This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 28 January 2018

මීගමුවේ ලාන්සලාගේ පොහොට්ටුව පැරදවිය යුත්තේ ඇයි ?


පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරව  මීගමුවේ  දේශපාලනය පෙළගැසුනේ කෙසේදැයි යන්න සොයාබැලීම සදහා මම මීගමුවේ විවිධ දේශපාලන පක්ෂවල නායකයින්ට, අපේක්ෂකයින්ට සහ දේශපාලන ක්‍රියාකාරීන් අතරින් යම් පිරිසකට  කථා කලෙමි. ලැබුනු බොහෝ තොරතුරු පිළිබදව නැවත සොයා බැලීමක් කිරීමටද මම අමතක නොකලෙමි. ඒ ඇසුරින්  මේ දක්වාවූ මීගමුවේ පලාත් පාලන මැතිවරණය සදහාවූ පෙළගැස්ම ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිවිනි.  

පෙනී යන පරිදි මීගමුවේ මැතිවරණ උණුසුම දැනෙන්නට පටන් ගන්නේ පසුගිය නොවැම්බර් 02 දිනයේ (02/11/2017) හවස සිටමය. ඒ  ෆයිසාල් මුස්තාපා ඇමතිවරයා එක් එක් පලාත් පාලන ආයතන සදහා පත්කරගන්නා නියෝජිතයන් සංඛ්‍යාව ඇතුළත් අංක 2043/56 දරන ගැසට් නිවේදනය නිකුත්කල දිනයේ සිටය. එයට පෙර සිටම එළබෙන පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහ නගර සභාවට තරග කරන්නේ කවුද? කෙසේද? යන්න සම්බන්දයෙන් විවිධ කතාබහ පැවතියද සංයුක්ත පෙළගැස්මක් දියත්වනුයේ මින් අනතුරුවය. 

අදාල ගැසට් නිවේදනය නිකුත්කළ සැන්දෑවේ සරත් කුමාර ගුණරත්න මහතාගෙන් මීගමුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු  නාගරික මන්ත්‍රීවරුන්‌ කිහිපදෙනෙකුට දුරකථන ඇමතුමක් ලැබුණි. සරත් කුමාර ගුණරත්න යනු මීගමුවේ  පොහොට්ටුවේ සංවිධායකයා ලෙස කටයුතු කරමින් සිටින මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමතිවරයෙකි. මීගමුව කලපුව සංවර්ධනය කිරීමට වෙන්කළ මුදල් වංචාකිරීම සම්බන්දයෙන් ඔහුට විරුද්ධව නඩු පවරා ඇති අතර කිහිපවරක්ම රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි චුදිතයෙකි. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නොඅඩු අනුග්‍රහය ලබන්නෙකි. සෑම නත්තල් සමයකම ශිරන්ති රාජපක්ෂ මැතිනිය ලන්දේසි Bruder කේක් ගෙඩියක් රැගෙන යන ගෙවල් අතර සරත් කුමාර ගුණරත්නගේ නිවසද වේ. (සරත් කුමාරලාගේ කෙරුවාව ගැන මා මෙයට පෙර ලියු ලිපියට මෙතනින් පිවිසිය හැක). මීගමුවේ එ. ජ. නි. සන්ධානයේ හිටපු  නාගරික මන්ත්‍රීවරුන්‌ටද, තරග කිරීමට අපේක්ෂා කරන අපේක්ෂක, අපේක්ෂිකාවන්ටද සරත් කුමාර ගුණරත්න මහතා ලබාදුන්  ඉහත දුරකථන ඇමතුම ඔස්සේ ඉල්ලා සිටියේ පැවැත්වීමට නියමිත පලාත්පාලන මැතිවරණය සදහා මීගමුව මහ නගර සභාවට තරගකිරීමට සුදානම්වීමේ සාකච්ඡාවට සහභාගීවෙන  ලෙසය.   

එහෙත් සරත් කුමාර ගුණරත්න මහතා මීගමුව මහ නගර සභාවේ සිටි  එ. ජ. නි. සන්ධානයේ මන්ත්‍රීවරු 16ටම ඉහත දුරකථන ඇමතුම  ලබාදුන්නේ දැයි පැහැදිලි නැත. මන්දයත් සරත් කුමාර ගුණරත්න කැදවු සාකච්ඡාවට මීගමුවේ සිටි එ. ජ. නි. සන්ධානයේ මන්ත්‍රීවරු 16 දෙනාම සහභාගී නොවීම එයට හේතුවයි. 

කවුරුත් දන්නා ලෙස මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සරත්  හිතවාදීන් සහ ලාන්සා හිතවාදීන් ලෙස දෙකට බෙදී සිටියහ. නිමල් ලන්සාගේ නිවසේ නීති විරෝධී ද්‍රව්‍ය රැස්කර ඇතයි කියා අපරාධ දෙපාර්තමේන්තුවට දැනුම්දී මීගමුව පින්කො වත්තේ පිහිටි ලන්සාගේ නිවස සහ ඔහුගේ ව්‍යාපාරික සගයන් කිහිප දෙනෙකුගේ නිවෙස්  එකවර වැටලීමේ  දැවැන්ත මෙහෙයුම  පිටුපස  සිටියේ සරත් කුමාර ගුණරත්න බව  නිමල් ලාන්සා විසින් අවස්ථා කිහිපයකදීම මාධ්‍යයට දක්වා තිබුණි. නිමල් ලාන්සා සහ  කුඩු ජාවාරම පිලිබදව කථා පතුරුවන්නේ සරත් කුමාර ගුණරත්නගේ පාර්ශවය බව  ලන්සාගේ පාර්ශ්වයේ අදහසයි. "මෙහෙම ගියොත් මීගමුව කුඩු පුරවරයක් වේයැයි" සරත් කුමාර ගුණරත්න අවස්ථා කිහිපයකම මාධ්‍යට පවසා තිබුණි. අනෙක් අතට සරත් කුමාර ගුණරත්නලාගේ මුහුදු වැලි විකිණීමේ ජාවාරම්, ධීවර අමාත්‍යාංශය හරහා සිදුකල අයථා ගනුදෙනු මාධ්‍යයට හෙළිකළේ ලාන්සා පාර්ශ්වය බව සරත් කුමාරගේ පාර්ශ්වයේ අදහසයි. 

එහෙත්, ඇත්තවශයෙන් සිදුවෙමින් පැවැතියේ නිමල් ලන්සා මෙන්ම  සරත් කුමාර ගුණරත්නද රාජපක්ෂ පාලනය යටතේ තහවුරුකර ගත් දේශපාලන බලය යොදාගෙන සිදුකල විවිධ ජාවාරම්, අයථා ගනුදෙනු, වංචා, සොරකම් සහ කප්පම් මගින් උපයාගත් ලාභයන් බෙදාගැනීමේ තරගය ය.  කුට්ටිය බෙදා ගැනීමේ සහ ගොඩ ලොකු කරගැනීමේ මෙම තරගය තීව්‍රවූ සෑම විටම දෙපිල අතර ගැටුම් ඇතිවිය.  ඒ සෑමවිටම බැසිල් රාජපක්ෂ පමණක් නොව මහින්ද රාජපක්ෂද දෙපැත්ත 'ශේප්' එකේ බිස්නස් කරන ආකාරය දෙපාර්ශවයටම තේරුම්-බේරුම් කරදී ගැටුම් නිරාකරණය කළේය. මෙම කූට, කුජිත, කුහක කලබැගෑනීන් අතර ඉන් විසිවෙන කුඩ්ඩක්, පොත්තක්, කෑල්ලක් සහ ලැබෙන දෙයක් කා ජීවත්වෙන පිරිසක්ද සරත් කුමාරගේ මෙන්ම නිමල් ලංසාගේද පාර්ශවයන් ඇසුරෙන්ද ගොඩනැගුන බව නොරහසකි. එම පිරිස අතර දෙපාර්ශවයේම 'ඉහේ ඉදන් කන කෑ' පිරිස් දෙදෙනාගෙන්ම  "පනයම්" කමින් සිටින බවද සරත් කුමාර මෙන්ම ලාංසලා ද දනිති. මේ සියල්ලන් එකතුකර මීගමුවේ මහ නගර සභා මැතිවරණය සදහා ලැයිස්තු සකසන්නේ කෙසේදැයි යන්න අපි ඉතා ඕනෑ කමින් බලාසිටියෙමු. මෙම පෙළගැස්ම ගැන මම යම් ඉගියක් මීට පෙර ලියු මීගමුව මහනගර සභා මැතිවරණයට නව නගර සංවර්ධන සැලැස්මක්  යන ලිපිය ඔස්සේ සැපයීය. 

මීගමුවේ පොහොට්ටුවේ ලැයිස්තු සකසන්නේ සරත් කුමාර ගුණරත්න විසින් බවත් හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු මෙන්ම නගරාධිපතිවරයෙකුවූ  වයස්ගත හර්මන් කුරේරා මහතා නගරාධිපතිවරයා ලෙසත්, කපිල නන්ද සුලෝචන මහතා උප නගරාධිපතිවරයා ලෙසද ඉදිරිපත් කරන බවට රාවයක් පැතිර යමින් පැවතිනි. හර්මන් කුරේරලා මීගමුවේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ මුල්බැසගත් සාමාජිකයින්විය. කලක් ඔවුන්ගේ පියා, බර්නාඩ් කුරේරා මහතා, මීගමුවේ ශ්‍රී. නි. පක්ෂයේ සංවිධායකවරයෙක් විය. මැතිවරණවලින් පැරදුනු ඔහුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනියව සිටි සමයේදී  ලංකා පිගන් සංස්ථාවේ සභාපති ලෙස දේශපාලන පත්වීමක් ලබාදෙන ලදී. 

පසුව මීගමුවේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සංවිධායකයෙක්වූ, මීගමුවේ දේශපාලනයේ ජඩ යුගය ඇරබු, කුප්‍රකට ආනන්ද මුණසිංහලාගේ සමයේදී මෙන්ම සරත් කුමාර ගුණරත්නලාගේ සමයේදීද කුරේරලා ඔවුන්ට සමීපව සිටිමින් අමත්‍යාංශවල තනතුරු, රථ වාහන සහ වරප්‍රසාද භුක්ති වින්දහ. හර්මන් කුරේරලාගේ සහෝදරයා මෙන්ම ඔහුගේ පුත්‍රයාද ධීවර අමාත්‍යාංශයේ එලෙස තනතුරු දැරුහ. රාජපක්ෂ රජය පෙරලී යහපාලනය පැමිණ සරත් කුමාර ගුණරත්නලාට නඩු වැටෙන විට ඔවුහු වහා වහා නැවත රාජපක්ෂලා බලයට ගෙන ඒමට පෙලගැසෙන්නේ මෙම තත්වය තුලය.

එහෙත් පොහොට්ටුවේ උප උප නගරාධිපතිවරයා ලෙස ඉදිරිපත් කරන බවට රාවයක් පැතිර ගිය කපිල නන්ද සුලෝචන මහතා නිර්ධනයෙක් විය. හේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධායකයෙකු ලෙස පෙරට පැමිණි තැනැත්තෙකි. ඔහු වඩා ප්‍රසිද්ධවී සිටියේ මහජන සේවය නිසාවෙනි. පාරක විදුලි බුබුලක් දමාගැනීමේ සිට පල්ලියේ මංගල්‍යයට ලයිට් දමාගැනීම දක්වා ප්‍රදේශයේ සියලු  ප්‍රශ්න පක්ෂ භේදයකින් තොරව මහජනයා ඔහු වෙතට ගෙන ආවේ ඔහු අවංකවම එම සේවය ඉටුකරදීමට කැපවී සිටින බව ඔවුන් දන්නා නිසාය. මීගමුවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් අතරින් ඇත්තටම මහජන සේවයක් සිදුකළ පුද්ගලයෙකු ලෙස ඔහු ප්‍රචලිතව සිටින ලදී. මීගමුවේ ලාන්සලාගේ දේශපාලනයට  කපිල නන්ද සුලෝචනව මුල සිටම පෙනීගියේ අභියෝගයක් ලෙසය. එහි ප්‍රතිපලය වන්නේ මීගමුවේ මැර දේශපාලනයේ  නාදුනන ප්‍රහාරකයන්ගේ මන්නා පිහිපහරට කපිල ගොදුරුවීමය. වර්ධනය වන තත්වය එතරම් යහපත් නොවන බව තේරුම්ගත් සරත් කුමාරගේ පාර්ශ්වය වහාම කපිල වෙනුවෙන් සිටගත් අතර සියලු පාර්ශවයන්ට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේලාගේ සමයේ දී මෙන් ජෝති-සාති යුගයක් කරා යෑම වළක්වා ගත යුතුවිය. 

''සරත් ලිස්ට් එක හදන්න ගත්තොත්, අපිට පරිප්පු නේද?" යැයි ලන්සලාගේ පාර්ශවයේ අය ලාන්සලාගේන් අහන්නේ මේ තත්වය තුලය. 

"පිස්සුද ඕයි, ඌට එහෙම දෙනවද? ඌට ගමේවත් චන්ද ගන්න බැරි එකා, බැසිල් නැත්නම් ඕකට මන්ත්‍රිකමත් නැහැ, මීගමුවෙත් තිබුනේ ජන්ද 4,000යි, ඕකුන් ඔක්කොටම හැමිනිලා යන්න අයියා එනවා" යැයි එසේ විමසු සියල්ලන්ට ලාන්සා පාර්ශ්වයෙන් පිළිතුරු ලැබී ඇත.   

මීගමුවේ හිටපු නගරාධිපති, ලාන්සලාගේ බළල් අතක්වූ ඇන්තනී ජයවීර  නිමල් ලාන්සා පැමිණෙන බව ප්‍රසිද්ධියේ කියන්නේ මේ තත්වය තුලය. 

ඉන් අදහස් කලේ නිමල් ලාන්සා ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන බවද? නැතහොත් අණඩුවෙන් ඉවත්වී පැමිනෙන බවද? යන්න එක වරම පැහැදිලි නැතිවිය. එයට හේතුවුයේ නිමල් ලාන්සා ආණ්ඩුවේ උප ඇමතිවරයෙක් ලෙස සිටියද පසුගිය කාලේ ඔහු පදිංචිවී සිටියේ ඕස්ට්‍රේලියාවේය. ලංකාවේ ගතකලේ මාසෙකට දින කිහිපයක් හෝ මාස කිහිපයකට දින කිහිපයක් පමණි. 

කෙසේවුවද, ඉකුත් දෙසැම්බර් 19 වෙනිදා බලාපොරොත්තුවූ ලෙස නිමල්  ලන්සා ආණ්ඩුවේ උප ඇමතිකමෙන් අස්වී මීගමුවේ මහ නගර සභාවේ ලැයිස්තුව සකස් කිරීමට පැමිණියේය. ශ්‍රී. නි. පක්ෂයට සමීප ආරංචි මාර්ගවලට අනුව ඔහු ප්‍රථමයෙන් මීගමුවේ ශ්‍රී. නි. පක්ෂ ලැයිස්තුව සැකසීමට ඉල්ලා තිබේ. එහෙත් ඔහුට දන්වා ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයා පත්කළ  මීගමුවේ නව ශ්‍රී. නි. පක්ෂ සංවිධායකයා වන ලලිත් ටෙන්සින් මහතා ඒ සදහා කටයුතු කරන බැවින්, වත්තල සංවිධායකයා ලෙස එහි ලැයිස්තුව සකස් කිරීමට කටයුතු කිරීමට මුල්වෙන ලෙසය. 

එහෙත් ලාන්සලාට අවශ්‍යවුයේ මීගමුවේ ලැයිස්තුව සකස්කිරීම මිස වෙනත් ලැයිස්තු සකස් කිරීම නොවේ. ලාන්සලාගේ පවුල මීගමුවේ beach park තුලින් පමණක් මාසයකට ලක්ෂ 30ක් ලබන බවත් එහෙත් මීගමුව මහ නගර සභාවට ගෙවන්නේ ඉන් ලක්ෂයක් පමණක් බවත්, මීට අමතරව මීගමුවේ අවසරලත් සහ අවසර නොලත් ව්‍යාපාරවලින් රුපියල් කෝටියකට වඩා ලාභ ලබන බවත්, මීගමුවේ වෙරළ කලාපයේ බොහෝ දේපල විකිණීමෙන් සහ මිලදී ගැනීමෙන්ද,  රාජපක්ෂ පවුලේ අනුග්‍රහය ඇතිව සහ නැතිව සිදුකරන තවත් ව්‍යාපාරවලින් ඊටත් වඩා අධික ලාභයක් ලබන බවත්, මීගමුව මහනගර සභාවට වැල්ලවිදිය සහ කුඩාපාඩුව කොට්ඨශවලින් එක්සත් ජාතික පක්ෂයෙන්  තරගවදින දොස්තර හෙන්රි රොසයිරෝ මහතා මෙන්ම හිටපු ගුවන් හමුදා නිළධාරියෙක්වන රොෂාන් කොන්රඩ් මහතාද දැන් ප්‍රසිද්ධියේම චන්ද රැස්වීම්වල කියමින් යයි. 

නිමල් ලන්සාට සිය සොහොයුරා වන දයාන් ලන්සාව නැවතත් මීගමුව මහ නගර සභාව මෙහෙයවීමට ගෙන ඒම අත්‍යවශ්‍ය උවමනාවක් වන්නේ මෙම කරුණු නිසාවෙනි. ඇන්ටනී ජයවීර හෝ වෙනත් කිසිවෙකු නාමික නගරාධිපතිවරයා ලෙස පත්කර දයාන් ලාන්සා උප නගරාධිපති ලෙස සිටිමින් පසුගිය කාලයේ ඔවුන් කළාක් මෙන් 'ගේම' ගසන හැටි ඔවුන් හොදට දනී. 

මහජන මුදල් ගසාකෑ හොරුන්ට එරෙහිව ඇති නඩුවලින් බේරීමටද, දේශපාලනයේ යෙදෙමින් නියම්-අනියම් ආකාරයෙන් රැස්කරන ධනය, බලය සහ වරප්‍රසාද රැකගැනීමටද පිහිටුවා ඇති ලංකාවේ කුජීතම දේශපාලන පක්ෂයවන පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවෙන් නාම යෝජනා දීමට මීගමුවේ සරත් කුමාර පාර්ශවය මෙන්ම නිමල් ලන්සාගේ පාර්ශවයද එකට එකතුවෙන්නේ මේ තත්වය තුලය. 

මීගමුවේ පොහොට්ටුව ගොඩ නැගූ කපිලට මෙන්ම, දේශපාලන වශයෙන් නොකිලිටි, තරුණ වෘත්තීකයෙක් වන පිටිපන විකුම් ප්‍රනාන්දුව මීගමුවේ පොහොට්ටුවෙන් අවසාන මොහොතේ කපා දමන්නේ ඉහත කී අශුද්ධ සන්ධානයට කපිලලා, විකුම්ලා වැනි අය සිටීම තමන්ගේ රෙදි වලට වඩා ඔවුන්ගේ රෙදි සුදුබව පැහැදිලිව පෙනී යෑම ඔවුන්ට අවාසිදායක නිසාය. 

මීගමුවේ මේ අවලම් දේශපාලනය දැන් අහෝසි කල යුතුය.  ලාන්සාලාගේ මෙන්ම සරත් කුමාර ගුණරත්නලාගේද,  ඔවුන්ගේන්  විසිවෙන කුඩ්ඩක්, පොත්තක්, රොඩ්ඩක්, කෑල්ලක් සහ ලැබෙන දෙයක් ගෙන ''රෝම්පි"යෙන්  ජීවත්වෙන පිරිස්ද පරාජයට කල යුතුය. මීගමුවේ මේ එකතුවේ ලැයිස්තුව පොහොට්ටුව වන බැවින් මීගමුවේ පොහොට්ටුව පරාජය කල යුත්තේ  ඒ නිසාය. 

එහෙත්, ප්‍රශ්නය වන්නේ ඒ සදහා මීගමුවේ චන්දේ දෙන්නේ කාටද  යන්නය. 

මීගමුවේ ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම, මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද දුර්වලය. 

මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි  හිටපු නාගරික මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 13 දෙනෙකුම සිටියේ ලාන්සලාගේ සහ සරත්ලාගේ සාක්කුවලය. ඔවුන් දැන් ඉල්ලන්නේ පොහෝට්ටුවෙනි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකයා වන ලලිත් ටෙන්සිල් මහතා නැවතත් මීගමුවේ හොද ශ්‍රී ලංකා කාරයින්ගෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් සෑදීමට කටයුතු කරමින් සිටී. එම උත්සාහය සාර්ථකවේන්නේ නම් යහපත්ය.

මීගමුවේ පොහෝට්ටුවට පැහැදිලිවම අභියෝග කිරීමට ඉතිරිවී ඇති එකම පක්ෂය මීගමුවේ එක්සත් ජාතික පක්ෂය පමණක්වීම කණගාටුවට කරුණකි. 

රටපුරාම මෙන්ම  මීගමුවේද එක්සත් ජාතික පක්ෂයට විරෝධයක් ඇති බව පැහැදිලිය. එය යුක්ති සහගත විරෝධයකි. මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රොයිස් විජිත ප්‍රනාන්දු මහතාට ජුවෙල් ලංකා ආයතනය කොල්ලකෑම ගැන නඩු විභාගයක් පවතී. එය තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නකි. ලාන්සලාගේ භිෂණයට භය බීරන්තවී සිටි මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් අවධි කලේ රොයිස් විජිත ප්‍රනාන්දු මහතාවුවද ඔහුට ඉදිරිපත්වී ඇති ඉහත චෝදනා නිසාම මීගමුවේ එක්සත් ජාතික පක්ෂය තුල ඔහුට අභියෝග කරන පිරිස්ද කදවුරු බැද සිටී. පැහැදිලිවම ඉහත නඩු විභාගයේදී  රොයිස් විජිත ප්‍රනාන්දු මහතා වැරදිකරුවෙකු වුවහොත් ඔහුට සියලු තනතුරු අහිමිවෙන බව සියල්ලෝමදනී. ජාතික මට්ටමින්  රවී කරුණානායක මහතාගේ සිද්ධිය පමණක් නොව මීගමුවේ එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුලද එවැනි උදාහරණක් වේ. ඒ හිටපු නරාධිපතිවරයෙකුවූ දළුපොත හෙන්රි ප්‍රනාන්දු මහතා අල්ලස් ගැනීමකට වරද කරුවෙකුවූ විට ඔහුව තනතුරෙන් පමණක් නොව පක්ෂයෙන්ද එළවීමට කටයුතු කළේය. දැන් ඔහු මීගමුවේ සරුංගලය නම් ස්වාධීන කණඩායමෙන් තරග කරයි. එම නිසාම ප්‍රදේශයේ කොල්ලෝ කියන්නේ හෙන්රි අයියා දැන් දළුපොත සරුංගල් අරින බවය. මේ අනුව පෙනීයන්නේ රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ දේශපාලන පැවැත්ම ඇත්තේ ඔහු එක්සත් ජාතික පක්ෂය තුල විනයවත්ව, ආදර්ශවත්ව සිටින තාක්කල් පමණක් බවය. පක්ෂයෙන් පිට ඔවුන්ට පැවැත්මක් නැත.

එහෙත්, නිමල් ලාන්සලාව එසේ පාලනය කිරීමට දැන් හැකිද? කිසිම පක්ෂයකට ඔහු පාලනය කල නොහැකි තත්වයකට ඔහු ලගාවී ඇත. ඔහු දැන් තොණ්ඩමන් කෙනෙකු මෙන් එහාට මෙහාට පනිමින් සැරසෙන්නේ මීගමුවේ ජනයාව උකසට තබා, සරත් කුමාරටද කොටසක් දී  තමන්ගේ අවලම්, කුජිත ව්‍යාපාර කරගෙන යෑමට දේශපාලනය යොදා ගැනීම නොවේද? 

මීගමුව මෙන්ම මීගමුවේ ජනයාද මේ කුජීත, කූට, අවලම් දේශපාලනයෙන් පැහැදිලිවම මුදවාගත යුතුය. ඒ සදහා 
මීගමුවේ 
ලාන්සලාගේ පාලනය පරදවමු. 
 මීගමුවේ
පොහොට්ටුවට චන්දේ නොදෙමු !!! 

2 comments: