This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 1 September 2017

මේ පරතරය අපි තේරුම් ගන්නේ කවදාද ?

පසුගිය මාසය මා ගතකලේ ශ්‍රී ලංකාවේය. වසරකට සැරයක් හෝ දෙසැරයක් පමණක් යන නිසා අපේ රටේ අද තත්වය  කුමක්දැයි හරියටම තේරුම්ගැනීමට මම සෑම විටකම උත්සුකවූවෙමි. එහිලා මගේ ප්‍රවේශය බොහෝවිට සකස්වී තිබුනේ ප්‍රකාශනයන්, ප්‍රකාශයන් සහ විවිධ රූප රාමු ඔස්සේ සිදුවන සමාජ සංවාදයන් මොනවාද? ඒ තුලින් ගම්‍යවන අදහස් කුමක්දැයි තේරුම් ගැනීමය. අපේ නිවාස අසල සිට වැඩිදුරකින් නොපිහිටි මීගමුවේ මාළු වෙළදපොළ ඉදිරිපිට වූ ඉහතින් දැක්වෙන දසුන මා නෙත ගැටෙනුයේද එවැනි පසුබිමකය. 

මීගමුවේ සා. ජෝශප් මාළු වෙළදපොළ (ලෙල්ලම නොවේ) පිහිටියේ කලක් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර වෙරළ තීරයකය. එහෙත් අද එය කරෝල  මුදලාලිලා කිහිපදෙනෙක් බදුගෙන එකී මුළු වෙරළම කරෝල කර ඇත. මුහුදෙන් හමා එන සොදුරු සිහින් සුළං රැල්ලටවත් කරෝල දුගන්දය ගසාගෙන නොයති. මාළු කරෝල කිරීමේදී ඉවත දමන මාළු කොටස් සහ වෙනත් අපද්‍රව්‍ය වෙරළ දිගේද, වෙරළේ සිට මුහුද දෙසටද, මුහුදු රළ ඔස්සේ නැවත ඒවා මුහුදේ සිට වෙරළ  දෙසටද ඒහේ මෙහේ ඇදී පැදී යන්නේ රටම වෙලාගත් කුණු ප්‍රශ්නය එක් නිමේෂයකින් තේරුම්කර දීමට මෙනි.   

"මාළු ගණන්නේ"..... ''දැන් ඔක්කොම ගණන්නේ මහත්තයා මාළු විතරක් කොහොමද අඩුවට දෙන්නේ''..... ''මේ දෙකම අරන් දාහක් දෙන්න, රුපියල් සීයයි ලාබේ තියෙන්නේ... ගන්න ගන්න මේ ගොඩවල් දෙකම දාහට වටිනවා ...." ආදීවූ මාළු මිලගණන් පිළිබද හෙන්ඩු කිරීම් වලට  නොදෙවෙනි, ඊට තරමක් එපිටින් පිහිටි සුදුපැහැති ප්‍රතාපවත් නවීන උසාවි ගොඩනැගිල්ල ඉදිරිපිට කළු කබා ඇදගත් මහත්වරුන් ''මල්ලී නඩුවක්ද?... එන්න එන්න ලාබෙට කරලා දෙන්නම්"... ''ඇයි ඇපයක් ඉල්ලන්ද?....'' "යන් අපේ මහත්තයා ඉන්නවා ඕනෑ දෙයක් ගොඩදාලා දෙයි'' ආදිය කියන තැරව්කරුවන්ගේ කන්කරච්චලයද අඩු නොවුනි. 

මාළු වෙළදපොළ ඉදිරිපිට මෙන්ම උසාවිය ඉදිරිපිට ද අලවා තිබු ප්‍රධාන දේශපාලන සටන් පාඨයන් වුයේ 'සයිටම් හකුලාගනු' / 'නිදහස් අධ්‍යාපනයට අත නොතබනු' / 'නිදහස් සෞඛ්‍ය සේවයට අත නොතබනු' / 'සිසු මර්ධනය වහා නවත්වනු' ආදී යය. මාගේ ඥාති පුත්‍රයෙකුද වෛද්‍ය විද්‍යාව හැදාරීමට විශ්ව විද්‍යාලයට ඇතුල්වී දැන් අට මාසයක් තිස්සේ අඛණ්ඩ උද්ගෝෂණවල නිරතවෙමින් සිටී. උද්ගතවී ඇති තත්වය පිලිබදව ඔහුගේ දෙමාපියන් පසුවනූයේ දැඩි නොසන්සුන්තාවයකය. ඔහු කුමන මොහොතේ හෝ නිරුපද්ද්‍රිතව ගෙදර එනතෙක් ඔවුන් බලා සිටිනුයේ දැඩි නොඉවසිල්ලකිනි. මුදල් තිබේ නම් පිටරට විශ්ව විද්‍යාලයකට ඔහුව යවා  වෛද්‍ය උපාධිය අවසන් කිරීමට හැකිනම් කෙතරම්දැයි ඔවුනට අනේකවාරයක් සිතෙන බව ඔවුන් සමග වූ පිලිසදරේදී මට හිතීගිය වාර අනන්තය.  

කලක් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුවූ දැන් මීගමු උසාවියේ නීතීඥයෙකු ලෙස කටයුතු කරන අපේ පැරණි වමේ ක්‍රියාකාරිකයෙකු දැක්වුයේ සයිටම් සටන ආණ්ඩුව දන ගස්සන තෙක් නොනැවතෙන පුළුල් මහජන ක්‍රියාකාරීත්වයක් බවට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවය. 

ඒ ගැන වැඩි යමක් කථාකිරීමට මත්තෙන් ඔවුන් කලක් රථගාලක් ලෙස භාවිතාකල මීගමුව කොටුව ඉදිරිපිට පිහිටි දැන් අතහැර දමා ඇති වල් වැදී ගිය රථගාල පෙන්වා මා එම නීතීඥ මිතුරාගෙන් ''මේ ගැන මිනිස්සු මුකුත් කියන්නේ නැතිදැයි?" ඇසුවෙමි. එවිට ඔහු කියා සිටියේ ''ඔය car park එක තියෙන කාළේවත්, දැන්වත්, මිනිස්සුන්ටවත්, ආණ්ඩුවටවත්, උසාවියේ කට්ටියටවත්, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටවත් (මීගමුව පැරණි පෘතුගීසි/ලන්දේසි කොටුව අසල භූමිය අයත්වන්නේ එම දෙපාර්තමේන්තුවටය), උබට තියෙන තරම්වත් (උපහාසයට මෙන් ඉන් අදහස් කලේ මාවය) කිසිම උවමනාවක් නෑ'' යනූවෙනි. 

එම සත්‍ය පිලිබදව ඔහුට ඇති අවබෝධය සයිටම් සටන ගැන නැත්තේ මටද? ඔහුටද ?  යන්න වෙනම ප්‍රශ්නයකි. එහෙත් සයිටම් සටනට ඇති ජවය තුල ඒවැනි අදහසක් එම ක්‍රියාකාරීන් අතර ඇතිවීම වැළක්විය නොහැක. තරුණ සහ ශිෂ්‍ය ජවය මත පදනම්වූ සයිටම් සටන 'තරුණයෝ විප්ලවයේ ගිනිසිළුව' යැයි ලෙනිනියානු ප්‍රකාශය  නැවත සිහිපත් කරයි. 

සයිටම් සටන පුළුල් මහජන ක්‍රියාකාරීත්වයක් බවට පත්ව රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපස්සට හැරවිය හැකි ලෙස මහජනයා සංවිධානය කිරීමට සමත් ව්‍යාපාරයක් බවට පත්වීමේ අභියෝගයට මුහුණදී සිටී. එය සයිටම් විරෝධී ව්‍යාපාරයට පමණක් නොව ලාංකීය වමේ ව්‍යාපාරයටද, සෙසු සමාජ ව්‍යාපාරයන්වලටද දිගින් දිගටම මුහුණදීමට සිදුවූ දැවන්තම අභියෝගයය. අද එය නැවත නැවතත් අළුත් වටයක් මතුවී ඇත. සයිටම් සටන මහජනයාගේ නිදහස් අධ්‍යාපන, සෞඛ්‍ය  සහ ධනවාදය විසින් බිලිගන්නා අවම මිනිස් අයිතීන් කිහිපයටවත් එරෙහිව සටනක්  ලෙස එදිරියට ගෙනෙන අතරම එය මහජනයාගේ සටනක් බවට පත්කරගැනීමේ  නිරන්තර අරගලයක යෙදීමට සිදුව ඇත. අනෙක් අතින්, එය මහජනයාට මුහුණදීමට ඇති තවත් පීඩාවක් නොවන වගටත් සිතිය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට දායකවන්නේ නම් කෙතරම් හොදදැයි යනුවෙන් සිතුනවාරද එමටය. එය සටනේ පරමාර්ථය පිළිබද ගැටලුවකට වඩා උපාය, උපායන් පිළිබදව ගැටළුවක් බව මගේ තේරුම්ගැනීමයි. 
 මාකස් ප්‍රියන්ත පෙරේරා
01/09/2017.

4 comments:

  1. මේ ප්‍රශ්නය ඔච්චර සරල නැහැ. පති කිහිපයක් තිබෙනවා.
    වෛද්‍ය සංගමය - ප්‍රමිතියක් ඇතිව හදන්න කියනව වෙලාවක, වහන්න කියනව වෙලාවක. ඒ ගොල්ලන්ගේ තත්වය රක ගැනීමේ සටනකුත් වෙලා
    පෙරගමි සමාජවාදී - සයිටම් ප්‍රශ්නය දිගටම ගෙනිහින් එක රජය පෙරලන දැවැන්ත බලවේගයක් කරලා අනිත් අරගලත් ඒකට එකතු කරනන් හදන උපායක්
    ජවිපෙ - වෙලවකට කියනවා ප්‍රමිතියක් ඇතිව පෞද්ගලික ලාභයක් නැතිව තිබ්බට කමක් නැහැ කියල, අනිත් වෙලාවට පොඩ්ඩක් පෙසපේ මතයත් පෙන්වනවා.
    අන්තරේ - සයිටම් එකට විරුද්ද්ධයි එච්චරයි.
    -එකබද්දේ මහින්ද අකට්ටිය - මහෝන්ද දැන් විරුද්දයි එනිසා ඒ ගොල්ලත් විරුද්ධයි. නමුත් ඒ ආණ්ඩුව අවොත් අයෙත් සයිටම් දෙයි
    යුඇන්පී එක - සයිටම් ඕනේ , මහින්දත් උදව් කලා

    ReplyDelete
    Replies
    1. Hello Ajith, මම මෙහිදී උත්සහකර ඇත්තේ දැන් රටේ පවත්නා කතිකාවන් කිහිපයන් පිලිබදව මට හැගීගිය ආකාරය සකච්ඡා කිරීමයි. සයිටම් ප්‍රශ්නය සාකච්ජා කලයුත්තේ තල කිහිපයකයි. එකකක් පවත්නා ආර්ථික ක්‍රමය තුල එය ස්ථානගතවෙන්නේ කෙසේද කියන එක. දෙක එම ආර්ථික සහ දේශපලන පෙළගැස්වීමට එරෙහි දේශපාලන මොහොතක් ගොඩනගා ගන්නේ කෙසේද කියන ඒක. තව පැති කිහිපයක් තියෙනවා. පස්සේ ලියන්නම්.

      Delete
  2. කරවල මාළු මුදලාලිලා ගෙන් සතුටු වන ලොකු සය්ස් අය සිටින තාක් කල් මීගමුවට සුන්දරත්වයක් ගෙන එමට කිසිසේත් නොහැකි .ඔවුන් ක්‍රියාකාරී වෙනුයේ කොමිස් ඇත්තේ නම් පමණී .එක බෝක්කු කටක් සැදීම සඳහා ලක්‍ෂ 3ක් වියදම් ලෙස දැක්වෙන අතර එය අප කලා නම් පණස් දාහකින් නිම කල හැකිය .කටුවපිටියේ ඇති පාලම කෝටියේ පාලම ලෙස නම් වී අවසන් වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසය .කිසිවක් කිසිම වැඩක් නැත .නමුත් පාලකයන් ගේ නිවෙස් අඩු මුදලින් තනා ඇත.ඔවුන් ගේ පඩියෙන් අමාරුවෙන් එකතු කර සාදා ගත් පුංචි සත් මහල් ප්‍රාසාද ලක්‍ෂ 5ක් හෝ 10කින් සාදා ගත් ඒවාය බෝක්කු කට පට්ට ගණන් වන්නේ එසේය .සුන්දර වෙරල අපට අහිමි වන්නේ ද පරිසරය විනාශ වන්නේ ද එලෙස ය .අප චන්ද දායකයන් ලෙස තවමත් ඉදිරිය ටත් බලා සිටිමු .

    ReplyDelete
    Replies
    1. ඔය කරුණු ගැන තොරතුරු දෙන්න අපි ලියමු !!!

      Delete