්තොටුපළ සිය සැමියාගේ සහ විවාහයෙන් පසු ඇගේද, ඇයගේ දරුවන්ගේද වාසගම වන බණ්ඩාරනායක නමින් සංවර්ධනය කල නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ  නම්කරන ලදී. එහිදී මෙම ගුවන්තොටුපළ ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට කටයුතුකල, අනගාරික ධර්මපාලතුමාගේ ලගම නෑයෙකුවූ,
ලංකා සම සමාජ පක්ෂයේ අනිල් මුණසිංහ මහතාවත්, මෙම ගුවන්පථය සහ ගුවන්තොටුපළ මෙයට පෙර හැදින්වූයේ කටුනායක, මීගමුව යන්න ලෙස බවත් ඔවුන් නොසලකාහරිමින් බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළ කටුනායක ලෙස පමණක් නම් කරනලදී. 

එහෙත් 1977 බලයට පත්වූ J.R. ජයවර්ධනගේ මහතාගේ රජය සිය ප්‍රධාන දේශපාලන තරගකරුවා වූ බණ්ඩාරනායක නාමය  රටේ එකම  ජාත්‍යන්තර ගුවන්තොටුපළේන් ඉවත්කරමින් එය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නැවත නම් කරමින් බණ්ඩාරනායක යන්න ගලවා දමන ලදී. එම නම් මාරුවේදීද මීගමුව යන්න  ගිලිහිගොස් තිබුණි. එහෙත් කටුනායක නිදහස් වෙළද කලාපය පිහිටවීමට අවශ්‍ය ආයෝජකයින් ගෙන්වාගැනීම සදහා ආයෝජන මණ්ඩලය (BOI) විසින් එවකට  නිකුත්කර තිබු බොහෝ ලිපි ලේඛනවලට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ අභිනවයෙන් ඉදිකරන කටුනායක නිදහස් වෙළද කලාපය පිහිටා ඇත්තේ මීගමූව නගර මායිමේ බව ඉතා පැහැදිලිව දක්වා තිබුණි. ජාත්‍යන්තර ආයෝජකයින් ගෙන්වාගැනීමට මීගමූව සහ කටුනායකත්, ජාත්‍යන්තර ගුවන්තොටුපළත් අතර ඇති සමීපත්වය ඉස්මතුකලද J.R. ජයවර්ධනගේ රජය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මීගමුව ලෙස නැවත නම් කිරීමට ඉදිරිපත්වුයේ නැත. ඒ වෙනුවට කලක් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් සහ පසුව කොළඹ  දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස පැවති මීගමුව, ගම්පහ නමින් අලුතින් බිහිකළ දිස්ත්‍රික්කයට පවරා දෙන ලදී. 

1995 වසරේ බලයට පැමිණි බණ්ඩාරනායකවරුන්ගේ ඊලග පරපුර නියෝජනය කල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම්කරන ලදී. ඉන් වසර 21ක් ගෙවීයෑමෙන් අනතුරුව අදවනවිට බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළ යන්න මෙම ගුවන්තොටුපලේ  මුල්බැසගත් නම බවට පත්ව තිබේ. කලින් සදහන් කල කටුනායක, මීගමුව යන්නෙන් මීගමුව පමණක් නොව කටුනායක යන්නද දැන් සම්පුර්ණයෙන්ම ඉවත්කර දමා ඇත. ඒ වෙනුවට 'බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කොළඹ, ශ්‍රී ලංකාව ලෙස නම් කර ඇත. එහි ගුවන්   සංඛේත නාමය වන CMB යන්න සැකසී ඇත්තේද ඒ අනුවය.

ඇත්තවශයෙන්ම, මෙම ගුවන්තොටුපළ බණ්ඩාරනායක ගුවන් තොටුපළ ලෙස නම්කිරීමට S.W.R.D. බණ්ඩාරනායක මහතා සිදුකලේ එක් දෙයක් පමණි, එනම් රටේ අගමැතිවරයෙක් ලෙස බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර ලංකාවෙන් ඉවත්කරගැනීමට ඉල්ලීමය. බ්‍රිතාන්‍යයන්ද කිසිදු පැකිලීමකින් තොරව එය ඉවත්කරගැනීම සිදුකළේය. එම නිසාම පමණක් ඔහුගේ නමින් මෙම ගුවන්තොටුපල නම්කිරීම සිදුකර ඇත.  ඒ තුල කිසිම ලෙසකින් ජාතික අනන්‍යතාවය ගොඩනැගීමවත්, ගුවන්තොටුපල යථාර්ථයක් ලෙස ගොඩනැගීමට ක්‍රියාකල අනිල් මුණසිංහ වැනි පුද්ගලයන් අගය කිරීමක්වත් සිදුව නැත. ඒ වෙනුවට මෙම ගුවන්තොටුපළ බණ්ඩාරනායක නමින් නම් කිරීම තුල පැහැදිලිවම සිදුව ඇත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ට විවිධ සේවා සපයමින්, රා රේන්ද, අරක්කු තැබෑරුම් කරමින් සහ ඉඩම් හිමි වැවිලිකරුවන් ලෙස ධනය, බලය සහ දේපල රැස්කර ගොඩනැගුන දේශීය ප්‍රභූ පැලන්තියකගේ නම විරාජමාන කිරීමය. එය කුමාරි ජයවර්ධන (2007) දක්වන නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගොඩනැගුන 'Dynastic Democracy' ('පැලැන්තියේ ප්‍රජාතන්ත්‍රවාදය') නම් දේශපාලනයේ තවත් එක් ප්‍රකාශනයකි. 

ඔවුන්ගේ නම් දිදුළවීම වෙනුවෙන් නිවීයනුවේ සාමාන්‍ය ජනයාය, එම ජනයාගේ අනන්‍යතාවයන් ගොඩනැන්විය හැකි ඉඩප්‍රස්ථාය. බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළට අදාළව නම් මීගමුවය. මීගමූ ජනයාගේ අනන්‍යතාවය ඉස්මතුකල හැකි ඉඩප්‍රස්ථාය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
13/07/2016

Sunday 3 July 2016

ආණ්ඩුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව මහා බැංකු අධිපති ලෙස පත්කළේ ඇයි ?

දෙසතියක පමණ කඹ ඇදිල්ලකින් පසුව ආණ්ඩුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ලෙස පත්කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙකු වන දිනේෂ් ගුණවර්ධනද මෙම පත්කීරීම ඉහලින්ම අගයකර තිබේ. මෙය ජනාධිපති සිරිසේනගේ පත්කිරීමක් ලෙස පෙනීගියද, පැහැදිලිවම අගමැති රනිල් වික්‍රමසිංහගේම පත්කිරීමකි. ඒ බවට හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙන්ම නව මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේද පැටිකිරිය (pedigree) සාක්ෂි දරනු ඇත. දෙදෙනාම එකම ගොඩෙන් (same stock) පැමිණි අයය. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙන්ම අර්ජුන මහේන්ද්‍රන්ද කොළොඹ ඉංග්‍රීසි කතාකරන දෙමළ  ඉහල මධ්‍යම පාන්තිකයන්ය. රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන්ය. එංගලන්තයේ ඔක්ස්බ්‍රිජ්  (Oxbridge Oxford and Cambridge / ඔස්ෆෝර් සහ කේම්බ්‍රිජ් ) උපාධිධාරීන්ය. මහා බැංකුවේ කලින් සේවයකල නිලධාරීන්ය. දෙදෙනාම රනිල් වික්‍රමසිංහ පාසැල් යන කාලයේ සිටම පවුල් මට්ටමින්ම දන්නා අයය. රනිල්ගේ මෙන්ම චන්ද්‍රිකාගේද පාසැල් සමයේ මිතුරියකවන රාධිකා කුමාරස්වාමි යනු ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ සොහොයුරියවේ. ඔවුන්ගේ පියාවන Rajendra Coomaraswamy(Roving Raju -1915-81)  සමග රනිල් වික්‍රමසිංහගේ පියා Colombo Plan සැලැස්ම ක්‍රියාවට නැන්වීමට ක්‍රියාකලේය. පසුව ඔහු (Rajendra Coomaraswamy) ජේ. ආර්. ජයවර්ධනගේ ආර්ථික උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය. අවශ්‍යය නම් අර්ජුන මෙන්ම ඉන්ද්‍රජිත් ද මහා භාරතයේ (Mahabharata) හෝ රාමායනයේ (Ramayana) එන චරිත ලෙසද නම් කල හැක. කලක් කොළොඹ ඉංග්‍රීසි කතාකරන, Corporate Nationalism අගයකල, ඉහල මධ්‍යම පාන්තිකයන්ගේ දරුවන් හැදැරූ මුල් සාහිත්‍ය කෘතීන්වුවේ ඒවාය. 

එහෙත් ඒ සියල්ලටම වඩා අර්ජුන මහේන්ද්‍රන් මෙන්ම ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද පෙනී සිටින්නේද, සේවය කිරීමට ඉදිරිපත් වන්නේද, රනිල් වික්‍රමසිංහ පෙනීසිටින වෙළද පොළ ආර්ථික උවමනාවන් වෙනුවෙනි. 'බොන්ඩ්' හොරකම් ගැන විශාල ලෙස චෝදනාවට ලක්කර පිටමන් කල අර්ජුන මහේන්ද්‍රන් විවිධ මිල ගනන්වලට   'බොන්ඩ්' විකුනා ලාංකීය ආර්ථිකයේ එදා වේල පිරිමහගන්නා අතර හීන් නුලේන් කරගෙන ගිය තව කෙරුවාවන් කිහිපයක්ම විය. මුලිකවශයෙන් රුපියලේ අගය සාපේක්ෂව අවප්‍රමාණනයට ලක්කර පහළ විනිමය අනුපාතයක් පවත්වාගෙන යෑමටත්, උද්දමනය සහ පොළී අනුපාතය පහත මට්ටමක පවතගෙනයෑමටත් කල හැකි සෑම සෙල්ලමක්ම කළේය. 

දෙවනුව රනිල්ගේ ප්‍රතිපත්තිය අනුව යමින් රටේ මුල්‍ය, ශ්‍රම සහ දේපල යන අංශවල වෙනස්කම් කිරීමට මුල පිරීය. සියලු බැංකු සහ මුල්‍ය ආයතන එක කලාපයකට ගෙන ඒමට යොමුවීමත්, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිකර, ඔවුන්ගේ ක්‍රයශක්තිය සහ ශ්‍රම දායකත්වය ඉහල මට්ටමකින් පවත්වාගෙන යෑමට කටයුතුකිරීමත්, රටපුරාම ඉඩම් සහ දේපල පිළිබද දත්ත බැංකුවක් පිහිටවීමට කටයුතු කිරීමත්  ඒ අතර විය. එමෙන්ම රටේ ශ්‍රම බලකායෙන් විශාල පිරිසක් සේවා නියුක්තියේ නිරතව සිටින නමුත් ආර්ථක වශයෙන් අඩු දායකත්වයක් සපයන වී ගොවිතැන වැනි කෘෂි ක්ෂේත්‍රයට සපයන සහනාධාර වෙනුවට මුල්‍ය ප්‍රධාන සිදුකරමින් එහි වෙනස්කම් කිරීමට මුල පිරීමද සිදුකළේය. 

ඒ සියල්ලම කරන අතර ශ්‍රී ලංකා ආර්ථිකය විශාල ඉන්දියානු ආර්ථිකයට ප්‍රවේශයක් ලෙස යොමුකිරීම සදහා ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, ජපානය සහ වෙනත් රටවල් සමග නිදහස් වෙළද ගිවිසුම් ඇති කරගැනීමට මුල්තැනදී   ක්‍රියාකිරීමද ප්‍රධානවේ. ඒ සියල්ල තුලින්ම පෙනීයනුවේ රනිල් වික්‍රමසිංහ කිසිම විචිකිච්ඡාවකින් තොරව ක්‍රියාත්මක කරමින් සිටින්නේ ඔහු කවදත් පෙනීසිටි ධනවාදී ආර්ථික ක්‍රමය හෙවත් වෙළදපොල ආර්ථික ක්‍රමය සදහාය යන්නය. ධනවාදී ආර්ථික ක්‍රමය වන්දනා කරමින්, නිදහස් වෙළද ගිවිසුම් සහ වෙළදපොල ඉඩප්‍රස්ථා ප්‍රතික්ෂේප කරන ඕලමොට්ලයන් හමුවේ රනිල් වික්‍රමසිංහ පෙන්වාදී ඇත්තේ මුහුණු මරුකලද තමන්ගේ ක්‍රමය වෙනස් කිරීමට තමා කිසිසේත්ම සුදානම් නැති බවය. ඒ බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පහත වීඩියෝ පිළිසදරෙන්ම උගත හැක. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
03/07/16.