This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 24 December 2018

නත්තල යනු සතුටය. එය දුගියාට බත් දීමෙන් හෝ වැරහැලි නැති දාකින් පමණක් උදානොවේ

"මගෙ නත්තල දුගියා බත් කන දාය 
මගෙ නත්තල වැරහැලි නැතිවනදාය 
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය 
මගෙ නත්තල පව පල්ලිය යන දාය"
ඉහත වදන් පෙළ ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේය. ලංකාව තුල කාලයක් තිස්සේ පට්ට ගසන මර්සලින් ජයකොඩි පියතුමාගේ ඉහතකී වදන්පෙළ අප සැමට ඉතා හුරුපුරුදුය.  සිරිසේන ජනාධිපති වරයාගේ සිට විවිධ දේශපාලකයින්ද, කාදිනල්තුමාගේ සිට විවිධ තරාතිරමේ පුජකතුමන්ලාද, දිවයින පත්තරේ සිට ප්‍රදීපය පත්තරේ දක්වාද, බොහෝ ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකාද, facebook වැනි සමාජ මාධ්‍යන්ද,  ඉහත ජයකොඩි පියතුමාගේ වාක්‍ය ඛණ්ඩයන් නිතර නිතර වරනගයි. 

එහෙත් එකී බොහෝ දෙනෙක් ඉහත දැක්වූ මර්සලින් ජයකොඩි පියතුමාගේ වදන්පෙළ උපුටා දක්වමින් උලුප්පා පෙන්වන්න හදන්නේ කුමක්ද? ඒ සම්බන්දයෙන් ඔබට අදහසක් තක්සේරුවක් තිබේද?

එක අතකට ඔවුන් කියන්න යන්නේ ඉතා සරල කථාවකි. එනම් නත්තල යනු දිළින්දන්ට කෑමදීම, වැරහැලි ආදිය ඇදන් සිටින්නන්ට ඇදුම්දීම ආදියද අප විතරක් කාබී, සැරසිලිකර, විවිධ ඇදුම් ආයිත්තම් ඇද උජාරුවට සමරණවාට වඩා එය දිලිදු ජනයා සමග බෙදාගැනීම වටිනා බවය. වඩාත් ආකර්ශනීය සහ යුක්ති සහගත ලෙස දැක්වුවහොත් 'නත්තල යනු බෙදාගැනීමය', 'ඇති අය නැති අයට දීම' ආදී කථාය. එවැනි කථා යහපත්ය. හද පිනව, පිං අනුමෝදන්වෙන සුන්දර කථාය. 

අනික් අතට, මර්සලින් ජයකොඩි පියතුමාගේ ඉහත වදන්පෙළ උපුටා දක්වමින් උලුප්පා පෙන්වන්න හදන්නේ නත්තල යනු එහෙම මහා උත්සවාකාරයෙන් සැමරිය යුතු දෙයක් නොවන බවය. 'ජේසු ඉපදුනේ ගව මඩුවේය', ඔහුගේ 'තොටිල්ල වුයේ පිදුරු පිරවූ ගව ඔරුවය' ආදී කතා මෙහිලා ආධාරක කරුණු ලෙස භාවිතා කරයි. (ඇත්ත වශයෙන්ම එවැනි කරුණුවලට පදනමක් නැත. ලූක් සුවිශේෂයේ කරුණු පවා දක්වන්නේ  තානායමේ ඉඩ නොමැති වුයෙන්, ඔවුන් (සතුන්ට කෑම දෙන) ගව මඩුව හෙවත් manger හී නැවතුන බවයි. මෙහිදී manger යන්න කුමනාකාරයේ තැනක්ද යන්න පිළිබද පැහැදිලි නැත. ජේසු ගව මඩුවක ඉපදුන නිසා අපි නත්තල උත්සවාකාරයෙන් සැමරිය යුතු නැත්ද?

ඒ හැර, 'දුගියා බත්කනදාය, වැරහැලි නැතිවනදාය, දුක සැනසෙන දාය, පව පල්ලිය යන දාය' වදන් පෙළ ලංකාව තුලදී සුළුතරයක්වන කිතුනුවන් අතිමහත් උත්සවාකාරයෙන් සමරන නත්තල යම් ආකාරයකට නියාමනය (regulate) කිරීම සදහාද භාවිතාකරන බවක් පෙනේ. පොඩි පිරිසකගේ වැඩි සද්දය ලොකු පිරිසකට මහා කන්කරක්ච්චලයක් නොවීමට වගබලාගැනීම ඉතා වැදගත්ය. එහිලා  මර්සලින් ජයකොඩි පියතුමාගේ ඉහත වදන්පෙල ලබාදෙන දායකත්වය ඉතා ඉහලය.

කෙසේවුවද, මා යෝජනා කරන්නේ අපි දැන් මර්සලින් ජයකොඩි පියතුමාගේ සෞන්දර්වාදී රසාස්වාදනයෙන් එලියට යායුතු බවය. එනම් නත්තල යනු 'දුගියා බත්කනදාය, වැරහැලි නැතිවනදාය, දුක සැනසෙන දාය, පව පල්ලිය යන දාය' යන කථාවලින් අපි දැන් එලියට යායුතුබවය. මන්දයත් මහත් සද්භාවයෙන් මර්සලින් ජයකොඩි පියතුමා ඉදිරිපත් කල එවැනි රචනා පවා දැන් භාවිතා කරන්නේ ප්‍රතිගාමීන්ය. ප්‍රතිගාමී අවශ්‍යතා වෙනුවෙනි. 

ඇත්තවශයෙන්ම නත්තලේ සැබෑ අරුත විස්තර කල හැක්කේ 'නත්තල යනු සතුටය' යන්න පිළිගැනීම තුලය. එවිට නත්තලේ නියම අරුත රැගත්  නියම කතාව දිගහැරෙනු ඇත.  එනම් 'නත්තල යනු සතුට'  නම්  අපි සතුටු නැත්තේ ඇයි? අපේ සතුට අපිට අහිමිවී ඇත්තේ ඇයි? ඒය උදුරාගත්තේ කවුද? මේ ආදි ප්‍රශ්නවලට ඉඩ ප්‍රස්ථා විවරවේ. ඇත්තවශයෙන්ම, ජේසුගේ උපත තුල මතුකරන විමුක්තියේ පණිවිඩය මතුකරගත හැක්කේ එවිටය. 

ඉතින් අපි ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ සෞන්දර්වාදී වදන් යොදාගෙන දිගින් දිගටම පතුරුවන ප්‍රතිගාමීත්වය වෙනුවට 'නත්තල  යනු සතුට' යැයි යන්න පිලිගනිමු. එය දුගියාට බත් දීමේ හෝ වැරහැලි වෙනුවට හොද ඇදුම් දීමෙන් හෝ අත්කර නොගත හැක්කකි. සැබෑ සතුට අත්කර ගත හැක්කේ සැමට සතුටින් සිටිය හැකි සමාජ, දේශපාලනික, ආර්ථික සහ පාරිසරික වටපිටාවක් තුල පමණි. 

එවැනි අරුතක් පිරි නත්තලක් ඔබටත් උදාවේවා. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
24/12/2018. 

*ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති Peter Paul Rubens (1577-1640) ගේ The Adoration of the Magi (1628) චිත්‍ර ඉහතින් දැක්වේ. 

Friday 14 December 2018

අධිකරණ තීන්දුවෙන් පසු ජාතිවාදය එලිබසීයි - ක්‍රිස්තියානීන්ට රතු එළියක්?

ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවත්, ජනාධිපතිවරයාටවුවද පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැක්කේ වසර 4 1/2 කින් පසුව පමණක් බවත්, එයට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට උවමනා නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සිදුකල හැකියැයි දක්වමින් ඊයේ (13/12/2018) ශේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවත් සමග ජාතිවාදය සහ ආගම්වාදය පෙරට පැමිණ තිබේ. මෙවර එය පැහැදිලිවම ක්‍රිස්තියානී ජනයා ඉලක්ක කරගෙන තිබේ. 

මෙහිලා ප්‍රමුඛයා වී ඇත්තේ  ශ්‍රී ලංකාවේ දශක 3ක කාලයක සිට ජාතික චින්තය ලෙස දක්වමින් පට්ට ජාතිවාදයක් ප්‍රවර්ධනය කර ප්‍රචලිත කල මහාචාර්ය  නලීන් ද සිල්වාය. ඔහු දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන  කාලය නම් වෙබ් පිටුවේ අද (14/12/2018) පළකර ඇති 'ජාතික-විජාතික ගැටුම' නම් ලිපියේ දක්වනුයේ මෙසේය: "බෝන් අගේන් ක්‍රිස්තියානි නිකාය රටේ ඉහළ යැයි කියන පුද්ගලයන් තම මතවාදයට බාගෙන. බෝන් අගේන් සාමාජිකයන් පරණකඩවලත් අලුත්කඩවලත් ඉන්නවා... බෞද්ධ සංස්කෘතිය ඇත්තේ නමට පමණයි. ආධිපත්‍යය ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි මතවාදවලට...රනිල්ගේ පියා ක්‍රිස්තියානි...සුමන්තිරන් ආගමෙන් ම මෙතෝදිස්ත... රනිල් සංස්කෘතියෙන් යුදෙව් ක්‍රිස්තියානි...යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට රෝම ලන්දේසි නීතියට අනුව ඉටු කෙරෙන යුක්තිය එකම යුක්තිය වන්නේ ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ටයි...'' ආදී ලෙස දක්වා තිබුණි.  

ඔහු  සිය වෙබ්අඩවිය ඔස්සේ මෙන්ම ඔහුගේ සමාජ-දේශපාලන මැදිහත්වීම් ඔස්සේ දිගින් දිගටම පේන්වාදීමට උත්සහ කරන්නේ ලංකාව තුල ක්‍රිස්තියානිය සහ බටහිර ආදිය ගෑවී ඇති සියල්ලෙන්ම නිදහස්වීමකින් තොරව නැවත ශ්‍රී ලංකාවට  සිය  අතීත  විභූතියට යා නොහැකි බවකි. එය එක හෙලාම ගැලපෙනුයේ මිලියන 6ක යුදෙව් ජනයා ඝහතනයකල ජර්මනියේ හිට්ලර්ගේ නාසි පක්ෂය දැක්වූ ''(ඊනියා) ආර්ය  ජර්මන් ජනතාවගේ විභූතිය නැවත ඇතිකරගත හැක්කේ ජර්මනිය යුදෙව් ජනයාගෙන් මෙන්ම යුදෙව් යැයි ගෑවී ඇති සියල්ලෙන්ම නිදහස් වීමෙන් පසුව පමණි'' වැනි අදහස් සමගය.  

නලින් ද සිල්වාගේ මතය අනුව යන ගෝලබාලයන් මෙන්ම ඔහුගේ මතවාදය පිළිගන්නා ප්‍රමාණයද දැන් දැන් ක්‍රමයෙන් ලංකාව තුල ඉහල යමින් සිටී. ඔවුන්ගේ මේ මොහොතේ දේශපාලන නායකයා ලෙස ඔවුන් තෝරාගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂවය. නලින් ද සිල්වා ගේ වචනයෙන්ම දක්වතොත් 'රනිල් ඇතුළු බටහිර යුදෙව් ක්රිතියානි අධිපත්යෙන් රට ගලවා ගත හැක්කේ මහින්දට පමණි.' සිරිසේන - මහින්ද එකතුව ඔවුන් දකින්නේ ජාතික කදවුරේ එකතුවක් ලෙසය. ඉන් පිටතින් සිටින්නෙ විජාතික ගතිසිරි-සංස්කෘතීන් ඇති දේශද්‍රෝහීන්ය. ඔවුන් සිංහලද, මුස්ලිම්ද, දෙමළද, ක්රිස්තියානිද, කතෝලිකද, අනාගමිකද, වාමාංශිකද, ආදීය ඔවුන්ට ඇදලා නැත. ඔවුහු ද්‍රෝහීන්ය.
(ඊනියා) සිංහල-බෞද්ධ අතීත ශ්‍රී විභූතිය ගෙනෙන්නට එරෙහිවන ද්‍රෝහීන්ය. 

මෙම නඩු තීන්දුවට පෙර එනම් 04/12/2018 ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පලකල ''ඓතිහාසික නඩු විභාගය ඇරඹේ..! ගම්මන්පිල අගවිනිසුරු ටැකල් කරන්න ගිහින් ඇනගනී..!'' යන ලිපිය අනුව දැක්වුයේ මහින්ද පිලේ ප්‍රකට ජාතිවාදී කසකරුවෙකුවන  උදය ගමන්පිල  මන්ත්‍රීවරයා අගවිනිසුරු නලීන් පෙරේරා මහතා රහසිගතව හමුවීමට උත්සාහ කර ඇති බවය. එම පුවතට අනුව අගවිනිසුරුවරයා සිය ආගමික කටයුතු සඳහා පැමිණෙන දේවස්ථානයක් ලෙස කොළඹ ඩීන්ස් පාරේ Fatima දෙව් මැදුර හඳුනාගෙන උදය ගම්මන්පිල එහි ගොස් දේවස්ථානය බාර පියතුමා හමුවී තමන්ට රහසිගතව අගවිනිසුරුවරයා හමුවීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා තිබේ. හමුවේ රහසිගත භාවය තමා විසින් ආරක්ෂා කරන බවටද පියතුමාට ගම්මන්පිල පොරොන්දු වී තිබේ. එහෙත් පියතුමන් විසින් ගම්මන්පිලගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව තමාගේ ඉල්ලීම රහසක් ලෙස තබා ගන්නා ලෙස ගම්මන්පිල පියතුමන්ට කනපින්දම් කියා ඇතැයි දැක්වේ.


දැන් මෙම නඩු තීන්දුවෙන් අනතුරුව අගවිනිසුරුතුමා සහ සෙසු විනිසුරුවන්ගේ ආගම  ආදිය ඉලක්ක කරගනිමින් විවිධ අපවාද, හෙලාදැකීම් මඩ ප්‍රචාර අදිය facebook ආදී සමාජ ජාලවලට මුදා හැර තිබේ. මෙහිදී ඔවුන් ක්‍රිස්තියානීන් යැයි දැක්වීම ශ්‍රී ලංකාවේ ජාතිවාදී ව්‍යාපෘතීයේ ඊලග අංගය බවට පත්ව ඇත. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් පිටු පස ඇත්තේ ඔවුන් බහුතරයක් සිංහල-බෞද්ධ නොවන කතෝලිකයන් සහ ක්‍රිස්තියානීන් යැයි දැක්වීම ජයටම කෙරීගෙන ගිය,දැන්ද කෙරීගෙන යන්නකි. 

මේ තත්වය තුල ලංකාවේ ක්‍රිස්තු භක්තිකයන්ට යම් රතු එළියක් දැල්වෙමින් තිබේ යැයි යන්න පෙනීයන්නකි. කන-බොන ජෝලිකරන ක්‍රිස්තියානීන්ද මේ සම්බන්දයෙන් අවධානයෙන්  පසුවිය  යුතුය.  නැතහොත් මිසර දේශය ධන-ධාන්‍යයෙන් පෝෂණය කල ජෝසප් ගෙන් පසු ඔවුන්ගේ පරම්පරාවලට අත්වූ ඉරණමට වඩා වෙනස් ඉරණමක් අත්නොවෙනු ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/12/2018

Tuesday 20 November 2018

මොකක්ද මේ චක්කරේ. අරුම පුදුම යන්තරේ

ආයෙ ආයෙ එලබෙනා
නොනැනවතීම පැමිණෙනා 
මොකක්ද මේ චක්කරේ 
අරුමපුදුම යන්තරේ 

ශීතකාලේ හිම වැටේ
ගහකොළ ඇලදොළ මිදේ 
කිටි කිටියට දුම් පිබිමින්
සුදු හිමමත පිය මැනේ

ළමා ලපටි ලිස්සතී
කෙළි සෙල්ලම් හඩ ඇසේ
ඇද වැටුනොත් බෙලි කැඩේ 
ඉතින් හිමින් අපි ඇදේ

වසන්තයට දළු දමතී
ගහකොළ මල් පුබුදුවතී
රන්පැහැ හිරු ඔකද වෙතී
කුරුළු හඩින් පුබුදුවතී

කොළපාටින් දිලෙන බිමේ
නේක වර්ණ මල් හිනැහේ
මලේ මහිම මෙනෙහි කරන් 
සැහැල්ලුවෙන් අපි ඇදෙතී

ග්‍රීස්මයට තද අව්වයි
වතුර වලට එක පිම්මයි
මස් පිච්චෙන පුළුටු ගදයි
සව්දිය පිරි සිනහ හඩයි

වෙරළ උයන් පිරී යතේ 
මිනිස් කැලේ සද්දේ වැවේ
රුවැති ලදුන්, සිනිදු ඇදුම්
මවයි දිව්‍ය ලොවක දසුන්  
මියුරු සරට ඉපිලෙන පා  
ගතට සිතට මිහිර ගෙනේ

සීත සුළග පැමිණෙනවා 
සරත් කාලේ ලග එනවා 
ගස් කොළ දළු හලා දමා 
ඇග ලොම් ඇගලුම් ඉල්ලනවා

දවාලටත් කළුවරයි 
හිරු නැගුනත් කළුවරයි  
වලාකුළුත් දුක් බරයි
හඩන හැගුම් තෙත්බරයි
කොල බොරවූ මඩිති බිමේ 
බර සාරේට පය එසවේ

පින්න මිදුන සුදු පැහැයයි 
හිම සිහිවන තද සීතයි 
දුම්පිටවන එක හුස්මයි 
අනන්තයක එක රවුමයි
මොකක්ද මේ චක්කරේ 
මහබබාගේ මන්තරේ 
සොබාදහමේ යන්තරේ
පිටුගාණක විස්තරේ 

කරුමයක්ද? අරුමයක්ද?
අනිත්‍යයේ නැවතුමක්ද?
මැවුම්කරුගේ විස්කමක්ද? 
ඉබේ වියනු ගෙත්තමක්ද?

මොකක්ද මේ චක්කරේ 
සොබාදහමේ මන්තරේ 
ආයෙ ආයෙ එලබෙනා
නොනැනවතීම පැමිණෙනා
මොකක්ද මේ චක්කරේ? 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
12/11/2018. 

Thursday 27 September 2018

මැල්කම් රන්ජිත් කාදිනල්තුමා මතුකරන ශ්‍රී ලංකා කතෝලික සභාව මුහුණදී ඇති අවුල

//බටහිර අළුත් ආගම මානව හිමිකම්.. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කථා කරන්න ඕනෑ නැහැ...// බැලු බැල්මටම මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කරඇති කථාවේ වරදක් නැත යැයි පෙනීයනු ඇත. එම ප්‍රකාශයම වෙනත් ආකාරයකට දැක්වුහොත් ''මානව හිමිකම් මොකටද, අපි ආගම් අදහනවා නම්" යන්න කියවේ. ඒ අනුව මානව හිමිකම්වලට ඉහලින් ආගම් ඔසවා තැබීම සිදුවේ. ආගමික නායකයෙකු වශයෙන් සියල්ලන්ටම ඉහලින්, සියල්ලටම ඉහලින් ආගම ඔසවා තැබීම  ඔහුගේ රාජකාරිය බව අපි දන්නෙමු. එහෙත් 'මානව හිමිකම්' යන්න බටහිර මතුවුයේ ආගම්වලට තවදුරටත් මිනිස් ජීවිතවල වටිනාකම් ආරක්ෂා කරදීමට අසමත්වීම නිසා යැයි යන තර්කයද කිසිසේත්ම ඉවතහෙළිය නොහැක.



විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව, 1948 විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය එළිදක්වන්නේ අතිවිශාල ව්‍යසනයකට මුළු මිනිස් සමාජයම ලක්වූ පසුවය. දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවූ අතිමහත් කෲරතර මිනිස් සංහාරයක් කල හිට්ලර්, මුසලෝනි වැනි වර්ගවාදී, ජාතිවාදී ජන ඝාතකයන්ව කිසිසේත්ම වලක්වාලීමට කිසිදු ආගමක් සමත්වූයේ නැත. ඔවුන් යටතේ යුදෙව්, ජිප්සී (Gypsy people/Roma) ආදී මිනිස් ප්‍රජාවන්  පමණක් නොව ශාරීරික දුර්වලා සහිත ජර්මානු ජනයා ඇතුළු නියත  මරණයේ අනතුරට ලක්කල මිනිසුන්ගේ ඉරණම වෙනස්කරලීමට ආගමික සංස්ථාපිතයන්ට කිසිදු තීරණාත්මක මැදිහත්වීමක් සිදුකල නොහැකිවීම ඉතිහාසයේ සිදුවූ ඉතා අවාසනාවන්ත තත්වයකි.


එම පසුබිම මත එළිදක්වන මානව හිමිකම් ප්‍රකාශනය කරලියට ඒමත්, එය බලාත්මකවීමත් සමග මහා මිනිස් ව්‍යයාසනයන්ට එරෙහිව අයෝමය හඩක් ගොඩනැගුනාසේම ඇතැම් ව්‍යාසනයක් වලක්වාලීමටද, ඒවා අවමකරගැනීමටද, එසේ නොහැකිවුයේ නම් අඩුම තරමින් වරදකරුවන් නීතිය හමුවට පැමණවීමට සහ නැවත එවැන්නක් ඇතිවීම වලක්වාලීමටද හැකි පදනමක් ගොඩ නැගුණි.

අනික් අතට, මානව හිමිකම්හී නැගීමත් සමග ආගමික සංස්ථාවන්ට සහ ස්ථාපිතයන්ටද අභියෝගයක් එල්ලවූ බවද පැහැදිලිය. විශේෂයෙන්ම, ආගමීක නායකයන් අතින් සිදුවූ ළමා අපයෝජනයන් සම්බන්දයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීමත්, එම ක්‍රියාවන් සම්බන්දයෙන් තරාතිරම නොබලා ආගමීක නායකයින්ට දඩුවම්දීමත්, ආගමික ඉගැන්වීම් නාමයෙන්  ස්ත්රීන්ගේ මෙන්ම සමලිංගික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්  උල්ලංඝනය කිරීමවලට එරෙහිවද ක්‍රියාත්මකවීම සිදුවිය. එමගින් පල්ලියේ මෙන්ම වෙනත් ආගම්වල පැවැත්මට බරපතල අභියෝගයක් එල්ලකල බව පැහැදිලිය. අගරදගුරුවරු, වතිකානුවේ ප්‍රධානින්, රදගුරුවරු සහ පුජා ප්‍රසාදීන්වහන්සේලා ආදීන් අත්අඩංගුවට පත්වීමත් සමග ඒ සම්බන්දයෙන් ක්‍රිස්තියානි ආගමික සංස්ථා ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුවීම සිදුවීමත් තේරුම් ගත හැක්කකි.

එහෙත් මානව හිමිකම්හි පදනම ආගමීක ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් කිසිසේත්ම  උල්ලංඝනය කරන්නක් නොව ඔවුන්ගේ ඉගැන්වීම් වෙනත් ආකාරයකින් තහවුරු කරන්නකි. එහින් මානව හිමිකම් සම්බන්දයෙන් චෝදනා කිරීමට කිසිසේත්ම පදනමක් නැත. මානව හිමිකම්හී පදනම ආගමික ඉගැන්වීම්වල හරය නම් මානව හිමිකම් බටහිරට ආගමක්වීම වරදක් වෙන්නේ කෙසේද?

එහෙත් මට පෙනීයනුවේ මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ආරාවුල ඇත්තේ මානව හිමිකම් සම්බන්දයෙන් නොව වර්තමාන බටහිර ලෝකය සම්බන්දයෙන් බවය. පැහැදිලිවම බටහිර ලෝකය තුල ආගමට මෙන්ම ආගමික සංස්ථාපිතයන්ටද හිමිව තිබු අධිකාරීත්වය ක්‍රමයෙන් දියවේමින් ගොස් තිබේ.

එහෙත් ඔවුන් සම්පුර්ණයෙන්ම ආගම අත්හැර ඇතයි යන්න ඉන් නොකියවේ.

තමන් නිතර පල්ලි නොගියද, ආගම නොඇදහැව්වද, බටහිර ලෝකයේ බහුතරයක් තවමත් තමන්ගේ ආගම ක්‍රිස්තියානි ආගම යැයි කියන්නට නොපැකිළෙති. විවාහය වැනි උත්සවයක් පල්ලියේ ගැනීමට ප්‍රියකරති. ජේසු උපන් නත්තල වසරේ ප්‍රධානතම උත්සවය ලෙස සමරති.  සිය ශිෂ්ටත්වයේ පදනම් සකස්කරලීමෙහිලා ක්‍රිස්තියානි ආගමද ඉවහල්වී ඇතිබව පිළිගනිති.

එහෙත් බටහිර පුද්ගලයා මෙන්ම රාජ්‍යයද තීන්දු-තීරණගැනීමේදී කටයුතු කරනුයේ හුදෙක් බයිබලය, පල්ලිය, පාපය, අපාය, ස්වර්ගය, මරණයෙන් මතු ජීවිතය හෝ පුජා ප්‍රසාදීන්ලාගේ අභිලාෂයන්, ඉගැන්වීම් හෝ ආශිර්වාදය පදනම් කරගෙන නොවේ. සිය අනුබුද්ධිය, තර්කඥානය, කැමැත්ත, යුක්ති සහගත බව සහ පරිමේය පදනම් කරගෙනය. එහින් බටහිර මනුෂ්‍යයා සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නන් (Rationalist humanism) ලෙස හදුන්වති. 'මානව හිමිකම්' යන්න ගොඩනැගී ඇත්තේ මෙහිම තවත් එක් දිගුවක් ලෙසය.

බටහිර ජනයා ලංකාවේ මෙන් හදියක් හන්දියක් පාසා සුරුවම් තැබීමට හෝ මීසමට පැමිණෙන සෑම අලුත් පුජා ප්‍රසාදිවරයෙකු පසා අලුතින් සුරුවම් තැබීමට සතයක්වත් නොදේ. එහෙත් සිය ගමේ පල්ලියේ ගරාවැටෙන පල්ලිය ප්‍රතිසංස්කරණ කිරීමට මෙන්ම පල්ලියේ ලයිට් බිලගෙවීමටද යම් දායකත්වයක් දෙයි.  ''බයිබලයේ ඩයිනොසිරස්ලා ගැන සදහන්වී නැත්තේ ඇයි?" යැයි බටහිර දරුවන් සිය දෙමාපියන්ගෙන් විමසනවිට ඔවුන්ගේ පොදු පිළිතුර වන්නේ ''බයිබලයේ හැම සතෙකු ගැනම සදහන් කර නැති'' බවය. ''අඩුම තරමින් අලි ගැනවත් එහි නැත'' යැයි කියයි. ''ඒ ඇයි?'' යැයි ඇසුවිට ''බයිබල් කතුවරු හැම සතෙකුම දැක නැත'' යැයි කියයි. බයිබලය සම්පුර්ණයෙන්ම බොරුය, එය නොකියවිය යුතු, විසිකර දැමිය යුතු පොතක් යැයි සිය දරුවන්ට කියන 'දෙමාපියන්' ඇත්තේ බටහිර ශිෂ්ට සමාජයෙන් එලියේය. බටහිර ලෝකයේ බොහෝ දෙමාපියන් සිය දරුවන්ට බයිබලය අඩුම තරමින් සාහිත්‍ය  කෘතියක් ලෙස හෝ කියවීමට නිර්දේශ කරති. විවාහයට පෙර ලිංගික සබදතා, සමලිංගික සබදතා, ගබ්සාව ආදී කරණා සම්බන්දයෙන් මෑතකදී සිදුවූ සාකච්ජාවකදී ප්‍රකට කතෝලික කාදිනල්වරයෙකු දැක්වුයේ "දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ තෝරා ගැනීමට ඇති නිදහසද සමග බවය" - එනම් 'තහනම් ගහක්ද' එහි ගෙඩි කෑමට හෝ නොකෑමට නිදහසද ඇතිව බවය. ඒඅනුව හොද නරක පෙන්වා දිය හැකිවුවද එය පුද්ගලයාගේ ස්වකීයමය කැමැත්ත මත ගන්නා තීරණයක් බව දක්වයි.  මේ අනුව පෙනීයන්නේ බටහිර ශිෂ්ටත්වය තුල ජීවත්වෙන වැසියන් පමණක් නොව එහි ආගමික නායකයන්ද සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නන් (Rationalist human) බවය.     

එහෙත් බටහිර ලෝකයේ සබුද්ධික මනුෂ්‍ය ජීවන තත්වය ((Rationalist humanism) ඉස්මතු කිරීම වෙනුවට බටහිර මනුෂ්‍ය ජීවිතය හෙලාදැකීමට අති ගරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කටයුතු කරන්නේ ඇයි ?

එවැනි සබුද්ධික මනුෂ්‍ය ජීවන තත්වයක් ((Rationalist humanism) ඉස්මතු කිරීම තුල කාදිනල්තුමා, රදගුරුවරු, පුජා ප්‍රසාදීන් පමණක් නොව බෞද්ධ භික්ෂුන්  ආදී  ආගමීක නායකයන් ලාංකීය සමාජය තුල උසුලන ප්‍රභූ තත්වයනට පහරවදින නිසා විය හැකි යැයි යන්නද එක් නිගමයකි. මා මිට කලින් දැක්වූ ලෙස ශ්‍රී ලංකාව වැනි රටවල ආගමීක නායකයන් සමාජය තුල එක්තරා ආකාරය ප්‍රභූන් පිරිසක්වනවා පමණක් නොව දේශපාලන බලය සම්බන්දයෙන් කේවල් කරන්නන්ද වේ. අනෙක් අතට දෙමාපියන්, ගුරුවරුන්, දේශපාලකයන්, නිලධාරින් ආදිය පවා සුවිශේෂී පිළිගැනීමක් බලාපොරොත්තුවන ධුරාවලියක් සේ ගොඩනගා ඇති සමාජය ක්‍රමයක් තුල ආගමික නායකයන්ද එවැනි අස්ථානයක් ඉසිලීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම, ආගමික ඉගැන්වීම කෙසේවුද, පුදුමයකට කරුණක් නොවේ.   

එහෙත් බටහිරින් පැමිණි, තවමත් බටහිරින් (රෝමයෙන්) මෙහෙයවන කතෝලික පල්ලියද ලංකාව තුල එම ගොඩටම වැටෙන්නේ ඇයි?

මට නම් පෙනී යනුවේ එය ක්‍රිස්තියානි ආගම දේශීය තත්වයන්ට ගලපාගැනීමට, නැතහොත් දේශීයකරණය කරගැනීමට ශ්‍රී ලංකා කතෝලික සභාව දරණ ලද සහ තවමත් දරමින් සිටින උත්සහයේ  ප්‍රතිපලයක් බවය. ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකා කතෝලික සභාව දේශීය කරණය කිරීමට ප්‍රථමයෙන්ම ක්‍රියාමාර්ග ගත්තේ ලංකාවේ ප්‍රථම කාදිනල්වරයාවූ තෝමස් කුරේ කාදිනල්තුමාය. ඒ ඔහු පවා කමිටු සමාජිකත්වය දරූ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ (1962-65) තීන්දු තීරණ නිකුත්වීමටත් පෙර, එනම් 1944 දී, කොළඹ අගරදගුරු පදවියේ සිටි අවසාන විදේශීය අගරදගුරුවරයාවූ ප්‍රංශ ජාතික Jean-Marie Masson, O.M.I. (1944-1947) අගදරගුරුවරයා ඉවත්ව ගොස් මීගමුව පෙරියමුල්ලෙන් බිහිවූ  බෙන්ජමින් තෝමස් කුරේ රදගුරුවරයා කොළඹ   අගරදගුරුවරයා ලෙස පත්වීමෙන් අනතුරුවය.

එහෙත් තෝමස් කුරේ අගරදගුරුවරයා ශ්‍රී ලංකා කතෝලික සභාව දේශීයකරණය වියයුත්තේ කුමන ආකාරයකටද? එහි සීමා මායිම් මොනවාද? යන්න ගැන පැහැදිලි දැක්මක් සහ අවබෝධයක් ඇතිව සිටියහ. එයට එක් උදාහරණයක් වනුවේ 1962 දී එවකට කොළඹ කතෝලික පාඨශාලා සාමාන්‍ය අධිකාරිවරයාවූ D. J. ඇන්තනී පියතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ රැස්වීමකදී 'තමන් අන් සියළුම සිංහලයන්ට නොදෙවෙනි සිංහලයෙකු බවත්, තමන්ගේ ලේවල දුවන්නේ ආර්ය සිංහල ලේ' යැයි දැක්වූ ප්‍රකාශනයක් සම්බන්දයෙන් අවවාද කල බවත්, එවැනි වාගලංකාරයන් (rhetoric) අනවශ්‍ය අවධානයන් සහ විකෘති අදහස් නිර්මාණය කරණබවත් දක්වා තිබුණි. එමෙන්ම කාදිනල් කුරේ හිමියන් දරුණු ලෙස රෝගාතුරුව ස්විස්ටර්ලන්තයේ සිරිකුරුස නිකායේ ශා. රැපියල් රෝහලේ රෝහල්ගතව සිටි සමයේ එතුමා ලගින්ම සිටි  යාපනයේ එවකට රදගුරුවරයාවූ  එම්ලියානුස් පිල්ලේ පියතුමන්ට වරක් පවසා ඇත්තේ "අප සිංහල හෝ දෙමළ වන්නේ භාෂාව නිසාද, නැතහොත් සංස්කෘතිය නිසාද යන්න දේවධර්මයට අදාල නැති බවත්, සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන්'' බව තරුණයන්ට පසක්කර දෙන ලෙසත්ය.

එවැනි ආකාරයේ විචක්ෂණ ලෙස මතවාදීමය  සහ ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව සිය සීමාවන් සටහන් කරගැනීමට සහ සිය මුලෝපායන් සකස්කරගැනීමට කෙතෙක් දුරට සමත්වී ඇත්ද යන්න  දේශීය සහ බටහිර යන්න නීර්ණය කරගැනීමේදී මැල්කම් රන්ජිත් කාදිනල්තුමා සිදුකරන ප්‍රකාශනයන් ඇසුරින් දැන් දැන් නිතර මතුවෙන ගැටළුවකි.

සිංහලයන් යනු සිංහල-බෞද්ධයන් යැයි යන්න වඩ වඩාත් තවුරුකිරීමට දැඩි වෙරක් දරණ ප්‍රවණතා මතුවී ඇති මේ යුගයේ  සිංහල-කතෝලිකයන්ද සිංහලයන්ය යන්න තවුරුකිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට උවමනාවක් පවතින්නේද? සිංහලයන් යනු සිංහල-බෞද්ධයන් පමණක්ය යන්න මතුකරන්නන් සිංහල-කතෝලිකයන් නියම සිංහලයන් ලෙස පිළිගනීද? යන්න ආදිය අපි නොදනිමු. එහෙත් කතෝලිකයන් විවිධ භාෂා කථා කලද විවිධ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් යුක්තවුවද ඔවුන්ගේ මූලික ආගමික-සංස්කෘතික අනන්‍යතාවය බටහිර ලෝකයෙන් උරුම කරගත්තක්ය යන්න කිසිසේත්ම මුලින් උපුටා දැමිය හැකි යැයි මම නම් නොසිතමි - විශේෂයෙන්ම  රෝමයෙන් මෙහෙයවන රෝමානු කතෝලික සභාවකට එය කිසිසේත්ම කල නොහැක්කකි. එහින් කාදිනල්තුමාගේ බටහිර සමාජ පිළිබද විවේචනයන් ''කිරි නිසා විසිකිරීම්ටත් බැරි උණු නිසා බීමටත් බැරි'' තත්වයක් නිරූපණය කරයි.

කෙසේවුද, කදිනල්තුමාව විවේචනය කිරීම සදහා මංගල සමරවීරගේ කරේ නැගීමට හෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශපාලන වාසියක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂලාගේ සහ නිමල් ලාන්සලාගේ තක්කඩි වැඩ වලට හෝ සහය දීමට නොයා යුතුය. මන්ද ඔවුන් නිරූපණය කරන ලුම්පන්, අවස්ථාවාදී, තක්කඩි දේශපාලනයෙන් අප හෝ රටට වැඩක් නැත.

අප පෙනී සිටිය යුත්තේ හුදෙක් දේශපාලකයන්ගේ හෝ ආගමික නායකයන්ගේ  ප්‍රසාදයන්, අභිලාෂයන්, ආශිර්වාදයන් පදනම් කරගත් නියාලු සමාජයක් වෙනුවට බටහිර මනුෂ්‍යයා මෙන් අනුබුද්ධිය, තර්කඥානය, කැමැත්ත, යුක්ති සහගත බව සහ පරිමේය මුල්කරගත් සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් (Rationalist humanism) වෙනුවෙනි.  'මානව හිමිකම්' ආරක්ෂාකරගත යුත්තේ එවැනි මනුෂ්‍යයන්ට ජීවත්විය හැකි සමාජ අවකාශයක් වෙනුවෙනි.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
28/09/2018

Thursday 9 August 2018

'සර්' - සංශයාර්ථ, සහාර්ථ සහ සීමාර්ථ

'සර්' යන්න තත්කාලීන සිංහලෙහි යෙදෙන අසිංහල පදයකි. සංශයාර්ථ, සහාර්ථ සහ සීමාර්ථ යනු සිංහල භාෂාවේ යෙදෙන අව්‍යය පද විශේෂයකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ e-තක්සලාවට අනුව නිපාත සහ උපසර්ග වලින් සමන්විත අව්‍යය පද අතර සහාර්ථයෙහි නිපාත යනු පද සම්බන්ධ කිරීම සදහා යෙදෙන නිපාතයකි.  සංශයාර්ථ යනු  සැක සහිත බව ප්‍රකාශ කිරීමෙහිලා යෙදෙන නිපාතයකි.  සීමාව හැඟවීමේ දී යෙදෙන නිපාත සීමාර්ථයෙහි නිපාතය ය. 'සර්' යන්න නිපාතයක්වත් සිංහල පදයක් හෝ යෙදුමක්වත් නොවේ. එහෙත් 'සර්' යනු සිංහල මහැදුරන් පවා අති මහත් ප්‍රීතියකින් ඉපිල යන අසිංහල ගෞරවාර්ථ හැගවුමකි. එහින් ඒ මහා ඇදුරෝ 'සර්' යන්න ප්‍රශ්න නොකරති. ඔවුහු යටත්විජිතවාදය ගැන ශාස්ත්‍රීය අධ්‍යනයන්ගෙන් සහ අවබෝධයකින් පසුවන්නන්වුවද 'සර්' යන්න ප්‍රශ්න කිරීම වෙනුවට  උජාරුවෙන් බාරගනිති. එයින් වින්දයක් ලබති. තමන්ට හෝ තම පරම්පරාවේ වෙනකෙකුට අත්කර නොහැකිවූ අපූර්වත්වයක්, තත්වයක් සහ අභිමානයක් 'සර්' යන්න තුල තමන්ට උරුමවී ඇතැයි ඔවුහු සිතති. වසර ගණනාවක සිය අධ්‍යයන පරිශ්‍රමයන්ගේ සහ වෘත්තීය නිපුනත්වයේ මහගු පලය 'සර්' යන්න තුල ගැබ්ව තමන් වෙත සම්ප්‍රාප්තව ඇතැයි ඔවුහු උපකල්පනය කරති. 'සර්' යනුවෙන් කවුරුන් හෝ ඔවුන්ව අමතන සෑම වාරයකම ඔවුන් පොත්පත්වල කියවූ, චිත්‍රපටි සහ ටෙලිනාට්‍යවලින් දක්නා ලද යටත්විජිත 'මාස්ටර් සර්' ව තමා තුලින්ද අනෙකුන් දැක ඇතැයි ඔවුන් සිතති. 

ඔවුන් පමණක් නොව, තම මාතෘ භූමියේ උදාර ශිෂ්ටාචාරය, සභ්‍යත්වය, ජාතිය සහ ජාතිකත්වය විනාෂ කලායැයි සුද්දාට උදේ හවස දෙස්දෙවොල් දෙන ජාතිමාපක, දේශමාපක ඇත්තන් පවා කවුරුන් හෝ තම තමන්ට 'සර්' කියනවාට විරුද්ධ නැත. 'සර්' යැයි යනුවෙන් තමන් අමතන්නෝ අධිරාජ්‍යය ගැත්තෝ හෝ කළු සුද්දෝ යැයි පෙරළා විචාරන්නේ නැත එහිලා මම 'සර්' වී ඔබ 'සර්' නොවෙන්නේ කෙසේදැයි පෙරළා  තපුල්ලන්නේ නැත. ඒ වෙනුවට ඔවුහුද 'සර්' යන්න මැදිහත් සිතින් බාරගනී. 

වෙනෙකක් තබා සමාජ දේශපාලන සාධාරණත්වය වෙනුවෙන් සිය තරුණකාලයම කැපකල වාම සමාජ දේශපාලන ක්‍රියාකාරීන් විසින් පසුකාලීනව ගොඩනගාගත් මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධානවල සේවයකරන සෙසු සහෝදර ක්‍රියාකාරීන්ට තම තමන්ව  'සර්' ලා ලෙස ආමන්ත්‍රණය කරන ලෙසත්, සෙස්සන්ටද ඔවුන්ව එසේ හදුන්වාදෙන ලෙසත් සිය ආයතනවල නිර්දේශකර තිබේ. සිය සහෝදර ක්‍රියාකාරීන් ඔවුන්ට  'සර්' යැයි කියා ආමන්ත්‍රණය කරන සෑම විටම ඔවුහු සාර්ව (tsar) පරදවා විප්ලවය සිදුකලා බදු විප්ලවීය ජීවගුණයකින් ඉපිලීයති. එසේම සිය දුක් අදෝනා, කෙළවරක් නැති කරදර කම්කටොලු තමන් වෙත රැගෙන එන  පීඩිතයන්ද ඔවුන්ට 'සර්' ලෙස අමතන කල්හි  ඔවුහු එයට විරුද්ධ නොවෙති. ඒවෙනුවට ඔවුන් එම ජනයා කෙරෙහි දායා අනුකම්පාවෙන් සිය හදවත් තෙත්කර ගනිති. සිදුව ඇත්තේ පීඩිතයන් ඉදිරියෙහි තමා 'මාස්ටර් සර්'  බවට පත්වීම බව ඔවුන් තේරුම් නොගනිති. තේරුම්කර දුන්නද 'එහෙම 'හයරාකි' (hierarchy) එකක් නැතිව මෙහෙ වැඩකරන්න බැහැ බන්' යැයි කියයි. 

කථාව ඇත්තවිය හැක. එහිම ඉදිමින් එදිනෙදා ජීවිතයේ විවිධ හැලහැප්පීම් සමග ගැටෙමින් අද ද සමාජ දේශපාලන වෙනසක් වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මකවෙන ඔවුන්ට අපි එංගලන්තයේ සිට පැමිණ කියන දෑ ප්‍රායෝගික නොවන හෝ අදාල නොවන දෑය.

සුද්දා ලංකාව ඇතුළු යටත්විජිත පාලනය කරන සමයේදී ලංකාවේ මෙන්ම එංගලන්තයේද 'සර්' ලා ඒමට සිට ඇත. ඒ අද මෙන් බඩුවක් මුට්ටුවක් ගන්නට සුපර්මාර්කට් එකකට හෝ, කෑමක් බීමක් කන්නට රෙස්ටුරෙන්ට් එකකට හෝ ආයතන මට්ටමින් සේවයක් අපේක්ෂාවෙන් යම් ආයතනයකට ගිය කල්හි ඕනෑම කෙනෙකුව පිළිගැනීම සදහා භාවිතා කරන 'සර්' යන්න නොව රජුගෙන්/රැජිනගෙන් නම්බුනාම පට්ටම් ලැබු 'සර්' ලාය. 12 වන සියවසේදී Knightවරුන් හැදින්වූ Sir යන්න 16 වෙනි සියවසේදී පාසැල් මට්ටමේ ගුරුවරු සදහාද 19වන සියවසේදී රජගෙන්/රැජිනගෙන් ලැබෙන නම්බුනාමයක් ලෙසද භාවිතාවිය.  අද ද එවන්නන් ඇතිමුත් එදිනෙදා ජීවිතයේදී තවදුරටත් 'සර්' ලා යන්න විශේෂ හැදින්වීමක් ලෙස නොසලකයි. 'සර්' (sir) යන්න විශේෂ ගෞරවාර්ථ හැදින්වීමක් ලෙස සලකනුයේ එය ලෝඩ් (Lord) යන්න සමග භාවිතාකලවිට පමණි. නැතිනම් සර්, මිස්, මැඩම් යන්න ව්‍යාපාරිකයින් පාරිභෝගිකයන් හැදින්වීම සදහා පමණක් නොව පොලිසිය, හමුදාව සහ වෙනත් ආයතනවල වල සේවයේ නියුක්ත අයද, දේශපාලකයින් සහ   නඩුකාරයන්ද මහජනයාගෙන්  කවරෙකු හෝ ආමන්ත්‍රණය කිරීමට භාවිතා කරන පොදු ගෞරවාර්ථ පදයක් පමණි. 

එහෙත් sir යන්න දැන් යල්පැනගිය, හුදු, ව්‍යාජ, ප්‍රෝඩාකාරී ගෞරවාර්ථයක් බව  මහජනයා දනී. විශේෂයෙන් Monty Python සහ Only fools and Horses වැනි ඉතා ජනප්‍රිය විකට චිත්‍රපට සහ නාට්‍ය මාලාවලින් පසු එංගලන්තයේ සර් වැනි ගෞරවාර්ථ පදවල සාරයක් නොමැති බව මහජනයා අතර මුල්බැසගෙන ඇති පොදු පිළිගැනීමකි. ඒ වෙනුවට ඔවුහු තම තමන්ව සිය නමින්ම හැදින්වීම ප්‍රිය කරති. එහි හුදු ප්‍රෝඩාකාරී හැගවුම් නොමැති බව ඔවුන් හොදින් දනිති. එමෙන්ම පොලිස් නිලධාරියෙක් හෝ වෙනත් නිලධාරියෙක්ව හැදින්වීම සදහා ගෞරවාර්ථයක් ලෙස officer යන්න යොදාගනී. උසාවියක් තුල නඩුකාරයාව හැදින්වීමට my lord යන්න භාවිතාකලද එළියේදී ඔවුන්ව හදුන්වන්නේ නඩුකාරයා (Judge) ලෙස පමණි. තනතුරු දරන බොහෝ දෙනෙකු තනතුරේ නමින්ම හදුන්වති. මෙහි පාසැල්වල පවා දැන් සර්ලා, මිස්ලා, මැඩම්ලා නැත. ගුරුවරු ගුරුවරින් හදුන්වන්නේ ඔවුන්ගේ නම්වල වාසගමේ මුලට Mr. / Mrs / Miss යන යෙදුම සමගිනි. කුඩා කල සිටම දරුවන් සිය ගුරුවර ගුරුවරියන් Mr / Mrs / Miss යන්න සමග යෙදෙන වාසගම සමග ඇමතීමට පුරුදුපුහුණුවේ. 

'සර්' ලා බිහිවූ සුද්දාගේ රටේ තත්වය එසේවුවද අපේ රටවල තත්වය එසේ නොවේ. අපේ රටේ දරුවන් international ස්කෝලෙකට ගියද එහි ගුරුවරු ගුරුවරින්ව Mr / Mrs / Miss යන්න සමග ඔවුන්ගේ වාසමින් ඇමතීමට ඉඩක් නැත. තත්වය වඩා දරුනුවෙන්නේ ජාතිය, ආගම මුල් කරගත් පාසල්වලය. එහි සර්ලා, මිස්ලා පමණක් නොව මැඩම්ලාද එමටය. ගුරුතුමා, ගුරුතුමී, ගුරු භවතුන් ආදීන් ඇත්තේ පාසැල් පෙළපොතේ පමණි.  ගුරු වෘත්තියේ පමණක් නොව වෙනත් බොහෝ වෘත්තීන්ගේ ගරුත්වය රැදී ඇත්තේ  සර්, මිස් මැඩම් ආදී කෑලි තුලය. එකී කෑලී නැතිව ආමන්ත්‍රණය කර ඔවුන්ගේ සුදුසුකම් උරගා  බැලිය හැක. 

මේ සියල්ල ගැන කථාකිරීමට සිදුවුයේ මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට 'සර්' කියන්න යැයි කියන දැන්වීමක් ගැන කථාවක් සමාජ මාධ්‍යවල සාකච්ඡාවට ලක්වූ නිසාය. එහෙත් එය බුකියේ තවත් එක් මාතෘකාවක් පමණක්විය. මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට අන් අයලවා 'සර්' කියවා ගන්නට ඇති උවමනාව කුමක්ද? සුද්දාගේ පාලනය පමණක් නොව සුද්දා හැදු පාරවල්වල නාම පුවරු පවා ගලවා විසිකල ලංකාව ඉන්දියාව වැනි රටවල තවදුරත් සර් යන්න ඉතුරුවී ඇත්තේ ඇයි?   'සර්'  යන්න තුල හගවන්නේ කුමක්ද?  එයින් ප්‍රකාශවන දෑ කුමක්ද? ඉන් ලබන ආත්ම තෘප්තිය කවරාකාරද? කොටින්ම සර් යන්න තවදුරත් හුදු ගෞරවාර්ථ පදයක් පමණද? නැතහොත් ඉන් එහා ගිය අර්ථ සන්නායකයක්ද?  යන්න පිලිබදවවූ සාකච්ඡාවක් බවට සර් කතිකාව දිගු කිරීමට සමාජ මාධ්‍යවල වැඩවාසය කරන සර්ලා  උන්නදු නොවන ලදී.  

සර් කතාව හුදෙක් මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පමණක් ඉලක්ක කරගත්  හුදු විරෝධාකල්ප ප්‍රකාශණයන්ට පමණක් සීමාවූ තවත් facebook සබන් බෝලයක් පමණක් විය. එහෙත් ඇත්තවශයෙන්ම මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  පමණක් නොවන වෙනත් සියලු දේශපාලකයන්ද, නිලධාරින් සහ කිසියම්ම හෝ තනතුරක් දරන්නන්ද ඔවුන්ට සර් හෝ මැඩම් ලෙස ආමන්ත්‍රණය කිරීමට ඉල්ලා සිටින බවක් හෝ එසේ කීම අපේක්ෂා කරන බවක් සමාජයට රහසක් නොවේ.  සර් හෝ මැඩම් කීමෙන් තොරව ඔවුන්ගෙන් කිසියම්ම හෝ රාජකාරියක් ඉටුකරගත නොහැකි බවද සමාජය දනී. එහෙත් ප්‍රශ්නය වන්නේ එසේ දන්නා සමාජයක් මහරගම සභාපතිවරයා තමාට සර් කියන්න යැයි කීම  පමණක් ප්‍රශ්න කරන්නේ ඇයි යන්නය. 

එය එක්තරා ආකාරයකින් මහරගම සභාපතිවරයා ඇතුළු මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන දේශපාලන ප්‍රවාහය තුල ඉදිරියට පැමිණ ඇත්තේ මෙවැනි පුද්ගලයන්ය, රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවේ දේශපාලනය නායකත්වය දෙන්නේ මෙවැනි පුද්ගලයන්ට යැයි යන අදහසක් පමණක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මකවිය. 

අනෙක් අතට යම් අධ්‍යාපනයක් ඇති හෝ නැති, යම් සමාජ පදනමක් ඇති හෝ නැති, එහෙත් මෙතෙක් ලාංකීය සමාජ-දේශපාලන අවකාශය තුල, යම් ඉඩක් නොලද, යම් ආකාරයක ආන්තික කරණයකට ලක්වූ සමාජ කොටස් විසින් ගොඩනගා ගන්නා සමාජ දේශපාලන සංකේත වටිනාකම් හෙලා දැකීම ඉලක්කකර ගත් වෙනත් ආකාරය 'සර්ලා' සහ 'සර්ලා නොවන වෙනත් සර්ලා' අතර ඇතිවන ප්‍රභූ - නිර්ප්‍රභූ ගැටුමක්ද යන්නද සලකා බැලිය යුතුය. මේ තත්වය, තමාට වඩා අනෙකා උසස්වන්නේ කෙසේද? තමා අනෙකාට වඩා උසස් වෙන්නේ කෙසේද? යන්න ගැන දගදරණ අභ්‍යන්තරයෙන්ම කුණුවූ සමාජයක නිතැතින්ම මතුවෙන තත්වයකි. එවැනි සමාජයක සමාජ දේශපාලන ප්‍රවාහය ප්‍රවර්ධනය කරනුයේද, නියෝජනය කරනුයේද, මෙකී ගැටුමේ පංගුකරයන්නය.  අවාසනාවකට, කිසිදු බලයක් නොමැති පීඩිතයන්  ප්‍රභූන්ට මෙන්ම නිර්ප්‍රභූ සර්ලාට බාල්දුවෙමින් සිටී.  

සමාජයේ විවිධ තීරුවලින් පැමිණ කිසියම් අධ්‍යාපනයක් සහ ප්‍රාගුණ්‍යයක් ඇතිව හෝ නැතිව,  යම් ආකාරයක සමාජ, දේශපාලන නායකත්වයන් සහ තනතුරු හිමි කරගන්නා මෙකී ප්‍රභූ-නිර්ප්‍රභූ  සර්ලා සමාජයේ අනෙකා මත සිය ආධිපත්‍ය පිහිටවීමට උපයෝගී කරගන්නේ සිය තනතුර බව සියල්ලෝම දනී. එහෙත් එකී තනතුරුවල අදාලත්වය ඇත්තේ ඔවුන් අදාල ආයතන පරිශ්‍රයන්ට අදාලව පමණක් බවත්, අදාල ආයතන පරිශ්‍රයෙන් හෝ නිල ඇදුමෙන් නොසිටින සෑමවිටම ඔවුන් සමාජයේ තවත් පුද්ගයෙක් පමණක් බවත් අපි තේරුම් නොගන්නේ ඇයි? එසේ වීනම් අදාල ආයතනයෙන් පිට, අදාල නිල ඇදුමෙන් පිට සර්ලාට පැවැත්මක් නැත. මුලික වශයෙන් අවබෝධකරගත යුත්තේ සර් යන්නෙහි බලය ඇත්තේ අදාල සර් ලා අදාල ආයතනය තුල සිටින කාලය තුල හෝ  නිල ඇදුමක් ඇද සිටින මොහොතේ පමණි. ඉන් පිටත ඔවුන් නිකම්ම නිකන් පුද්ගලයන් පමණි. අපේ සමාජය ශක්තිමත්ව ඒබව අවබෝධ කරගන්නේ කුමන මොහොතකද, ඒ වෙනුවෙන් එක්සත් ක්‍රියාමාර්ගයක් ගැනීමට රොක්වෙන්නේ කුමන මොහොතකද, සර් ලාට ඉන් එහාට ආධිපත්‍ය පැතිරවිය නොහැක. 

එහෙත්, 'සර්' යන්නෙහි ඇති සංකේතීය බලය  එයින් අහෝසි නොවේ.

'සර්' යන්නෙහි ඇති බලය, ව්‍යුහය සහ ආධිපත්‍ය අහෝසි කිරීමට නම් 'සර්' යන්න සිංහල භාෂාවට අන්තර්ග්‍රහණය කල යුතුය. 'සර්'  යන්නෙහි  බලය ඇත්තේ එය සිංහල භාෂාවට, එහි ව්‍යාකරණ රීතිවලට පිටින් විගලිත්ව, ආගන්තුකව සහ එහෙත් වෙනත් භාෂා සන්ධර්භයක් තුල බලය මවා පාමින් පවතින තාක්කල් පමණි. සර් යන්න සිංහල භාෂාවට සහ එහි ව්‍යාකරණ රීති යටතට අදාල වෙන්නේ කවදාද ඉන් පිටත සර් යන්නට බලයක් හෝ පැවැත්මක් නොපවතිනු ඇත. එය ලොකු කථාවක් බව මා මෙන්ම දනී. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
09/08/2018

Thursday 2 August 2018

කලකට පසු මතුවන මීගමුවේ සුන්දරත්වය සංදර්ශන දේශපාලනයේ කොටසක්ද?

කරෝල මුදලාලිලා කිහිපදෙනෙකු විසින් මීගමුව කොටුව පිටිය අසල වෙරළ විනාශකිරීමට පෙර මීගමුවේ වෙරළ ශ්‍රී ලංකාවේ තිබූ අති සුන්දර වෙරළක් යැයි අපි නිතර නිතර පැවසුවෙමු. රටේ මිනිසුන් 'කාන්සියට ගිය' මීගමුවේ මෙම වෙරළ ගැන කවි සින්දු පවා ලියවිණි. බ්‍රිතාන්‍යයේ එලෙසබෙත් මහරැජිනද, 6වෙනි ජෝර්ජ් රජ කුමාරවියේදීද (අද ද වෙරළ අසල පාර හඳුන්වන්නේ King George Drive නමිනි), ලංකාවට නිදහස රැගෙන පැමිණි ග්ලොස්ටර් ආදිපාදයාද, ඉන්දියානු නිදහස් සටනේ වීරයාවූ මහත්මා ගාන්ධිද, ප්‍රථමයෙන් මීගමුවෙන් තේරීපත්ව පසුව ලංකාවේ ප්‍රථම අගමැතිවරයා බවට පත්වූ D.S සේනානයක මහතාද, ලෝ සුපතල මහා ප්‍රාඥයෙකුවූ ඇල්බට් අයින්ස්ටයින් වැනි රාජ රාජ මහා මන්ත්‍රීන්, දෙස් විදෙස් ප්‍රභූන්, මහා විද්වතුන් සහ කලාකරුවන්ද පැමිණියේ මීගමුවේ මේම සුප්‍රකට වෙරළටය. ජාත්‍යන්තර සංචාරක සගරාවල මීගමුවේ මෙම වෙරළ දැක්වුයේ 'Negombo's world-famed glamorous beach' යනුවෙනි. මේ සම්බන්දයෙන් සියලු විස්තර මා මීට ටික කලකට පෙර ලියූ අනූවිය සපුරන එලිසබෙත් රැජිනගේ මීගමූ සංචාරය සහ මීගමු වෙරළ පිළිබද ගැටළුව යන ලිපිය ඔස්සේ මෙන්ම ඇල්බට් අයින්ස්ටයින්ගේ මීගමු සංචාරය සහ අයවැයෙන් මීගමුවට මුදල් වෙන්කිරීම යන ලිපිය ඔස්සේ කියවිය හැක. 

මෙකී මීගමුව වෙරළ පැවතියේ කෙසේද යන්න ගැන කිසිදු වගක්බවක් නොමැතිවෙන තරමටම මීගමුවේ දේශපාලන අනුග්‍රහය ලැබූ කරවල මුදලාලිලා කිහිපදෙනෙකු විසින් මෙම වෙරළ විනාශ කර දමන ලදී. එහෙත් පසුගියදා මීගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතාගේ facebook පිටුවේ පලවෙන 'දවසකට එක වැඩක්' නම් ප්‍රචාරක ව්‍යාපෘතියේ කාර්යක් ලෙස සිදුකල මෙම වෙරළේ පිරිසිදු කිරීමේ කාර්ය නිසා මීගමුවේ ජනයාගේ මතකයෙන් පවා ගිලිහී ගිය මීගමුවේ අති සුන්දර මෙම වෙරළ තීරයේ චමත්කාරය මතුකරගැනීමට යම් අවස්ථාවක් සැලසුනි. ඉහතින් සහ පහතින් දැක්වෙනුවේ කරෝල මුදලාලිලා කුණු ගොඩක් කල, අන්අයද ඊට අඩුවක් නැතිව කුණු එකතුකල එම වෙරළ නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිරිසිදුකල පසු දැකිය හැකිවූ අයුරුය. 

මේය වූ කලී හුදෙක් සිය ප්‍රචාරක අරමුණු වෙනුවෙන් සිදුකල තවත් එක් කාර්යයක් පමණක් විය හැක. එහෙත් ඉන් අපේ නගරයවන මීගමුවට අබමල් රේණුවක හෝ ප්‍රයෝජනයක් අත්වේ නම් අපි එයට එක සිතින් සහයෝගය දෙන්නෙමු. මීගමුව නැවත යථා තත්වයට පත්කර මීගමුවට හිමිව තිබු සුන්දරත්වය නැවත මතුකරදීමට දයාන් ලාන්සා නගරාධිපතිවරයාට හෝ හැකිනම් එය අති විශිෂ්ඨ සේවයක් බව කියන්නට අපි පසුබට නොවන්නෙමු. ඒමෙන්ම මීගමුවේ අනන්‍යතාවයේ සලකුණක් වන මේ වෙරළ අසලම පිහිටී මීගමුව පෘතුගීසි-ලන්දේසි කොටුව අවටත්, දැන් භාවිතයට නොගන්නා වල් වැදී ඇති පැරණි අධිකරණ රථගාල ඉවත්කර, ආකර්ශනීය වටපිටාවක් සහිත පෙදෙසක් බවට පත්කල හැකිනම් එයම ඔහු මීගමුව නැවත ගොඩ නැගූ නගරාධිපතිවරයා ලෙසට නම් කිරීමට ප්‍රමාණවත් බව අපි පැහැදිලිවම කියන්නෙමු. එහෙත් එය සිදුවිය හැක්කේ ඔහු සිය කාර්යන් හුදෙක් මාධ්‍ය සංදර්ශ සහ ප්‍රචාරක අරමුණුවලට පමණක් සීමා නොකර අවංකවම මීගමුවේ ප්‍රගතිශීලී වෙනසකට කැපවීම තුලය. 
එහිලා ඇති හැකියාව ප්‍රදර්ශනය කරමින් මීගමුව නගර මධ්‍යයේ පිහිටි ග්‍රීන් පාර්ක් පිටියේ අනඅවසර කඩකරුවන් ඉවත්කිරීමට පුරපති දයාන් ලාන්සා මහතා  පසුගිදා කටයුතු කළේය. එය අපි කාලයක් තිස්සේ මතුකළ කරුණකි. මෙම ග්‍රීන්පාර්ක් පිටිය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා නිවාස සහ නාගරික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කල සමයේ මීගමුව නගරයේ සංස්කෘතික සහ දේශපාලන ක්‍රියාකාරම් සදහා එළිමහන් පිටියක් ලෙස භාවිතාකිරීමට වෙන්කර දුන්නකි. එහෙත් පසුගිය සමයේදී මීගමුව ග්‍රීන් පාර්ක් පිටිය කෑලි කෑලිවට කඩා පෙට්ටිකඩ පිටියක් බවට පත්කර මීගමුව නගරයට ඇතුල්වන එක් ප්‍රවේශයක් තමිල්නාඩුවේ නගර කොනක් වැනි තැනක් බවට පත්ව තිබුනි. එයට ඔවුන්ද වගකිව යුතුව තිබුණි. කෙසේවෙතත්, නැවතත් මෙම පිටියේ අනවසර කඩකරුවන් ඉවත්කර නත්තලට නත්තල් ගසක් තැනිය හැකි, වෙසක්වලට විශාල කූඩුවක් තැනිය හැකි, 'මාවතේ අපි' වැනි කළාකරුවන්ට, මැජික්කරුවන්ට, වීදී සංදර්ශකයින්ට සංදර්ශන පෙන්විය හැකි, නගරයට පැමිණෙන ජනයාට වාඩිවී ගිමන් හැරිය හැකි, බංකු සහිත, අලංකාරවත් එලිමහන් පිටියක් (පාර්ක්) බවට පත්කල හැකි නම් විශිෂ්ඨය. මෙවැනි කුඩා පිටියවල් කෙතරම් නම් ලස්සන කුඩා එළිමහන් උද්‍යාන බවට‍ පත්කරගත හැකිද යන්න ගැන යුරෝපීය රටවලින් ඕනෑ තරම් උදාහරණ සපයා ගත හැක. මෙම ග්‍රීන් පාර්ක් පිටිය නැවත මහජන උද්‍යානයක් බවට පත්කිරීමට උදාර සහ ඍජු තීරණයක් ගැනීම ගැන අපි  ඉතා ඉහලින් අගය කරන බව දක්වන්නෙමු. එය මීගමුව නගර මාධ්‍යයේ ඇති ඉහත ආකාර අලංකාර උද්‍යානයක් බවට පත්වෙන තුරු අපි නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු. 

මීගමුව ග්‍රීන් පාර්ක් පිටිය කෙතරම් අලංකාරයෙන් බබළන්නේද, මීගමුව නගරය කෙතරම් සුන්දරත්වයෙන් බබළන්නේද, ඒ තරමටම  නගරාධිපති දයාන් ලාංසාගේ දේශපාලන ජීවිතයද බබලවන බව අපි නැවත නැවත දක්වනුයේ එමගින් මීගමුවට කිසියම්ම හෝ ප්‍රයෝජනයක් අත්වෙන නිසාය. 

දේශපාලන පක්ෂ වෙනුවෙන් නොව අරමුණු වෙනුවෙන් කැපවෙන අප කිසිවෙකුගේ කිසියම්ම හෝ සත් කාර්යක් අගය කිරීමට කිසිලෙසකින් නොපැකිලෙන්නේමු. එමෙන්ම බොරුවෙන්, ප්‍රෝඩාවෙන්, වංචාවෙන් සහ විජ්ජාවෙන් ජනයා මුලාකර තම මඩිය තරකර ගැනීමට වෙර දරන දේශපාලකයින් මෙන්ම ඔවුන්ගේ ජාවාරම්කාර මිතුරන්ද හෙළි කිරීමට  අපි කිසිවිටක නොපැකිලෙන්නෙමු.  
පසුගියදා මෙම වෙරළට පැමිණි චීන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සූර්යබල ව්‍යාපෘතියක් මගින් කරෝල වේලිය හැකිදැයි නිරීක්ෂණය කරන බව දැක්වෙන ජයාරූප කිහිපයක්ද මීගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතාගේ facebook පිටුවේ පලවිය. මහා පරිමාණ කරෝල වියලීම සදහා අවම පරිසර විනාශයක් සිදුකරන ව්‍යාපෘතීන් අපි සෑමවිටම නිර්මාණාත්මක පියවරවල් ලෙස දැක්වීමට පසුබට නොවන්නෙමු. එහෙත් කිසිදු වියදමක් නොදරමින් හිරු එළියෙන් කරෝල වේලමින්, අවට පරිසරය සහමුලින්ම විනාශකරමින්, සේවකයින්ට ප්‍රමාණවත් වැටුපක්වත්, නගරසභාවට හරි හමන් බද්දක්වත් නොගෙවන, අවම සනීපාරක්ෂක සහ පාරිසරික සංරක්ෂණ නීති රේගුලාසිවත් පිලිනොපදිමින් සිය මඩිය තරකරගැනීමට කටයුතු කරන එම කරෝල මුදලාලිලා සූර්යබල ව්‍යාපෘතියක් මගින් කැරෝල වියලීමට මුදල් වියදම් කරයිද? සිය ව්‍යාපාරය චීන සමාගමකට විකුණා දමයිද?  එමගින් හෝ මීගමුවේ මේ සුන්දර වෙරළ තීරය රැකගත හැකිවේද? 

මේ සම්බදන්දයෙන් ප්‍රධාන වශයෙන් හඩ නැගිය යුත්තේ මීගමුව මහනගර සභාවේ විරුද්ධ පක්ෂයවන රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්ය. එහෙත් ඔවුන් නිහඩය. මීගමුවේ ඇති තත්වය කථා කිරීමට මැතිවරණයක් පැමිණෙන තුරම ඔවුන් කල්මරමින් සිටින්නේද? මීගමුවට නිසි පලක් ප්‍රයෝජනයක් අත්වීමට නම් ජව සම්පන්න විපක්ෂයක් ද මීගමුවට අවශ්‍යය. ඒ අවශ්‍යතාවය ඉටුකිරීමට රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අපොහොසත්ද?


ඉතිහාසයේ කුණු බක්කියට විසිවීමට ගිය මීගමුව කොටුව පිලිබදව අප නිරත්තරයෙන් හඩ නැගු බව සියල්ලෝම දනී. ඒ පිලිබදව අදාල ආයතන දැනුවත් කරමින් ලිපි 232ක් අපි ලියුවෙමු. මිතුරන් දැනුවත් කරමින් ජාතික මාධ්‍ය ඔස්සේද මීගමුව කොටුව ගැන ලිපිලේඛන, වාර්තා සහ වැඩසටහන් පලකිරීමට කටයුතු කළේය. ඒහෙත් සියල්ලෝම නෑසූ කන් ඇතිව සිටියහ. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා යටතට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුළත්වූ විට අපේ හඩට කන් දෙමින් ඔහු මීගමුව කොටුව සංරක්ෂණය කිරීමට කටයුතු ආරම්භ කළේය. අද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඔහු යටතේ නැතිමුත් සංරක්ෂණ කටයුතු ඉබිගමනේ සිදුකරමින් යයි. එහෙත් අවාසනාවකට මීගමුවේ නගරසභාව, නගරාධිපති දයාන් ලන්සා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතාද, මීගමුව නගරසභාවේ ඒ.ජා.ප සහ ජ.වි. පෙ ඇතුලත් විපක්ෂයද මේ සම්බන්දයෙන් කිසිදු මැදහත්වීමක් නොකරයි. අපි ඔවුන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ දෙස් විදෙස් සංචාරකයින් දහස්ගණන් පැමිණෙන, මීගමුවට ඇති එකම පුරාවස්තුව රැකගෙන, මෙම ස්ථානය පවිත්‍රව පවත්වා ගෙන යෑමට මැදිහත්වෙන ලෙසත්, කොටුවේ ඉදිරිපස අහුරා ඉදිකර ඇති දැන් භාවිතයට නොගෙන වල්වැදී ඇති පැරණි අධිකරණ රථගාල ඉවත්කර මීගමුව කොටුව මහජනයාට පැහැදිලිව නැරබීය හැකි ස්ථානයක් බවට පත්කරන ලෙසත්ය.


එහෙත් මීගමුවේ හැම අස්සක් මුල්ලක්ම පිරිසිදු කර නගරය අලංකාර කරන බව පෙන්වන දයාන් ලන්සා නගරාධිපතිවරයා තවමත් මීගමුව කොටුව සම්බන්දයෙන් ක්‍රියාත්මක නොවීම පුදුමයට කරුණකි. එමෙන්ම ඔවුන්ගේ රජයක් යටතේවත් මීගමුව කොටුව සමබන්දයෙන් අවම යුතුකමක්වත් ඉටු කිරීමට මීගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා අසමත්ව ඇත. ඔහුගේන් කතාවක් මිස ක්‍රියාවක් බලාපොරොත්තුවීමට නොහැකි තරම්ය. මීගමුව කොටුව රැකගැනීමට, එය මතුපරපුරට උරුම කරදීමට වෙහෙස නොවන දේශපාලකයන්ගේන් මීගමුවට ඇති පලය කුමක්ද? ඔවුන් උත්සහ කරන්නේ කොටුවට අත්වූ තත්වයම තමන්ගේ දේශපාලන ඉදිරිගමනටත් අත්කරගනීමටද? තමන්ගේ දේශපාලන ඉදිරිගමන බබලවා ගැනීමට මීගමුව කොටුවත්, මීගමුවත් බබලවන්නට කටයුතු කරනු දැකීම මීගමුව වැසියන්ගේ බලාපොරොත්තුවය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
02/08/2018

Saturday 28 July 2018

ඔබ වෙනස නිර්මාණය නොකළහොත් වෙනස ඔබව නිර්මාණය කරාවී-ඉම්රාන් ඛාන්

1952දී පාකිස්ථානයේ ලාහෝර් නුවර උපත ලබා එංගලන්තයේ ද්වීතීය අධ්‍යාපනය (R.G.S. Worcester) සහ ඔස්ෆෝඩ් (Keble College-Oxford) විශ්වවිද්‍යාලයෙන් උපාධිධාරියෙක් බවට පත්වූ ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ වීරයා බවට පත්වනුවේ 1992 දී ඔහුගේ නායකත්වය යටතේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමට හැකිවූ  නිසාය.

ඒ වනවිටත් 40වන වියේ සිටි ඔහු වරක් පාකිස්ථාන කණ්ඩායමෙන් විශ්‍රාම ගොස් සිටි අයෙකුද විය. එහෙත් පාකිස්ථානයේ පසමිතුරු අනෙකාවූ ඉන්දියාව මෙන්ම ඔවුන්ටද ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමට අවශ්‍යවූ නිසා ඉම්රාන් ඛාන්ට නැවත පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට පැමිණ, එහි නායකත්වය ගෙන ජාතියේ බලාපොරොත්තු ඉටුකරන්නැයි එවකට පාකිස්ථාන ජනාධිපතිවරයාවූ සියා උල් හක් ඉල්ලා සිටියේය. ලාහෝරයේ ඔහුගේ නිවස අසල රැස්වූ ජනයාද මෙම ඉල්ලීම බාරගන්නා ලෙස ඉල්ලමින් ඉම්රාන් ඛාන්ගේ නිවස අසල පෙළපාලි ගියේය. ඉම්රාන් ඛාන් නැවත ක්‍රිකට් පිටියට පැමිණියා පමණක් නොව 1992 ලෝක ක්‍රිකට් කුසලානය පාකිස්ථානයට දිනාදීමටද කටයුතු කළේය. 

එලෙස පාකිස්ථාන බලාපොරොත්තු ඉටුකළ වීරයා බවට පත්වූ ඉම්රාන් ඛාන්, ක්‍රිකට් කණඩායමේ පමණක් නොව රටේ නායකයාවීමටද සුදුසුයැයි එකල කියවිනි. එහෙත් ඔහු යුදෙව් කාන්තාවක්වූ Jemima Goldsmith සමග විවාහවීමත් සමග ඉම්රාන් ඛාන් පාකිස්ථාන ජාතික නායකයා  වියයුතුය යැයි සිහින දුටු ජාතිකවාදීන්ගේ බලාපොරොත්තු සුන්විය. වීරයා නොබෝ කලකින්ම ද්‍රෝහියෙක් විය. මුස්ලිම්  ඉම්රාන් ඛාන් යුදෙව් ජාතික කාන්තාවක් විවාහ කරගැනීම  එරට මෙන්ම අපේ රටවල ජාතිකවාදීන්ද දැක්වුයේ බටහිර කුමන්ත්‍රණක් ලෙසය. එහෙත් ඊශ්‍රායලය සහ පලස්තීනය සාම ගිවිසුමකට එළබි ඒ සමයේහිම මුස්ලිම්  ඉම්රාන් ඛාන් යුදෙව් Jemima Goldsmith  විවාහකර ගැනීම සහජීවනය රජයන නව ලොවක් පිළිබද බලාපොරොත්තු දල්වන්නක් ලෙස දැක්වුවන්ද නොසිටියාද නොවේ.
එහෙත් ඉන් වසර නවයකට පසු ඔහු එම ''කුමන්ත්‍රණයෙන්'' ගැලවිනි. ඒ කාලයේම Pakistan Today පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශයක් කර ඇත්තේ 'වෙනස ඔබ සිදුකලේ නැතිනම්, ඔබ වෙනසකට නතුවෙවී' යනුවෙනි. එම ප්‍රකාශනයටම සමාන ප්‍රකාශනයක් ඔහු මෙවර සිය මැතිවරණය සදහාද යොදාගත්තේය. එනම් වෙනස ඔබ සිදුනොකළහොත්  වෙනස ඔබව නිර්මාණය කරවී යන්නය(if don't create the change, change will create you.) 

ඔහු දක්වන වෙනස යනු පාකිස්ථානය වෙලාගෙන ඇති දුෂණයෙන් එරට බේරාගත යුතුබවය. තවද කාශ්මීර ප්‍රශ්නය විසදාගැනීමට ඉන්දියාව සමග සම්මුතියකට පැමිණිය යුතු බවද ඔහු දක්වයි. පාකිස්ථානයට ත්‍රස්වාදය පැමිනෙන්නේ ඇෆ්ගනිස්තානයෙන් බවත් එරටේ ත්‍රස්‌තවාදය පිටුදැකීම පාකිස්ථානයේ ත්‍රස්‌තවාදය පිටුදැකීම හා සමාන බවත් දක්වයි. එහෙත් ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට එල්ලකරන ප්‍රහාරවලට ඔහු විරුද්ධය. පාකිස්ථානය ඇමරිකානු අභිලාශයන් ඉටුකරන භූමියක් හෝ පහසුකම් සපයන්නෙක් නොවිය යුතුබව ඔහුගේ අදහසයි. එසේම අතිවිශාල චීන ප්‍රාග්ධනය පාකිස්ථානයට කඩාවැදීමට ඔහු විරුද්ධය. චීන සේද මාවතේ එක් දොරටුවක්වීම පාකිස්ථානයට අනතුරුදායක බව පෙන්වාදී තිබේ. ඒ සියල්ලට වඩා සමාජ සුබසාධනය සහිත ඉස්ලාම් ජනරජයක් බවට පාකිස්ථානය පත්කිරීමටත්, කෘෂිකර්මය සහ අධ්‍යාපනය නගාසිටුවීමත් ඔහු සිය ආර්ථික වැඩ පිළිවෙල ලෙස දක්වා තිබේ. සුළු ජාතීන්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැනද ඔහු යම් ප්‍රගතිශීලී ස්ථාවරයක සිටී.

එහෙත් එවැනි සීරුමාරු දේශපාලන වෙනස්කම් පහසුවෙන් ක්‍රියාවේ නැන්විය හැකි තත්වයක් එරට නොමැත. මන්දයත් පාකිස්ථානය යනු සුවිශේෂි වෙනස්කම් රාශියකින් යුතු ඉස්ලාම් ආගමික ජාතිකවාදයක් මුල්බැසගත්, පසුගාමී ගෝත්‍රික ජන ඝානතත්වයක් මෙන්ම සැලකිය යුතු බලපෑමක් සහිත මධ්‍යම පන්තියකින්ද යුතු රටකි. සිය විදේශ ප්‍රතිපත්තිය සකස් කරගැනීමේදී මෙන්ම ස්වදේශීය කටයුතු සහ ජාතික ආරක්ෂව සම්බන්දයෙන්ද පසමිතුරු අසල්වැසි ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ඈත එපිට පිහිටි ඇමරිකාවද, මෑතක සිට චීනය කෙරෙහිද යම් බර තැබීමකට සහ අවධානය යොමුකිරීමක් සිදුකිරීමට එරට යොමුව ඇත. තවද එරට දේශපාලනයේ අනෙක් බලවේගය ලෙස සැලකෙන, දේශපාලනයට ඍජුව මැදිහත්වන, පාකිස්ථාන ආරක්ෂ හමුදාවද, එරට විශාල ණය බරද නොසලකා කටයුතුකිරීමට පාකිස්ථානයේ බලයට පත්වෙන කිසිවෙකුට නොහැක. වසර 70කට මදක් වැඩි එරට ඉතිහාසයෙන් අර්ධයක්ම පාලනය කලේ හමුදා පාලනයන් විසිනි. 

එමෙන්ම එරට ධන උපායන මාර්ග මෙන්ම ජාතික සම්පත්වල අයිතිය සහ පාලනය සම්බන්දයෙන්ද ඉහතකී සියලු සාධකයන් දක්වනුයේ දැඩි සම්බන්ධයක් සහ ඍජු මැදිහත්වීමකි. ඒ සියල්ල කලමාණාකරනය කිරීමට පාකිස්ථාන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය කෙතෙක් ශක්තිමත්ද යන්න වෙන්නම ප්‍රශ්නයකි.

ආර්ථික, සමාජ සහ දේශපාලන ව්‍යූහය තවමත් ක්‍රමවත් ලෙස සකස්වී නොමැති බාහිරෙන් මෙන්ම අභ්‍යන්තරයෙන්ද වියවුල්වලින් ගහනවූ පාකිස්ථානය වැනි රටක් වෙනස් කරන්නේ කෙසේද? යන්න මෙන්ම වෙනස් කරන්නේ කුමක්ද? යන්න හදුනාගැනීමත් ඉම්රාන් ඛාන් වැනි දේශපාලන ක්‍රීඩකයන්ට  යම් ආකාරයක අභියෝගාත්මක කාර්යකි. එය දුෂණය පිටු දැකීම වැනි  ජනප්‍රිය දේශපාලන සටන්පාඨවලට පමණක් සීමා නොවන එයට වඩා ඉතාමත් සංකීරණ සහ පුළුල්  කාර්යභාරයකි. 

ඒ සියල්ලටම පෙර  ඉම්රාන් ඛාන්න දැන් නව රජයක් පිහිටවිය යුතුය. නිල ප්‍රතිපලය තවමත් නිකුත්වී නැතිමුත් බහුතර රජයක් පිහිටවීමට ඔහුට අඩුම වශයෙන් ආසන 30ක් වත් මදිවේතයි විශ්වාස කරයි. බොහෝදුරට නව රජයක් පිහිටුවීමට ඔහුට අපහසු නැත. වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනිමින් වසර 22ක් දේශපාලනයේ නිරතවිය. ඔහු වැනිම ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා දේශපාලනයට පැමිණි අපේ රටේ අර්ජුන රණතුංග මෙන් ඔහු පක්ෂයෙන් පක්ෂයට, ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවී අජූතවුයේ නැත. ඉම්රාන් ඛාන් නිරතවුයේ  දිගින් දිගටම දේශපාලන වෙනස්කම් ඉලක්ක කරගත් ඉල්ලීම් මුල්කරගත් උද්ගෝෂණ ස්වරූපයක් දැරූ විපක්ෂ දේශපාලනයකය. ක්‍රමයෙන් වර්ධනයවූ ඔහුගේ දේශපාලන ජනප්‍රියත්වය නිසාම හමුදා  කුමන්ත්‍රණයකින් බලයට පැමිණි පාර්වේෂ් මුෂ්රාෆ්  1999 දී ඉම්රාන් ඛාන්ට  එරට අගමැතිකම භාරගන්නා ලෙස අරාධනා කළේය. එහෙත් ඔහු පාර්වේෂ් මුෂ්රාෆ්ට දුෂණ පිටුදැකීමේ දේශපාලනයක නිරතවන්නේ නම් එයට නොපැකිලිව සහයෝගය දක්වන බව පමණක් දැක්වීය.

විපක්ෂයේ සිට දිගින් දිගටම අඛණ්ඩව දුෂණයට එරෙහිව, පාකිස්ථානයට සිදුකරන ඇමරිකානු, චීන සහ ඉන්දියානු මැදිහත්වීම් වලට එරෙහිව, ඉස්ලාමීය සුබසාධන රාජ්‍යක් වෙනුවෙන් ඔහු දේශපාලනයේ නිරතවිය. ක්‍රීඩකයෙකු ලෙස නිතිපතා පුහුණුවත්, විවේක කාලයේ කියවීමත්, සමාජ ආශ්‍රරයත් තමාන්ගේ ක්‍රීඩා දිවියේ සාර්ථකතත්වයට හේතුවූ බව වරක් බ්‍රිතාන්‍යයේ Guardian පුවත්පතට දක්වා සිටි ඉම්රාන් ඛාන්   දේශපාලකයෙකුගේ පුහුණුව සහ පරිචය ගොඩනැගෙනුයේ ජනතා අරගලය තුල යැයිද දැක්වීය. වසර 23ක අඛණ්ඩ, දුෂ්කර සහ ස්වාධීන දේශපාලන ගමනක ප්‍රතිපලයක් ලෙස දැන් ඔහු පාකිස්ථානයේ නායකත්වයට පත්වීමට නියමිතය.

කෙසේවුවද, දැන් බලාසිටිය යුත්තේ  පාකිස්ථානය වෙනස් කිරීමට  ඉම්රාන් ඛාන් සමත්වේද, නැතහොත් පාකිස්ථානය ඉම්රාන් ඛාන්  වෙනස් කරයිද යන්නය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
28/07/2018.

Thursday 12 July 2018

මීගමුවේ අතීත නිෂ්පාදන සහ පරිභෝජන රටාව ගැන විමසුමක්

මීගමුවේ අතීත නිෂ්පාදන සහ පරිභෝජන රටාව ගැන අවධානය යොමුකිරීමේදී ප්‍රථමයෙන් සිහියට නැගෙන ප්‍රකට ජන කථාවක්වනුයේ මීවදයේ කථාවය. දුටුගැමුණු රජතුමාගේ මවවූ විහාර මහාදේවිගේ දොළදුක සම්පුර්ණ කිරීමට සමත් සොළොස් රියන් මීවදයක් සොයාගත්තේ මීගමුවෙන්යැයිද, මීගමුවට ඒ නම ලැබුනේ එම මී-ගොමුව නිසා යැයිද එම ජනප්‍රිය ජන කථාවෙන් කියවේ.

එහෙත්, මහා වංශයේ සහ ථුප වංශයේ දක්වා ඇත්තේ විහාර මහා දේවිගේ දොලදුක පිනවූ මී වදය සොයාගත්තේ 'ගොළු මුහුද' සමීපයේන් බවය. 'ගොළු මුහුද' ලෙස හැදින්වුයේ ලංකාවේ දකුණු මුහුදය. තවද දුටුගැමුණු රජතුමා ඉපදීමට සිටි සමයේ විහාර මහාදේවිය ජීවත්වුයේ මීගමුවේ සිට කිලෝමීටර් 275ක් පමණ දුරින් පිහිටි දකුණු ලක මාගම්පුරයේය.  අද වුවද මීවදයක් සොයාගෙන එතෙක් දුරගෙවා මීගමුවට පැමිණීමට ලංකාවවැනි රටක කිසිදු උවමනාවක් නැති බව පැහැදිලිය. තවද මීගමුව ගැන සදහන් කරන අරාබි/පෘතුගීසි/ලන්දේසි සහ ඉංග්‍රීසි දේශගවේෂකයන් රාශියක්ම මීගමුව යන සිංහල ග්‍රාම නාමයේ අර්ථය 'මී පැණි ගම' හෙවත් 'village of honey' යනුවෙන් හැදින්වූවද එය කිසිසේත්ම දුටුගැමුණු රජට හෝ විහාර මහා දේවියට හෝ කිසිදුවිටක සම්බන්ද බවක් කිසිම තැනක දක්වා නැත. ඔවුන් දක්වා ඇත්තේ පෘතුගීසින් පැමිණීමට පෙර මීගමුව කිසිසේත්ම අවධානයට ලක්නොවූ  කුඩා ධීවර ගම්මානයක් පමණක් බවය. 

මේ සියළු කරුණු ගැන කිසියම්ම හෝ සැලකීමකින් තොරව විහාර දේවියගේ දොලදුක සිදලු මීවදය සොයාගත්තේ මීගමුවෙන් යැයි යන කථාවක් ගොඩනැගුවේ හෙළහවුලේ මීගමු නායකයාවූ ව. ස. ප්‍රනාන්දු ගුරුන්වහන්සේ හෙවත් සන්තියාගෝ ප්‍රනාන්දු මහතා විසිනි. එම ප්‍රබන්ධය නිර්මාණය කිරීමේ අරමුණ වුයේ මීගමුව ලංකාවේ ප්‍රධාන ඉතිහාස ධාරාවට සම්බන්ද කිරීමය. මේ බව මීගමුව නගර ලාංචනය ගොඩනැගීම පිළිබද කථාව තුල මතුවූ බව මම මීට පෙර දක්වා තිබේ (එය කියවීමට මෙතැනින් පිවිසිය හැක). ඒ අනුව විහාර මහා දේවියගේ දොළදුක පිනවූ මීවදය සොයාගත්තේ මීගමුවෙන් යැයි යන්න ප්‍රබන්දයක් ලෙස ඉවතහෙළිය හැකි බව පැහැදිලිය. 

මී පැණි සහ පොල් පැණි
එහෙත්, පැණි සම්බන්දයෙන් අතීතයේ පටන් මීගමුව ප්‍රසිද්ධව සිටි බවට පෘතුගීසි යුගයේ පවා ලියවී ඇති තොරතුරුවලින් කියවේ. මහාචාර්ය Chandra R. de Silva (2009) පරිවර්තනය කල පැරණි පෘතුගීසි සටහන් ඇතුලත් Portuguese Encounters with Sri Lanka and the Maldives, Translated Texts from the Age of the Discoveries කෘතියට අනුව මීගමුව මීපැණි මෙන්ම පොල් පැණිද, පැණි හකුරුද නිෂ්පාදනය කිරීම සහ විකිණීම සම්බන්දයෙන් (page 47/53) දකුණු ඉන්දියානු ප්‍රදේශවල පවා යම් නමක් දිනාගෙන සිටි බව හෙළිවේ. ලන්දේසි යුගයේ වෙලදාම් ගැන ලියවෙන Wyndham Beawes සහ Joseph Chitty (1813) ගේ  Lex Mercatoria: Or, A Complete Code of Commercial Law  කෘතියේ සදහන් කරුණු අනුවද එකල මීගමුව නිතර වෙළද ගනුදෙනුවල නිරතවූ දකුණු ඉන්දියාවේ කොරමන්ඩල් (Coromandel) ප්‍රදේශ සමග සිදුවූ වෙළදාමේදීද මීපැණි සහ පොල් පැණි වෙළද  භාණ්ඩයක් ලෙස භාවිතාවී ඇති බව පෙනේ (page 240). පොල් පැණි නිපදවීමට පමණක් නොව මී වද ගැන, මී වද කැඩීම ගැන මෙන්ම මී වද කැඩීමේදී  වැද්දන් අසාර්ථක වෙන අයුරු සම්බන්දයෙන්ද මීගමු  ධීවරයන් හොදින් දැන සිටි බව පෙනීයන විස්තරයක් 1822 Wesleyan සගරාවේ ජුලි කලාපයේ පළවූ ජෝන් වෙස්ලි පියතුමාගේ ලිපියක මෙසේ දැක්වේ: 'The Hottentots, who have a very quick sight, try to observe a bee flying home with its honey, and pursue it; but they often would not succeed in ... I hear from Negombo (19 පිටුව).' තවද ඉටිපන්දම් නිපදවීමට මී ඉටි යොදාගත හැකි බව ඔවුන් දැන සිටි බවක්ද තවත් තැනක කියවේ (මෑතක් වනතුරම පාරම්පරිකව පවත්වාගෙන ගිය ඉටිපන්දම් නිපදවීමේ ස්ථානයක් මීගමුව වැල්ලවීදිය සූර්ය මාවතේ තිබුණි).  ඉහත  විස්තර සදහන් කරන ජෝන් වෙස්ලි පියතුමා යනු අදටත් ක්‍රියාත්මකවෙන ලංකාවේ පැරණිම කාන්තා විදුහලවන මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකි. වෙස්ලියානු මිෂනාරි පාසැලක්වූ එම විදුහල සිය සේවය සහ පළාතේ ජනජීවිතය පිලිබදව එහි මුලස්ථානයට නිතර  වාර්තා සැපයිය. මීගමුවේ අතීත ජනජීවිතය පිලිබදව එම වාර්තාවලින් සපයාගත හැකි තොරතුරු බොහෝය. 

කිරි සහ පැණි කෑම සම්බන්දයෙන් ලංකාවේ දකුණු ප්‍රදේශය ප්‍රසිද්ධවුවද මී පැණි සහ පැණි කෑම සම්බන්දයෙන් මීගමුවට යම් ප්‍රසිද්දියක් තිබු බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. එහෙත් 1926 පලවී ඇති Gardeners' Chronicle, Horticultural Trade Journal (Volume 80) නම් වියත් සගරාවට අනුව මීගමුව ප්‍රදේශයේ මී පැණි, පොල් පැණි සහ පැණි හකුරු කෑම සිදුකල බවත්, විවිධ කැවිලි පෙවිලි සදහා පමණක් නොව මෙතෙක් නොදත් අපූරු පැණි කෑමක්ද මීගමුවේ තිබුනු බව කිව්වේ. එම සගරාවේ අදාල ලිපිය ලියූ කතෘ මණ්ඩල සාමාජිකයා මීගමුවේ  ධීවර වාඩියකදී පොල් මද පැණි සමග කෑ බව දක්වයි (At a fisherman's hut in Negombo I obtained a green Coconut which I ate with honey), පොල් මද හකුරු (jaggery) සමග තම්බා කන කෑමක් පිලිබදවත්, සීනි වෙනුවට මීපැණි නිතර භාවිතා කරන බවද, කජු සහ ඇටවර්ග මිශ්‍ර කරමින් කැවිලි සෑදීම සිදුකල බවත්, ඉගුරු සහ මී පැණි කෑ බවත් දක්වයි (page 130-133). මේ අනුව අපූර්ව පැණි කෑමක් මීගමුවේ වැසියන් සිදුකර තිබුන බව පෙනීයයි. මීගමුව කාලාන්තරයක් පුරා පැණි අලුවා, කජු කොරදියල්, ලස්කිරිඤ, අඩ, පැණි සහ හකුරු මිශ්‍ර තල නිෂ්පාදන (මීගමුව තලාහේන ප්‍රදේශය අතීතයේ තල වගාව සහ නිෂ්පාදන සම්බන්දයෙන් ප්‍රසිද්ධව සිටි බව ජනවහරේ කියවේ), පෘතුගීසින්ගෙන් ඉගෙනගත් බිබික්කන් හෙවත් පොල් කේක් සෑදීමට සහ සව් දොදොල්ද, විවිධ වර්ගවල කැවුම් වර්ග සම්බන්දයෙන්ද ප්‍රසිද්ධව සිටියහ. මීගමුව නගර මධ්‍යයේ පමණක් නොව  හලාවත - කොළඹ මාර්ගයේද කැවුම් කඩ තිබිණි. එහි කැවුම් පමණක් නොව වෙනත් රස කැවිලිද විකිණීමට තිබුණි. විශේෂයෙන්ම පාස්කු සමයේදී සහ පල්ලියවල මංගල්‍ය සමයන්හිදී පැණි මිශ්‍ර කෑම වර්ග මීගමුවේ බහුලව විකිණීමට තිබේ. 

1878ටත් පෙර පටන් මීගමුවේ විස්ත්‍රීන් මාවතේ (Vistarini Road) හකුරු කඩ තිබූ බව මීගමුව ප්‍රදේශීය බලමණ්ඩලයේ (Local Board of Negombo) බදු එකතුකිරීමේ ලේබණ දෙස බැලීමේදී පෙනීයැයි. එදා මෙන්ම අදද මීගමුව නගරයේ දැකිය හැකි මෙම කඩවීදිය ප්‍රදේශයේ ජනයා හැදින්වුයේ හකුරු මුඩුක්කුව නමිනි. එකල මීගමුවේ මෙම කඩවීදියේ පොල් හකුරු, කිතුල් හකුරු පමණක් නොව සක්කර හෙවත් උක් හකුරුද විකිණීමට තිබුණි. ඒ පොල් පැණි, කිතුල් පැණි සහ මීපැණි වලට අමතරවය. එම කඩවීදියේ පමණක් නොව මීගමුවේ බොහෝ හන්දිවල එකල පැණි කඩ තිබුණි. අපි කුඩා අවධියේදීද රේල්ගේට්ටුව ලග හන්දියේ පිහිටි පැණි කඩයෙන් පැණි ඉල්ලුවිට ඔවුන් මැටි මුට්ටියක තබා ලී පියනකින් හොදින් වසා ඇති පොල් පැණි මුට්ටියේ පියන ඉවත්කර පත්තර කොළවලින් තැනු කඩල ගොටුවකට පොල්කටු හැන්දකින් පැණි වක්කර දුනි. එම කඩයේ ලී බැරල්වල පැණි ගබඩාකර තිබුණි. අද ද මම එකී කඩයට ගොඩවෙන සෑම වාරයකම දැන් මහලු වියට පත්ව ඇති එහි මුදලාලි ඉස්සර අපි පැණි කෑ හැටි මතක් කරමින් සිනාසෙයි. ඇත්තවශයෙන්ම, නමට ගැලපෙන සේ රසවැහෙන පැණි නිෂ්පාදනයක් මෙන්ම, පැණි පාරිභෝජනයක්ද මීගමුවේ පැවති බව පැහැදිලිය. 


මී පැණි නිපදවීමට නම් මල් බහුලව තිබිය යුතුය. 1910 පලකල Henry William Cave ගේ “The Ceylon Government Railway” කෘතියේ 232 පිටුවේ දක්වා ඇත්තේ  මීගමුව යනු මල්, පලතුරු වලින් පිරි, හරිත වර්ණ, පිරිසිදු චිත්‍රසදෘශ්‍ය, නැතහොත් චිත්‍රාකාර, දර්ශනීය නගරයක් වන බවය (Negombo is one of the most picturesque towns in Ceylon).  සහසිකයෙක් විසින් ඝතනය කල, මීගමුවේ සිටි විශිෂ්ඨ හෙළහවුලේ පඩිවරයෙකුවූ ගරු අබා කොස්තා පියතුමාගේ මෙතෙක් පල නොකළ නමුත් මීගමුව නාගරික පුස්තකාලේ සුරක්ෂිතව තැම්පත්කර ඇති ලිපි ලේඛනවලට අනුව මීගමුව යනු උයන්වතු, මල්වතු, තුරුගොමු සහ ජල පුෂ්පිත විලවල් රාශියකින් සැදුම්ලත් නගරක් විය. දෙහිමල්වත්ත, කුණ්ඩන්විල, මල්වත්ත, නෙලුම්පිටිය, තම්මිට සහ උදම්මිට යන ග්‍රාම නාම පැනනැගුනේ එම අර්ථයෙන් යැයි ඔහු සදහන් කර තිබේ. එවැනි ආකාරයේ භාෂාත්ම විවරණයන්ට වඩා  මීගමුවේ වූ මල්, පලතුරු, ගහ කොළ, තුරුලතා ආදිය කවරාකාද යන්න ගැන ඉතා නිශ්චිත වාර්තාවක් Charles Pridham (1849) ගේ An historical, political, and statistical account of Ceylon and its dependencies (Volume 2) කෘතියේ දැක්වේ. 

ජා-ඇල පසුකරමින් මීගමුවට ගමන්කල Charles Pridham (1849) මහතා සිය අත්දැකීම තම කෘතියේ 640වන පිටුවේ විස්තරකර ඇත. එහි දැක්වෙන මීගමුවේ අපූර්ත්වය අපට මවාපානුයේ යලිකිසිදා විදීමට නොහැකිවෙන අතීශය සුන්දර චිත්‍රයකි: "එතැන් සිට (ජා-ඇල) මීගමුවටවූ පාර දෙපස මූලික වශයෙන් වැටී තිබුනේ කුරුදූ වතු මැදිනි. සෑම තැනම පෙනුම සහ සුවද ගෙනදුන්නේ මහත් සංතෘප්තියකි/ආනන්දයකි; හැම පැත්තේම වුයේ අලංකාර පින්න  මල් සහ බුනීලය.  කෝපි මල්, රත්මල්, අලංකාර කුඩා පදුරු විශේෂ, කුරුදූ පදුරුවල එල්ලී වැඩුන පරාගන/ඉත්ත වැල්  සහ කුඩා කෘමින් ගොදුරුකරගන්නා අඩක් පිරුණු දියරයක් ඇති  බාදුරා වැලවල් වල මල් සමහරක් පියන් විවරවූ පැවති අතර සම්පුර්ණයෙන් පියන් වැසීගිය මලින්ද යුක්තවිය. එකිනෙක හා බැදී තුරැවදුළු මත පතිතව  තණකොළ මතවැටෙන හිරුඑළිය ක්‍රමයෙන් හීනය. මලින් සහ පලින් බරවූ  කැලැ දොඩම්, දෙහි සහ ජම්බෝල ගස්වලින් හමාආ මිහිරි සුවද මුළු පරිසරයම සුගන්ධවත් කරයි. වැල්ලෙන් සැදුන මාර්ගය දිගටම කුරුදු වතු මැදින් විහිදී යයි. එහි තැන්වල සුදු වැලි පර මතින් වැටී තිබුනි ('from thenee to Negombo the road lies chiefly through cinnamon plantations. Every where the sight and the smell are gratified; for on each side may be seen the beautiful crimson Clerodendrum infortunatum, Linn. (the Pinna-mal-geddi) Coffea triflora, Ixara coccinea, Nepenthes distillatoria of climbing and dwarf varieties (scandens and nana) the former clinging to cinnamon bushers for support,  and displaying its pitchers, some with the lid closed, others with it open, and in an  erect position full of water , like so many fly traps, as if  the liquid they contained, were too valuable to be lost; the latter shrinking from exposure under the shade of the overhanging trees and grass, while the wild orange, lime,  and shaddock trees ever in fruit and blossom, at the same time impart the most delicious fragrance to the surrounding atmosphere. For a considerable distance through the cinnamon plantations, the road is sandy, and in many places, it leads it leads through  large tracks of the pure white quartz sand, to which the cinnamon tree is partial''). මේහි සදහන් ගස්වැල්වලින් කීයක් නම් තවත් ඉතිරිවී තිබේද? දෙහි දොඩම්, බුලීන, රත්මල් ආදීය අතරින් පතර කිහිප පොලක දැකිය හැකිවන නමුත්  ඒ සියල්ල එකට කැටිවූ තැන් දැන් මීගමුවේ දැකිය හැක්කේ කොහේද? ඒ සියල්ල අද ක්‍රමයෙන් නැතිව ගොසිනි. කුරුදූවගාව එහිලා බලපෑ නමුත් කුරුදූ වතු පැවති එකල පවා මීගමුව අවට පරිසරය  අදට වඩා වර්ණවත් විය, හරිත වර්ණවිය.  

කුරුදූ
මීගමුව 'කැලැ කුරුදුවලට' (wild cinnamon) ඉතා ඉහල ප්‍රසිද්ධියක් ඉසිලු බව දේශ ගවේශකයෙකුවූ ඉබන් බතුතාගේ වාර්තාවල සදහන්යැයි  පෘතුගීසි ජාතික රුබෙරෝ (João Ribeiro) ගේ  Fatalidade Historica da Ilha de Ceilão කෘතියේ දක්වයි. ඒ ක්‍රි. වර්ෂ 1640 දී පෘතුගීසි පාලන යුගයේය. ලන්දේසි යුගයේ අවසාන භාගයේදී ලංකාවට පැමිණි Valentyne ගේ වාර්තාවලට අනුවද මීගමු කුරුදූ ගැන දක්වනුයේ ලොව ඇති හොදම කුරුදු ලෙසය ('the very best in the universe, as well as the most abundant' - Momoir of Van Gones, page 166). 

Valentyne ගේ මෙම අදහස නැවත තහවුරු කරන Sir James Emerson Tennent (1858) ලෝකයේ දැනගැනීමට ඇති හොදම කුරුදූ වවන්නේ මීගමුවේ යැයි  සිය කෘතියේද දක්වයි ('the best in the known world, as well as the abundant' - page 51). මුස්ලිම් වෙළෙන්දන් සහ  පෘතුගීසින් එකතුකර  අලෙවිකළ මීගමුවේ වැවුණු 'කැලැ කුරුදු' (wild cinnamon) ලන්දේසින් මහා පරිමාණයෙන් වතුවගාවක් ලෙස ප්‍රවර්ධනය කලේය. දඩුගම් ඇල අසල සිට කටුනායක හරහා කදිරාන දක්වා විහිදී ගිය මෙම කුරුදූ වතුයායවල් බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාලයේද ඉතා සශ්‍රිකව පැවති බව මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ, එනම් Thomas Skinner ගේ (1891) 'Fifty Years in Ceylon 1804-1877:An Autobiography' කෘතියේ පිටු 272 සහ 273 වල සදහන් වේ. 

මීගමුවේ වැවුනු සුප්‍රකට කුරුදූවර්ග තුනක් ගැන A.M. & J. Ferguson (1910) ගේ The Tropical Agriculturist and Magazine of the Ceylon Agricultural Society, Volume 34 කෘතියේ 454 වෙනි පිටුවේ සදහන්වේ.  එම කුරුදු වර්ග තුන නම් 1. පැණි කුරුදූ (honey cinnamon), 2. නයි කුරුදූ (Naya cinnamon) සහ 3. කට්ට කුරුදූ (Katva cinnamon) ය. තවද එම වාර්තාවේම තවත් තැනක දක්වනුයේ මීගමුවේ කුරුදූ පමණක් නොව ඉස්තරම් ඉගුරුද (Chinese ginger) නිපදවූ බවයි (59 පිටුව).  කුරුදූ වගාවට සමගාමීව පොල් වගාවද පැතිර තිබූ බව ඉහත කී වාර්තා කියවීමේදී පෙනී යන්නකි. 

James Emerson Tennent (1858) ගේ Ceylon: An Account of the Island, Physical, Historical, and Topographical (Volume 2) කෘතියේ 55 පිටුවේ දක්වන ආකාරයට කුරුදූ තෙල් නිෂ්පාදනයක්ද පැවති අතර එය ඖෂධීය මෙන්ම සුවදවිලවුන් ද්‍රව්‍යක් ලෙසද මුස්ලිම් වෙළඳන් අතර ප්‍රකටව තිබී ඇත.

කලින් සදහන් කල ලෙස, කුරුදූවගාව පොල්වගාවේ අතුරුබෝගයක් ලෙසද තිබුන බව පෙනේ. ඒ බව දැන් කඩාවැටීමට ලක්වී ඇති මීගමුව කටාන-කදවල පිහිටි ලන්දේසි මිණින්දෝරු කුළුණ ප්‍රතිසංස්කරණය කිරීමට වරක් එහි ගිය මේජර් Thomas Skinner ගේ (1891) චාරිකා සටහනේ කරුණු වලින් කියවේ (ඒ ගැන කියවීමට මෙතැනින් පිවිසිය හැක)කෙසේවුද, මීගමුවේ කුරුදූ, පොල් සහ වෙනත් වතුවගාවන් පිලිබදව ඉදිරියේදී විමසා බලන බැවින් වැඩි විස්තර පසුව ඉදිරිපත් කරමි.

පොල් වගාව.
කුරුදූ මෙන්ම පොල්ද කාලාන්තරයක් පුරා මීගමුවේ පැවති බෝගයක් වූ අතර එයද ලන්දේසි පාලන යුගයේදී වතු වගාවක් බවට ප්‍රවර්ධනය විය. පොල්වතුවල වැඩකිරීම සදහා ඉන්දියාවෙන් වැසියන් ගෙන්වූ බවත්, ඔවුන් මීගමුවේ පොල්වතු බහුලව තිබු ප්‍රදේශවල පදිංචි කරවූ බවත්, John Ferguson (1907) ගේ වාර්තාවෙන් පෙනේ (The Coconut Palm in Ceylon; Beginning, Rise, and Progress of Its Cultivation). 

කලින් සදහන් කල ලෙස මීගමුවේ පොල් පැණි නිෂ්පාදනය සදහා මුලික වශයෙන් හේතුවුයේ ප්‍රදේශයේ පැවති පොල් වගාවය. මා කුඩා වියේදී දළුවකොටුව/කට්ටුව කුරුදුවත්ත ප්‍රදේශයේ නිවෙස්වල මෙන්ම කොච්චිකඩේ සුරංගනී සිනමාශාලාව අසල නිවෙසකද සිය වත්තේ පොල්ගස්වල මල් කැපීමෙන් රැස්කර ගත්, රා වලට පෙර එකතුවෙන, තෙලිජ්ජ උණුකර පොල් පැණි මෙන්ම හකුරු හදන හැටිද නැරබීමි. එහි රසද වින්දෙමි. තෙලිජ්ජ පැණි බවට පත්කිරීමට අවශ්‍ය හල් පොතු සපයාගත්තේ මීගමුව කටාන ප්‍රදේශයේ පිහිටි ගමක් වන හල්පේ ප්‍රදේශයෙන් යැයි කියනු මම අසා ඇත. කටාන හල්පේ ගම පිහිටා ඇත්තේ මීගමුවේ පොල්, රා සහ පොල් පැණි මෙන්ම කුරුදුද බහුලව පිහිටි ප්‍රදේශයකය.  එහෙත් කටාන හල්පේ ගමට එම නම ලැබුනේ පැණි නිපදවීමට අවශ්‍ය හල් පොතු සැපයීමෙන් දැයි නිශ්ච්තව කිව නොහැක. 

පොල් පැණිවලට අමතරව පොල්  වගාවෙන් පොල් පලදාව මෙන්ම, පොල්  කොහු නිෂ්පාදනය කිරීමද, එමගින් පොල් ලණු, පාපිසි පමණක් නොව මෙට්ට නිෂ්පාදනය කිරීමද, ගෙවල්සෑදීමෙහිලා අවශ්‍ය පොල් පරාල සහ පොල් කදන් නිෂ්පාදන කිරීමද මීගමුවේ ඉතා මෑතක් වෙනතුරුම පැවතුන කර්මාන්තයකි. අතීතයේ මෙම පොල් නිෂ්පාදන ආයතන මීගමුව තුල කෙතෙක් ශක්තිමත්ව පැවතියේදයත් මීගමුව පෙරියමුල්ලේ පිහිටි ලංකා පිගන් සංස්ථාව 1950දී එහි පිහිටවීමට පෙර එම භූමියේ පැවතියේ අක්කර 16 පුරාවට විහිදුනු පොල් වගාවක් සහ වැව්ශේර් (Wavusher) නම් පොල් නිෂ්පාදන ආයතනයකි. මීගමුව පෙරියමුල්ලේ පමණක් නොව කදු නැති තැනිතලා භූමියක්වූ මීගමුවේ බොහෝ ප්‍රදේශවල කොහුබත් කදු පැවති බවත්, අපි කුඩාවියේදී එම කොහුබත් කදු නැග මුහුද පෙනෙන්නේ කොතනින්දැයි සෙවූ බවත්, එම කදු නිර්මාණය කලේ මීගමුවේ පැවති කොහු කර්මාන්ත ශාලා විසින් යැයි මම මීට පෙර ලියූ මීගමුවේ ''කොහුබත් කඳුවලට සිදුවූ දෙය කුණු කඳුවලටත් සිදුවුවා නම්''  යන ලිපියට, මෙතින් පිවිස  කියවිය හැක. 

පොල් වතු ආශ්‍රිතව එම නිෂ්පාදන පමණක් නොව පොල් අතු විවීමද  සිදුකෙරුණි. උළු වලින් ගෙවල් සෙවිලි කිරීමට පෙර මීගමුවේ පමණක් නොව රට පුරාම නිවෙස් සෙවිලි කලේද, බොහෝ දුරට බිත්ති ලෙස සකස් කරගැනීම සදහා ද භාවිතා කළේ පොල් අතුය.  වියන ලද පොල් අතු  ඇරගෙන රටේ විවිධ ප්‍රදේශවලට යන ගවයින් බැදී කරත්ත මීගමුවේ එකල සුලබ දර්ශනයක් විය. 


James Emerson Tennent (1858) ගේ Ceylon: An Account of the Island, Physical, Historical, and Topographical (Volume 2) කෘතියේ 629 පිටුවේ දක්වා ඇත්තේ මීගමුවේ සිට හලාවතට යන තෙක්ම පැවතියේ එකම පොල් වගාවක් බවය. කපා වෙලාගත් පොල්මද කොප්පරා නම්වූ අතර ගවයින් යොදවා කරකවන සෙක්කුව මගින් ස්වදේශිකයන් කලාන්තරයක් පුරා පොල් තෙල් නිපදවා ගත් බව James Tennent (1858) ගේ ඉහත කෘතියේ 630 පිටුවේ සදහන්වේ  (the primitive mills, which, from time immemorial, have been used by the natives for expressing the oil). කෙසේවුද, සෙක්කුව වෙනුවට යන්ත්‍ර මගින් තෙල් හිදින කර්මාන්ත ශාලා කිහිපයක් මීගමුව, සීදුව සහ මෝදර ආදී ප්‍රදේශවල 1900යේ සිට ස්ථානගතවීමත් සමග මීගමුව හැමිල්ටන් ඇලේ පාරු මගින් කොප්පරා ප්‍රවාහනය අරභා තිබේ. මාගේ පියා දැක්වූ විස්තරවලට අනුව එසේ හැමිල්ටන් ඇලේ ඇදී ගිය කොප්පරා පාරු ඇල දෙපස සිටි ළමුන්ට කොප්පරා දුන් බවත් ඒවා කෑමට ළමුන් ප්‍රියකල බවත් කියති. 

මීගමුව නගරයේ අදටත් හදුන්වන කොප්පර හන්දිය, තෙල්වත්ත හන්දිය ආදී ස්ථාන මීගමුවේ අතීත පොල්තෙල් කර්මාන්තයේ මහිමය කියාපෑමට තවමත් ඉතිරිවී තිබීම යහපතකි. එමෙන්ම, පොල් විනාකිරි නිෂ්පාදනයද මෙම පොල් කර්මාන්තය සමග ගොඩ නැගුනකි. මීගමු වැසියන් සිය ආහාර අවශ්‍යතා සදහා විනාකිරි නිතර එක් කරගත්තක්වූ අතර එය ප්‍රාදේශීය වශයෙන් ඔවුන්ම නිපදවා ගත්තකි.

සෙක්කුවෙන් හෝ යන්ත්‍ර මගින් හෝ වේළු පොල්මද හෙවත් කොප්පරාවලින්  පොල්තෙල් නිපදවීමෙන් අනතුරුව ඉතිරිවන කොටස  හැදින්වුයේ  පුන්නක්කු ලෙසය. එය මිනිසෙකුටවුවද කෑ හැකි තරම් රසවත්ය. ඊටත් වඩා තෙල් නිෂ්පාදනයේ අතුරු පලයක් ලෙස නිපදවෙන නැවුම් පුන්නක්කුවල සුවද ඒවා කෑමට තරම් කෙනෙකුව පොළබව සුළුය (වරක් මීගමුව දළුවකොටුව ප්‍රදේශයේදී මම මේ අත්දැකීම විද ඇත්තෙමි). එහෙත් කුමන හේතුවක් නිසා හෝ මිනිස්සු පුන්නක්කු නොකති. එය සත්ව ආහාරයක් ලෙස වෙන්කරති. සත්ව පාලනය හොදින් පැවති මීගමුවේ පුන්නක්කුවලට ඉතා හොද ඉල්ලුමක් තිබී ඇතිවාට සැක නැත. 

සත්ව පාලනය. 
මීගමුවේ සත්වපාලනය ගැන යම් අදහසක් Charles Pridham (1849) ගේ An historical, political, and statistical account of Ceylon and its dependencies (Volume 2) කෘතියෙන්වුවද සපයාගත හැක. එම කෘතියේ 641 වෙනි පිටුවේ දක්වනුයේ මීගමුව හරිතවර්ණ තෘණ භූමිවලින් මෙන්ම ඕනෑම ප්‍රමාණයකින් පිදුරැ/වියලි තෘණ සපයාගත හැකි භූමියක් බවය (Negombo abounds with excellent pasturage, and hay may be procured to any extent required.) මෙම අදහස Oswald Henry විසින් (1945) දී 'The Knickerbocker: The Magazine of the Low Countries' සඟරාවට ලියූ ලිපියකද මතුකර ඇත. ඔහු එම ලිපිය තුල මීගමුව නෙදර්ලන්තය (The Netherlands) මෙන් කඳු නැති, වෙරළ අද්දර පහතින් පිහිටි  තැනිතලා තැන්නක් (low flat coastal plain land) ලෙසත් එය සත්වපාලනයට ඉතා යෝග්‍යබවත් දක්වා තිබුනි. 

Charles Pridham (1849) දක්වනුයේ මීගමුවේ මාළු වලට මෙන්ම එළු මස්, කුකුල් මස් සහ බිත්තරවලටද ප්‍රසිද්ධව සිටි බවය(Negombo is famous for its fish, kids, poultry, eggs...). එමෙන්ම කොළඹ නගරයට මස් පිණිස ගවයන් සැපයිමද මීගමුවේන් සිදුකර තිබුණි. එහිලා හැමිල්ටන් ඇල සහ කලපුව වැනි අභ්‍යන්තර ජල මාර්ග මෙන්ම ගොඩබිම් මාර්ගද යොදාගත් අතර පසුදින උදාවනවිට අදාල සැපයීම් කොළඹ නගරයට ලබාදිය හැකිවූ බවද ඔහුගේ සටහනේ කියවේ (inland water communication with Colombo, enables the farmer to ship cattle over-night, and them at Colombo by daybreak the next morning). 

වෙරළ අද්දර වැල්ලවීදියේ ලුවිස් පෙදෙසේ පවා 1990 දශකය වනතුරුම උදෑසන එළකිරි මිලදී ගත හැකි එළදෙනුන් කිහිපදෙනෙකු සිටි කුඩා ගවපාලනයක් තිබු නිවෙසක් විය. එමෙන්ම පොල් වතු බහුලව පැවති ප්‍රදේශවල තිබු තරමක් විශාල ගව පට්ටිවලින් මෙන්ම එළු පට්ටිවලින් එළකිරි සහ එළුකිරි රැගෙන එන කිරිවෙළෙන්දන් නගරයේ උදෑසන  දැකිය හැකි දර්ශනයක් විය. 1980 දශකයේ මුල් භාගයේදී යෝගට් නිපදවීම මීගමුවේ මතුවන්නට විය. එම යුගය වනවිට ඉතාලියේ රැකියාවන් කරා ගිය ඇතමේක් ආපසු මීගමුවට පැමිණ මීගමුවේ මසරේලා චීස් (mozzarella cheese) පවා නිෂ්පාදන කිරීම ඇරබීය.

ඉතා මෑත කාලයක් වනතුරුම මීගමුවේ බොහොමයක් ගෙවල්වල කුකුලෙක් දෙදෙනෙක් සිටි අතර ඉඩ තිබුනද, නොතිබුණද එළුවන් සහ ඌරන් හැදීමද සිදුකරන ලදී. නත්තල සහ පල්ලියේ මංගල්‍යය වෙනුවෙන් විශේෂයෙන් හදන ඌරන්, කුකුලන් සහ එළුවන්ද මීගමුවේ කාලාන්තරයක් පුරා සිදු කෙරුණකි. මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පමණක් විශාල සහ මධ්‍යම ප්‍රමානයේ කුකුළු ගොවිපොළවල් අඩුම වශයෙන් 04කට වඩා වැඩි ප්‍රමාණයක් තිබී ඇත. ඒවාහි මස් සහ බිත්තර පිණිස කුකුලන්, කළුකුන්, තාරාවන් සහ වටුවන් ඇති කරන ඇත.

මීට අමතරව 1840 ගණන් වනවිට මීගමුවේ කුරුළු දඩයමද පැතිර තිබුණු බව Charles Pridham (1849)  සටහන් අනුව පෙනේ. කැස් වටුවන් / තිත්වටුවන් (snipe), කිරල්ලු / කොක්කු විශේෂ (curlew) සහ පාත්තයන් (widgeon) මෙසේ මීගමුවේ දඩයක්කරුවන් විසින් දඩයම් කල කුරුල්ලන් (game birds) වූ බව සදහන් වේ (the sportsmen will find excellent snipe, curlew, and widgeon shooting - page 641). කලපුවට අමතරව දියකඩිති සහ කුඩා විල්වල් සහ පොකුණු රාශියකින් සමන්විතවූ අතීත මීගමුවේ පාත්තයන්, හංස විශේෂ, කොක්කු, කීරල්ලු සහ වටුවන්ගෙන් අඩුවක් නොවන්නට ඇත. අදද පෙර-අපර දෙදිගෙන්ම කුරුළු විශේෂ මීගමුව කලපුවට ඈදී එන අතර ඔවුන් දඩයම් කිරීමට මීගමු ජනයා උනන්දු නොවෙනුවේ ''උන්ගේ ඇති මසක් නැති නිසාත්'', උන් දඩයම් කිරීමට වඩා ඔවුන් දැකීම ප්‍රියජනක වන නිසාත්, නීතිය මගින් එය තහනම් නිසාත්ය. 
මත්ස්‍ය කර්මාන්තය 
මස් සම්බන්දයෙන් මීගමුව කවදත් ප්‍රකටය. එහෙත් මාළු සම්බන්දයෙන් මීගමුව සුප්‍රකටය. මීගමුවේ මාළු ගැන පබැදුනු කවි සහ ගීත ගණන 15කට වැඩිය. ඒතරමටම මීගමු මාළු ගැන  රටපුරාම විශාල ප්‍රසිද්ධියක් උසුලයි. 


රාජාවලියේ සදහන් කොවුළු ගම් (ධීවර ගම්) අතර මීගමුවද ඇතිබව පෙනී යන බැවින් මීගමුව අතීතයේ පටන්ම ධීවර කර්මාන්තය සදහා යම් ප්‍රසිද්ධියක් උසුලා ඇති බව සදහන් කලහැක. තවද පෘතුගීසි වාර්තාවල මීගමුවේ ධීවර යාත්‍රා නවතා තිබු තොටුපොළවල් පැවති බව සදහන්වීම තුලද, ලන්දේසි යුගයේදී මීගමුව කලපුවේ මසුන් මරන්නන්ගේ ඉහත චිත්‍රය ලන්දේසි චිත්‍ර ශිල්පීයෙක් විසින් චිත්‍රයට නගා තිබීම තුලද අතීතයේ පටන් මීගමුවේ ධීවර කර්මාන්තය ඉතා ඉහල මට්ටමකින් පැවති බවට සාධක ඉදිරිපත් කරයි. තවද මීගමුව ගැන සදහන් ඕනෑම  පැරණි පොතක එහි ධීවර කරමාන්තය ගැන පැහැදිලිවම සදහන් කර තිබේ. ඒ අනුව මීගමුව සහ ධීවර කර්මාන්තය අතර ඇති සබැදියාව කෙතෙක්දැයි සිතාගත හැක.


මීගමුවේ ධීවර කර්මාන්තය කලපු ධීවර කර්මාන්තය, නොගැබුරු මුහුදේ ධීවර කර්මාන්තය සහ අඩුම වශයෙන් 18 වන සියවසේ අගභාගයේ සිට ගැබුරැ මුහුදේ ධීවර කර්මාන්තය ලෙසද කොටස් තුනකට පැහැදිලිව වෙන්කර හැක. ඔරු, පාරු, තෙප්පම් මෙන්ම බිලී බෑම, විසිදැල් ගැසීම, දැල් දැමීම, මා දැල් ඇදීම, වල ඉහීම මෙන්ම මීගමුවටම ආවේනික අතු කොටු ධීවර කර්මාන්තයද මීගමුවේ මසුන් මැරීම සදහා භාවිතාකල ක්‍රමය. කෙසේවුවද, මා මෙතෙක් රැස් කර ඇති තොරතුරු අනුව පෙනී යනුවේ මීගමුවේ ධීවර කර්මාන්තයේ මෙන්ම මීගමුව අනන්‍යතාවයේද සංකේතයක් ලෙස සලකන රුවල් ඔරු සම්ප්‍රදාය පෘතුගීසි යුගයේදී ආරම්භවුවක් බවය. එහිලා කලක් මොසැම්බික් දේශයේ සේවය කල කතෝලික පියතුමන්ලාගේ අත්දැකීම් උපකාරීවූ බව පෙනී යන ලේඛණයක් මා පිටපත් කරගෙන තිබේ.  


රුවල් ඔරු පිළිබද කතිකාව කෙසේවුවද, ඉස්සන්, කකුළුවන්, දැල්ලන්, පොකිරිස්සන්, මාළු බිත්තර සහ ලොකු පොඩි බොහෝ ජාතිවල මාළුන්ට මෙන්ම කරවල සහ ජාඩි නිෂ්පාදනය සම්බන්දයෙන්ද මීගමුව අතීතයේ සිට විශාල ප්‍රසිද්ධිය උසුලයි. උයාගත් මාළු, ඉස්සෝ, කකුළුවෝ හෝ කරවලවලට අමතරව තෙලේ බැදගත් මාළු කැබැල්ලක්  සිය ආහාර වේලට එකතුකරගැනීම සිය සශ්‍රික භාවයේ සලකුණක් ලෙස මීගමුවේ වැසියන් සැලකු බව පෙනේ. ජනවහරට අනුව එසේ තෙලේ බැදගැනීමට මාළු කැබැල්ලක් නොමැති නම් ඔවුන් තාච්චිය රත්කර එයට වතුර ඉස අන් අයට තමන්ද බැදුමක් එක් කර ගත්බව හැගවූ බව කියනු ලැබේ. එය ඔවුන්ගේ ඇති නැති කමට වඩා කන-බොන දෑ සම්බන්දයෙන් අනෙකාට වඩා පසු බෑමට වූ අකමැත්ත ප්‍රකාශකරයි. 

කටට රසට මාළු සකස්කරගැනීමට  අවශ්‍ය තුන පහ පමණක් නොව ගොරකා මිරිස් ආදිය අබරා (මිරිස් ගුලි) විකිණීමද මාළු වෙළදාම සමගම සිදුකරන ලද්දකි. ඇබැරු මිරිස් ගුලි විවිධ ප්‍රමාණවලින් සහ සැර අනුවද වෙනස් විය. ප්‍රදේශයේ වැවෙන අබ (mustard)වලින් ඉස්තරම් අබ තැවරුම් තනාගත හැකි බව මීගමුව කටුනායක පිහිටි රාජකීය ගුවන් හමුදා කදවුරේ මාස් පතා නිකුත්කරන Flarepath සගරාවේ 1949 ජුනි ලිපියක පලවී තිබේ. මිරිස් ගුලි මෙන්ම කෙහෙල් කොලේ ඔතන ලද අබරන ලද අබ ගිලිද මස් මාළු පිසීම පිණිස භාවිතා කිරීම ප්‍රදේශයේ කාලාන්තරයක් පුරා සිදුවූවක් බව ඉන් පෙනී යැයි. ඊට අමතරව මීගමුව මුන්නක්කරය සහ මංකුලිය ප්‍රදේශවල අතීතයේ ධීවර කර්මාන්තයට සමගාමීව ලුණු නිෂ්පාදනයද සිදුකර තිබුණි. මෑතක් වන තුරුම පැවති මීගමුවේ ලුණු නිෂ්පාදනය, ඒ සදහා භාවිතාකල මෙවලම් සහ එම කර්මාන්තය කරගෙන ගිය ආකාරය සම්බන්ද තොරතුරු අදටත් ඉතිරිවී ඇති ලුණු නිපදවූ ධීවර පවුල් කිහිපයක් සමග සම්මුඛ සාකච්ඡාවක් කර සැම්සන් ගුණසිරි මහතා පසුගිය දවසක ප්‍රාදේශීය පුවත්පතකට ලිපියක් ලියා තිබුණි.  

මැටි කර්මාන්තය,ගෘහ නිර්මාණ අමුද්‍රව්‍ය

මීගමුව මාඔය අසබඩින් මෙන්ම දිය හොද ඇල, සහ දඩුගම් ඔය අසල ප්‍රදේශවලින්ද මැටි ලබාගත හැකිවීම නිසාම මීගමුවේ මැටි කර්මාන්තයක්ද විය. එය උළු, ගඩොල්, ඇතිලි, මුට්ටි, හැලිවලන් පිගන් කෝප්ප සහ විවිධ භාජන පවා නිර්මාණය කල කර්මාන්තයක් විය. 

R. L. බ්‍රෝහියර් (R.L. Brohier) ගේ 'Links between Sri Lanka and the Netherlands' (1978) යන කෘතියේ දක්වනුයේ ලන්දේසීන්ගේ මීගමුව දිස්ත්‍රික් පරිපාලන ඒකකය සදහා භාවිතාකල ලාංචනය (Coat Arms) වන, 'වතුර සහ බදුන' ලාංචනය මීගමුව කුට්ටි දූව ප්‍රදේශයේ පැවති වතුර රැස්කිරීමේ ක්‍රමය සහ මේ පළාතේ පැවති මැටි කර්මාන්තය මත පදනම්ව නිර්මාණය කරගත්තක් බවය. ඔහු එය රචනාකර ඇත්තේ පහත ආකාරයට: 'Perhaps this simple domestic practice, coupled with the fact that pottery was a handicraft in the district, inspired the design for the arms.' (page 36). මින් කියවෙනුවේ මීගමුවේ මැටි බදුන් නිපදවීම ගැන තිබු ප්‍රසිද්ධිය ලන්දේසින් මීගමුව දිස්ත්‍රික් පරිපාලන ඒකකයේ ලාංචනය පවා ගොඩ නැගීමට යොදාගත් බවය. ලංකාවේ ප්‍රථම පිගන් කම්හලවන මීගමුව පෙරියමුල්ලේ පිහිටවූ ලංකා පිගන් සංස්ථාව 1950 දී මීගමුවේ පිහිටවීමට  අදාල හේතු සලකා බැලීමේදී මීගමුව අතීතයේ පටන් මැටි භාණ්ඩ නිපදවීමට දරා තිබු ප්‍රසිද්ධිය හේතුවූ බව පෙන්වා දිය හැකිය.


නගරේ තැනින් තැන පැවති වලන් කඩවලට අමතරව අතීතයේ පටන් පල්ලියේ මංගල්‍ය ආශ්‍රිතව වලන් කඩ ඇරීමද ඒ ආශ්‍රිතව පැදුරු, පන් සහ වේවැල්වලින් සෑදු විවිධ වර්ගවල  එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ නිපදවීම  සහ විකිණීමද එහි දැකිය හැකිවිය. විශේෂයන්ම වැලිහේන සහ ඇත්ගාල ප්‍රදේශවලින් හොද වේවැල් භාණ්ඩ ලබාගත හැකියයි අදහසක් මීගමු නගර වැසියන් අතර පැවැත තිබේ.

මැටි කර්මාන්තයට අමතරව අළු හුණු නිෂ්පාදනයද මීගමුවේ පැවති තවත් කර්මාන්තයක් විය 1990 දශකයේ මුල් භාගයේ පවා මීගමුව කොප්පරා හන්දිය අසල මෙන්ම දළුපොත ප්‍රදේශයේද හුණු පෝරණු විය. එහි හුණුගල් මෙන්ම සිප්පිකටු ද පුළුස්සා හුණු නිෂ්පාදනය කළේය. මීගමුවේ මහහුණුපිටිය ප්‍රදේශයට එම නම ලැබී ඇත්තේ එහි පැවති අළු හුණු සහ හුණු නිපදවීමේ හුණු පෝරණු පැවතීම නිසා බව කියවේ. ඒ නුදුරින් පිහිටි අගුරුකාරමුල්ල පොල්කටු අගුරු නිපදවු බවත් එම අගුරු ඉවුම් පිහුම් සදහා අවශ්‍ය ඉන්ධනයක් ලෙස මෙන්ම පැරණි ඉස්ත්‍රික්ක සදහා භාවිතා කලබවක්ද කියවේ. 


තවද මීගමුව ආශ්‍රිතව දැව කර්මාන්තයද ඉතා සරුවට පැවති බවද Charles Pridham (1849)  සටහන් අනුව පෙනේ.  ඔහු සදහන් කරනුයේ මීගමුවේ තේක්ක (teak) ගස් මෙන්ම ලී නිෂ්පාදනය සමබන්දයෙන් යම් නමක් දිනාගෙන සිටි බවය. තේකක් ලී ආශ්‍රිතව ගෘහ උපකරණ මෙන්ම දොරවල්, ජැනෙල් සහ වෙනත් ගෘහ නිර්මාණ අවශ්‍යතා සදහා යොදාගත් බව පෙනීයයි. ප්‍රදේශය පුරාම මැහෝගනී ගස් වෙනත්  දැව සදහා භාවිතාකල ගස්වර්ග රාශියක් තිබු බව විවිධ දේවස්ථාන ඉදිකිරීමේ විස්තර සමග කියවේ. තවද  ගොඩනැගිලි නිර්මාණය සදහා පලංචි ලෙස භාවිතා කල උණ මීගමුවේ උතුරු මායිමවූ මා ඔය අවට පැවති බවද තවත් වර්තාවක දැක්වේ. මෙකී ලීවර්ග මීගමුවේ හොදින් පැතිර තිබු ලීබඩු නිෂ්පාදනය සහ වඩු කර්මාන්තයට මහත් රුකුලක් විය. ඊට අමතරව ඔරු, පාරු, තෙප්පම් නිපදවීමද,  කරත්ත නිෂ්පාදනයටද ප්‍රදේශයේ වැවෙන ලීවර්ග උපකාරී විය.

අරක්කු  සහ දුම්කොළ 
පොල් වගාවත් සමග රා මැදීමද මීගමුවේ පැවත තිබේ. විශේෂයෙන්ම මීගමුවේ අතීත කුල ධූරාවලිය දෙස විමසා බැලීමේදී පෙනී යනුවේ මසුන් මැරූ ධීවර ජනයා කරාව ජනයා ලෙස හැදින්වූ අතර පොල් ගස් නැග, පොල් මල් තලා රා නිපදවූ ජනයා දූරාව ලෙස හැදින්වූ බවත් මේ දෙවර්ගයම අතීතයේ පටන් මෙම කර්මාන්ත දෙකම සිදුකරමින් සිටි බවත් කියවේ. මීගමුවේ රා නිපදවීම හෙල රජ දවස පටන් තිබු බවට මතුකර පෙන්වීම සදහා කලින් සදහන් කල 'විහාර මහා දේවියගේ දොළදුක නිවු මීවදය සොයාගත්තේ මීගමුවේන්' යැයි සදහන් ප්‍රබන්ධයේ තවත් විශේෂණයක් මීගමුවේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් වූ පිලීෂියන් මහතා 1987  ලියූ ලිපියක දැක්වේ. ඔහුට අනුව 'විහාර මහා දේවියගේ දොළදුක නිවු මීවදය සොයාගෙන ඇත්තේ 'රා ඔරුවක' තිබීය'.

කුල පදනම් මතුකරන, දුරාව (රා නිෂ්පාදනය කරන) සහ කරාව (ඔරුව-ධීවර කර්මාන්තයේ යෙදෙන) ජනයා අනාධිමත් කාලයක සිට මීගමුවේ පැවති බව අගවන මෙවැනි ගෙතු කථා අතරින් පවා  ඇතැම් කරුණු මතුකර ගත හැක. එකක් නම් කලින් සදහන් කල රා කර්මාන්තය මීගමුවේ කාලයක් පැවති බවය. අනෙක නම් 'රා ඔරු' භාවිතයක්  කළාන්තරයක් පුරා මීගමුවේ තිබූ බවය. මීගමුව කලපු ජල තීරය ඔස්සේ වෙන්ව පැවති නිසා රා ප්‍රවාහනය කිරීම සදහා ඔරු භාවිතය සිදුකරන්නට ඇත යන්න ගැන සැකයක් නැත. විශේෂයෙන්ම කටුනායක, කුරණ, පිටිපන, තලාදූව, තලාහේන ආදි ප්‍රදේශ අතර මෙලෙස රා ප්‍රවාහනය සදහා ඔරු භාවිතයට ගෙන ඇති බව පෙනේ. තවද දළුපොත, කට්ටුව, කොච්චිකඩේ ආදී ප්‍රදේශවලද රා කර්මාන්තය ඉතා හොදින් පැවත තිබේ. අද වුවද මෙම ප්‍රදේශවල මෙන්ම ධීවරයන් බහුල ප්‍රදේශවලද මීගමුව ටවුමේද රා තැබැරුම් තවමත් තිබේ.   1818 වනවිටද මීගමුව කාමච්චෝඩයේ රා තැබැරුම තිබී ඇති බව මීගමුව නිව්ස්ටෙඩ් බාලිකාව ගොඩනැගූ රොබට් නිව්ස්ටෙඩ් පියතුමාගේ වාර්තාවල දැක්වේ. එතුමා එම රා තැබැරුමට එරෙහිව කටයුතු කළේය (Wesleyan Missionary Notices. SOAS. Vol ii ,1819-20. Ceylon. page. 241).

රාවලින් අරක්කු පෙරීම සිදුකිරීම ආරම්භ කර ඇත්තේ  ලන්දේසි යුගයේය. එම යුගයේදී ලන්දේසින් විසින් මීගමුවේ විශාල පොල්වතු වගාවන් පවත්වාගෙන යෑම සිදුකල අතර එහිලා ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ ජනයා හෙවත් කොච්චි ජනයාද මීගමුවට ගෙනවිත් පදිංචිකර ඇත. මෙම ජනයා නිසා හෝ  මීගමුවේ සුදු අරක්කු ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ පවා  ජනප්‍රිය වී තිබු බවට පිළිගත හැකි කතාවක් තිබේ. එනම් ක්‍රි.ව.1830දී මීගමු දූවේ රුවල් නැව් හිමි මිහිදුකුලසූර්ය ජුවාන් ප්‍රනාන්දු, මිහිදුකුලසූර්ය දුමින්ගු ප්‍රනාන්දු සහ මිහිදුකුලසූර්ය පේදුරු ප්‍රනාන්දු යන සහෝදරයින් තිදෙනා  ලෝකප්‍රකට 'දූවේ පාස්කු' සංදර්ශනය සදහා භාවිතා කරන ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව නිර්මාණය කරගැනීම සදහා ඉන්දියාවේ බටහිර වෙරළේ වූ කේරළයේ පිහිටි කොචින් ග්‍රාමයේ සිටි ප්‍රකට ප්‍රතිමා ශිල්පයෙක් වූ 'ජාකොමේ මේස්ත්‍රා' හමුවීමට ගොස් ඇත්තේ මීගමුවේ පෙරන ලද ඉස්තරම් සුදු අරක්කු බෝතල් දෙකක් සමග බව මීගමුවේ දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව ගැන සදහන් වාර්තාවල දැක්වේ.  මෙම උප මාතෘකාවට ඉහතින් යොදා ඇති පැරණි ජයාරූපයේ දැක්වෙන ගොඩගසා ඇති බෝතල් මීගමුවේ අරක්කු නිෂ්පාදනය ගැන සාධකයක්දැයි නිශ්චිතවම කිව නොහැකිවුවද තැබැරුමක නෙමේ නම් අරක්කු, රා සහ විනාකිරි බෝතල් වල අසුරා විකිණීමට තැබීම මෙම පලාත්වල නිතර දැකිය හැක්කකි. අරක්කු නිෂ්පාදනය පිළිබද දැනුම සහ ක්‍රමවේදය කෙතෙක් දුරට මීගමුවේ ජනයා අතර පැතිර තිබේද යන්න මැනිය හැකි එක් මිනුම්දණ්ඩක් වනුයේ නීති විරෝධී මත්පැන් පෙරීම සම්බන්දයෙන් මීගමුව උසාවියේ විභාගවෙන නඩු සංඛ්‍යාවය. ඉන් ඇතමෙක් සිය පරිභෝජන සදහා හෝ මගුලක්, මංගල්‍යයක්, නත්තලක් හෝ වෙනත් උත්සවයක් සදහා 'වඩියක්' තැබුවන්වීමද විශේෂය. අවාසනාවකට නීතිය අනුව බලපත්‍රලත් සමාගම්වලට හැර අරක්කු පෙරීමට තනි තනි පුද්ගලයන්ට අවසර නැත. එහෙත් එවැනි අවසරයක් ලබා දෙන්නේ නම් මීගමුවේ නිපදවන ඉස්තරම් මත්පැන් නීතිමය බාධාවලින් තොරව මුළු රටටම රසවිදිහ හැක. අරක්කු කෙසේවුවද, මීගමුවේ නිපදවන තැඹිලි වයින්, milk වයින්, ලොවි වයින් ආදිය සම්බන්දයෙන් නම් එතරම් නීතිමය බාධාවල්  නොපවතින අතර  බොහෝ නිෂ්පාදකින් දැන් ලබාගත හැක.  

ලන්දේසි යුගයේදී වයින් සහ අරක්කු ආදී නිෂ්පාදන  සමගම හදුන්වාදුන් දුම් කොළ වගාවද මීගමුව වැලිහේන සහ දුන්ගාල් පිටිය වැනි ප්‍රදේශවල වඩාත් පැතිර පැවතිනි. දුම් කොළ වගාව පමණක් නොව පෙරියමුල්ල, කොච්චිකඩේ, දළුවකොටුව ආදී ප්‍රදේශවල දුම්කොළ කඩපේලිද දැකිය හැකිවිය. දුම්කොළ ඇසුරින් බීඩි නිෂ්පාදනය කිරීමද, යාපනේ ලොකු සුරුට්ටුවට සමාන සුරුට්ටුවක් නිෂ්පාදනය කිරීමද මීගමුවේ දුම්කොළ නිෂ්පාදකයින් අතින් සිදුවිය. විශේෂයෙන්ම යාපනේ නිපදවූ කළු සුරුට්ටුව යාපනේ හැරුණුවිට මීගමුවේ  ඉතා ඉහල ජනප්‍රියත්වයක් ඉසුලුහ.  සුරුට්ටු පෙට්ටි  එකල මීගමුවේ දැකිය හැකි සුලභ වෙළද ද්‍රව්‍යයක්විය. මත් පැන් බීම, සුරුට්ටු බීම, බුලත්, පුවක් සහ දුම්කොළ භාවිතය ගැන එකල සාමාන්‍ය දෙයක් සැලකු බවක් හෝ එතරම් විරෝධයක් එල්ල නොවුවක්විය. බුලත්, පුවක්, හුණු, දුම්කොළ, අරක්කු සුරුට්ටු ආදි කිසිවක් මීගමුවෙන් අඩුවක් නොවිනි.   

වී, එළවලු, පලතුරු සහ වෙනත් දෑ. 
මීගමුව අවට ප්‍රදේශයේ ඇති තරම් කුබුරු තිබී ඇත. මුතුරාජවෙල පිහිටියේ මීගමුවේ දකුණු කෙරවළේය. ඊට අමතරව වෙරළ සහ කලපුවේ සිට කිලෝමීරයක්, දෙකක් ගිය තැන කුබුරුය. බෝලවලානේ නැගෙනහිර ප්‍රදේශයද, අක්කර පනහ ප්‍රදේශයේද, කටුවපිටිය, ඩීන් හන්දිය, අගුරුකාර මුල්ල, දළුපොත, දළුවකොටුව ආදී ප්‍රදේශවලින් නැගෙනහිරට වන්නට කුබුරු තිබු බවත්, එහි වී වවා මීගමුව නගරේයේ විකුණු බවත්, අදටත් අත්හැර දමනලද (පුරන්වූ) කුබුරුයායවල් කිහිපයක්ම තවමත් එම ප්‍රදේශවල දැකිය හැකිබවත් නොරහසකි. පසුගිය සියවස (1900) වන විට ලංකාවේ විශාලතම සහල් විකුණුම් මධ්‍යස්ථානයක්වූ මරදගහමුල පිහිටියේ මීගමුව ආසන්නයේය. එම වෙළදපොළට සහල් සැපයු ප්‍රදේශ රාශියක් අතීතයේදී මීගමුව ආසනයට අයත්විය. එමෙන්ම මීගමුව නගරය අවට සහල් සැකසීමේ ස්ථාන හෙවත් සහල් මෝලවල් තිබු අතර ඉන් ඉවතලන දහයියා මෙන්ම සුනු හාල්ද මීගමුවේ කුකුළු ගොවි පොලවල භාවිතයට ගන්නා ලදී.  

Charles Pridham (1849) ගේ An historical, political, and statistical account of Ceylon and its dependencies (Volume 2) කෘතියේ දක්වනුයේ ප්‍රදේශයේ සහල් නිෂ්පාදනය සදහා ජල සම්පාදනයද සිදුව තිබු බවයි (and from the care with which the country is irrigated, a great deal of paddy is produced). තවද ශ්‍රී ලංකාවේ වැසියන් හතු ආහාරයක් ලෙස සකසා ගැනීම මෑත කාලවල ව්‍යාප්තවුවක් ලෙස පෙනී ගියද මීගමුව ප්‍රදේශයෙන් හතු සැපයීම ගැන Charles Pridham (1849) ගේ කෘතියේ දැක්වේ. ඔහු දක්වනුයේ  වැහිකාලයේදී මීගමුවෙන් ඉස්තරම් හතු ද පමණක් නොව දෙල්, කොස්, ආදී අනෙකුත් එලවලු වර්ගද ඕනෑම ප්‍රමාණයකින් පහසු මිලට සපයා ගත හැකිව තිබු බවය (very fine mushrooms are found here during the rainy season,   bread-fruit; vegetables may be obtained here in great plenty at moderate price) page 640.

මීගමුවේ පැවති පලතුරු අතර දොඩම්, දෙහි, ජම්බෝල ආදිය වූ බව ඔහුගේ කලින් විස්තරයක දක්වා තිබේ. ඊට අමතරව ප්‍රදේශයේ පැවති පොල්වතු ආශ්‍රීතව අන්නාසි ද, ගස්ලබුද, ගෙවතුවල විවිධ ප්‍රබේදවල කෙසෙල් සහ අඹ, පුහුල්, තල්, පේර ද ඊට අමතරව ලංකාවේ වැවෙන වෙනත් සියලුම පලතුරු මෙම ප්‍රදේශයේද විනි. එහෙත් වඩා වැදගත්දේ වී ඇත්තේ 1878 වන විටද මීගමුව ප්‍රදේශීය බලමණ්ඩලයේ (Local Board of Negombo) බදු එකතු කිරීමේ ලේබණය අනුව මීගමුව සා. පීතර විදුහල සහ පල්ලිය පිහිටි ප්‍රදේශයේ 'කෙහෙකන් කඩ වීදිය නමින් පලතුරු වෙළද පොලක් පැවතීමය වෙළද පොලක් 1870 පවා පැවතීමය. තවද Charles Pridham (1849)ට අනුව මීගමුවේ ජීවත්වූ ලන්දේසි සහ පෘතුගීසි පවුල් මැලේසියානු අර්ධද්වීපයේ වැවෙන විවිධ පලතුරු වර්ග මීගමුවේ වවා තිබු බව දක්වයි. එහෙත් ඒ මොනවාදැයි විස්තර කර නැත. පුස් බේරී, පැපොල්, ලාවුලු සහ වැල් දොඩම් (පැෂන් ෆුට්) හැර අනෙක් දෑ මොනවා දැයි යන්න ගැන ඉගියක්වත් මට තවම ලැබී නැත. 

මීට අමතරව මීගමුව තුල  කෝපි භාවිතය  ඉහලින්ම තිබු බව වාර්ථාවේ. කළු කෝපි මෙන්ම ඉගුරු, කොත්තමල්ලී එකතු කර කුඩුකරගන්නා 'මීගමු කෝපි'  කෝපි විශේෂයක් පැරණන් අතර භාවිතා වී ඇත. එය අදටද භාවිතාවේ. මීගමුව අවට ඖෂධීය ශාකවල අඩුවක් නොවූ බවද Charles Pridham (1849) ගේ වාර්තාවේ දැක්වේ (The neighborhood of Negombo abounds with medicinal plant - page 641).   

මීගමුව වානිජ්‍ය නගරයක් ලෙස වර්ධනය වීමට මෙකී නිෂ්පාදන සහ   පරිභෝජන රටාව පැහැලිවම හේතුවිය මීගමුවේ සෙනසුරාදා හවස ආරම්භවන පොළ අවසන් වන්නේ ඉරිදාට. මීගමුවේ මෙමෙ පොළ 1815 දී පවා අද තිබෙන තැනම එනම් කාමච්චෝඩයේම තිබී ඇත. මන්දයත්, රොබට් නිව්ස්ටෙඩ් පියතුමා ඉරිදා දිනය සබත් දිනයක් ලෙස ගතකිරීම සදහා සියලු පොළවල් සහ වෙළද කටයුතුද නැවැත්විය යුතුයි ඉල්ලාසිටි නිසාය ('Afterwards went to the bazar. As soon as we entered at one end, I saw several boys running to give notice to some who were keeping open botiques (stalls); they were immediately down, before we could get round the corner, but we stopped under a Moorman's veranda, who was selling rice, and began to lecture a little in Tamul, on the duty of keeping holy the Sabbath-day, showing that God would not bless ill-gotten gain. We soon had a crowd on both sides, who were very attentive, and seemed not displeased to hear... they would not sell again on the Sabbath' - Wesleyan Missionary Notices. SOAS. Vol ii ,1819-20. Ceylon. page. 241). ඉරිදා හැරුණු විට නැවතත් බදාදා ද සති පොලක් මීගමුවේ පැවැතී. ඊට අමතරව ලංකාවේ වෙනත් කිසිදු නගරයක නැති රාත්‍රි පොලක්ද (night bazaar) සෙනසුරාදා හවස මීගමුවේ පැවතී. අවට ප්‍රදේශය වලින් මෙන්ම දුර බැහැර ප්‍රදේශවලිද මීගමුවට බඩු විකිණීමට මෙන්ම බඩු මිලදී ගැනීමටද ජනයා එහි පැමිණේ.

මීට අතරව කොළඹ හෙට්ටිවීදිය හැරුණු විට ඊලගට විශාල රන් භාණ්ඩ වෙළද පොළ ඇත්තේ මීගමුවේය. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා අභරණද, ඇදුම් පැළදුම් සහ  විලාසිතා භාණ්ඩ අලෙවි කරන වෙළද පොළ ලෙස මීගමුව පසුගිය වසර 100 ක කාලය තුල විශාල වර්ධනයක් අත්කරගෙන තිබේ. මීගමුවේ පිත්තල සහ ලෝහ බඩු නිෂ්පාදනය සම්බන්ධයෙන්ද විශාල වෙළද පොලක් පවතී. මීගමුවේ ආර්ථික සහ වානිජ්‍ය ධාරිත්ව ගැන ඉතා වටිනා අධ්‍යනයක් කල මීගමුව පිටිපනින් බිහිවූ විශිෂ්ඨ බුද්ධිමත්වන මහාචාර්ය පණ්ඩිතරත්න මහතාගේ අධ්‍යනයන ගැන මතු දිනක ලිවීමට අපේක්ෂා කරමි. 

මීට අමතරව, මහාචාර්ය Chandra R. de Silva (2009) පරිවර්තනය කල පැරණි පෘතුගීසි සටහන් ඇතුලත් Portuguese Encounters with Sri Lanka and the Maldives, Translated Texts from the Age of the Discoveries කෘතියේ දැක්වෙන ලෙස පෘතුගීසින් මීගමුවේ ඉහත කී බොහොමයක් නිෂ්පාදන සිදුකල ජනයාට ක්‍රිස්තියානි ආගම හදුන්වාදී එකී එක් එක් නිෂ්පාදනයන් සිදුකල ජනයාට තමන්ටම වූ පල්ලියක් තනාගැනීමට ඉඩ දුන් බවක් දක්වයිඑය පැහැදලිවම  කුල අනුව හදුනාගැනීමක් විය යුතුය. 

කෙසේවුවද, මේකී විවිධ අනන්‍යතාවය සහිත මීගමුවේවූ විවිධ ජන කොටස් ඒකරාශි කිරීම සදහා ක්‍රිස්තියානි පල්ලිය  මෙන්ම මීගමුව නගර මධ්‍යයේ  ගොඩ නැගිණ වෙළදපොළද විශාල වශයෙන් දායක විය. ඒ පිලිබදව වෙනමම විමසා බැලිය යුතු ඉතා ඉහල අධ්‍යන වටිනාකමක් සහිත ක්ෂේත්‍රයකි. 

මෙම ලිපිය අවසන් කිරීමට මීගමුවද බයිබලේ සදහන් දෙවියන් වහන්සේ  ඊශ්‍රායල් ජනයාට පොරොන්දුවූ ආකාරයේ පොරොන්දු දේශයක් (land of milk and honey) යැයි සදහන් කථාවක් 1927 රාජ්‍ය මන්ත්‍රන සභා විවාදයක සදහන් කර ඇති බව සදහන් කරමි (ඒවා ගැන පසුව ලියමි). ඒ කථාවේ සත්‍යයක් තිබේ. එනම් මීගමුව යනු මස්ද, මාළුද, බත්, බුලත්, පුවක්ද, පොල්ද, තෙල්ද, කිරිද, පැණිද, රා - අරක්කු, දුම්කොළද,  අඹද, දොඩම්ද, පලතුරුද, එලවළුද, හැලි වලන්ද, කරත්ත සහ පාරුද, ඇදුම් ආයිතන්ද නිපදවූ සහ පරිභෝජන කල කිරියෙන්-පැණියෙන් ඉතිරූ පොරොන්දු දේශයක්ම බව ඉහතකී පැරණි වාර්තා අනුව පැහැදිලිය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
12/07/2018