This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 23 April 2017

මීගමුවේ කොහුබත් කඳුවලට සිදුවූ දෙය කුණු කඳුවලටත් සිදුවුවා නම්

මීගමුව, නෙදර්ලන්තය (The Netherlands)  මෙන් කඳු නැති, වෙරළ අද්දර පිහිටි තැනිතලා (coastal plain land) ප්‍රදේශයක් ලෙසද, මුහුදු මට්ටමට පහතින් පිහිටි තැන්නක් (low flat land) ලෙසද හදුන්වමින් ලියූ ලිපි කිහිපයක් 'The Knickerbocker: The Magazine of the Low Countries' සඟරාවේ පළව තිබේ. ඒ එම සඟරාව මුලින්ම පලකල 1833 සිට 1863 දක්වා කාලයේ පළවූ ලිපිවලය. කාලයක් නතරවී තිබූ එම සඟරාව නැවත පලකල 1940 දශකයේදී Oswald Henry විසින් (1945) ලියූ 'මීගමුව සහ එහි මුල්බැසගත් ලන්දේසින්ගේ බලපෑම පිළිබද ලිපියේද ඉහත අදහස නැවත මතුකර ඇත. තැනිතලා භූමිවල පදිංචි ජනයාගේ ජීවන රටාවල් පිලිබදව සමාජවිද්‍යා ප්‍රවේශයකින් අධ්‍යනය කල ලිපි පලකල එම සගරාව ලන්දේසින්ගේ ජීවන රටාව පිළිබද වැඩි අවධානයක් යොමුකර තිබේ. විශේෂයෙන්ම සිය යටත්විජිතවල පදිංචියට ගිය ලන්දේසි ජාතිකයන් එම රටවල හැදෙන වැවෙන ගස් වැල්වල හටගන්නා පලවර්ග වලින් සිය පරිභෝජන රටාව සහ එදිනෙදා ජීවිතය ගෙවීමට අවශ්‍ය දෑ සකස්කර ගත් ආකාරයද එම ලිපිවල තිබේ.  

චිරාත් කාලයක සිට ලංකාවේ පැවති 'මහා රුක්' ලෙස පැරණි පතපොතේ හැදින්වූ පොල්ගස් වතුවගාවක් ලෙස වගා කිරීමට කටයුතු කල  ලන්දේසීන්  එමගින් සිදුකරන නිෂ්පාදන ඔස්සේ ලංකාව වැනි සිය යටත්විජිතවල ඔවුන් ගෙවූ ජීවිතය සුවපහසු ලෙස සකසා ගත්හ. පොල්වගාව ඔවුන්ට විශාල ආදායම ගෙනදුනි. ඒ පමණක් නොව ඉන් නිපැයූ ලණු, කොසු, ඉදල්, පාපිසි aaදියේ සිට පොල් තෙල්, පොල් අරක්කු, Coconut wine, Coconut cookies, පොල් කේක්, බිබික්කන් ආදියද, සොල්දොර ගෙවල් තනාගැනීමේ සිට නිවෙස් අලංකාරය සදහා යොදාගන්නා අංගයන් සැකසීමේ අමුද්‍රව්‍යක් ලෙසද පොල්ගස ලන්දේසින්ගේ  ජීවිත සුඛිත මුඛිත කළේය.  

එහෙත් සිය පාලන කාලය අවසන්වෙත්ම එතෙක් කඳු නැතිව සිටි,  වෙරළ අද්දර පිහිටි පහල තැනිතලා ප්‍රදේශයක් වූ, මීගමුවේ තැන තැන කුඩා කඳු බිහිවෙමින් තිබෙන බව ඔවුන් දුටුවගක් ලන්දේසි සටහන්වල මා මෙතෙක් කියවා නැත. එම කුඩා කඳුගැට බ්‍රිතාන්‍ය යුගයේදී තවතවත් විශාලවී  ඔවුන් ගිය පසුවද තවතවත් වර්ධනය වී 1960/70 දශක වන විට අඩි 100ක්ට වඩා උසට පැනනැග්හ. මේ කඳු වූකලී වෙන කිසි කන්දක් නොව පොල් නිෂ්පාදනවල අතුරු පැලයක් වූ කොහුබත් වලින් නිමවූ කොහුබත් කඳුය. 

කඳු නැති මීගමුවේ කොහුබත් කඳුත් කන්දක් යැයි සිතා අපිද ළමාවියේදී එම කඳු තරණය කිරීමට ගියේය. කන්ද මුහුණටම ගොස් පහලට වේගයෙන් බසින්නේ කවුරුන්දැයි සෙවීමට තරගයක යෙදුනහ. 1980 ගණන්වලදී මීගමුව, දළුවකොටුව, කුරුදුවත්ත පාරේ තිබු කන්දට නගින අපි මුහුද පෙනෙන්නේ කොහෙන්දැයි විචලහ. ඒ ගැන වාද කලහ. කටුවපිටිය ජූඩ් මාවතේද කොහුබත් කන්දක් තිබුණ බව මට මතකය. 

එහෙත් දැන් ඒ කිසි කොහුබත් කන්දක් ඒ තිබු තැන්වල නැත. කොහුබත් කන්ද ඉඩම පිටින්ම විකුණා දමා හෝ කන්ද කපාගැනීමට කිසිවෙකුට බදු දී හෝ තිබුණි. එහි තිබු කොහුබත් මෙරට මෙන්ම මැදපෙරදිග රටවල්ද පස්වලට එකතුකර ඔවුන්ගේ පොළවල් සාරවත් කරගනිමින් සිටී. එහෙත් වසර ගණනාවක් කොහුබත් තිබු මීගමුව දළුවකොටුව කුරුදුවත්ත ප්‍රදේශයේ ලිංවල වතුර තවමත් බීමට නොහැක. 

එහින් පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා හෝ කොහුබත් කඳු ඉවත්වීම ගැන ප්‍රදේශවාසීන් සතුටුවෙති. මීගමුවේ පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රදේශවල පිහිටි කොහුබත් කඳුවලටද එම සන්තැසියම සිදුවූ බව මම අසා ඇත. එමෙන්ම එම සම්පතින් රටට ලැබීමට හැකිවූ ප්‍රයෝජන අහිමිවීම ගැන ද කියන්නෝ සිටිති.  කවුරු කෙසේ ප්‍රයෝජනයක් අත්කර ගත්තද, කොහුබත් කඳුවලට සිදුවූ  දෙය කුණු කඳුවලටත් සිදුවුවා නම් කෙතරම් යහපත් දැයි සිතේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
23/04/17

පහතින් දක්වෙනුවේ මීගමුව, දළුවකොටුව, කුරුදුවත්ත පාරේ පිහිටා තිබු කොහුබත් කන්ද ඉවත්කර ගැනීමෙන් පසු එය තිබු භූමියේ ඡයා රූප කිහිපයකි. 






No comments:

Post a Comment