This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday, 18 September 2017

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙතනින් කොතැනටද?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නැවත ශ්‍රාවකයන් අතරට ගෙනයෑම සදහා සුදර්ශන ගුණවර්ධන මහතා කටයුතු කරමින් සිටී. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීකයෙකුවන ඒ මහතා පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ගොනුවූ මුල්ම දේශපාලන ක්‍රියාකාරීත්වයන්ගෙන් එකක් ලෙස සැලකිය හැකි 'නිදහසේ වේදිකාව' නම් රාජ්‍ය නොවන සහ සමාජ-දේශපාලන ක්‍රියාකාරීන්ගේ එකතුව ගොඩනගා ගනිමින් වර්තමාන යහපාලන රජය බලයට ගෙන ඒම සදහා  දායකවුයෙකි. එම නිසාම ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පුටුවට පත්වීම දේශපාලන පත්වීමක් ලෙස සැලකිය හැක. ගුවන් විදුලියට දේශපාලන පත්වීම් ලබාගෙන පැමිණි බොහෝ දෙනෙකුගේ සාමාන්‍ය සම්ප්‍රදායවුයේ සිය පත්වීම ලබාදුන් පාලකයන්ට රෙදි නැතිව කඩේ යෑමය. මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාවූ හඩ්සන් සමරසිංහ එහි අශ්ශීලම උදාහරණය බව  අමුතුවෙන් කිවයුතු නැත.    

දේශපාලන පත්වීම් අනුව මාධ්‍ය ආයතනවලට පත්වන්නන්ට යම් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට පැවරී ඇති බව පැහැදිලිය. ශ්‍රී  ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත්ව ඇති සුදර්ශන ගුණවර්ධන මහතාටද එය පොදු කාරණයක්වීමට බොහෝදුරට ඉඩ තිබේ. එහෙත්, එම තත්වයන් යට‍තේවුවද මහජනයාගේ බදු මුදලින් නඩත්තුවන මහජන දේපලක්වන ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රී ලාංකීකයන් හරවත් යමක් වෙත යොමුකරවීමට ඔහු දැඩි ප්‍රයත්නයක නිරතවී සිටී.  එය පැහැදිලිවම අගය කලයුත්තකි. 

අතොරක් නැතිව ඇසෙන FM ගුවන් විදුලි නාලිකා විසින් විකල් කරඇති සිංහල ශ්‍රාවකයන්ගේ කණට මිහිරි ගීත සහ සංගීත වැඩසටහන් ඔස්සේ අවතීරණ වෙමින් කලක් ශ්‍රී ලංකා ගුවන්විදුලිය හිමිකරගෙන තිබු වපසරිය නැවත දිනාගැනීමට කටයුතු කරන අතරම අසන්නන්ට බුද්ධිමය විමංසාවක් ඇති කිරීම සදහා විවිධ සංවාද වැඩසටහන් හදුන්වාදීමටත්, පැවති සුභාරතී වැනි වැඩසටහන් නවතාවයකින් යුතුව ඉදිරිපත් කිරීමටත් ඔහු කටයුතු කරමින් සිටී. එහිදී සාකච්ඡාවට ලක්කරන කාරණා සම්බන්දයෙන් පක්ෂ-විපක්ෂ සියළු මතයන් ඉදිරිපත් කිරීමට සැලකියයුතු ඉඩප්‍රස්ථාවක් සලසාදීමට ඔහු කටයුතු කරන බව පසුගිය අගෝස්තු 12වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුභාරතී වැඩසටහන උස්සේ විකාශනයවූ '1953 හර්තාලය' සම්බන්දයෙන්වූ වැඩසටහනට සම්බන්දවූ මට අත්දැකීමෙන්ම දැකගත හැකිවිය. (එම වැඩසටහන පිළිබදව මා පසුව සටහන් කිරීමට  අපේක්ෂා කරන බැවින් වැඩියමක් මම මේ මොහොතේ නොලියමි.)        

මෑතක සිට ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරයවූ වැඩසටහන් ඔස්සේ ප්‍රකාශවූ  එක් ප්‍රධාන කාරණයක් තිබේ. ඒ වෙනකක් නොව ශ්‍රී ලංකා ගුවන් විදුලිය යනු මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන, මහජන දේපලක් මිස පාලක පක්ෂයේ හොරණෑවක් නොවන බවය. මෙතෙක් ශ්‍රී ලංකා ගුවන් විදුලිය මහජනයාට අවබෝධකර නොදුන් එම   සත්‍යය දැන් ගුවන් විදුලිය ඔස්සේම මහජනයාට පසක්කරදීමට  කටයුතු කරමින් සිටී. ගුවන් විදුලිය පමණක් නොව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවද, ස්වාධීන රූපවාහිනියද මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන මහජන දේපලකි. 

බ්‍රිතාන්‍යයේ නම් BBCය යනු මහජනයා ගෙවන බදුවලින් නඩත්තුවෙන මහජන දේපළක් බව එරට ජනයා නිතැතින්ම දනී. ඒ  මන්දයත් වසරේ සෑම ජනවාරියකම TV license නම් බද්දක් ගෙවීමට එරට වැසියන්ගෙන් අතිබහුතරයකට සිදුවන නිසාය. එක නිවසකින් බ්‍රිතාන්‍ය පවුම් 147ක් ලෙස අයකර ගන්නා TV license බද්ද ඔස්සේ එකතුවෙන බිලියන ගණනක මුදල  BBC 01/ BBC 02 යන රූපවාහිනී නාලිකාවලට පමණක් නොව BBC රේඩියෝ 01/02/ 03/04, Classic FM සහ BBC ලෝක සේවය (BBC World Service) ආදියට වියදම් කල ආකාරය එරට මහජනයාට දැකගත හැකිය. එම මුදල්වලින් ප්‍රවෘත්ති, විශිෂ්ඨ ළමා වැඩසටහන්, සංගීත වැඩසටහන්, වාර්තා වැඩසටහන්, David Attenborough ආදීන් ඉදිරිපත් කරන  ස්වභාව ධර්මය සහ සත්ව චර්යාව පිලිබදව සැකසු සුවිශේෂී නිර්මාණ ආදිය නිෂ්පාදනය කර ඉදිරිපත් කෙරේ. එමගින් මහජනයාගෙන් අයකරන බදු මුදලට සාධාරණ සේවයක් සපයන අතරම ඉංග්‍රීසි භාෂාව, බ්‍රිතාන්‍යය අනන්‍යතාවය ආදිය පමණක් නොව බ්‍රිතාන්‍යය ආදිපත්‍යයේ සලකුණද ලොව පුරාම ඔසවා තැබීමට  BBC රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාද එකසේ කටයුතු කරයි.   

එහෙත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණක් නොව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවද මහජනයාගේ බදු මුදල්වලට වගකියන, එම බදු මුදල් යොදවා මහජනයාගේ රසඥතාවයන් පුළුල්කරන, සමාජ විඥානයන් අවධිකරන, දැනුම ගැන සාපාසිතවුවන් බෝකිරීමට සමත් වැඩසටහන් නිෂ්පාදනය කරන ආයතනද යන්න ප්‍රශ්නයක් වී තිබුණි. සුදර්ශන ගුණවර්ධන මහතාගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකා  ගුවන් විදුලිය එම ප්‍රශ්ණය සාකච්ඡාවට ලක්කිරීම වැදගත්ය. ජාතික රූපවාහිනිය වැනි වෙනත් මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන රජයේ මාධ්‍ය ආයතන තුලින්ද,  අනෙකුත් රාජ්‍ය ආයතන තුලින්ද  මහජනයා ගෙවන බදු මුදලට සරිලන  සේවයක් සපයන්නේදැයි යන සාකච්ඡාව ශ්‍රී ලංකා ගුවන් විදුලිය  ඔස්සේ මතුකිරීමට හැකි නම් එය ඊටත් වඩා වැදගත්ය. 

එවිට ශ්‍රී ලංකා ගුවන් විදුලිය යනු 'ඇහැවුවත් සල්ලි දෙන, නැතොත් නින්දවත් නොදෙන', අසන්නාගේ කණත්, හිතත්, කැමැත්තත් සියල්ල ලාභයන් බවට පත්කරගන්නා FM මුදලිලාගේ මඩිය තරකරන තවත් FM එකක් වැනි ගුවන් විදුලි මගඩියක් නොවන බව අසන්නන් පසක්වෙනු ඇත. ශ්‍රී ලංකා ගුවන් විදුලිය යනු එවැන්නක් නොව මහජනයාගේ ප්‍රශ්න සාකච්ඡා කරන, ජන විඥානයන් පුළුල් කරන, මහජනයාගේ රසඥතාවයන් තීව්‍රකරන, දැනුම බෙදාහරින  මහජන ආයතනයක් බවට පත්වෙන විට එය රැකගැනීමට දහසක් අත් එසවෙනු නියතය. මහජනයාගේ දෙයක් බවට පත්කිරීමෙන් තොරව කිසිදු මහජන දේපලක් රැකගැනීමට ජනයා ඉදිරිපත්වන්නේ නැත. ශ්‍රී ලංකා ගුවන් විදුලියද සම්බන්දයෙන්ද එම සත්‍යය පොදුය. 
BBC රේඩියෝවට සමකාලීනව 1925 දී Edward Harper නම් බ්‍රිතාන්‍යය ජාතික විසින් Radio Ceylon ගුවන් විදුලි සේවය ආරම්භකරන විට එය බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල හදුන්වාදුන් මහජන සන්නිවේදනය (public broadcasting) නම් අරමුණ පෙරදැරිකර ගනිමින් ක්‍රියාත්මක වුවකි. එය 1967 අංක 37 පනත යටතේ 'Ceylon broadcasting corporation' වී,  පසුව 1972 දී  Sri Lanka Broadcasting Corporation බවට පත්විය. 

ඇත්තවශයෙන්ම, ශ්‍රී ලාංකා ගුවන් විදුලිය Radio Ceylon ලෙස පැවති කාලයේදී සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත්වී ක්‍රියාත්මක වූ මුල් වසර 10ක-15ක කාලයේදී  එය ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම පතාක යෝධයෙක්ව සිටියහ. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, මලයාලම්, තෙලිගු සහ කර්ණාටක භාෂාවලින් වැඩසටහන් ප්‍රචාරයකල Radio Ceylonනය ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 2000කට එපිටි පිහිටි එවරස්ට් කන්දට පවා ඇසුන බවත්,  එවරස්ට් කන්ද මුදුනට (29/05/53) මුලින්ම නැගී එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නොර්ගයේ සිය කුඩා ගුවන් විදුලිය කරකැවූ විට මුලින්ම ඇසුන රේඩියෝව Radio Ceylonනය බවත්, එය දකුණු ආසියාවේ මිලියන සංබ්‍යාත ජනතාවක් සවන්දුන් රේඩියෝවක් බවත්, 'Panos' වෙබ්අඩවිය 10/22/2003 දින පලකල නාලක ගුණවර්ධන මහතාගේ  'Radio suffers as Colombo bosses call the shots' නම්  ලිපියේ මේසේ දැක්වේ: 

'Soon after conquering Mount Everest half a century ago, Edmund Hillary and Tenzing Norgay turned on their transistor radio and the first thing they heard was an overseas broadcast of Radio Ceylon, from more than 3,000 kilometres away. They joined millions of people across the Indian subcontinent who regularly tuned in to these broadcasts. A pioneer in broadcasting in Asia, Radio Ceylon for decades informed and entertained an overseas audience many times the population of Ceylon, now Sri Lanka....'

තවද, ලෝකප්‍රකට ගත්කතුවරයෙකු වන සලමන් රුෂ්ඩි (Salman Rushdie) 1999 මැයි 06 දින ඇමරිකානු Whole Earth සගරාවට Peter Kadzis සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී දක්වා තිබුනේ තමා Radio Ceylonනයට හද පතුලින්ම ප්‍රණාමය පුදකරන බව දක්වා තිබේ. මන්දයත්, ඉන්දියානු ජාතිකවාදීන්ගේ නැගීමත් සමග ඉන්දියානුවන්ට ඉංග්‍රීසි සිංදුවක් ඇසීමටවත් මාධ්‍යක් නොවුන බවත්, ජාතිකවාදීන්ගේ පටු මතයන් පමණක් ඇසීමට සිදුවූ බවත්, එම නිසා ඔහුට තිබු එකම විකල්පය Radio Ceylonනය පමණක් බව දැක්වීය. Radio Ceylonනය ඉංග්‍රීසි ගීත සහ ඉංග්‍රීසි වැඩසටහන් විකාශනය කල,  දකුණු ආසියානු කලාපය තුල  වඩා පුළුල් සහ විවෘත මනසකින් පවත්වා ගෙන ගිය බව ඔහු පහත ආකාරයට දක්වා තිබේ: 

'I have to express my deep gratitude to what was then called Radio Ceylon. (Sri Lanka now.) It had a slightly more open attitude and did play Western music, so that's where I became familiar with all kinds of things that I could slightly regret, like the complete works of Ricky Nelson.....it [Radio Ceylon] had a rather more tolerant policy, and, yes, at the weekends, it would play a few hours of a Western hit-parade kind of program. That's where we first heard a lot of these songs....' 

මගේ පොත් රාක්කයේ ඇති සලමන් රුෂ්ඩි (Salman Rushdie) ගේ 'Midnight's Children' (2011) නවකතාවේ 226 පිටුවේ Radio Ceylon ගැන සදහන්වේ..//It was astonishing how soon fear left me; by morning, I was thinking, 'Man, this is better than All-India Radio, man; better than Radio Ceylon!'//

එලෙස පැවති ගුවන් විදුලි සේවයක් ඉන් දශක දෙකක් යන විට ක්ලැරන්ස් විජේවර්ධනගේ පවා ගීත විකාශනය කිරීම ප්‍රතික්‍ෂේප කල බව වර්තමානයේ පවත්වන ඕනෑම ක්ලැරන්ස් විජේවර්ධන උපහාර වැඩසටහනකදී අසන්නට ලැබෙන කරුණකි. 

දකුණු ආසියාවම වෙලාගත් විවිධ භාෂා ඔස්සේ විවිධ සංස්කෘතික වැඩසටහන් ඉදිරිපත්කල, දකුණු ඉන්දියානු කලාපයේ නුතනත්වයේ රේඩියෝව වූ Radio Ceylonනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වනවිට ශ්‍රී ලංකාවට පමණක් සීමාවූ, ශ්‍රී ලාංකිකයන් අතරින්ද අල්පවූ ශ්‍රාවකයින් පිරිසකට පමණක් වැඩසටහන් විකාශනය කරන ගුවන්විදුලි සේවයක් වීම කණගාටුවට කරුණකි. 

ගුවන් විදුලි සංස්ථාව දිනාගත යුතුව ඇති ස්ථානය හුදෙක් දේශීය ශ්‍රාවකයන් අතරින් පිරිසක් දිනාගැනීම නොවේ, එයට වඩා ඉහා ගිය තමන්ට අහිමිවූ කලාපයේ ප්‍රමුකයා වීමේ අභියෝගයය. සභාපතිවරයා වශයෙන් සුදර්ශන ගුණවර්ධන මහතාට එ සදහාවූ මූලෝපාය සැලැස්මක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ලබාදිය හැකිනම්, එවැනි ගමනාන්තයක් සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිශාගත කළහැකි නම් එය ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට කරන ලොකුම සේවය ය. එහිලා ශ්‍රී ලංකා ගුවන් සේවයට සැලකිය යුතු තරම් වටිනා සම්පත් කිහිපයක් ඉතිරිව ඇතැයි යන්න මගේ විශ්වාසයය. 

විශේෂයෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ තැටිගබඩාවේ ඇති දෙස්-විදෙස් රාජ්‍ය නායකයන්ගේ, සම්භවනීය පුද්ගලයන්ගේ, කලාකරුවන්ගේ විවිධ සම්මුඛ සාකච්ඡා නැවත විකාශනය කිරීමටත්, එම සාකච්ඡාව සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් ඇති කිරීමත් ඔස්සේ නිබදව විශාල අසන්නන් පිරිසක් දිනාගත හැක. එය සිංහල භාෂවෙන් පැවැත්වූ සම්මුඛ සාකච්චාවලට පමණක් සීමා නොවී ඉංග්‍රීසි සහ දෙමළ සම්මුඛ සාකච්ඡාවන්ද පරිවර්තනය කරමින් සිදුකල හැකිනම් තවත් අගනේය.

 එම ක්‍රියාමාර්ගයම විවිධ ගායක ගායිකාවන්ගේ ගීත සම්බන්දයේද අනුගමනය කලහැකි නම් අද අප අසන ගීතයන් හී මුල් නිර්මාණවල හැඩයත්, සංගීතයත්, එහි ඇති නිර්මාණශීලී භාවය පිලිබදවත් වඩා විදග්ධ සාකච්ඡවක් ඔස්සේ ලාංකීක ගීත නිර්මාණයන්ගේ ප්‍රභවය සහ ප්‍රභාවය පිළිබද පැහැදිලි අවබෝධයක් ජනයා අතරට පත්කල හැක.

BBC Proms මට්ටමේ ලා සැලකිය හැකි සංගීත සන්ධවනීය වැඩසටහන් Radio Ceylonනය යටතේ විකාශනය වී තිබේ. එවැනි වැඩසටහන් සුදුසු awasthawaka නැවත විකාශනය කල හැකිනම් සංගීතය පිළිබද ශ්‍රී ලාංකිකයන්ගේ නිම්වළලු පුළුල් කල හැක. 

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලිය තුල ජය කෙහෙළි නැන්වූ වර්නන් කොරයා, පර්ල් ඔන්ඩ්ච්චි, ෂර්ලි පෙරේරා, බොබ් හාවී, අබ්දුල් හමීඩ්, S.P. මයිල්වාගනම්, තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර, මර්වින් ජයසුර්ය, විජය කොරයා ආදීන්ගේ නිවේදන ශෛලයන් නව පරපුරට හදුන්වාදීම සදහා ඔවුන් ඉදිරිපත්කල ඇතැම් වැඩසටහන් නැවත විකාශනය කල හැකිනම් හෝ ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ගුවන් විදුලි සංස්ථාවේ නිවේදක/නිවේදිකාවන්ට පමණක් නොව වෙනත් ගුවන් විදුලි සහ රූපවාහිනී නිවේදක/නිවේදිකාවන්ට බොහොමයකට යම් පරිචයක් සහ ගුරුහරුකම් රාශියක් ලැබිය හැක. 


ශ්‍රී ලංකා ගුවන් විදුලිය අසන්නන් අතරට නැවත රැගෙන යෑම සදහා සභාපති සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධාන උපාය මාර්ගය වී ඇත්තේ හැකි තරම් සින්දු විකාශනය කිරීමය. එහිදී පැහැදිලිවම ජනප්‍රිය FM නාලිකා සමග පැහැදිලි තරගයක් දිය යුතුය. එය එක් ආකාරයකින් ගත්කල හොද උපාය මාර්ගයක් ලෙස පෙනීයයි. එහෙත් මා විශ්වාස කරනුයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කලකට පෙර විකාශනය කල 'මුවන්පැලැස්ස' වැනි දුවන්විදුලි නාට්‍යයද,  ගීත කථා සහ පැරණි විනෝද කථා  නැවත ප්‍රචාරය කරන්නේ නම් විශාල අසන්නන් පිරිසක් නැවත දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමත්වෙන බවය. මෙම උපායමාර්ගය බ්‍රිතාන්‍යයේ FM නාලිකා වල ජනප්‍රියත්ව අභිබවා BBC Radio නාලිකාවලට නැගී සිටීමට උපකාර වනලදී. අද BBC Radio නාලිකා යනු බ්‍රිතාන්‍යයේ වැසියන්ගෙන් බහුතරයක් සවන්දෙන Radio සේවාවන්ය. එම නිසාම බ්‍රිතාන්‍යයන් යනු රේඩියෝවට සවන් දෙන ජාතියක් යැයි (Radio nation) හදුන්වති. බොහෝ බ්‍රිතාන්‍යය ජාතිකයන් අවදිවෙන්නේද, වැඩට යෑමට, ළමුන් පාසැල් යැවීමට සුදානම් කරන්නේද, ඉවුම්-පිහුම්, ගේ-දොර කටයුතු කරනුයේද ගුවන් විදුලියට සවන් දෙමිනි. BBC රේඩියෝ වැඩසටහන්වල ඇති ඉහල ගුණත්වය එම ජනයාගේ රසිකත්වය සහ සමජානුයෝජනයේද, විචාරක බුද්ධියේ සහ දැනමුතුකමේද රහසවී ඇති බව මගේ නිරීක්ෂණයයි. 

තවද එරට ගුවන්විදුලියේ විකාශනය වන සියළු වැඩසටහන් ඇතුලත් Radio Times නම් සගරාවක් සෑම සතියේම බ්‍රිතාන්‍යයේ නිකුත්වේ. වෙළදපොලේ ඉතා ඉහල ඉල්ලුමක් ඇති එම සගරාව හොදින් අලෙවිවෙන සගරාවකි. එම සගරාව තුල අදාල සතිය තුල  විකාශනය කරන සියළු ගුවන් විදුලි වැඩසටහන්වල විස්තර පමණක් නොව රූපවාහිනී වැඩසටහන් වල විස්තරද, ඒ සම්බන්දයෙන් ඇතිවී ඇති සාකච්චාවන්ද,  සටහන් කර තිබේ. ශ්‍රී ලංකාවේද ඊට සමාන සගරාවක් 1953 දී මුද්‍රණය කර විකිණීමට නිකුත්කර තිබේ. එහෙත්  කාලයක් යනවිට එම සගරාව  මුද්‍රණය නොකර අතහැර දමා තිබේ.  නැවතත් එවැනි සගරාවක් මුද්‍රණය කර බෙදා හැරීමට අපහසු බව මම දනිමි. එහෙත්  විවිධ පුවත්පත්වලින් නිකුත්කරන රූපවාහිනී වැඩසටහන් ආදිය ගැනවූ අතිරේකයන් සමග රේඩියෝ වැඩසටහන් ගැන සදහන් පිටුවක්ද ඇතුල් කල හැකි නම් දැනට එයත් ප්‍රමාණවත්ය. 

පසුගිය දිනවල ගෙදර රේඩියෝව නැවතත් වෙළද සේවයට සහ city fm නාලිකාවන්ට හරවන මගේ පවුල්වල වැඩිහිටියන් කිහිදෙනෙකුම මම දුටිමි. මේ මොහොතේ එතෙර සිටියද අන්තර්ජාලය ඔස්සේ අපද ශ්‍රී ලංකා ගුවන් විදුලියට ඉඩක් ඇතිවිට සවන් දෙන්නෙමු. කලකට පෙර ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු ආසියාවම සිය ගුවන් විදුලි යාන්ත්‍රයන් Radio Ceylonනය ඇසීමට කැරකු ලෙස රටේ බොහෝ දෙනෙකු සිය  රසඥතාවයන් පුළුල්කරන, සමාජ විඥානයන් අවධිකරන, දැනුම ගැන සාපාසිතවුවන් බෝකිරීමට සමත් වැඩසටහන් විකාශනය කරන ආයතනයක් බවට පත්විය හැකි ශ්‍රී ලංකා ගුවන් විදුලියට සවන්දීමට පෙළගැසෙනු දැකීම මාගේ ප්‍රාර්ථන යයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
18/09/2017.


Sunday, 10 September 2017

මීගමුව කොටුව රැකගැනීමට අපිට හැකිවේද ?

ඉහතින් දැක්වෙනුවේ මීගමුවේ පෘතුගීසි කොටුවය. පෘතුගීසි භාෂාවෙන් 'Fortaleza de Negumbo' නමින් නම් කර ඇති එම සිතියම මට මෙතෙක් හමුවූ පෘතුගීසි සමයේ මීගමුව කොටුව පැවති ආකාරය පිලිබදවවූ සිතියම් දෙකෙන් එකකි. 'Fortaleza de Negumbo' යන්න පෘතුගීසි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කලවිට එහි අර්ථය බොහෝදුරට සමානවනුවේ fortress හෙවත් stronghold of Negombo යන්නටය. 

එතෙක් අරාබි වෙළදුන් විසින් භාවිතාකල මීගමුව උතුරු කෙරවලේ පිහිටි කම්මල්තොට හෙවත්, අරාබි නැව් ප්‍රතිසංස්කරණය කල කම්මහල් පැවති නිසා,  කම්මල්තුරේ (Kammala/Kaymel/Caymel) ලෙස ප්‍රචලිතව පැවති වරාය අතහැර  මීගමුව කුට්ටිදුව ප්‍රදේශයේ කොටුවක් පෘතුගීසින් ඉදිකරනුයේ 1528-30 කාලයේය. ඉන් වසර සීයකට පසුව එනම් 1622 දී පෘතුගීසීන් මීගමුව කොටුව වඩා ශක්තිමත්ව ඉදිකළ බව සදහන්ය. ඉහත සිතියම ඇද ඇත්තේ 1630 දී බැවින් පෘතුගීසි පාලන සමයේ මීගමුව කොටුව පැවතියේ කුමනාකාරයෙන්දැයි එම සිතියම ඇසුරින් වටහා ගතහැක. 

1630 වනවිට මීගමුව පෘතුගීසීන් හදුන්වාදුන් කතෝලික ආගම වැළදගත්, පල්ලි, මිෂනාරි පාසැල් සහ පෘතුගිසි පරිපාලන ගොඩනැගිලි කිහිපයක් තිබු, පෘතුගීසී ජනයා සමග ආවාහ, විවාහකරගත් ජනතාවක් ජීවත්වූ, පෘතුගීසි සංස්කෘතිය සහ පෘතුගීසි භාෂාවෙන් බිදී ගිය පෘතුගීසි ක්‍රයෝල් (Portuguese creole) නම් භාෂාවක් භාවිතාකළ ඉහත සිතියම නම්කර තිබු ආකාරයටම  ශක්තිමත් පෘතුගීසි (Portuguese stronghold)  පාලන ප්‍රදේශයක්වී තිබුණි.

එහෙත් එය 1640 සහ 1644 දී ලන්දේසීන් දරණ ලද උත්සාහයන් දෙකකින් අනතුරුව ඔවුන් අතට පත්විය. ලන්දේසින් මීගමුවේ පෘතුගීසි කොටුව පමණක් නොව මීගමුව නගරයද පැවතියාටත් වඩා ශක්තිමත්ව ඉදිකළ බවත් එය ඔවුන්ගේ ප්‍රවේනිගත සාම්ප්‍රදායන් අනුව ඉදිකළ නගරයන් හී දැකිය හැකි පල්ලි, ඇළවල්, කොටුපවුරක් සහ සීනු කණුවක් සහිත නගරයක් බවට පරිවර්තනය කරගත් බවත් මම මීට පෙර ලියූ 'මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන්' යන ලිපියේ සහ 'මීගමුව ලන්දේසි කොටුව ගැන බ්‍රෝහියර්ගේ සටහන' යන ලිපි ඔස්සේ දක්වා තිබුණි. ඒම විස්තර අනුව ලන්දේසින් මීගමුව කොටුව යම් ආකාර ආක්‍රමණවත් පස්කොන් තරුවක හැඩයකින් යුතු ශක්තිමත් කොටුවක් ලෙස ඉදිකළ අතර එහි කොන්වල මුරකුටි සහ කාලතුවක්කු සවිකර තිබු බවත් දැක්වේ. 
යුරෝපයේ දියත්වූ නැපෝලියන් යුද්දයේ ප්‍රථිපලයක් අනුව 1796 පෙබරවාරියේදී බ්‍රිතාන්‍යයන් විසින් මීගමුවේ ලන්දේසි කොටුව පවරාගත් අතර පසුව ඔවුන් මීගමුවේ  ලන්දේසි කොටුව සිරගෙයක් බවට පරිවර්තනය කළේය. ඔවුහු ලන්දේසි කොටුවේ කොටස් කිහිපයක් කඩා කොටුවේ හැඩය වෙනස් කර අද ඇති නව ඇතුල්වීමේ දොරටුව සහිතව මීගමු කොටුව බන්ධනාගාරයක් බවට පත්කළේය. එහි අද ඇති ඔරලෝසු කනුව ලන්දේසීන්ගේ සීනු කනුව (klokkentoren) නවීකරණය කර 1899දී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years)) පිරීම සැමරීම නිමිත්තෙන් ඉදිකරනු ලැබුවකි. 
මීගමුව කොටුව බන්ධනාගාරයක් බවට පත්කිරීමෙන් පසුව එහි පැවති විශාල ශාලා කිහිපය බන්ධනාගාරයේ භාවිතයට ගත් අතර 1980 ගණන් වනතුරුම ඔවුන් ඇතුල්වීමේ දොරටුව ලෙස භාවිතාකලේ කොටුවේ ඇතුල්වීමේ දොරටුවය. ක්‍රමයෙන් අබලන්වූ කොටුවේ පිවිසුම් දොරටුව අත්හැරී බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කොටුවේ පැත්තකින් (කොටුවේ ඇතුල්වීමේ දොරටුවට පිටුපසින්) නව පිවිසුම් පාරක් නිර්මාණය කර ගෙන තිබේ. 

දැන් මීගමුව කොටුව ලෙස ඉතිරිවී ඇත්තේ කඩා වැටීමට ඉතා ආසන්න කොටුවේ පිවිසුම් දොරටුව සහ වික්ටෝරියානු ඔරලෝසු කනුව පමණි. සෙසු කොටස් බන්ධනාගාරය සතුකරගෙන තිබේ. එහෙත් නිදහසින් පසු ගෙවීගිය වසර 70ක කාලයක් තුල මීගමුව කොටුවේ එකී පිවිසුම් දොරටුව හෝ ඔරලෝසු කනුව සංරක්ෂණයකර, මතු පරම්පරාවට දැක බලාගත හැකිලෙස, ආරක්ෂා කරදීමට කිසිදු ශ්‍රී ලංකා රජයක්වත්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වත්, මධ්‍යම සංස්කෘතික අරමුදලවත් කිසිවක් සිදු නොකරන විනාශවී යෑමට අතහැර දමන ලදී. ගෙවී ගිය 70 වසරක කාලය තුල ශ්‍රී ලංකා රජයන්ද, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවද සහ මධ්‍යම සංස්කෘතික අරමුදලද සිදුකරමින් සිටින්නේ සිංහල බෞද්ධ අනන්‍යතාවය මුල්කරගත් ජාතික රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලියට අවශ්‍ය දෘශ්‍යමානයන් (visual) නිර්මාණය කිරීම පමණක් දැයි යන මගේ පැනය පැන නැගෙනුයේ මේ මීගමුව කොටුවට අත්වී ඇති ඉරණම දැකීමේනි. 

කල දුටුකල වල ඉහගැනීමට මාන බැලු එක්තරා අවස්ථාවාදීන් කණ්ඩායමක් ඉකුත් මහින්ද රාජපක්ෂ සමයේදී  මීගමුවේ ජනයා අතර පවතින සමගිය සහ සහජීවනය යටින් හරා බිද දැමීමේ අරමුණින් අතේ 'පැලවෙන කෙබරයක්' ගොතා මීගමුව කොටුව විනාශකර දැමීමට කූට උත්සහයක් ගත්බව මම මීට පෙර හෙළිදරව් කර තිබුණි. ඒ සම්බන්දයෙන් මා මීට පෙර ලියූ 'ලබ්බට තිබ්බ අත පුහුලටත්? කළුතර කොටුවට වුනදේ මීගමුව කොටුවටත්?' යන  ලිපිය ඔස්සේ කියවිය හැක. 

මේ තත්වය තුල පවා අපි දිගින් දිගටම මීගමුව කොටුවට අත්වී ඇති ඉරණම සහ එයට අත්විය හැකි භයානක අනතුර ගැන දිගින් දිගටම හඩ නැගුවෙමූ. මීගමුව කොටුව ආරක්ෂා කරදෙන මෙන් බලධාරීන්ගෙන් පමණක් නොව මීගමු ජනයාගෙන්ද ඉල්ලා සිටියෙමු. අද ඒ සම්බන්දයෙන් මීගමු ජනයා තුල පැහැදිළි  උනන්දුවක් ඇතිවී තිබේ. රජයේද යම් අවධානයක් යොමුවූ බව පෙනුනි. වසර දෙකකට පෙර මීගමුව කොටුව පිලිබදව සොයා බැලීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ කණ්ඩායමක් පැමිණි බව අපි ලිව්වෙමු. ඒ ගැන මීගමුවේ සංස්කෘතික උරුමය රැකගැනීම සදහා නව උත්සහයක් !/? යන ලිපිය ඔස්සේ කියවිය හැක. එහෙත් ඔවුහු කල කිසිවක් නැත. ඒ ගැන ඇසුවිට අදාල නිලධාරින් කලේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දොස් පැවරීම පමණි. 

එහෙත් අපි නොනැවතිනි. මීගමුව කොටුව රැකගැනීමට අපි දිගටම මැදිහත්වෙමින් සිටිමු. ඒ සම්බන්ධයෙන් මම පමණක් නොව අද මීගමුවේ ජනයාද, බොහෝ ජන නායකයින්ද සිය අවධානය යොමුකරමින් සිටී. 

ඉකුත් අගෝස්තු 20දා මීගමුව, පෙරියමුල්ල 'තුෂාරේ අප ස්වාමිදුවගේ' දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේදී මට මුණගැසුන මීගමුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නාගරික  මන්ත්‍රීවරයෙකු වන ගිහාන් ප්‍රනාන්දු මහතා දැක්වුයේ ඔහුද, මීගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක බස්නාහිර පලාත්සභා මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ඇතුළු  මීගමුව එක්සත් ජාතික පක්ෂ සංවිධානයද මීගමුව කොටුව සංරක්ෂණය කර ඒ අවට වෙරළ තීරය කලින් පැවති ලෙස ආකර්ශනීය පරිසරයක් බවට පත්කිරීමට තීරණය කර ඇති බවය. එය ඉතා ප්‍රසංසනීය  ප්‍රවෘත්තියකි. තවද දැනට අත්හැර දමා ඇති පැරණි මහඅධිකරණ ගොඩනැගිල්ල මීගමුවේ ඉතිහාසය ප්‍රදර්ශනය කල හැකි කෞතුකාගාරයක් බවට පත්කරන්නේ නම්  මා එකතුකර ඇති මීගමුවේ පැරණි සිතියම්, පොත්පත්, වාර්තා, postcard, ඡයාරූප සහ පින්තුර ආදිය ලබාදිය හැකි බවද, බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නගරයේ සිට ඔස්ට්‍රේලියාවේ ඩර්වින් නගරය දක්වාවූ ලෝකයේ විවිධ කෞතුකාගාරවල සහ පුස්තකාලවල ඇති මීගමුව සම්බන්ද තොරතුරු රාශියක්ද සපයාදිය හැකි බව මම ගිහාන් ප්‍රනාන්දු මහතාට දන්වන ලදී. 

ඇත්තවශයෙන්ම, මීගමුව එක්සත් ජාතික පක්ෂයේ නව නායකයින්ට මේ ඇති උනන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොහොට්ටුවේ කට්ටියට හෝ මීගමුවේ වමේ ක්‍රියාකාරීන්ට නැතිවීම පිලිබදව කණගාටු වෙමි. පැහැදිලිවම මීගමුව කොටුව රැකගැනීමට එකී සියළු පක්ෂ කුමක් කරන්නේදැයි යන්න එලබෙන ජනවාරියේ පැවැත්වෙන මීගමු මහනගරසභා මැතිවරණයේදී හෙලිකල යුතුමය. පැහැදිලිව මීගමුව කොටුව සංරක්ෂණය කිරීම සම්බන්දයෙන් කුමක් කරන්නේ දැයි යන්න ඊලග මීගමු නාගරික මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් විය යුතුමය. 

මීගමුවේ කොටුව සම්බන්දයෙන් මම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විෂය භාර ඇමතිවරයා වන ගරු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතාව සහ ඔහුගේ සංස්කෘතික කටයුතු සම්බන්ද ලේකම්වරයාවන සුජීව සරත්චන්ද්‍ර මහතාද දැනුවත් කලෙමි. කොළඹ විශ්ව විද්‍යාලයේ අපගේ සමකාලීනයකු වන වර්තමාන අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා මීගමුවේ කොටුව සම්බන්දයෙන් සොයා බැලීමටත්, ඔහුට කලහැකි දෙයක් කිරීමට නොපැකිලෙන බවත් කීහ. යහපත් මිතුරෙකු වන ඔහු සිය වචනය අනුව කටයුතු කරතැයි මට සිතේ. ඇරත්, ඔහු මේ වනවිටත් මීගමුව කොටුවේ කඩාවැටීමට ආසන්නව තිබු පැරණි ලන්දේසි වෙඩිබෙහෙත් ගබඩාව සංරක්ෂණය කිරීමට පියවර ගැනුණි. මීගමුව කොටුව සම්බන්දයෙන්ද ඔහු එවැනිම පියවරක් ගනිනු දැකීම අපගේ අපේක්ෂාවය. 

කෙසේවුවද, කල යුතු යමක් වහා වහා කලයුතුව ඇති බව මම ඒ සියළු මහත්මයින්ට සැලකර සිටිමි. ඒ ඇයිදැයි යන්න පහතින් දැක්වෙන ඡයාරූප ඇසුරින්වුවද තේරුම්ගත හැක.  

කරුණාකර හෙට නොව, අද අදම මීගමුව කොටුව සංරක්ෂණය කිරීමට පියවර ගන්න, මන්ද හෙට ප්‍රමාද වැඩිවීමට බොහෝදුරට ඉඩතිබේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
10/09/2017.







Friday, 1 September 2017

මේ පරතරය අපි තේරුම් ගන්නේ කවදාද ?

පසුගිය මාසය මා ගතකලේ ශ්‍රී ලංකාවේය. වසරකට සැරයක් හෝ දෙසැරයක් පමණක් යන නිසා අපේ රටේ අද තත්වය  කුමක්දැයි හරියටම තේරුම්ගැනීමට මම සෑම විටකම උත්සුකවූවෙමි. එහිලා මගේ ප්‍රවේශය බොහෝවිට සකස්වී තිබුනේ ප්‍රකාශනයන්, ප්‍රකාශයන් සහ විවිධ රූප රාමු ඔස්සේ සිදුවන සමාජ සංවාදයන් මොනවාද? ඒ තුලින් ගම්‍යවන අදහස් කුමක්දැයි තේරුම් ගැනීමය. අපේ නිවාස අසල සිට වැඩිදුරකින් නොපිහිටි මීගමුවේ මාළු වෙළදපොළ ඉදිරිපිට වූ ඉහතින් දැක්වෙන දසුන මා නෙත ගැටෙනුයේද එවැනි පසුබිමකය. 

මීගමුවේ සා. ජෝශප් මාළු වෙළදපොළ (ලෙල්ලම නොවේ) පිහිටියේ කලක් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර වෙරළ තීරයකය. එහෙත් අද එය කරෝල  මුදලාලිලා කිහිපදෙනෙක් බදුගෙන එකී මුළු වෙරළම කරෝල කර ඇත. මුහුදෙන් හමා එන සොදුරු සිහින් සුළං රැල්ලටවත් කරෝල දුගන්දය ගසාගෙන නොයති. මාළු කරෝල කිරීමේදී ඉවත දමන මාළු කොටස් සහ වෙනත් අපද්‍රව්‍ය වෙරළ දිගේද, වෙරළේ සිට මුහුද දෙසටද, මුහුදු රළ ඔස්සේ නැවත ඒවා මුහුදේ සිට වෙරළ  දෙසටද ඒහේ මෙහේ ඇදී පැදී යන්නේ රටම වෙලාගත් කුණු ප්‍රශ්නය එක් නිමේෂයකින් තේරුම්කර දීමට මෙනි.   

"මාළු ගණන්නේ"..... ''දැන් ඔක්කොම ගණන්නේ මහත්තයා මාළු විතරක් කොහොමද අඩුවට දෙන්නේ''..... ''මේ දෙකම අරන් දාහක් දෙන්න, රුපියල් සීයයි ලාබේ තියෙන්නේ... ගන්න ගන්න මේ ගොඩවල් දෙකම දාහට වටිනවා ...." ආදීවූ මාළු මිලගණන් පිළිබද හෙන්ඩු කිරීම් වලට  නොදෙවෙනි, ඊට තරමක් එපිටින් පිහිටි සුදුපැහැති ප්‍රතාපවත් නවීන උසාවි ගොඩනැගිල්ල ඉදිරිපිට කළු කබා ඇදගත් මහත්වරුන් ''මල්ලී නඩුවක්ද?... එන්න එන්න ලාබෙට කරලා දෙන්නම්"... ''ඇයි ඇපයක් ඉල්ලන්ද?....'' "යන් අපේ මහත්තයා ඉන්නවා ඕනෑ දෙයක් ගොඩදාලා දෙයි'' ආදිය කියන තැරව්කරුවන්ගේ කන්කරච්චලයද අඩු නොවුනි. 

මාළු වෙළදපොළ ඉදිරිපිට මෙන්ම උසාවිය ඉදිරිපිට ද අලවා තිබු ප්‍රධාන දේශපාලන සටන් පාඨයන් වුයේ 'සයිටම් හකුලාගනු' / 'නිදහස් අධ්‍යාපනයට අත නොතබනු' / 'නිදහස් සෞඛ්‍ය සේවයට අත නොතබනු' / 'සිසු මර්ධනය වහා නවත්වනු' ආදී යය. මාගේ ඥාති පුත්‍රයෙකුද වෛද්‍ය විද්‍යාව හැදාරීමට විශ්ව විද්‍යාලයට ඇතුල්වී දැන් අට මාසයක් තිස්සේ අඛණ්ඩ උද්ගෝෂණවල නිරතවෙමින් සිටී. උද්ගතවී ඇති තත්වය පිලිබදව ඔහුගේ දෙමාපියන් පසුවනූයේ දැඩි නොසන්සුන්තාවයකය. ඔහු කුමන මොහොතේ හෝ නිරුපද්ද්‍රිතව ගෙදර එනතෙක් ඔවුන් බලා සිටිනුයේ දැඩි නොඉවසිල්ලකිනි. මුදල් තිබේ නම් පිටරට විශ්ව විද්‍යාලයකට ඔහුව යවා  වෛද්‍ය උපාධිය අවසන් කිරීමට හැකිනම් කෙතරම්දැයි ඔවුනට අනේකවාරයක් සිතෙන බව ඔවුන් සමග වූ පිලිසදරේදී මට හිතීගිය වාර අනන්තය.  

කලක් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුවූ දැන් මීගමු උසාවියේ නීතීඥයෙකු ලෙස කටයුතු කරන අපේ පැරණි වමේ ක්‍රියාකාරිකයෙකු දැක්වුයේ සයිටම් සටන ආණ්ඩුව දන ගස්සන තෙක් නොනැවතෙන පුළුල් මහජන ක්‍රියාකාරීත්වයක් බවට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවය. 

ඒ ගැන වැඩි යමක් කථාකිරීමට මත්තෙන් ඔවුන් කලක් රථගාලක් ලෙස භාවිතාකල මීගමුව කොටුව ඉදිරිපිට පිහිටි දැන් අතහැර දමා ඇති වල් වැදී ගිය රථගාල පෙන්වා මා එම නීතීඥ මිතුරාගෙන් ''මේ ගැන මිනිස්සු මුකුත් කියන්නේ නැතිදැයි?" ඇසුවෙමි. එවිට ඔහු කියා සිටියේ ''ඔය car park එක තියෙන කාළේවත්, දැන්වත්, මිනිස්සුන්ටවත්, ආණ්ඩුවටවත්, උසාවියේ කට්ටියටවත්, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටවත් (මීගමුව පැරණි පෘතුගීසි/ලන්දේසි කොටුව අසල භූමිය අයත්වන්නේ එම දෙපාර්තමේන්තුවටය), උබට තියෙන තරම්වත් (උපහාසයට මෙන් ඉන් අදහස් කලේ මාවය) කිසිම උවමනාවක් නෑ'' යනූවෙනි. 

එම සත්‍ය පිලිබදව ඔහුට ඇති අවබෝධය සයිටම් සටන ගැන නැත්තේ මටද? ඔහුටද ?  යන්න වෙනම ප්‍රශ්නයකි. එහෙත් සයිටම් සටනට ඇති ජවය තුල ඒවැනි අදහසක් එම ක්‍රියාකාරීන් අතර ඇතිවීම වැළක්විය නොහැක. තරුණ සහ ශිෂ්‍ය ජවය මත පදනම්වූ සයිටම් සටන 'තරුණයෝ විප්ලවයේ ගිනිසිළුව' යැයි ලෙනිනියානු ප්‍රකාශය  නැවත සිහිපත් කරයි. 

සයිටම් සටන පුළුල් මහජන ක්‍රියාකාරීත්වයක් බවට පත්ව රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපස්සට හැරවිය හැකි ලෙස මහජනයා සංවිධානය කිරීමට සමත් ව්‍යාපාරයක් බවට පත්වීමේ අභියෝගයට මුහුණදී සිටී. එය සයිටම් විරෝධී ව්‍යාපාරයට පමණක් නොව ලාංකීය වමේ ව්‍යාපාරයටද, සෙසු සමාජ ව්‍යාපාරයන්වලටද දිගින් දිගටම මුහුණදීමට සිදුවූ දැවන්තම අභියෝගයය. අද එය නැවත නැවතත් අළුත් වටයක් මතුවී ඇත. සයිටම් සටන මහජනයාගේ නිදහස් අධ්‍යාපන, සෞඛ්‍ය  සහ ධනවාදය විසින් බිලිගන්නා අවම මිනිස් අයිතීන් කිහිපයටවත් එරෙහිව සටනක්  ලෙස එදිරියට ගෙනෙන අතරම එය මහජනයාගේ සටනක් බවට පත්කරගැනීමේ  නිරන්තර අරගලයක යෙදීමට සිදුව ඇත. අනෙක් අතින්, එය මහජනයාට මුහුණදීමට ඇති තවත් පීඩාවක් නොවන වගටත් සිතිය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට දායකවන්නේ නම් කෙතරම් හොදදැයි යනුවෙන් සිතුනවාරද එමටය. එය සටනේ පරමාර්ථය පිළිබද ගැටලුවකට වඩා උපාය, උපායන් පිළිබදව ගැටළුවක් බව මගේ තේරුම්ගැනීමයි. 
 මාකස් ප්‍රියන්ත පෙරේරා
01/09/2017.