This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 31 May 2017

සුනිල් මිහිඳුකුල මීගමු පුත්‍රයාට මොක්සුව පතමු.

සුනිල් මිහිඳුකුල ඊයේ (30/5/17) නික්මගොස් ඇත.  ඔහුගේ මරණය ගැන සිය facebook පිටුවල සටහන් තබා ඇති සියළු දෙනාගේම සටහන් දෙස බැලීමේදී පෙනීයනුවේ ඔහු අදාල පුද්ගලයන්ට අදාල ගෞවරවය පුදකළ, කිසිවෙකුට කුහකකම් නොකළ  පුද්ගලයෙකු බවය.

මට මාගේ ජීවිතයේදී ඔහුව මුණගැසී ඇත්තේ කිහිපවරක් පැමිණි. ඒ 90 දශකයේදී සහ 2006 දීය. මට ඔහු ගැන  කීමට ඇත්තේ ඔහු කිසිවිටක මුදල්, තනතුරු සහ ප්‍රසිද්ධිය වෙනුවෙන් කටයුතු නොකළ  උදාර මිනිස් අරමුණු වෙනුවෙන් පමණක් පෙනීසිටි උදාර පුද්ගලයෙක් පමණක් වන බවය.  ඒ සදහා ඔහුට වමේ දේශපාලනයෙන් මෙන්ම තමන් හැදීවැඩුන වටපිටවාද බොහෝ සේ බලපා තිබුණි. 

ප්‍රවීන මාධ්‍යවේදියකු, සිනමා විචාරකයකු සහ ගත්කතුවරයකු වූ සුනිල්  අභාවප්‍රාප්ත වනවිට වයස 58ක් විය. පසුගිය කාලය පුරාම ඔහුගේ සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් පිරීහී ගියද ඔහුගේ උද්යෝගයේ අඩුවක් නොතිබිණි. 

මීගමුවේ ඉපදුනු, එහිම හැදී වැඩුණු සුනිල් පසුව සිය දෙමාපියන් සමග මෝදරට සංක්‍රමණයවිය.  සිය ජීවිතය රැකියාවක් කේන්ද්‍රකර ගෙන ගොඩ නොනැගු ඔහු සිය දිවිය  සිනමාවට ඇති ලැදියාව කේන්ද්‍රකරගෙන ගෙවුහ. ඔහුගේ  ජීවිතය ගොඩනගන්නේද  එම ලැදියාවමය. සිනමාවට  ඇති ලැදියාව නිසාම ඔහු සිනමාව ගැන  ලිපි ලිව්වේය. ලිවීම ඔහු ලේඛකයකු කිරීමටත්, සිනමාව සහ කලාව ගැන හදාරන්නෙක් කිරීමටත් සමත්විය. එහි ප්‍රථිපලය වුයේ සුනිල් මිහිදුකුල නම් දක්ෂ සිනමා විචාරකයෙක්, සිනමා ලේඛකයක්, සිනමා වේදියෙක් සහ ‘සරසවි', පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘවරයෙක් සහ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ සංස්කාරකවරයෙක් බිහිවීමය. 

වසර 39 ක් ලේඛකයකු ලෙස කටයුතු කල සුනිල් මිහිඳුකුල සිනමාව ඇතුළු කලා ක්‍ෂෙත්‍රය සම්බන්ධ පර්යේෂණාත්මක ග්‍රන්ථ රාශියක් රචනා ඇත. එම නිසාම ඔහු මියයාමට මසකට පෙර ඔහුගේ සේවය අගයමින් උපහාර උළෙලක් පැවති අතර  සිනමා සාහිත්‍යයට කළ සේවය ඇගයීම පිණිස පසුගිය ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී 'පුරෝගාමී' සිනමා සම්මානයෙන්ද පිදුම් ලද තවත් මීගමු පුත්‍රයෙක් විය.

මීගමුවේ විවිධ සංස්කෘතික අංගයන් ගැන නිතර පුවත්පත්වලට ලිපි ලියූ ඔහු මීගමුවෙන් පිටත ජීවත්වුවෙක්වුවද මීගමුව සමග බිදිය නොහැකි සම්බන්දයක් පවත්වාගෙන ගියහ. ඔහු ප්‍රකාශයට පත් කල ‘රුක්මනීදේවි, නිළිය, ගායිකාව හා ජනප්‍රිය සංස්කෘතිය' සහ ‘කඩවුණු පොරොන්දුව හා මිනර්වා චිත්‍රපට' වැනි කෘති ලංකාවට සිනමා කර්මාන්තයක් බිහිකර දීම සම්බන්දයෙන් මීගමුවේ දායකත්වය මනාව හෙළිකළේය. ඔහුගේ ජීවිතයේ පදනමවූ සිනමා විෂය පිලිබදව වූ උනන්දුව තමාට ලැබුනේ මීගමුවෙන් බව නිතර හෙලිකල ඔහුව හමුවූ වරක මා විමසා සිටියේ මීගමුවේ කලා කරුවන් ගැන දත්ත එකතුවක් ආරම්භ කිරීම වැදගත් නේද? යන්නය. 

එම කටයුත්ත ඔහු අතින් ඉටු නොවුනද බර්නාඩ් ශ්‍රී කාන්ත  මහතා අතින් අද බොහෝ දුරට ඉටුවී ඇත. 

සුනිල් ට ඒ සියල්ල ගැන සතුටුවිය හැක. 

ඔබ මීගමුවේ කලා ඉතිහාසය ලංකාවේ සිනමා කලා ඉතිහාසය තුල රැන්දීමට කල සේවයට සෑම සියලු මීගමු වැසියෙකුගේම භක්තිය, ආදරය සහ ගෞවරය ඔබට පුද කල යුතුය. 

සුනිල් මිහිදුකුල උදාර මිනිසාට මොක්සුව පතමු.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස (01) බ්‍රහස්පතින්දා පන්නිපිටිය රුක්මලේ පොදු සුසාන භූමියේ දී සිදුකරන්නට නියමිතය.


මාකස් ප්‍රියන්ත පෙරේරා.
31/05/17.

1 comment: