This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 10 September 2017

මීගමුව කොටුව රැකගැනීමට අපිට හැකිවේද ?

ඉහතින් දැක්වෙනුවේ මීගමුවේ පෘතුගීසි කොටුවය. පෘතුගීසි භාෂාවෙන් 'Fortaleza de Negumbo' නමින් නම් කර ඇති එම සිතියම මට මෙතෙක් හමුවූ පෘතුගීසි සමයේ මීගමුව කොටුව පැවති ආකාරය පිලිබදවවූ සිතියම් දෙකෙන් එකකි. 'Fortaleza de Negumbo' යන්න පෘතුගීසි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කලවිට එහි අර්ථය බොහෝදුරට සමානවනුවේ fortress හෙවත් stronghold of Negombo යන්නටය. 

එතෙක් අරාබි වෙළදුන් විසින් භාවිතාකල මීගමුව උතුරු කෙරවලේ පිහිටි කම්මල්තොට හෙවත්, අරාබි නැව් ප්‍රතිසංස්කරණය කල කම්මහල් පැවති නිසා,  කම්මල්තුරේ (Kammala/Kaymel/Caymel) ලෙස ප්‍රචලිතව පැවති වරාය අතහැර  මීගමුව කුට්ටිදුව ප්‍රදේශයේ කොටුවක් පෘතුගීසින් ඉදිකරනුයේ 1528-30 කාලයේය. ඉන් වසර සීයකට පසුව එනම් 1622 දී පෘතුගීසීන් මීගමුව කොටුව වඩා ශක්තිමත්ව ඉදිකළ බව සදහන්ය. ඉහත සිතියම ඇද ඇත්තේ 1630 දී බැවින් පෘතුගීසි පාලන සමයේ මීගමුව කොටුව පැවතියේ කුමනාකාරයෙන්දැයි එම සිතියම ඇසුරින් වටහා ගතහැක. 

1630 වනවිට මීගමුව පෘතුගීසීන් හදුන්වාදුන් කතෝලික ආගම වැළදගත්, පල්ලි, මිෂනාරි පාසැල් සහ පෘතුගිසි පරිපාලන ගොඩනැගිලි කිහිපයක් තිබු, පෘතුගීසී ජනයා සමග ආවාහ, විවාහකරගත් ජනතාවක් ජීවත්වූ, පෘතුගීසි සංස්කෘතිය සහ පෘතුගීසි භාෂාවෙන් බිදී ගිය පෘතුගීසි ක්‍රයෝල් (Portuguese creole) නම් භාෂාවක් භාවිතාකළ ඉහත සිතියම නම්කර තිබු ආකාරයටම  ශක්තිමත් පෘතුගීසි (Portuguese stronghold)  පාලන ප්‍රදේශයක්වී තිබුණි.

එහෙත් එය 1640 සහ 1644 දී ලන්දේසීන් දරණ ලද උත්සාහයන් දෙකකින් අනතුරුව ඔවුන් අතට පත්විය. ලන්දේසින් මීගමුවේ පෘතුගීසි කොටුව පමණක් නොව මීගමුව නගරයද පැවතියාටත් වඩා ශක්තිමත්ව ඉදිකළ බවත් එය ඔවුන්ගේ ප්‍රවේනිගත සාම්ප්‍රදායන් අනුව ඉදිකළ නගරයන් හී දැකිය හැකි පල්ලි, ඇළවල්, කොටුපවුරක් සහ සීනු කණුවක් සහිත නගරයක් බවට පරිවර්තනය කරගත් බවත් මම මීට පෙර ලියූ 'මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන්' යන ලිපියේ සහ 'මීගමුව ලන්දේසි කොටුව ගැන බ්‍රෝහියර්ගේ සටහන' යන ලිපි ඔස්සේ දක්වා තිබුණි. ඒම විස්තර අනුව ලන්දේසින් මීගමුව කොටුව යම් ආකාර ආක්‍රමණවත් පස්කොන් තරුවක හැඩයකින් යුතු ශක්තිමත් කොටුවක් ලෙස ඉදිකළ අතර එහි කොන්වල මුරකුටි සහ කාලතුවක්කු සවිකර තිබු බවත් දැක්වේ. 
යුරෝපයේ දියත්වූ නැපෝලියන් යුද්දයේ ප්‍රථිපලයක් අනුව 1796 පෙබරවාරියේදී බ්‍රිතාන්‍යයන් විසින් මීගමුවේ ලන්දේසි කොටුව පවරාගත් අතර පසුව ඔවුන් මීගමුවේ  ලන්දේසි කොටුව සිරගෙයක් බවට පරිවර්තනය කළේය. ඔවුහු ලන්දේසි කොටුවේ කොටස් කිහිපයක් කඩා කොටුවේ හැඩය වෙනස් කර අද ඇති නව ඇතුල්වීමේ දොරටුව සහිතව මීගමු කොටුව බන්ධනාගාරයක් බවට පත්කළේය. එහි අද ඇති ඔරලෝසු කනුව ලන්දේසීන්ගේ සීනු කනුව (klokkentoren) නවීකරණය කර 1899දී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years)) පිරීම සැමරීම නිමිත්තෙන් ඉදිකරනු ලැබුවකි. 
මීගමුව කොටුව බන්ධනාගාරයක් බවට පත්කිරීමෙන් පසුව එහි පැවති විශාල ශාලා කිහිපය බන්ධනාගාරයේ භාවිතයට ගත් අතර 1980 ගණන් වනතුරුම ඔවුන් ඇතුල්වීමේ දොරටුව ලෙස භාවිතාකලේ කොටුවේ ඇතුල්වීමේ දොරටුවය. ක්‍රමයෙන් අබලන්වූ කොටුවේ පිවිසුම් දොරටුව අත්හැරී බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කොටුවේ පැත්තකින් (කොටුවේ ඇතුල්වීමේ දොරටුවට පිටුපසින්) නව පිවිසුම් පාරක් නිර්මාණය කර ගෙන තිබේ. 

දැන් මීගමුව කොටුව ලෙස ඉතිරිවී ඇත්තේ කඩා වැටීමට ඉතා ආසන්න කොටුවේ පිවිසුම් දොරටුව සහ වික්ටෝරියානු ඔරලෝසු කනුව පමණි. සෙසු කොටස් බන්ධනාගාරය සතුකරගෙන තිබේ. එහෙත් නිදහසින් පසු ගෙවීගිය වසර 70ක කාලයක් තුල මීගමුව කොටුවේ එකී පිවිසුම් දොරටුව හෝ ඔරලෝසු කනුව සංරක්ෂණයකර, මතු පරම්පරාවට දැක බලාගත හැකිලෙස, ආරක්ෂා කරදීමට කිසිදු ශ්‍රී ලංකා රජයක්වත්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වත්, මධ්‍යම සංස්කෘතික අරමුදලවත් කිසිවක් සිදු නොකරන විනාශවී යෑමට අතහැර දමන ලදී. ගෙවී ගිය 70 වසරක කාලය තුල ශ්‍රී ලංකා රජයන්ද, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවද සහ මධ්‍යම සංස්කෘතික අරමුදලද සිදුකරමින් සිටින්නේ සිංහල බෞද්ධ අනන්‍යතාවය මුල්කරගත් ජාතික රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලියට අවශ්‍ය දෘශ්‍යමානයන් (visual) නිර්මාණය කිරීම පමණක් දැයි යන මගේ පැනය පැන නැගෙනුයේ මේ මීගමුව කොටුවට අත්වී ඇති ඉරණම දැකීමේනි. 

කල දුටුකල වල ඉහගැනීමට මාන බැලු එක්තරා අවස්ථාවාදීන් කණ්ඩායමක් ඉකුත් මහින්ද රාජපක්ෂ සමයේදී  මීගමුවේ ජනයා අතර පවතින සමගිය සහ සහජීවනය යටින් හරා බිද දැමීමේ අරමුණින් අතේ 'පැලවෙන කෙබරයක්' ගොතා මීගමුව කොටුව විනාශකර දැමීමට කූට උත්සහයක් ගත්බව මම මීට පෙර හෙළිදරව් කර තිබුණි. ඒ සම්බන්දයෙන් මා මීට පෙර ලියූ 'ලබ්බට තිබ්බ අත පුහුලටත්? කළුතර කොටුවට වුනදේ මීගමුව කොටුවටත්?' යන  ලිපිය ඔස්සේ කියවිය හැක. 

මේ තත්වය තුල පවා අපි දිගින් දිගටම මීගමුව කොටුවට අත්වී ඇති ඉරණම සහ එයට අත්විය හැකි භයානක අනතුර ගැන දිගින් දිගටම හඩ නැගුවෙමූ. මීගමුව කොටුව ආරක්ෂා කරදෙන මෙන් බලධාරීන්ගෙන් පමණක් නොව මීගමු ජනයාගෙන්ද ඉල්ලා සිටියෙමු. අද ඒ සම්බන්දයෙන් මීගමු ජනයා තුල පැහැදිළි  උනන්දුවක් ඇතිවී තිබේ. රජයේද යම් අවධානයක් යොමුවූ බව පෙනුනි. වසර දෙකකට පෙර මීගමුව කොටුව පිලිබදව සොයා බැලීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ කණ්ඩායමක් පැමිණි බව අපි ලිව්වෙමු. ඒ ගැන මීගමුවේ සංස්කෘතික උරුමය රැකගැනීම සදහා නව උත්සහයක් !/? යන ලිපිය ඔස්සේ කියවිය හැක. එහෙත් ඔවුහු කල කිසිවක් නැත. ඒ ගැන ඇසුවිට අදාල නිලධාරින් කලේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දොස් පැවරීම පමණි. 

එහෙත් අපි නොනැවතිනි. මීගමුව කොටුව රැකගැනීමට අපි දිගටම මැදිහත්වෙමින් සිටිමු. ඒ සම්බන්ධයෙන් මම පමණක් නොව අද මීගමුවේ ජනයාද, බොහෝ ජන නායකයින්ද සිය අවධානය යොමුකරමින් සිටී. 

ඉකුත් අගෝස්තු 20දා මීගමුව, පෙරියමුල්ල 'තුෂාරේ අප ස්වාමිදුවගේ' දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේදී මට මුණගැසුන මීගමුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නාගරික  මන්ත්‍රීවරයෙකු වන ගිහාන් ප්‍රනාන්දු මහතා දැක්වුයේ ඔහුද, මීගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක බස්නාහිර පලාත්සභා මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ඇතුළු  මීගමුව එක්සත් ජාතික පක්ෂ සංවිධානයද මීගමුව කොටුව සංරක්ෂණය කර ඒ අවට වෙරළ තීරය කලින් පැවති ලෙස ආකර්ශනීය පරිසරයක් බවට පත්කිරීමට තීරණය කර ඇති බවය. එය ඉතා ප්‍රසංසනීය  ප්‍රවෘත්තියකි. තවද දැනට අත්හැර දමා ඇති පැරණි මහඅධිකරණ ගොඩනැගිල්ල මීගමුවේ ඉතිහාසය ප්‍රදර්ශනය කල හැකි කෞතුකාගාරයක් බවට පත්කරන්නේ නම්  මා එකතුකර ඇති මීගමුවේ පැරණි සිතියම්, පොත්පත්, වාර්තා, postcard, ඡයාරූප සහ පින්තුර ආදිය ලබාදිය හැකි බවද, බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නගරයේ සිට ඔස්ට්‍රේලියාවේ ඩර්වින් නගරය දක්වාවූ ලෝකයේ විවිධ කෞතුකාගාරවල සහ පුස්තකාලවල ඇති මීගමුව සම්බන්ද තොරතුරු රාශියක්ද සපයාදිය හැකි බව මම ගිහාන් ප්‍රනාන්දු මහතාට දන්වන ලදී. 

ඇත්තවශයෙන්ම, මීගමුව එක්සත් ජාතික පක්ෂයේ නව නායකයින්ට මේ ඇති උනන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොහොට්ටුවේ කට්ටියට හෝ මීගමුවේ වමේ ක්‍රියාකාරීන්ට නැතිවීම පිලිබදව කණගාටු වෙමි. පැහැදිලිවම මීගමුව කොටුව රැකගැනීමට එකී සියළු පක්ෂ කුමක් කරන්නේදැයි යන්න එලබෙන ජනවාරියේ පැවැත්වෙන මීගමු මහනගරසභා මැතිවරණයේදී හෙලිකල යුතුමය. පැහැදිලිව මීගමුව කොටුව සංරක්ෂණය කිරීම සම්බන්දයෙන් කුමක් කරන්නේ දැයි යන්න ඊලග මීගමු නාගරික මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් විය යුතුමය. 

මීගමුවේ කොටුව සම්බන්දයෙන් මම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විෂය භාර ඇමතිවරයා වන ගරු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතාව සහ ඔහුගේ සංස්කෘතික කටයුතු සම්බන්ද ලේකම්වරයාවන සුජීව සරත්චන්ද්‍ර මහතාද දැනුවත් කලෙමි. කොළඹ විශ්ව විද්‍යාලයේ අපගේ සමකාලීනයකු වන වර්තමාන අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා මීගමුවේ කොටුව සම්බන්දයෙන් සොයා බැලීමටත්, ඔහුට කලහැකි දෙයක් කිරීමට නොපැකිලෙන බවත් කීහ. යහපත් මිතුරෙකු වන ඔහු සිය වචනය අනුව කටයුතු කරතැයි මට සිතේ. ඇරත්, ඔහු මේ වනවිටත් මීගමුව කොටුවේ කඩාවැටීමට ආසන්නව තිබු පැරණි ලන්දේසි වෙඩිබෙහෙත් ගබඩාව සංරක්ෂණය කිරීමට පියවර ගැනුණි. මීගමුව කොටුව සම්බන්දයෙන්ද ඔහු එවැනිම පියවරක් ගනිනු දැකීම අපගේ අපේක්ෂාවය. 

කෙසේවුවද, කල යුතු යමක් වහා වහා කලයුතුව ඇති බව මම ඒ සියළු මහත්මයින්ට සැලකර සිටිමි. ඒ ඇයිදැයි යන්න පහතින් දැක්වෙන ඡයාරූප ඇසුරින්වුවද තේරුම්ගත හැක.  

කරුණාකර හෙට නොව, අද අදම මීගමුව කොටුව සංරක්ෂණය කිරීමට පියවර ගන්න, මන්ද හෙට ප්‍රමාද වැඩිවීමට බොහෝදුරට ඉඩතිබේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
10/09/2017.







2 comments:

  1. බොහොමත් ජාරජීර්ණ වූ බවක් පේනවා දැනටත්

    ReplyDelete
  2. ඔව් ඇත්තටම සම්පුර්ණයෙන්ම ජරාජීරණය වෙලා. එහෙත් මේ සම්බන්දයෙන් බලාපොරොත්තුවක් ඇතිකර ගන්න පුළුවන්. මේ ලිපිය ලියා පැය 24ක් යන්න මත්තෙන් ගරු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතාගේ සංස්කෘතික කටයුතු සම්බන්ද ලේකම්වරයාවන සුජීව සරත්චන්ද්‍ර මහතා පහත ප්‍රතිචාරය මගේ facebook එකට ඒවා තිබුණා. එය පහතින් වේ

    Sujeewa Sarathchandra මේ පිලිබඳව ඔබතුමා දක්වන අනර්ඝ අවධානය සම්බන්ධයෙන් ස්තූතියි...විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ දැනුම් දීමකට අනුව ඉතා ඉක්මනින් මෙම ස්ථානය ගැන සොයා බැලීම සඳහා මම යනවා..

    ReplyDelete