This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 2 January 2018

නත්තල අවසන්. නව වසරක් ! අළුත් ඇරඹුමක්?

වැඩ අධික දෙසැම්බර්ය නිමවී නව වසරක් උදාවී ඇත. කාර්ය බහුලත්වයේ අඩුවක් නොමැතිවුවද පසුගිය මාසේ සති අන්තයන් ගෙවාදැමු නත්තල් සිරි විදිම දැන් අවසන්ව ඇත. සෑම දෙසැම්බර් මාසයකම අප සති අන්තයන් ගෙවා දැමුවේ යුරෝපයේ නත්තල් සැමරුමේ අසිරිය විදීමටය. ඒ සදහා ලන්ඩනයේ වීදිවල පමණක් නොව යුරෝපයේ ඇතැම් නගරවලද අපි සංචරණය කලෙමු. එහින් සෑම වසරකම දෙසැම්බර් සති අන්තයන් ඉතා අවිවේකීවූ අතර ඇතැම් දිනවල සතිය පුරාම මෙම අවිවේකීත්වය පැතිර පැවතුනි. එහි ප්‍රථිපලයවුයේ දීර්ඝ වශයෙන් කරුණු දක්වන ලිපිලිවීමට මෙම අවකාශයට පිවිසීමට කාලවේලාව මදවීමය. එහෙත් කෙටිසටහන් කිහිපයක්ම මම මගේ facebook  පිටුවේ තැබීමට අමතක නොකළෙමි. 

කුඩා කුඩා ක්‍රිස්තියානි සංඝයන් මර්ධනයටත්, මරණයටත්, ප්‍රාණ පරිත්‍යාගයටත් මුහුණදෙමින් රහසිගතව භක්තියෙන් ඇදහු ක්‍රිස්තු ධර්මය ක්‍රි. ව. 336 දී කොන්ස්ටන්ටයින් රෝම අධිරාජ්‍යයා (Roman Emperor Constantine) වැළදගැනීමත් සමග ක්‍රිස්තියානීන්ට සිය ආගම  නිදහසේ ඇදහීමට ඉඩප්‍රස්තාවක් සැලසිනි. ඉන් අනතුරුව ක්‍රිස්තියානි ජනයා ක්‍රිස්තුස් වහන්සේගේ උපත ප්‍රසිද්ධියේ සැමරීමට පියවර ගැනුනි. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ කවදාදැයි බයිබලයේ සදහන් නොවන නිසා ඒ සදහා දෙසැම්බර් 25 වෙනි දිනය යොදාගැනීම වඩා උචිතයැයි  තීරණය කලේ ක්‍රි. ව. 338දී පළමුවන  ජුලියස් පාප්වරයාය (Pope Julius I) එහිලා හේතුවුයේ එවකට රෝම වැසියන් ජුලියස් සීසර් (Julius Caesar) අධිරාජ්‍යයාගේ උපන්දින සැමරූ දිනයවූ දෙසැම්බර් 25ට ආදේශකයක් ලෙස බවත්, යුරෝපයේ පැරණි ආගම්වල දෙවිවරුන් (pagan gods and goddess) සැමරූ ශීත උත්සවය යෙදී තිබුනේ මෙම කාලයේ නිසා එයට විකල්පයක් ලෙස බවත් කරුණු දක්වන්නන් සිටී. 

එහෙත්, ක්‍රිස්තියානි පල්ලියේ චිනත්කයෙක් වන ඔගෝස්ටයින් හිපෝ (Augustine of Hippo) ක්‍රි. ව. 368දී දක්වා ඇත්තේ පළමු ජුලියස් පාප්තුමා (Pope Julius I) ජේසු උපත සැමරන නත්තල් දිනය ලෙස දෙසැම්බර් 25 දිනය යොදාගැනීමට තීරණය කලේ එම දිනය රෝම දින දර්ශනයේ ශීත කාලයේ අදුරුම දිනය හෙවත් හිරු එලිය අඩුම දිනය වන winter solstice දිනයවූ නිසාත්,  ඉන් අනතුරුව එලබෙන දිනවල අදුරුකාලය ක්‍රමයෙන් අඩුවී හිරු එලිය ක්‍රමයෙන් වැඩිවන සමය උදාවෙන නිසා බවය. එය බයිබලයේ සදහන් දිවැසිවරයෙකු වන මලචි (Malachi) සහ සුවිශේෂ කතුවරයෙකුවූ ජොහාන් (John) ආදීන්ගේ ඉගැන්වීම්වූ ගැලවුම්කරුවා හෙවත් ජේසුතුමාගේ උපත 'යහපතේ හිරු' (Sun of righteousness) එළියේ උදාව සහ 'ලෝකයේ ආලෝකයේ' (the light of the world) උදාව ලෙස දක්වා තිබීම ඉහත දිනය තෝරාගැනීම හා හොදින් ගැලපීම ඊට හේතුවූ බව ඔගෝස්ටයින් හිපෝගේ(Augustine of Hippo) තර්කයයි . 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදුරු ශීතකාලයේ වර්ණවත්ම සමය නත්තල් කාලය ය. 

නේක වර්ණ ආයිත්ම්ගෙන් සරසා, වයිවාරණ විදුලි බුබුළුවලින් ආලෝකමත්කල නත්තල් ගස්ද, විවිධ වර්ගයේ සැරසිලිවලින් වර්ණවත්වූ  වීදි ද, නත්තල් පොළවල් සහ නත්තල් කඩ පිල්ද (Christmas Market),  කැරොල් ගයනා සහ නත්තල් ගීතද, නත්තල් දින දිව්‍ය පුජාවද, නත්තල් සීයා (Santa Claus) සහ කුඩා ළමුන්ගේ බලාපොරොත්තු ඉටුවීම්ද, නත්තල් රසකැවිලිද, රසවත් කෑම-බීම සහ සතුටු සාමිච්චියන්ද, නෑ-සිය-මිත්‍රාදීන්ගේ එකතුන්ද, නෑගමන් සහ බැහැදැකීම්ද, තෑගී බෝග ආදි බෙදාගැනීම්ද, සුබපැතීම් සහ ලෙන්ගතුකම් පෑම්ද.........කියාපානුයේ 

සත්තකින්ම, නත්තල යනු සොදුරු ලොවක නව උදාව නොවේද? වඩා යහපත්, සුන්දර ලෝකයක් පිළිබද බලාපොරොත්තු දැල්වීමක් නොවේද?

ලෝකයේ ආලෝකය සහ යහපතේ ආලෝකය නත්තල තුල සලකුණු කරන බව එනයින්ම පැහැදිලිය. 

නත්තල් සමය මේ සෙනසුරාදා (ජනවාරි 6/2018) එළබෙන බිලිදු ජේසුතුමා බැහැදැකීමට රජතුන් කට්ටුවේ පැමිණීම (Epiphany) හෙවත් පෙරදිග රජවරු තිදෙනෙක් ජේසුතුමා යුදෙව් නොවන ජනයාගේ (Gentiles) ද ගැලවුම්කරුවා ලෙස පිළිගැනීමේ මංගල්‍යය සැමරීමත් සමග අවසන්වේ. 

ඒ නව වසර උදාවී දින කිහිපයකටම පසුවය. 

අප නව වසර අරඹනුයේ නත්තල තුල දල්වාලූ යහපත පිළිබද අපගේ බලාපොරොත්තු සමගය.

උදාවූ නව වසර 'යහපතේ ආලෝකයේ' ම වසරවේවා යැයි යන්න මගේ ප්‍රාර්ථනයයි !!!

විශේෂයෙන්ම එම 'යහපතේ ආලෝකය' මේ වසර තුලදීවත් අපගේ නගරයවන මීගමුවට ලැබේවා යැයි යන්න ඊටත් වඩා මගේ ප්‍රාර්ථනයයි!!!

පල්ලි, පන්සල්, කෝවිල්වල අඩුවක් නැති අපේ මීගමුවට අද වෙනදාටත් වඩා යහපතේ ආලෝකය පැහැදිලිවම  අවශ්‍යව ඇත. 

පුංචි රෝමය ලෙස හැදින්වූ  අපගේ මීගමු නගරය අද ජරාජීරණවී, දුගන්දයෙන් පිරී, අපිරිසිදුකමින් ඉහවහ ගොස් ඇතිවාට අමතරව මත්ද්‍රව්‍ය, අපරාධ, දුෂණ, වංචා, දිළිදුකම, අල්ලස, සූරා කෑම, අකටයුතුකම සෑම අස්සක් මුල්ලකම අරක්ගත්, නැති බැරි මිනිහා පාගා පොඩිකර දමමින්  එකෙක් දෙදෙනෙක් පමණක් සුරසැප විදින,  පාදඩකම රජකරන නගරයක් බවට පත්ව ඇත. 

අපේ නගරයට යහපත පිළිබද ආකල්පය අපි රැගෙනා යුතුව ඇත. 

ඒ සදහා එළබෙන සෑම අවස්ථාවකදීම ඒ සදහා එක ලෙස පෙලගැසෙමු. 

මීගමුවේ මහනගර සභා මැතිවරණය මෙහිලා හොද අවස්ථාවක් කරගනිමු.

යහපතේ ආලෝකය මීගමුවට රැගෙන ඒමට, මීගමුවේ පාදඩ පාලනය පන්නා දමමු!!! 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
02/01/2018.

4 comments:

  1. කවදත් බුද්ධිමත් මීගමුවේ මිනිස්සු මහින්දගේ පොට්ටුවට රෑවටෙන එකක් නෑ

    ReplyDelete
  2. ඇත්තටම, Mr. Anton මේ ඡන්දයේදී වඩාත්ම තීරණාත්මක මීගමුවේ බුද්ධිමත් මිනිස්සුන්ගේ ඡන්දය නේම්. ඒ අයගේ තීරණය පැහැදිලියි. ප්‍රශ්නය ඇත්තේ මීගමුවේ අවවරප්‍රසාදීත, අවම පහසුකම් සහිත, ඉතා අසරණ මිනිස්සුන්ගේ ඡන්දයයි. මීගමුවේ කුඩු දේශපාලනය පදනම්වෙලා තියෙන්නේ මේ පිරිස අතරයි. ඔවුන් ප්‍රමාණය සහ සංඛ්‍යාත්මක වශයෙන් තීරණාත්මකයි. ඊටත් වැඩියෙන් කොට්ඨාශ ක්‍රමය තුල ඔවුන් වඩාත් තීරණාත්මකයි. මේ පිරිසේ ඡන්දය මත මීගමුවේ කොට්ඨාශ 13 ක ප්‍රථිපල තීරණය වෙනවා. මීගමුවේ කුඩු දේශපාලනය රැදී ඇත්තේ මේවගේ තැන්වලයි.

    ReplyDelete