This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 2 July 2017

ඥානාර්ථ ප්‍රදීපයේ එලිය වැඩි කලයුතු කාලයක් නැවත පැමිණ තිබේ

පසුගිය වසරේ ජුනි 07 වෙනිදා (07/06/16) ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට වසර 150ක් පිරුණි. ඒ සම්බන්දයෙන් යමක් ලිවීමට මට උවමනාවක් තිබුණි. ඒ අප කුඩාකල සිටම අපේ නිවෙස්වල සහ අප දන්නා වෙනත් කතෝලික නිවෙස්වලද ඥානාර්ථ ප්‍රදීපය හෝ එහි ඉංග්‍රීසි පුවත්පතවන The Messenger යන පුවත්පත් සතිඅගදී ඔවුන් මිලදී ගන්නා පුවත්පත් ගොන්නට අයත්වූ, අපි ඉතා හොදින් ඇසුරු කල පුවත්පතක් වූ බැවිනි. 

මුලික වශයෙන් පල්ලිය සහ මීසම් සංවිධාන කේන්ද්‍රකරගෙන බෙදාහරින ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත හුදෙක් ඒක පලාතකට පමණක් සිමා නොවූ ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාව ජීවත්වෙන ඉතා ඈත එපිට පිහිටි වැලිඔය, කෝකිලායි ආදී ප්‍රදේශවලට පවා සෑම සෙනසුරාදා දිනක කිසිදු ප්‍රමාදයකින් තොරව බෙදාහැරීමට සහ අලවිකිරීමට ස්වේච්ඡා පදනමක් මත සකස්වූ ඉහල සංවිධාන ආකෘතියක් මේම පුවත්පතට ඇති බව මම අත්දැකීමේන්ම දනිමි. 

වරක්, 2015 වසරේ අගෝස්තු, පදවිය මීසමේ සේවය කරන පියතුමෙකු මුණගැසීමට අප එහි ගිය විට ඊට සැතපුම් 20ක් පමණ දුර පිහිටි කෝකිලියි සිට යතුරුපැදියකින් පැමිණි තරුණයෙක් එම පියතුමාට මුදල්ගෙවා ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ පිටපත් ගණනාවක් මුදල් දී මිලට ගත් අයුරු දුටිමි. ඔහු සමග කථාකලවිට දැනගැනීමට ලැබුනේ ඔහු එම පුවත්පතේ පිටපත් තවත් ගම්මාන කිහිපයක කිතුනුවන් අතට පත්කිරීම සදහා රැගෙන යනබවත්, ඒ සදහා එම ගම්මානවල වෙසෙන බාල, මහළු කොයිකවුරුන් හෝ අතරින් ඉදිරිපත්වුවෙකු පුවත්පතේ අලෙවිය සහ බෙදාහැරීම කටයුතු කරන බවය

පුවත්පතක් බෙදාහැරීම සහ අලෙවිකිරීම සදහා මෙවැනි ආකාර ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ සංවිධාන ව්‍යූහයක් ලංකාවේ තවත් තිබේ නම් ඒ ඇත්තේ ලංකාවේ වාමාංශික පක්ෂවල පුවත්පත් අලෙවිය සහ බෙදාහැරීම සම්බන්දයෙන් පමණි. එහෙත් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත ආරම්භවන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ පමණක් නොව ලෝකයේ වාමාංශික පක්ෂ ක්‍රියාකාරීත්වයන් පවා බිහිවීමට පෙරය. එනම් 1866 වසරේය. අදටද ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත යනු ලංකාවේ නොකඩවාම පලවන ඉපැරණිම සිංහල පුවත්පතය. එහින් ඥානාර්ථ ප්‍රදීපය ගැන සමස්ත ශ්‍රී ලංකාවේම අවධානය වඩාත් යොමුවිය යුතුව ඇත. ඒ මන්දයත් ලංකාවේ කුමන හෝ පුවත් පතක්,විශේෂයෙන්ම සතිපතා පලවන පුවත්පතක්, නොකඩවාම වසර ගණනාවක් පවත්වා ගෙනයෑම පහසු කටයුත්ත නොවන නිසාත් එහෙත් ඥානාර්ථ ප්‍රදීපය යනු එම අභියෝග ඉතා හොදින් ජයගත් පුවත්පතක් වන නිසාත්ය.   

එමෙන්ම, සතිපතා එහි පිටපත් 12,000-20,000 අතර ප්‍රමාණයක් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත පාඨකයන් අතර අලෙවිකරන බවත්, එය  ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් 1866 සිට අද දක්වා සතිපතා නොකඩවා පලකරන, අදටද හොදින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පැරණිම පුවත්පත බවත්, 1960 දශකයේ කතෝලික පාසැල් රජයට පවරාගැනීමට එරෙහිව කතෝලිකයන් අඛණ්ඩ උද්ගෝෂණවල නිරතවූ සමයේදී ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ අලෙවිය (එහි හිටපු කතුවරයෙකු වූ D.F Kariyakarawana මහතාට අනුව) ලංකාවේ ජාතික පුවත්පත්වල අලෙවිය පවා ඉක්මවා ගියබවත් රටේ බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. 

විශේෂයෙන්ම තොරතුරු රැස්කිරීමේ සිට පුවත්පතක් ලෙස මුද්‍රණයකර බෙදාහැරීම දක්වා විහිදී ගිය ඉතා ඉහල සංවිධානාත්මක  ආකෘතියක් මෙම පුවත්පතට තිබේ. ශ්‍රී ලංකා කතෝලික සභාව සතු මුද්‍රණාලයක මුද්‍රණය කෙරුවද, එහි බැරපන සදහා කතෝලික සභාව විශාල ලෙස දායකවුවද, සෑම සති අන්තයකම ඥානාර්ථ ප්‍රදීපයේ පලකරන මරණ දැන්වීම් මෙම පුවත්පතේ පැවැත්ම සදහා විශාල දායකත්වයක් ලබාදේ. ලාංකීක කතෝලික ප්‍රජාව අතරින් බොහෝදෙනෙකු තම තමන්ගේ මියගිය  ඥාතී-මිත්‍රාදීන් වෙනුවෙන් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ මරණදැන්වීමක් හෝ සැමරුමක් පලකරගැනීම පුරුද්දක් කරගෙන තිබේ. ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත හැරුණු විට මෙලෙස පුවත්පතක පැවැත්ම වෙනුවෙන්  මරණ දැන්වීම් වඩා තීරණාත්මකව දායකවෙන තවත් පුවත්පතක් වෙතොත් ඒ යාපනයේ පලවන 'උදයන්' පුවත්පත පමණි.  

මර්සිලින් ජයකොඩි, බෙනඩික් ජෝශේප් පෙරේරා, සිරිල් ගාමිණී, ෆ්‍රැන්ක් මාකස්, ඔස්වල් ගෝමස්, බට්රම් ප්‍රනාන්දු, ඉග්නේෂස් ගම්ලත් වැනි දෙස් විදෙස් සාහිත්‍ය සහ කලාව පිළිබද උගත් කතෝලික පැවිද්දන් මෙන්ම ගිහියන් රාශියක්ද කතෘත්ව ඉසිලු ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත, ලංකාවේ පුවත්පත් කලාවක් ගොඩනැංවීම සදහාත්, සිංහල භාෂාවේ වර්ධනය සදහාත්  විශාල සේවයක් කර තිබේ. සිංහල පුවත්පත්කලාවේ විශිෂ්ඨයන් අතරින් කිහිපදෙනෙකු වන ඩී.ෆ්. කාරියකරවන(D.F. කාරියකරවන නම් මීගමුවේ සිංහල වියතා)මීගමුවේ පෙරියමුල්ලේ විසූ හෙක්ටර් වෙල්ගම්පොල, සුනිල් මිහිදුකුල සහ කැමිලස් පෙරේරා ආදීන්ද, කෘතහස්ත ලේඛකයන්, කතුවරුන් රාශියක්ද බිහිකිරීමට මෙම පුවත්පත දායකත්වය සපයා ඇති නිසාම එය ශ්‍රී ලංකාවේ සිංහල පුවත්පත් කලාවේත්, මාධ්‍යකරණයේත් පුරෝගාමියා යැයි නොපැකිලිව හදුන්වාදිය හැක. 

ඒ සියල්ලටමත් වඩා,  විශේෂයෙන්ම ශ්‍රී ලංකික කිතුනු ජනයාගේ දැනුම, විශ්වාසය, අධ්‍යාපනය, අවබෝධය, භාෂාව, කලාව, සාහිත්‍ය, සංගීතය, සිනමාව සහ සංස්කෘතික දියුණුව,  දේශපාලන දැක්ම, පවුල, පෝෂණය, සෞඛ්‍ය, සමාජීය පැවැත්ම සහ ලාංකීක සමාජයේ අනෙක් සියළු ජන කොට්ඨාශායන්ට වඩා ඉහල මට්ටමක ඇති 'කිතුනුවන්ගේ ප්‍රබෝධය' ගොඩනැන්වීම සදහාත්, බලමුලුගැන්වීම සදහාත් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත ප්‍රමුක කාර්යභාරයක් ඉටුකර තිබේ. පසුගිය වසර කිහිපය තිස්සේ අප විසින් සිදුකරමින් ඇති මීගමුවේ ඉතිහාසය පිළිබද අධ්‍යයන කාර්යේහිලා ඥානාර්ථ ප්‍රදීපයේ පැරණි පිටපත් ගණනාවක් විමර්ශණයට ලක්කල අතර ඉහල  නිගමනයට පැමිනීමෙහිලා එම කියවීම බොහෝ අදාල විය. 

ඒ හැරත්, නිරංජලා සරෝජනී ගායන ශිල්පිනිය ඥානාර්ථ ප්‍රදීපයේ ඉංග්‍රීසි පුවත්පතවන The Messenger හී කතෘවරයෙකු වූ  සිය පියා සහ සිය පවුල පිළිබද රූපවාහිනී වැඩසටන් කිහිපයකටම ලබාදී ඇති සාකච්ඡාත්, ලංකාවේ පැරණි නළුවෙකුවූ හියුගෝ ප්‍රනාන්දු මහතාගේ ගීත රචනා සහ බයිබලයේ ඉගැන්වීම ගැන සදහන් කරමින් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ හිටපු  කතෘවරයෙකු වූ බෙනඩික් ජෝසප් පෙරේරා පියතුමා දක්වා ඇති අදහස්ද එහිලා අදාලය.

1866 ජුනි 07 දින පීටර් ඉලාරි පියතුමාගේ අධ්‍යක්ෂකත්වයෙන් හා ජුවාන් ප්‍රනාන්දු මහතාගේ කර්තෘත්වයෙන් ඇරඹි ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත, දැන් කොළඹ කතෝලික මුද්‍රණාලයේ මුද්‍රණය කලද, මුලින්ම එය මුද්‍රණය කලේ කොළඹ කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව්මැදුර මුද්‍රණාලයේය. කතෝලික පුවත් කතෝලික ජනයා අතරට නිවැරදිව පත්කිරීම මෙම පුවත්පතේ මුලික අරමුණ බව එහි පළමු මුද්‍රණයේ සදහන් කර ඇත්තේ පහත ආකාරයට: 

'දක්ෂිණ බාග ඥාණ පදවිය පාලනය කරන අති ගෞරවනීය ඉලාරී යෝන් සිල්ලානි ධම්මාචාර්ය රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ සහ එම පදවියේ නොයෙක් ප්‍රේරිත ස්ථානවල ක්‍රියාකරන ගරු ප්‍රසාදින් වහන්සේලාගෙන් ආධාර ඇතිව පිහිටුවන ලද ඉහත කී කතෝලික සමාගමේ ප්‍රතිෂ්ඨාධාර තැනගේ යෝජනාවක් පිට ඥානාර්ථ ප්‍රදීපය නම් වූ මේ ප්‍රවෘත්ති පත්‍රය ප්‍රසිද්ධ කිරීමට පටන් ගත්තේමු. මෙහි සත්‍ය දේව ධර්ම, රාජනීති, ශිල්පශාස්ත්‍ර, වෙළෙඳාම්, කර්මාන්තාදියට අදාළ වග වාසගම්ද, ස්වදේශ, පරදේශ ආරංචිද, සිත් ප්‍රිය කරන කථා වස්තුද දැන්වීම් පත්‍ර සහ වැදගත් කියුමුත් ප්‍රසිද්ධ කරණු ලැබේ' 

පැරණි ව්‍යාක්ත සිංහල බස යොදාගනිමින් ප්‍රකාශිත ඉහත අරමුණ මතම ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත වසර 150 කට පසුවුවද යැපෙන බව, ඒ මතම පිහිටා කටයුතු කරන බව පැහැදිලිය.  මෙම පුවත්පත එහි මුල්යුගයේදී කතෝලික සභාව විසින් පවත්වාගෙන යන අනත් දරු මඩම්වල නඩත්තුව සහ වෙනත් දයාවේ සේවාවන් සදහා ආධාර එකතු කිරීමද අරමුණු කරගන්නා ලදී. 

එහෙත්, 1880 දශකයෙන් පසුව උදාවු  සිංහල-බෞද්ධ (වාර්ගික) ජාතිකවාදයත්, අනගාරික ධර්මපාලතුමාගේ  ක්‍රියාකාරීත්වයත් තුල ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත සිය කතෝලික ස්ථාවරය පැහැදිලි කිරීම සදහාත්, කතෝලික මෙන්ම ක්‍රිස්තියානි ජනයාටද එල්ලවෙන තාඩන පීඩන හමුවේ ක්‍රියාකල යුත්තේ කෙසේද යන්න පිලිබදවත් දැනුවත් කිරීම සදහා පුවත්පතේ මුබ්‍ය අරමුණ දීර්ඝකල බවක් හෝ වෙනස් නැබුරුවකට ගෙන ගියබවත් පෙනේ. විශේෂයෙන් කතෝලික ආගමික පල්ලිවලට, පාසැල්වලට සහ පෙරහැරවල් වලට පහර දීම් වාර්තාවූ 1880, 1883, 1888  සහ 1892 වසර වලදී ලාංකීක කතෝලිකයන් කල යුත්තේ කුමක්ද යන්න ගැන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත දැක්වුයේ: 1. සිය ආරක්ෂාව සදහා සමුහය සමග රොක්ව සිටින ලෙසත් 2. ප්‍රේමය මිස ෙෙවයිරය ප්‍රවර්ධනය නොකරන ලෙසත් 3. සිය අයිතිවාසිකම් වෙනුවෙන් පොදුවේ පිළිගත්, නිත්‍යානුකූල ක්‍රියාමාර්ගවලට යන ලෙසත් 4. ජාතික සමගිය සදහා යැදීමේ මෙන්ම ක්‍රියාවේද නිරතවන ලෙසත්ය.  මෙරට කතෝලික ජනයාට එවැනි තර්ජනක් එල්ලවෙන සෑම විටම  ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත  කතෝලික සභාව සමග එම ස්ථාවරය දරුබව පාසැල් රජය සතු කරගැනීමේ ක්‍රියාවලියට එරෙහිවත්, (එම නිසාම පුවත්පතට කඩදාසි සැපයීම පවා රජය වලක්වා තිබේ) ඉරණවිල හෝ වෙනත් අවස්ථාවලදීද ගත්බවත් පැහැදිලිය. 

ඥානාර්ථ ප්‍රදීපයේ එලිය වහා වැඩි කලයුතු කාලය දැන් නැවතත් පැමිණ තිබේ යැයි පෙනේ. විශේෂයෙන්ම කිතුනුවන් කෙරෙන් සිය විශ්වාසය, පැවැත්ම, අනන්‍යතාවය පමණක් නොව දෑලතුරේ, මුතුරාජවෙල, මීගමුව ආදී ඔවුන් ජීවත්වෙන පරිසරයන්ද, ඔවුන්ගේ ජන ජීවිතද, මේරට සියළු ජාතීන්, ආගම් සහ ජනවර්ගයන් සාමුහිකව ජීවත්වූ වටාපිටාවද විනාශවීමේ තර්ජනයක් අන්තවාදීන්ගෙන් එල්ලවී ඇති තත්වයන් හමුවේ අද ඥානාර්ථ ප්‍රදීපයේ' එලිය වහා වැඩි කිරීම වැදගත් බව පෙනේ. 
  

151 වසරකට පෙර ඥානාර්ථ ප්‍රදීපයේ මුල් පිටු සැකසුම. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
02/07/17.

1 comment:

  1. ඥානාර්‍ත්‍ථ=ඥානාර්ත්ථ

    ReplyDelete