This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 25 July 2017

1977 මැතිවරණය මීගමුවට කලේ කුමක්ද?

1977 මහමැතිවරණයේ 40 වෙනි සංවත්සරය පසුගියදා (එනම් 23/07/17දා) සමරණ ලදී. ලංකාවේ මැතිවරණ අතරින් සැමරීමට තරම් වැදගත් දේශපාලන සංදිස්ථානයක් සටහන් කල මැතිවරණයක් ලෙස 1977 මහමැතිවරණයට සුවිශේෂ ස්ථානයක් හිමිවන බව නොරහසකි. ඒ අද ක්‍රියාත්මකවන විධායක ජනාධිපති ධූරය ඇතුලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, විවෘත ආර්ථිකයද, මැතිවරණ ක්‍රමයද ආදීවූ සියල්ල ඇතුලත් වර්තමාන ශ්‍රී ලංකාව බිහිකිරීමට ක්‍රියාකළ J.R. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය 6 න් 5 ක බහුතරයකින් බලයට පැමිණි මැතිවරණය නිසාය. 

අනෙක් අතට, ශ්‍රී ලංකාව නවතම මාවතකට යොමුකළ මැතිවරණයක් ලෙස මේ දිනවල විවිධ ක්ෂේත්‍ර තුලින් 1977 මහමැතිවරණය පිලිබදව සාකච්ඡාවක් පැන නැගී ඇති බැවින් එහි ජාතික තලයේ තත්වය නොව ප්‍රාදේශීය මට්ටමේදී අදාල සමාජ-ආර්ථික පරිවර්තනයන් සිදුවුයේ කෙසේදැයි  යන්න විමර්ශනය කිරීම වැදගත්වන අතර එහි සැබෑ විපරිවර්තනයන් කවරාකාර දැයි ඉන් අවබෝධ කරගත හැක. 

1977 මහමැතිවරණය සදහා මීගමුව ආසනයට තරග කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් ඩෙන්සිල් ප්‍රනාන්දු ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආනන්ද මුණසිංහද, ලංකා සම සමාජ පක්ෂයෙන් නෙල්සන් පීරිස්ද, ගාමිණී ෆොන්සේකා මහතාද J.R. ජයවර්ධනගේ ප්‍රතිපත්තිවලට එරෙහි ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්විය. 

එක්සත් ජාතික පක්ෂයෙන් තරගකල නීතීඥ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා එ.ජා. පක්ෂය ආසන 17ට වැට්ටවූ 1970 මහමැතිවරණයට පවා මීගමුවෙන් තරගකර  එ.ජා. පක්ෂයට ජයග්‍රහණය අත්කරදුන් මන්ත්‍රීවරයෙකු විය. ඔහු ඡන්ද 28, 470ක් ලබාගනිමින් ශ්‍රී. නි. පක්ෂයෙන් තරගකල ආනන්ද මුණසිංහට (13,718) වඩා වැඩි ඡන්ද 14, 752 ක් ලබා පහසු ජයග්‍රහණයක් ලැබීය. ලංකා සම සමාජ පක්ෂයෙන් තරගකල නෙල්සන් පීරිස් මහතා 1,018ක්ද, සිනමාලෝලීන් බහුල ප්‍රදේශයක්වුවද ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරගකල ගාමිණී පොන්සේකා මහතාගේ නමටවත්  ලබා ගතහැකිවුයේ ඡන්ද 124 ක්ද පමණි. (මේ ගාමිණි පොන්සේකා යනු සිංහල සිනමාවේ අග්‍රගන්‍ය නළු ගාමිණි පොන්සේකා නොව ඒ නම ඇති වෙනත් තැනැත්තෙක් බව කරුණාවෙන් සලකන්න)

මීගමුවෙන් තේරී පත්වූ එ.ජා. පක්ෂයේ නීතීඥ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කර තිබුනද ඔහුට වඩා ප්‍රබල ස්ථානයක් සහ පිළිගැනීමක් පක්ෂය තුලද, ප්‍රදේශය තුලද, රට තුලද කටාන ආසනයෙන් තරගකර ජයගත් විජේපාල මෙන්ඩිස් මහතාට තිබුණි. 1960 දී මීගමුව ආසනය දෙකඩකර බිහිකල කටාන ආසනය සදහා තරගකිරීමට ඉල්ලා අස්වනවිටත් විජේපාල මෙන්ඩිස් මහතා මීගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස මීගමුවට විශාල සේවයක් කර තිබුණි. 

1964 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය පෙරළීමට සී.පී සිල්වා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ පැත්ත මාරු කිරීමේ සිට 1975 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ සමගි පෙරමුණ රජයේ තහනම නොසලකා මීගමුව කිබුලපිටියේ විශාල මහජන රැස්වීමක් කිරීම නිසාත්, රටේ කොයියම්ම හෝ ප්‍රදේශයක සංවිධානය කල එ.ජා. පක්ෂයේ ක්‍රියාකරම් සදහා සිය පියාවූ ඩේවිඩ් මෙන්ඩිස් මහතා සමග බස්රථ සපයාගෙන, කන්ඩ-බොන්ඩ දී සෙනග රැගෙන යෑම සම්බන්දවත්, නිතර එ.ජා. පක්ෂයේ නායකයින්, ප්‍රභූන් සහ රජයේ සේවකයන් ගෙන්වා ආගන්තුක සත්කාර කිරීම් තුලත්, පුංචි රෝමය ලෙස ප්‍රකටවූ කිතුනු ආගමික බලප්‍රදේශයක් වන මීගමුව තුල මෙන්ම රට තුලද බෞද්ධාගමීක උන්නතිය සහ විශේෂයෙන්ම අමරපුර නිකායේ අඹගහපිටිය පාර්ශවය වෙනුවෙන්ද විශාල සේවයක් කිරීම නිසාත්, සලාගම කුලය වෙනුවෙන්ද ක්‍රියාකාරීව මැදිහත්වූ තැනැත්තෙක් ලෙසත් විජේපාල මෙන්ඩිස් මහතා ප්‍රසිද්ධව සිටින ලදී. 

1977 මැතිවරණ සදහා මීගමුව ආසනයෙන් තරගකල, මීගමුවේ හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරයාවූ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා සිංහල/දෙමළ/ ඉංග්‍රීසි භාෂා ඉතා චතුරලෙස හැසිරවූ, ඉහල අධ්‍යාපනයක් ලද උගත්, වැදගත්, නිහතමානී නීතීඥවරයෙකු ලෙසත්, දේශපාලනයෙන් තඔ සතයක්වත් උපයා නොගත් අවංක, ඉහල විනිවිද භාවයකින් සහ විනයකින් යුක්තව සිටි තැනැත්තෙකු ලෙසත්, තම පුතාට හෝ පවුලේ කිසිවෙකුට දේශපාලන වාසි සලසා නොදුන්, ශ්‍රී ලංකාවේ කිතුනු ජනයාගේ අයිතිවාසිකම් සහ සුබ සාධනය වෙනුවෙන් විශේෂ නීති ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කල යුතුයැයි පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම සටන් කල මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රචලිතව සිටින ලදී.  (Denzil Fernando, the sitting Roman Catholic UNP M.P. for Negombo at the time of dissolution and Mayor of that city, who kept reminding his co-religionists of all the indignities inflicted on them by the Bandaranaike Governments. Denzil Fernando urged the incorporation of a bill of rights in the Constitution as a safeguard for the future  - A. Jeyaratnam Wilson (2010) Electoral Politics in an Emergent State: The Ceylon General Election of May 1970, page 136) 

එහෙත් ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාට වඩා දේශපාලන බල පුළුවන්කාරකම් අතින් විජේපාල මෙන්ඩිස් මහතා සිටියේ ගව්ගානක් ඉදිරියෙනි. 1977 මැතිවරණයෙන් පසුව ඇතිවූ මැතිවරණ ප්‍රචණ්ඩත්වයන් සදහා ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා නායකත්වය නොදුන් අතර එම අඩුව විජේපාල මෙන්ඩිස් මහතාගේ අනුගාමිකයන් විසින් සහ මීගමුවේ සිටි ඇතැම් UNP චන්ඩීන් අතින් ඉටුවන ලදී. මීගමුව දූව, පිටිපන, තලාහේන පේරුව කොච්චිකඩේ, දළුපොත, පෙරියමුල්ල, කුණ්ඩන්විල, කටුවපිටිය, තෙල්වත්ත හන්දිය, දළුවකොටුව ආදී ප්‍රදේශවල 1977දි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයන් වාර්තාවුවද එය කටාන, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලට සාපේක්ෂව ඉතා අල්ප විය. 
එහෙත්, 1977 දී J.R. ජයවර්ධන මහතාගේ ප්‍රධාන දේශපාලන පොරොන්දුව වූ 'ධර්මිෂ්ඨ සමාජය' යන්න ගොඩනැගීමට නායකත්වය දෙන්නේ කවුරුන්දැයි යන්න පෙන්වාදීමට මෙන් විජේපාල මෙන්ඩිස් මහතා J.R. ජයවර්ධන රජයේ පේෂකර්ම ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත්කරගත් අතර පක්ෂය සෝදාපාලුවට ලක්වූ 1970 මැතිවරණයේදී පවා මීගමුව ආසනය රැකගත්, මීගමුවේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරයා ලෙස 65% ක වැඩි ජන්දයෙන් පත්වූ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාට හිමිවුයේ කර්මාන්ත සහ විද්‍යා කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමතිධුරය පමණි.

1983 කළු ජුලියටද,  1988-89 සිදුවූ ඝාතන රැල්ල සම්බන්දයෙන්ද, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු විරුද්ධ පාක්ෂිකයන්ට තාඩන පීඩන එල්ල කිරීම සම්බන්දයෙන් ද විජේපාල මෙන්ඩිස් මහතාට චෝදනා එල්ලවිය. හේ ආරක්ෂක රථ පිරිවරා ගමන්බිමන් යනවිට, කාටත් වැඩක් නැති, කාටත් කරදරයක් නැති පුද්ගලයෙකුසේ සිටි ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා 'J.R. ගේ ධර්මිෂ්ඨ සමාජයේ' පිටස්තරයෙකු  මෙන් කමිසය උඩින් දමාගෙන මීගමුව ලේල්ලමේන් මාළු මිලදී ගනිමින්, පොළේ එළවලු තෝරමින්, නයිට් බසාර් (Night Bazaar) එකෙන් සෙරෙප්පු මිලදී ගනිමින් වැඩි කලබලයකින් තොරව එහාමෙහා වෙන ලදී.

1977 මහමැතිවරණයෙන් මාස කිහිපයක් ගෙවීයෑමත් සමග මීගමුව නගරයේ පදිකවෙලදුන්ගෙන් පිරීගියහ. මෙතෙක් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවෙන් ගෙන්වූ හොර බඩු  ප්‍රසිද්ධියේ පදිකවේදිකාවේ තබා විකිණිය හැකි තත්වයක් උදවිය. නව කඩසාප්පු ඉදිවූ අතර පැවති කඩසාප්පු නවතම බඩු මුට්ටිවලින් පිරීයන ලදී. මගේ මතකයට අනුව කලකට ඉහතදී පැවති රෙක්ලන්ඩ් ස්ටුඩියෝ අසල ග්‍රීන්ස් පාරේ (Greens Road) පෙදෙස වේගයෙන් දියුණුවිය. අසංග ෆැන්සි හවුස් නමින් නේකවර්ණ භාන්ඩ කඩයක් ජනප්‍රිය වූ අතර නොබෝ කලකින් එවැනි කඩ කිහිපයක් මීගමුව පුරාම දැකිය හැකිවිය. ග්‍රීන්ස් පාරේ එක් කෙරවලකින් ආරම්භකල රත්තරන් බඩු කඩවල් අවසානවුයේ මහවීදිය පාරේ පාලම අසලිනි. මීගමුව 'සිල්වර්ටන්' (Silvertone) සාප්පු සංකීර්නයේ පිහිටා තිබු 'නැෂිනල් සහ පැනසොනික්' නිල ඒජන්ත ආයතනය මගින් රූපවාහිනී සහ වෙනත් ඉලොක්ට්‍රොනික් භාණ්ඩ රටේ බොහෝ ප්‍රදේශවලට පෙර මහාපරිමාණයෙන් මීගමුවේ විකිණීම ආරම්බභ කළේය. මේ සම්බන්දයෙන් මම මීට පෙර ලියූ මීගමුවට TV ආවේ 1976 ටත් පෙරද? යන ලිපියෙන් කියවිය හැක. කටුනායක නිදහස් වෙළද කලාපය ඉදිවීමත් මීගමුව නගරයේ වානිජ්‍ය ධාරිතාවය ඉහල දැමීමට දායකවිය. 1977 හදුන්වාදුන් විවෘත ආර්ථියේ ප්‍රසාරණය සංකේතවත් කරමින් මීගමුව නගරය දෙගුණයකින් විශාලවූ අතර පැරණි බස් නැවතුම තවදුරටත් අළුත්වැඩියා කිරීම ප්‍රයෝජනවත් නොවුයෙන් එය කඩොල්කැලේ ප්‍රදේශයට රැගෙනයන ලදී. පැරණි බස් නැවතුම් පොලේ නවතම සාප්පු සංකීරණයක් ඉදිවන ලදී.  මහජනයාගේ පරිභෝජන රටාවේ වෙනස්කම්ද සිදුවෙමින් පවතින්නේ යැයි කියාපෑමට මෙන් මීගමුව සාන්ත පීතර විදුහල ඉදිරිපිට පිහිටි වෙළදසැල්වල විදුරුශිතකරණයන්හි ඇබරූ හරක් මස් ආදිය (minced beef /Ground meat) පවා විකිණීමට තිබුණ බව මට ඉතා පැහැදිලිව මතකය. 

1977 පසු ධීවර කර්මාන්තයේ සිදුවූ වෙනසද පැහැදිලිව විද්‍යාමානවුවකි. එතෙක් භාවිතාවූ ඔරු, පාරු, තෙප්පම් වෙනුවට නීල් ෆර්නැන්ඩර්ස් මහතා නිර්මාණය කල නීල් මැරීන් ෆියිබර්ග්ලාස් බෝට්ටු ඉතා ජනප්‍රිය විය. විශේෂයෙන්ම වැල්ලවීදිය දේවස්ථානයේ සේවය කල, ධීවරන්ගේ ශාන්තුවරයා ලෙස හැදුන්වූ ජොශ්ප් ප්‍රනාන්දු හෙවත් ජෝ ප්‍රනාන්දු පියතුමා විසින් ධීවර සමිති පිහිටුවා ධීවරයන්ට  මෝටර් ඇන්ජින් ලබාදීමත්, බෝට්ටු සහ වෙනත් ධීවර ආම්පන්න ලබාදීමට කටයුතු කිරීමත් එහිලා විශේෂයෙන්ම බලපෑ බව  නීල් ෆර්නැන්ඩර්ස් මහතාගේ 04/03/17 සිළුමිණ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්චාවේ දැක්වේ. කෙසේවුවද බැංකු, පෞද්ගලික අංශයෙ සහ මාළු මුදලාලිලා බෝට්ටු, එන්ජින්, දැල් සහ වෙනත් ධීවර ආම්පන්න ගැනීමට ණය පහසුකම් සැපයීම්ට පෙරට පැමිණීමත් සමග ධීවරයා ණයකාරයෙක් බවටත්, ඉන්ධන සහ පොලී ගෙවීමෙන් අනතුරුව එදිනෙදා ජීවිතය ගෙවීමට පවා මුදල් නොමැති හිගන්නෙක් බවටත් පත්විය. 

ඒ සමග එතෙක් ළමා-ලපටීන් පැන නෑ හැමිල්ටන් ඇලේ තෙල් තට්ටු පැදීමට පටන් ගැනුනි. ඉවක් බවක්, සැලැස්මක් නැති ඊනියා ආර්ථික සංවර්ධනය හැමිල්ටන් ඇළ ෆියිබර්ග්ලාස් බෝට්ටුවලින් පුරවා, බෝට්ටු එන්ජින්වල දැවිතෙලින් දුෂණය කර තිබුණි. ධීවරයා පමණක් නොව රටද ණය කාරයන් වී සිටියහ. හැමිල්ටන් ඇළ පමණක් නොව රටේම පරිසරයද දුෂණයවී ඇති බව පැහැදිලිවිය. 

එහෙත් නවීන ධීවර යාත්‍රා නිසා ගැබුරු මුහුද තරණය කිරීම ඔස්සේ මීගමු ධීවරයන්ට නව ආර්ථික ඉඩ ප්‍රස්ථාවක්ද විවරකළේය. ඒ ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය දක්වා නීතී විරෝධීව පුද්ගලයන් ප්‍රවාහනය කිරීමය. එය යම් පිරිසකට සුගතිය උදාකල අතර තවත් පිරිසකගේ ගේදොරවල් පවා  ණයට උකසට සින්නවෙන, ඇතැමුන් මුහුදු පතුලේ සදහාටම වලලා දමන ක්‍රියාවලියක්විය. මෙම නීතිවිරෝධී සංක්‍රම ක්‍රියාවලිය මීගමුවේ දියත්වූ අයුරු මම මීට පෙර  ලියූ සෝමවංශ අමරසිංහගේ සිට ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා රටපටවන මීගමුවේ වරාය නම් ලිපිය ඔස්සේ කියවිය හැක.

අනෙක් අතට, එතෙක් හෝටල් සහ ආපනශාලා කිහිපයක් පමණක් පැවති මීගමුව ලුවිස් පෙදෙස (Lewis place, Negombo) පෝරුතොට දක්වා හෝටල් සහ රෙස්ටුරන්වලින් පිරීයන ලදී. ඒ සමග ඇතිවූ ළමා අපයෝජනයන්, ගණිකා වෘර්තිය, මත්ද්‍රව්‍ය උවදුර ආදියට එරෙහිව පල්ලිය දැවන්ත සටනකට අවතීරණයවිය. ඒ අතරින් මීගමුව දොන් බොස්කෝ (Don Bosco) දේවස්ථානය ප්‍රධාන තැනක් ගන්නා ලද අතර මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි සටන අබා කොස්තා පියතුමාගේ ජීවිතය පවා අහිමිකරන තත්වයක් දක්වා ව්‍යාප්තවිය. පල්ලියේ මෙම පෙළගැස්මා ගැනමා මීගමුවේ 'ගේ ලෝඩ්ස්'? යන ලිපිය ඔස්සේ සාකච්චාවට ලක්කර ඇත. 

1977 හදුන්වා දුන් විවෘත ආර්ථිකය දේශීය කර්මාන්තවලට මරු පහරක් එල්ල කරන ලදී. ලංකාව තුල පමණක් ලොව පුරාම පිලිගැනීමකට ලක්වු, ශ්‍රී ලංකාවට පිගන් කර්මන්තය හදුන්වාදුන්,  එතෙක් ධීවර සහ සංචාරක කර්මාන්තයට පමණක් ප්‍රසිද්ධව සිටි මිගමුව ලංකාවේ කර්මාන්ත සිතියමේද ස්ථානගත කල, ප්‍රදේශයේ සිය ගණනක් දෙනාට රැකියා අවස්ථා සලසාදුන්  මීගමුව පෙරියමුල්ලේ පිහිටි ලංකා පිගන් සංස්ථාව දේශපාලන අතපෙවීම් හේතුවෙන්ද, චීනයෙන් ඉතා අඩුමුදලට පැමිණි පිගන් නිෂ්පාදනවලට තරගයක් දීමට නොහැකිවීම නිසාත් 1990 දී වසා දමන ලදී. අද එම භූමිය සුපිරි නිවාස සංකීරණයක් ඉදිකොට ඇත. විවෘත ආර්ථිකයේ එක් පැතිකඩක් මීගමුව පෙරියමුල්ලේ පිහිටි මෙම පිගන් කර්මාන්තශාලාව කියාපාන බව මම මීට පෙර ලියූ මීගමුවේ ලංකා පිගන් කම්හල-ශ්‍රී ලාංකිකයන්ට පිගන් සංස්කෘතිය හදුන්වාදුන් ලංකාවේ ප්‍රථම පිගන් කම්හල යන ලිපියේ දක්වා තිබේ. 

කෙසේවුවද, මහාචාර්ය B. L. පණ්ඩිතරත්නට අනුව  1977 සිදුවූ ආර්ථික ප්‍රවනතාවයන් නිසා මීගමු නගරයේ ආර්ථික වර්ධනය  1977-1983 දක්වා වූ වසර 6 තුල පමණක් එතෙක් පැවතියාට වඩා කිහිපගුණයක වර්ධනයක්  සිදුව ඇත .(B. L. Panditharathna (2000) Negombo city Morphology and Development,  page 14 ). 
එහෙත් මෙම ආර්ථික ප්‍රාතිහාර්ය 1983 කළු ජූලියත් සමග එකවර දවා අළුකර දමන ලදී. කවදත් සියළු ආගම් සහ ජාතීන් ඉතා ඉහල සහයෝගයකින් ජීවත්වූ මීගමුව ජාතිවාදය විසින් නොව අවස්ථාවාදයත්, දේශපාලන අවශ්‍යතාවයන් විසින් ගිනිබත් කළේය.  මීගමුව නගරයේ ආර්ථිකයේත්, ව්‍යාපාර  ක්ෂේත්‍රයේත් වැඩි කොටස්කරුවන් වූ දෙමළ ව්‍යාපාර ප්‍රජාවගේ බොහොමයක්   ව්‍යාපාර මංකොල්ලකා පසුව ගිනිතබා විනාශ කළේය. එය මීගමුවේ බොහොමයක් දෙමළ ව්‍යාපාරිකයන් යාපනය, ඉන්දියාව, බටහිර යුරෝපය, කැනඩාව, සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාවට පිටුවහල් කළේය. මීගමුවේ කළු ජුලිය ගැන මම මීට පෙර ලියා ඇති  කළු ජූලියට පෙර මීගමුවේ සිදුවීම් තුනක් යන ලිපියෙන් කියවිය හැක. 

ඉන් අනතුරුව උදාවූ සමය තුල  විජේපාල මෙන්ඩිස් මහතාගේ ඍජු හිතවත්කම් ඇති,  දකුණු පළාත සිය මුල්ගම් පෙදෙස ලෙස සැලකු පිරිසක් මීගමුවේ ව්‍යාපාර ප්‍රජාවක් ලෙස ඉස්මතු විය. 1990 දශකයේදී මීගමුව පුංචි පන්සල කේන්ද්‍රකර ගනිමින් හෙළ උරුමයේ රතනසාර හිමියන්ගේ නායකත්වයෙන් 'සිංහල වීර විධානයේ' ශාඛාවක් සිංහල ව්‍යාපාරිකයන්ගේ එකතුවක් ලෙස ගොඩනගන ලදි. එමගින් සිංහල ව්‍යාපාරිකයන්ගේ ශක්තිය වර්ධනය කිරීම අපේක්ෂා කලමුත් සිංහල වීරවිධානය සහ සිංහල උරුමය පෙනීසිටින සිංහල යනු සිංහල-බෞද්ධ යැයි පෙනීයෑම නිසා එහි සිටි සිංහල කතෝලික ව්‍යාපාරිකයන් ටික කලකින්ම ඉවත්වයෑමත් සමග සිංහල උරුමයේ ඉහත උත්සහය ව්‍යාර්ථවන ලදී.  ඊට අමතරව 1983 කළු ජුලිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට ලක්වූ පිරිසද ක්‍රමයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසිම දැකිය හැකිවිය.  එහෙත් ඒ සියල්ල අභිබවා යමින් මුස්ලිම් ව්‍යාපාර ප්‍රජාව ශක්තිමත් වර්ධනයක් සිදුවිය. පසුව දෙමළ ව්‍යාපාර ප්‍රජාවද නැවත සිය ස්ථාවර සතුකර ගන්නා ලදී. කෙසේවුවද, අදවන විට ව්‍යාපාර ක්ෂේත්‍රය තුල සියළු ආගම් සහ ජාතීන් අතර සම්මිශ්‍රණයක් දැකිය හැකිවේ.  

එහෙත් කළු ජූලියේ ප්‍රථිපල මීගමුව නගරයේ කඩ ගිනි තැබීමට පමනක් සීමා නොවන ලදී. නිසි විසදුමක් නොලද දෙමළ දේශපාලන අභිලාෂයන් කළු ජුලියත් සමග තවදුරටත් තීවුරවිය. ඒවන විටත් උතුරු-නැගෙනහිර පළාත්වල ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටි දහස් සංඛ්‍යාත මීගමු ධීවර ප්‍රජාවක් සිවිල් යුද්ධය නිසා අවතැන්වී මීගමුව පිටිපන, දූව, වැල්ලවීදිය සහ කුඩාපාඩුව පැමිණියහ. එම අවතැන්වුවන් වෙනුවෙන් ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන සහ එම දේවස්ථානවලට අයත් ශාලා සරණාගත කදවුරු බවට පරිවර්තනය විය. තමන්ගේම රට තුල, තමන්ගේම ගමේ සරණාගතයන් ලෙස ජීවත්වීමට ඔවුන්ට සිදුවන ලදී.

1977 දේශපාලන පෙරළිය විසින් මීගමුවට ලබාදෙන ලද ඊලග හොදම දායාදය වුයේ එතෙක් කොළඹ දිස්ත්‍රිකයේ කොටසක් ලෙස පැවති මීගමුව ගම්පහ නමින් බිහිකළ නව දිස්ත්‍රික්කයට අනුයුක්ත කිරීමය.  කොළඹ හැරුණු කොට බස්නාහිර පලාතේ ඊළගට තිබු විශාලතම නගරයවූයේත්, ලංකාවේ හතරවන විශාලතම නගරය වන්නාවූත් මීගමුව අලුතින් බිහිවූ දිස්ත්‍රික්කයේ අග නගරය නොකොට එතෙක් කුඩා කඩ මණ්ඩියක්ව පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ  අග නගරය කිරීම තුල මීගමුව පැහැදිලිව නොසලකා හරින ලදයි යන්න  නගරයේ සාකච්චාවට ලක්විය. 


'මීගමුවට ඇයි කුඩම්මාගේ සැලකිලි?' 


යන මීගමුවේ ප්‍රකට දේශපාලන යෙදුම තුල කියවෙනුවේ මීගමුවේ බහුතර ජනයා කතෝලිකවීම තුල ඔවුන් නොසලකා හැර ඇත යන්නය. මීගමුව දිස්ත්‍රික්කය නොවී ගම්පහ දිස්ත්‍රික්කයවුයේ ඇයිදැයි මීගමුවේ එවකට පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරයාවූ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාගේන් විමසා ඇති විටක ඔහු දක්වා ඇත්තේ එය තමාගේ හැකියාවෙන් එපිට පැවතුන කාරණයක් බවය (it was out of my hands). අලුතින් බිහිවූ දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රිකය කරගැනීම සදහා වැඩි වෙහෙසක් දැරුවෙක් ලෙස සැලකුණ මහාචාර්ය A. V. සුරවීර ඒ වනවිට එම උත්සාහය සදහා විජේපාල මෙන්ඩිස් මහතාගෙන්ද පුර්ණ සහය ලබාගෙන තිබුනි. 

විජේපාල මෙන්ඩිස් මහතාද එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වයත්, රටේ අගමැති ධුරයත් බලාපොරොත්තුවුයෙන් ඒ සදහා අලුතින් හදුන්වාදුන් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල වැඩිම මනාප චන්ද ප්‍රමාණයක් ලබාගැනීමේ අටියෙන් මීගමුව දිස්ත්‍රික්කය නොවී ගම්පහ දිස්ත්‍රික්කයවීම සදහා සහය ලබාදුන් බව පෙනේ. එහිලා එක් උදාහරණයක්වනුයේ 1989 මහා මැතිවරණය සදහා විජේපාල මෙන්ඩිස් මහතා විසින් බෙදාහැරී පත්‍රිකාවක සදහන්වී ඇත්තේ 'ගම්පහ දිස්ත්‍රික්කයක් කල විජේපාල මෙන්ඩිස් මහතා යනුවෙනි'. අගමැති ධුරය පමණක් නොව පක්ෂ නායකත්වය යන සිහිනයෙන්ද බිම ඇදවැටුන ඒ මහතා අවසානයේදී එක්සත් ජාතික පක්ෂයෙන්ද පන්නා දමන ලදී. එහෙත් අවාසනාවකට එම සිහිනය පසු කලෙක ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාට දැකීමට සැලැස්වූ බවත් එහිලා ඔහු ගත් විවිධ ක්‍රියාමාර්ග හමුවේ එතුමා එතෙක් නායකත්වය දුන් ජන ප්‍රජාවගෙන් දුරස්කිරීමට එය හේතුවූ බවටත් මතයක් තිබේ. 

කෙසේවුවද, කෙතරම් යහපත් දේශපාලන චරිතයක්වුවද මීගමුවට ප්‍රමාණවත් සේවයක් නොකළ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාට මීගමුව ප්‍රදේශයේ එතෙක් පැවති පෘතුගීසි-ලන්දේසි සුසාන භූමි දෙකවත් රැකගැනීමට නොහැකිවිය. වර්තමාන මීගමුව අධ්‍යාපන කාර්යාලය, ලේකම් කාර්යාලය සහ උසාවිය පැවති භූමිය කලක් ප්‍රචලිතව පැවතියේ මීගමුව ලන්දේසි සුසාන භූමිය ලෙසය. 1690 ගණන්වල මියගිය ලන්දේසි ජාතිකයන්ගේ පවා නම් සටහන් කරමින් ඉදිකර තිබු සොහොන් පලකවලින් පිරී පැවති එම භූමිය බුල්ඩෝසර් කර ඉහතින් සදහන්කල ගොඩනැගිලි ඉදිකර තිබේ. රාජයේ නිළධාරීන් අදාල ගොඩනැගිලි ඉදිකිරීමට මෙම භූමිය තොරගත්විට එය වැලක්වීමට ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාට නොහැකිවිය. ඉන් ඉදිරිපිට පාරේ අනික් පැත්තේ පිහිටා තිබී ඇත්තේ පැරණි පෘතුගීසි සුසාන භූමියය. එහි මීගමුව කොටුවේ සිටි පෘතුගීසි ජෙනරාල්වරු දෙදෙනෙකු පවා භූමදානය කර ඇතිබවට වාර්තා තිබේ. එහෙත් මෙම සුසාන භූමි දෙක පමණක් නොව මීගමුවේ  පැරණි උරුමය වන මීගමුව කොටුව රැකගැනීමට පවා, 1983 දී සිරිල් මැතිව් ඉවත්කිරීමෙන් පසුව කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමතිවරයා ලෙස පත්වූ, ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා පමණක් නොව 1977 පසු  බිහිවූ කිසිදු දේශපාලකයෙකු කිසිවක් සිදු නොකරන ලදී. ඒ වෙනුවට සිදුවුයේ මීගමුවේ පැරණි උරුමයන් ක්‍රමයෙන් විනාශවී යෑමට ඉඩදී බලාසිටීමය. නැතහොත් පැරණි මීපුර සිනමාශාලාවට නිමල් ලාන්සා නගරාධිපතිවරායව සිටියදී කලාසේ කඩා බිද දැමීමය. 

1977 හදුන්වාදුන් සමානුපාතික මැතිවරණ ක්‍රමය ඔස්සේ පලාතට මන්ත්‍රීවරයෙකු නොවීම වැඩියෙන්ම බලපෑ මැතිවරණ කොට්ටාශය වුයේ මීගමුවය. 1977 මැතිවරණයෙන් පසු ගෙවීගිය වසර 40යෙන් අඩකඩ ආසන්න කාලයක් මීගමුව ගතකලේ මන්ත්‍රීවරයෙකු නැතිවය. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාගෙන් පසුව ටික කලකට තේරීපත්වූ සරත්චන්ද්‍ර ගුණරත්න මහතා මීගමුව දේශපාලනයේ සිටි මහතාම දේශපාලනයේ අවසන් පරපුර නියෝජනය කළේය. ඉන් පසුව පැමිණි ආනන්ද මුණසිංහ, සරත් ගුණරත්න පමණක් නොව මීගමුවෙන් විශාල චන්ද සංඛාවක් ලැබූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ නිමල් ලාන්සා ද දේශපාලනයෙන් ධනවතුන්වූ බවට චෝදනා එල්ලවේ. එහෙත් දේශපාලන විරුද්ධවාදීන්ගේ චෝදනා කෙසේවුවද,  වෘත්තීයෙන් දක්ෂ නීතීඥයෙකුවූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාට සහ  වෘත්තීයෙන්  දක්ෂ විශේෂඥ වෛද්‍යවරියක්වූ එම මහතාගේ මැතිනියවන වර්තමාන පාර්ලි‌‌මේන්තු මංත්‍රී සුදර්ශනී ගුනවර්ධන මැතිනියට දේශපාලනයෙන් තොරවවුවද ධනවතුන්වීමටවූ හැකියාව කිසිසේත්ම බැහැර කල නොහැක. මීගමුව-කටාන-ගම්පහ පමණක් නොව රටපුරාම ඔවුන්ටවූ පිළිගැනීම දේශපාලනය තුලින් වඩාත් ඉස්මතුවුවද, එහි මුලික පදනම ඔවුන්ගේ වෘත්තීමය දක්ෂතා ඔස්සේ ගොඩ නැගුනකි. කෙසේවුවද, ඔවුන්ට පවා 1977න් පසු මෙරට ගොඩනැගුන දේශපාලන ප්‍රවාහයෙන් සම්පුර්ණයෙන්ම මිදී ඊට පෙරපැවති දේශපාලන පරමාදර්ශයන් නැවත ගොඩනැගිය හැකි දේශපාලනයක් ස්ථාපිත කිරීමට නොහැකිවන ලදී.

මේ වූකලී 1977 මහමැතිවරණය මීගමුවට ගෙන දුන් උරුමයන්ය. මීගමුවට පමණක් නොව රටටම උරුම කරදුන් උරුමයන්ය. මීගමුව පෙන්වනුයේ රටේම සිදුවූ විපරිවරත්නයේ එක් ප්‍රතිබිම්බයකි. 

1977 මැතිවරණයත් සමග දේශපාලනයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 40 වසරේම මීගමුවේ පැවති රැස්වීම්වලදී දැක්වුයේ මීගමුව සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කරන බවය. එහෙත් අද එය සංචාරකයන්ට පමණක් නොව එහි වැසියන්ට පවා ජීවත්වීමට  අපහසු ඩෙංගු වසංගතය බිලිගත්, අපිරිසිදු නගරයක් වී ඇත. අඩුම තරමින් සංචාරකයන් දහස්ගණනින් පැමිණ නරබන මීගමුව කොටුව සහ එහි වික්ටෝරියා ඇති වික්ටෝරියා රැජිනගේ පදවිපාත්‍රිය අනුස්මරණය කිරීමට ඉදිකළ ඔරලෝසු කණුව වත් සංරක්ෂණය කිරීමට, ඒ අවට වෙරළ තීරය විනාශකරන කරෝල මුදලාලිලගෙන් මුදවා ගැනීමට හෝ බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජින පවා නවාතැන්ගත් මීගමුව නව තානයම හෝ රැකදීමට කල කිසිවක් නැත.

එහින්, මෙම ප්‍රවණතාවයන් වෙනස් කල යුතු නොවේද? වෙනස් කිරීමට නොහැකිනම් නැවත සකස්කල යුතු නොවේද? එය උඩින් කරනතුරු බලා සිටිමුද? නැතහොත් බිම්මට්ටමින්, මීගමුවෙන්ම අරභමුද?

 මාකස් ප්‍රියන්ත පෙරේරා
25/07/17.

5 comments: