This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Saturday 24 June 2017

ඩෙංගු මර්ධනයට මීගමුවෙන් නව විසදුමක් !!!!!

ඉතාමත් දරුණු ලෙස මීගමුව නගරය පුරාම පැතිර යන  ඩෙංගු උවදුර මර්ධනය කිරීම සදහා මීගමුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක, බස්නාහිර පලාත්සභා මන්ත්‍රී, රොයිස් විජිත ප්‍රනාන්දු මහතා නව විසදුමක් අත්හදා බලා තිබේ. 

එම විසදුමවනුවේ නගරයේ ක්‍රමවත්ව ජලය  බැස නොයන කාණු සහ ජලය රැදී ඇති ස්ථානවලට මුහුදුවතුර මුදා හැරීමය. නාගරික මන්ත්‍රීවරයෙකු වන ගිහාන් ප්‍රනාන්දු මහතාගෙන් සහ ව්‍යාපාරිකයෙකුගේ සහයෝගයෙන් බවුසරයක් සපයාගෙන ඇති රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මීගමුව වෙරළ අද්දරින් මුහුදුවතුර සපයාගෙන නගරයේ ජලය රැදී ඇති කාණු සහ වෙනත් ස්ථානවලට මුහුදුවතුර මුදාහැර ඇත. 

ඩෙංගු මර්ධනය සදහා ප්‍රමාණවත් පහසුකම් සහ අරමුදල් නැතයැයි කියමින් එකිනෙකාට චෝදනාකරගන්නා තත්වයක් තුල මීගමුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක, බස්නාහිර පලාත්සභා මන්ත්‍රී, රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මීගමුවේ උග්‍රව පැතිර යන ඩෙංගු උවදුර මර්ධනය කිරීම සදහා මෙවැනි ආකාර නිර්මාණාත්මක සහ අඩුවියදම් විසදුමක් අත්හදා බැලීමට කටයුතුකිරීම අගයකල යුතු, ඉතාමත් ප්‍රසංසනීයය ක්‍රියාමාර්ගයකි.

මේ වසර තුල පමණක්, මේ වනවිට, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල  ඩෙංගු රෝගීන් 4000කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිකාර ලබා ඇති අතර දැනටමත් මරණ 07ක් වාර්තාවී තිබේ. ඩෙංගු රෝගයට ලක්වී මීයගිය අලුත්ම රෝගියා වාර්තාවුයේ මීගමුව, දළුවකොටුව, කොච්චිකඩේ ප්‍රදේශයේ 54 හැවිරිදි සන්ධ්‍ය ශ්‍රීමතී මහත්මියය. ඊට පෙර මීගමුව කුරණ, අලුත්කූරුව, කටාන ආදී ප්‍රදේශවලින්ද ඩෙංගු මරණ වාර්තාවී තිබේ. 

මීගමුව සහ ඒ අවට ප්‍රදේශවලින් දිනපතා ඇදී එන ඩෙංගු රෝගීන්  නිසා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල  ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් ඇත. ඇදන් පමණක් නොව වාට්ටුද රෝගීන්ට ප්‍රමාණවත් නොව තත්වයක් රෝහලේ උදාවී ඇත. ඒ විනාශවීයෑමට ඉතා ආසන්නව තිබු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත්මහල් ප්‍රධාන ගොඩනැගිල්ලේ (එය මෙතනින් කියවිය හැක) ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් ඉතා මන්දගාමීව සිදුවෙමින් පවතින තත්වයක් තුල රෝහලේ උද්ගතව ඇති තදබදයට අමතරවය. සති කිහිපයට පෙර සනත් ප්‍රනාන්දු මහතා ඇතුළු ප්‍රංශයේ වෙසෙන මීගමු ක්‍රියාකාරීන් සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මීගමුව රෝහලට ඇදන් සහ රෝදපුටූ පරිත්‍යයක් සිදුකර තිබුණි. ඔවුන් ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමට සමත් වෛද්‍යවරු කණ්ඩායමක් ප්‍රංශයේ සිට ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවක් ද වාර්තා වේ. කෙසේවුවද, පවත්නා ඉතාමත් කාර්යබහුල සහ අවම පහසුකම් යටතේ පවා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් සහ එහි කාර්යමණ්ඩලය ඩෙංගු රෝගීන් සුවපත් කිරීමට දක්වන කැපවීම සම්බන්දයෙන් අප සියල්ලන්ගේම ප්‍රසංසාව ඔවුනට හිමිවිය යුතුය. 2014 වසරේ ඩෙංගු මර්ධනය සදහා ලංකාවේ හොදම රෝහල ලෙස සම්මාන ලැබුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලය.
එහෙත් ගැටළුව වනුයේ ඩෙංගු උවදුර පැතිර යෑම පාලනය කරගැනීමට තවමත් නොහැකිවීමය. කාලාන්තරයක් තිස්සේ ආසියානු සංවර්ධ බැංකුව සහ වෙනත් ජාතික සහ අන්තර්ජාතික ආයතනවලින් ණය සහ ආධාර ලබාගෙන ඉදිකරණ ලද මීගමුව නාගරික කාණු පද්ධතිය සම්පුර්ණයෙන්ම පාහේ අවුල් ජාලයක් බවට පත්වී තිබේ. තැන තැන වතුර රැදෙන එම කාණු පද්ධතිය ඩෙංගු මදුරුවන් බෝකරන ඩෙංගු මදුරු ටැංකි සහ මදුරු තවාන් බවට පත්ව තිබේ. ඒ නගරේ තැන්තැන්වල ඇති  වතුර බැස නොයන අගල්, වලවල් සහ වෙනත් වතුර රැදෙන ස්ථානවලට අමතරවය. 

රටේ සෙසු පලාත්පාලන ආයතන මෙන්ම මීගමුව මහ නගර සභාවද විසුරුවා හැර ඇති බැවින් ඩෙංගු මර්ධනයේ සමස්ත වගකීම මීගමුව ප්‍රදේශයේ දේශපාලකයන්ගේ සිට නාගරික කොමසාරිස්වරයා සහ එහි කාර්යමණ්ඩලය මතට පැවරී තිබේ. එහෙත් ඔවුන්ගෙන්  අපේක්ෂාකරන කාර්යභාරය නිසිලෙසකින් ඉටුනොවන බවත්, ඔවුන් සිය රාජකාරිය පුද්ගලික සහ දේශපාලන හිතවත්කම් මත සිදුකරමින් සිටින බවට චෝදනාද එල්ලවී තිබේ. ඩෙංගු මර්ධනය මෙන්ම කැණීකසල කලමනාකරණයටද මීගමුව නාගරික කොමසාරිස්වරයා මෙන්ම එහි කාර්යමණ්ඩලයද අසමත්ව ඇත. එහෙත් මීගමුව නාගරික කොමසාරිස්වරයා රජය මගින් ජපානයේ පැවති කැණීකසල කලමනාකරණය පිළිබද විශේෂ පුහුණුවකට  පවා යවා විශේෂයෙන් පුහුණුකරනු ලැබූ තැනැත්තෙකි.

තත්වය මෙසේ තිබියදී, මීගමුව නගරයේ ක්‍රමවත්ව ජලය  බැස නොයන කාණු සහ ජලය රැදී ඇති ස්ථානවලට මුහුදුවතුර මුදා හැරීමට මීගමුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක, බස්නාහිර පලාත්සභා මන්ත්‍රී,  රොයිස් විජිත ප්‍රනාන්දු මහතා කටයුතු කිරීම තුල මීගමුවේ ඩෙංගු උවදුර  මර්ධනය කිරීම සම්බන්දයෙන් මීගමු ජනයා තුල නව බලාපොරොත්තුවක් ඇතිකර තිබේ. පසුගිය සතිකිහිපය තුල රොයිස් විජිත ප්‍රනාන්දු මහතා සහ මීගමුව එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් සහ වෙනත් පිරිස් එක්වී ඩෙංගු රෝගය පැතිර ගොස් තිබු ප්‍රදේශ ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් සංවිධානය කර තිබුණි. මෙවැනි ශ්‍රමදාන ඔස්සේ හෝ මීගමුව නගරයත් එහි වෙරළත් නිතර පිරිසිදුකරන්නේ නම් නගරේ සෞඛ්‍ය තත්වයත් , අලංකාරයත්, නොඅඩුව පවත්වාගෙන යෑහැකි බැවින් රොයිස් විජිත ප්‍රනාන්දු මහතා විසින් ඉදිරියේදීද නොකඩවා මෙවැනි ක්‍රියාකාරකම්වල නිරතවේතැයි මීගමුව නගර වැසියන් අපේකෂා කරති. 

නගරය දැවන්ත ඩෙංගු උවදුරකට ලක්ව තිබියදීත් මීගමුවෙන් විශාල මනාප ප්‍රමාණයක් ලබා  පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් බවට පත්වූ නිමල් ලාන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ කාවිද්‍යා ජයවර්ධන ආදීන්ගෙන් ප්‍රමාණවත් කාර්යභාරයක් සිදුනොවන බවද චෝදනා එල්ලවේ. 

1977 මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරගකල ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාගෙන් මීගමුව මුන්නක්කරයේ ජනයා සිය වැසිකිලි ප්‍රශ්නය විසදාදෙන මෙන් ඉල්ලුවිට ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාගේ උත්තරයවුයේ 'වැසිකිලි වෙනුවට ඌරන් ඇති කරන්න' යැයි කීමය. අද මීගමුව නගරයේ ඉතාමත් දරුණු ලෙස පැතිරයන ඩෙංගු වසංගත තත්වයකට නගරය මුහුණදී ඇති මේ මොහොතේ, ඩෙංගු උවදුර මර්ධනය කිරීම සදහා අවශ්‍ය නිවැරදි, ස්ථීරසාර සහ විද්‍යාත්මක විසදුම් භාවිතයකට ගෙන ඒමට සිය මුළු ශක්තිය යොදවා කටයුතු නොකර 'ඇයි මම මුහුදු වතුර දැම්මානේ වැනි' ප්‍රදර්ශනාත්මක සහ බොරු පැලැස්තර විසදුම් වලින් මීගමුවේ ඩෙංගු වසංගතය පිටුදැකිමටත්, මීගමුව ජනයාව තැම්බීමටවත් නොහැකි බව මීගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක, බස්නාහිර පලාත් සභා මන්ත්‍රී, රොයිස් විජිත ප්‍රනාන්දු මහතාට මෙන්ම නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතාටද මතක්කර දියයුතුය. 
 මාකස් ප්‍රියන්ත පෙරේරා.
25/06/17.

2 comments:

  1. ඔය මුහුදු වතුර දාල ඒවා පොලොවට ගියොත් අවට ළිං වල වතුර ලුණු රස වෙන්නේ නැත්ද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ අජිත්, ලුණුවතුර ළිංවලට කලවම්වෙලා දැන් තියෙනවාටත් වඩා මීගමුවේ ළිංවල වතුර ලුණුරස වෙන්නත් පුළුවන්. කුඩා දිය කඩිතිවල මාළු මැරෙන්නත් පුළුවන්. කාණුවල මදුරු බිත්තර කකා ඉන්න ගෙම්බෝ මැරෙන්නත් පුළුවන්. ඒ අතර ඩෙංගු මදුරුවෝ මැරෙන්නත් පුළුවන්. මොහොමත් මේක නිවැරදි විසදුමක් නෙමේ. තාවකාලිකව හරි ඩෙංගු උවදුර පාලනය කරන්න ගන්න උත්සහයක් විතරයි.

      Delete