This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 31 July 2016

නාමල් සමග නැගිටිමුද ?


මෑත ඉතිහාසයේ නාමල් රාජපක්ෂ තරම් සම්ප්‍රදායට අභියෝගකල, මෙතෙක් පිළිගත් ලාංකීය ඇගයුම් සම්පුර්ණයෙන්ම නොසලකා හරිමින් කටයුතුකල වෙනත් කිසිම දේශපාලනඥයෙක් තවත් නොමැති තරම්ය. 

දළදාමාලිගාව ඉදිරිපිට සහ අගනුවර පාරවල් වසා  කාර් රේස් පැදීමේ සිට රාජ්‍ය දේපළ සිය හිතුමනාපෙට භාවිතා කිරීම දක්වාද,  නිමල් සිරිපාලගේ හෝ වෙනත් කිසිම වැඩිහිටියෙකුගේ කිසිම ලබ්බකට ගරු කිරීම දේවල් ගැනද ඔහු කිසිදු තැකීමක් නොකළේය. එවැනි දෑ සම්බන්දයෙන් කටයුතු කිරීමේදී රටේ පිළිගත් සම්ප්‍රදායක් පවතින බවවත් ඔහුට අදාල නොවිණි. ඔහු තමාගේ හිතුමනාපෙට, තමන්ට ඕනෑ ලෙස සියල්ල කළේය. ඒ ඔහුගේ පියා රට බේරාගත් නායකයාද, රට එක්සේසත් කල මහරජාණන්යැයි දැක්වන බැවින්,  තමා එහි ඔටුන්න හිමි කුමාරයා යැයි සිතා සිටින නිසාද, නැත්නම් ඒ කිසිවක් ගැන කිසිම තැකීමක් ඔහුට නැති නිසාදැයි මම නොදනිමි.

දැන් සිදුකරන පොදු විපක්ෂයේ තවත් 'දේශපාලන භක්ති අභ්‍යාසයක්' වන පාද යාත්‍රාවේද  ඔහු කිසිදු වගවිභාගයකින් තොරව  පාරේ නට  නටා 'ආප්පයා කෑවට, අපි හදනවා අපේ රට' යැයි කිය කිය යයි.  සිය පියා සංවිධානය කල 1992 පාද යාත්‍රාවේ කියූ 'හෙනගහපිය හෙනගහපිය මේ මිනිමාරු පාලනේ'  ආදී දැඩි ආවේගකාරී සටන්පාඨ වෙනුවට ඔහු 'මාරු ආතල්' සටන්පාඨ  මහපාරට ගෙනවිත් ඇත. ඒ ඇතැම් විට දැන් ඇත්තේ ප්‍රේමදාස වැනි මිනීමාරු පාලනයක් නොව එළකිරි ටෝයි පාලනයක් යැයි සිතන නිසාද වියහැක. ඔවුන්ට අනුව එය 'ගොන් රනිල්ගේ පාලනේය. ඔවුන් දෙන්නේ එයට ගැලපෙන ගොන් ආතල්ය.

නාමල් රාජපක්ෂ වැනි මේ අලුත් ඩයල් එක්ක පාගමන් යන සෙස්සෝ කියන්නේ රට විනාශවී හමාරය කියාය. සිංහල-බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කරමින් සිටින බවය. බෙදුම්වාදීන්, අධිරාජ්‍යවාදීන් සිය උවමනාවල් ඉටුකරගනිමින් අප මාතෘ භූමිය අනතුරේ හෙලන බවය. ඊටත් වඩා මෙවැනි 'දේශපාලන භක්ති අභ්‍යාස' ගැන උන්නදුවෙන්නෝ, උද්යෝගයකින් බලන්නෝ, විචාර ලියන්නෝ, රටේ දේශපාලන දෘෂ්ටිය ගැන ප්‍රස්තුත සපයන්නෝ අසන්නේ 'සිංහල-බෞද්ධ පරමාදර්ශ නාමල්ගෙන් බලාපොරොත්තු වන්නේ කෙසේද?' කියාය.

ප්‍රශ්නය ඇත්තේ නාමල් රාජපක්ෂ දෙන සහ ගන්න fun එක ගැනද? නැතිනම් එසේ fun ගන්න setඑකක් එක්ක ජාතිය, ආගම, මාතෘ භූමිය, ශිෂ්ටාචාරය, බඩු මිල, ජීවන වියදම සහ වෙනත් මහජන දුක් ගැනවිලි මතුකරන එකද? 'නැතිනම් මේවා මෙහෙම තමයි, ඕවා ඔහෝම තමයි' විතරද ? එතකොට අර පරමාදර්ශ? සම්ප්‍රදාය ? සිරිත්විරිත් ? ඇගයුම්? සහ ඒවා ගැන උන්නදුවෙන අයට වෙන්නේ කුමක්ද ?

අයියෝ සිරිසේන !!!! 

නැහැ, වඩා හොදයි 'අයියෝ සිරි' යන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
31/07/2016.

1 comment: