This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 16 July 2017

ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීම පෞද්ගලිකද? දේශපාලනිකද?

Sri Lanka Cricket (SLC) boasts of a pompous slogan which reads: “One nation, one team”. Are we to believe that, very soon, this will be made to read: “One nation, one team, one religion?...How would it be for those priests and nuns who gave Mathews a grand felicitation at St. Anne’s Church in Wattala, a few years ago, when he was appointed Sri Lanka Captain, and the numerous sermons they bestowed about his faith? Did Mathews compromise or, was he made to compromise on his conscience?"

ඉහතින් දැක්වෙනුවේ ඉකුත් මැයි 30 වෙනිදා ශූරයන්ගේ කුසලානය සදහාවූ තරගාවලියට (ICC Champions Trophy) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම දළදා ආශිර්වාදය  ලබාගැනීම සදහා   දළදා මාලිගාවට රැගෙන යෑම සම්බන්දයෙන් නිකුත්වූ ඡයාරූපයක් සහ එම ක්‍රියාවලිය සම්බන්දයෙන් D.B.S. Jeyaraj ගේ වෙබ් පිටුවේ 30/05/17 දින පළකර තිබු Is Thilanga Sumathipala Mixing Religion With Cricket by Forcing the Christian Angelo Mathews to Worship at the Buddhist “Dalada Maligawa”?  නම් ලිපියෙන් උපුටාගත් පාඨයන්ය. 

දළදා ආශීර්වාදය ලබා ශූරයන්ගේ කුසලානය සදහා පිටව ගිය ශ්‍රී ලංකා කණඩායම පළමු වටයෙන්ම ගෙදර ආවේ තිසර පෙරේරා අතින් තීරණාත්මක උඩ පන්දුවක් ගිලිහීයෑම නිසා බව පෙනීයන ලදී. ඉන් අනතුරුව යෙදුන සිම්බාබ්වේ කණඩායමේ සංචාරය සදහා නම් කල එක්දින සංචිතය සදහා තිසර පෙරේරා ඇතුලත් නොවුනි. මේ දිනවල ඔහු එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලිය සදහා ක්‍රීඩා කරමින් සිටී. තමාගේ මෙන්ම තේරීම් කමිටුවේද තෝරාගැනීම අනුව සකස්කරගත් කණ්ඩායම ක්‍රීඩාකල සිම්බාබ්වේට එරෙහි එක්දින තරගාවලියේ පරාජයවීම හමුවේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළේය. ඒ අවසරයෙන් ග්‍රී ලංකා කණ්ඩායමේ නිශ්චිත ස්ථානයක් හෝ අඛණ්ඩ ස්ථාවරයක් නොපෙන්වූ දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංගට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස නායකත්වයන් උරුමවන ලදී. 

ඒ අනුව දක්ෂතා දැක්වීම හෝ දිගින් දිගටම දක්ෂතා දක්වා තිබීම සහ ඒ ඔස්සේ කණ්ඩායමේ නිශ්චිත ස්ථානයක් හිමිකරගෙන සිටීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමට හෝ නායකත්වය දැරීමට අවශ්‍ය මුලිකම සුදුසුකම නොවන බව පෙන්වාදී ඇත. 

කෙසේවුවද, කතෝලිකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වෙන්නේ දළදා වහන්සේ වැදීමට සිදුවීම නිසා නොව තවදුරටත් 'නායකත්වයේ නිකන් එල්ලී සිටීම' තමාට කල නොහැකි නිසා බව නායකත්වයෙන් ඉල්ලා අස්වෙමින් මැතිව්ස් දක්වන ලදී. 

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වනවිට කණ්ඩායමේ මුල්බැසගෙන සිටි ප්‍රබල ක්‍රීඩකයන් රාශියක් ඉවත්වෙමින් යන යුගයක් විය. නව කණ්ඩායමක් ගොඩනගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයෑම ඔහුගේ අභියෝගය වන ලදී. එය එක්තරා  ආකාරයකට සමානවනුවේ බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම තහනම් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට යෑම නිසා කණඩායමේ සිටි බොහෝ ප්‍රවීණ ක්‍රීඩකයන් තරග තහනමකට ලක්වීම තුල ඇතිවූ තත්වයටය. එහිදී දුලිප් මෙන්ඩිස් හට නායකත්වය හිමිවූ අතර ඔහුගේ අභියෝගයවුයේ මැතිව්ස්ට මෙන් නව කණ්ඩායමක් ගොඩනගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයෑමය. 1996 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණඩායම ගොඩනැන්වීම පමණක් නොව එම කණඩායමේ කලමනාකරවරයා ලෙස කටයුතු කිරීමේ වගකීම දක්වා දුලිප් මෙන්ඩිස්ගේ භූමිකාව සාර්ථකවිය. රටට මහත් ජයග්‍රහණ රාශියක් අත්කරදුනි. 

එහෙත් මැතිව්ස්ට ඒවෙනි ඉඩප්‍රස්ථාවක්  නොවිණි. ඔහු එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් සහ ඒකදින තරගාවලියන් ජයග්‍රහණය කලද ඔහු නායකත්වය දුන්  කණඩායම ජයග්‍රහණයන්ගේ සුමිහිරි මතකයන්ට වඩා පරාජයන්ගෙන් අමිහිරි මතකයන් ඉතුරු කළේය. එමෙන්ම, දුලිප් මෙන්ඩිස්ගේ කාලයේදී මෙන් නොව මැතිව්ස්ගේ කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ශ්‍රී ලංකා අනන්‍යතාවයේ සංකේතයක් වී තිබීම නිසාම මැතිව්ස්ට දැඩි පීඩනයක් එල්ලකරන ලදී: 

එක් පැත්තකින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයන් ක්‍රීඩාවක ජය-පරාජයන් පිළිබද කතිකාවකට එහා ගිය, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයට සිදුවෙන හානියක්, ලාංකීක අභිමානයට, වීරත්වයට, ප්‍රෞඩත්වයට සිදුවන හානියක් ලෙස පෙනීයන ලදී. විශේෂයෙන්ම බංගලාදේශයට සහ සිම්බාබ්වේ යන රටවල් හමුවේ සිදුවූ පරාජය තුල මෙම තත්වය වඩාත් ඉස්මතුව පෙනුනි. 

එමෙන්ම ශ්‍රී ලංකා අනන්‍යතාවය සිංහල-බෞද්ධ අනන්‍යතාවයකට ලඝූ කරගැනීමට සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදීන් විසින් ගෙනයන උත්සාහය හමුවේ ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවයේ කොටසක් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ නායකයා ලෙස කතෝලිකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් සිටීම ඉවසන් සිටිය හැකි තත්වයක් නොවීය.  

එම නිසාම ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග 'ශූරයන්ගේ කුසලානයට (ICC Champions Trophy) කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 'දළදා ආශිර්වාදය' දැන් හිමිවී ඇති බව දක්වමින් facebook අඩවිවල පලව තිබුණ පාඨයට ගැබුරු අර්ථයක් ඇතිබව පැහැදිලිය.

දළදා මාලිගාව සහ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව වන දළදාව යනු මෙරට සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකත්වයේ ප්‍රබලතම සංකේතයය. මෙරට මුල් බැසගත් සිංහල-බෞද්ධ අනන්‍යතාවයේ ජීවමාන ලකුණය. සිංහල-බෞද්ධ රාජකීයත්වයේ සහ අධිකාරීත්වයේ උරුමයය. එහින් එය ආගමීක විශ්වාසයක් පිළිබද සාධකයකට වඩා අති ප්‍රබල සංකේතයකි. දළදාව වැදීම තුල සංකේතවත් කරන්නේ කුමක් දැයි යන්න තේරුම් ගැනීට සිංහල උරුමයේ ආරම්භක නායකයෙක්වූ S.L. ගුණසේකර මහතාගේන් හැකිය. ක්‍රිස්තියානි බැතිමෙතෙකුවූ ඔහු දළදා වැදීම ප්‍රතික්‍ෂේප කල බවත් එය ඔහුව පක්ෂ ලේකම්කමෙන් මෙන්ම ඔහුට හිමිවීමට ගිය පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ධුරයෙන්ද පන්නා දැමීම දක්වා දික්ගැසුණු බවත් කියවේ. ඒ ආකාරයට තිලංග සුමතිපාල ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු සියළු ක්‍රීඩකයන්ගේ ආගමික විවිධත්වයන් සහ වෙනස්කම් ගැන සැලකීමකින් තොරව දළදා වැදීමට රැගෙන යෑම ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වයෙන් ඉවත්වී යෑම දක්වා දිග්ගැස්සුනිද? 
 එය ඔහුට යම් ලෙසකින් බලපෑවේදැයි ඔහුගෙන්ම අසා දැනගත යුතුය. 

තිසර පෙරේරාව සිම්බාබ්වේ තරගාවලියට ඇතුල්කර නොගත්තේ ඔහුට එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට යෑමට ඉඩ දීමටද? නැතහොත් තිසර බෝලේ අල්ලන කලින් කුරුසේ අදින්නට ගියාද? එමගින් දළදා වැද ගිය ගමන බකල්වුයේදැයි යන සැකයද?

අර්ජුන රණතුංගට තිලංග සුමතිපාලගෙන් දැන් ඇති ප්‍රධාන තර්ජනය,එකිනෙකාගේ සොරකම් සහ කැත වැඩ ගැන එකිනෙකාට මඩ ගසාගනීමට වඩා, ක්‍රිකට් ක්‍රීඩාව තුල ඔහු තහවුරු කල ලකුණ සුමතිපාල විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දළදා වන්දනාවට රැගෙන ගොස් සිංහල-බෞද්ධ කිරීම නිසා නැතිවේ දොයි යන්නද ?

මාකස් ප්‍රියන්ත පෙරේරා 
16/07/17

No comments:

Post a Comment