This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 20 February 2018

විශ්වාසීන්ගේ මහත් භක්තියට පාත්‍රවූ පාතිමා පුදබිම වෙත ගියෙමි.


පාතිමා සිද්ධස්ථානය යනු අප කුඩාකල සිටම ඇසීමටත්, දැකීමටත් බොහෝසේ ආශාකල කතෝලිකයින්ගේ මහත් භක්තියටත්, ආදරයටත් පාත්‍රවූ ආශ්චර්යමත් පුදබිමක් විය. ඒ මීට වසර 101කට පෙර, එනම් 1917දි, ජසින්තා මර්ටෝ, ෆ්‍රැන්සිස්කෝ මර්ටෝ(Jacinta and Francisco Marto) සහ ලුසියා සන්ටෝස් (Lúcia Santos) යන දරුවන් තිදෙනාට දේවමාතාවන් වහන්සේ දර්ශනයවීමත්, ඈ අහසේ පෑ  ආශ්චර්යවත් සිදුවීම් පෙළත් නිසාය. 

එම සිදුවීම් පෙළ ඡයාරූපයට නැගීමටත්, රූප මාධ්‍ය තුල පටිගත කරගැනීමටත් හැකිවීම තුල එය ලොවපුරාම වේගයෙන් ප්‍රචාරණයවිය. පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් ගණනාවකම සාකච්ඡාවට ලක්කර තිබු දේව මෑණියන් වහන්සේගේ පාතිමා දර්ශනය මම කුඩා අවධියේදී නිතර ඇසු විස්තරයක් විය. ඒ හා සමානවම ප්‍රංශයේ ලුර්දු නුවර බෙර්නඩේට් සුබ්‍රියස් (Bernadette Soubirous) නම් දැරියට දේවමාතාවන් දර්ශනයවීම පිලිබද විස්තරයද අප කුඩා කල බොහෝවාරයක් ඇස් දල්වා අසාසිටි විස්තරයක් විය. 

මෙම විස්තරය අපට කියාදුන් මගේ මව, ලොකු අම්මා (මීගමුවේ මවගේ මවට කියනුයේ ආච්චි නොව ලොකු අම්මා කියාය.) මෙන්ම වෙනත් වැඩිහිටියන්ද, පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ද අපට නිතර පසක් කර දෙනු ලැබුවේ කුඩා දරුවන් දේව විශ්වාසයෙන් සහ යහපත්කමින් කල්ගෙවන්නේ නම් ඉතා ප්‍රියකරු, ආශ්චර්යවත් දේවමාතාවන් වහන්සේ වන මරියතුමීය දැක ගැනීමට හැකිවෙතැයි යන්නය.

එය හුදෙක් ලාංකීක කතෝලිකයන් අතර පමණක් නොව ලොව පුරාම බොහෝ කතෝලික ප්‍රජාවල් සිය දරුවන්ට ඉගැන්වූ ධර්මතාවයකැයි දැන් පෙනීයයි. ඒ බව විශේෂයෙන්ම බොස්නියා-හර්සගොවිනියා (Bosnia and Herzegovina) රටේ මජගොරි (Međugorje) ප්‍රදේශයේ දේවමාතාවන් දර්ශනයවීම් සහ ඒ ආශ්‍රිත සිද්ධි සමුදායන් ඔස්සේ තේරුම්ගත හැක. 1980 පටන් දේවමාතාවන් වහන්සේගේ දර්ශනයන් පිළිබද ආරංචිවෙන එම ප්‍රදේශයට පවුල් පිටින් දරුවන් සමග පැමිණ යදින ඇතැම් දෙමාපියන් වාර්තාකරනුයේ තම දරුවන් දේවමාතාවන් දැකගැනීමේ භාග්‍යය අත්විදි බවය. දරුවන් දුටු දර්ශනයන් පිලිබදව කතෝලික පල්ලිය සිය අවධානය යොමුකර ඇත.  

කෙසේවුවද, පාතිමා සිද්ධස්ථානය  පිහිටා ඇත්තේ පෘතුගාලයේවීමද මට එහි යෑමට වූ උවමනාව තවත් දිරිමත් කල අනෙක් කාරණය විය. විශේෂයෙන්ම මාගේ ගම්පලාතවූ මීගමුව සහ පෘතුගීසින් ආශ්‍රිතව පැවති නොයෙකුත් යටත්විජිත සම්බන්දතාත්, ඔවුන් නික්ම ගොස් වසර 350කට අධිකවුවද තවමත් ඔවුන්ගේ සිරිත්විරිත්, කෑමබීම, භාෂා යෙදුම් සහ අංග උපාංගයන් අප මත තබා ඇති විවිධ බර තැබීම් ආදිය නිසාත් පෘතුගාලය නැරබීමට යෑමට මා පමණක් නොව බොහෝ ලාංකිකයන් කැමතිවෙනු ඇත. 

කෙසේවුවද, පෘතුගාලයටත්, පාතිමා නුවරටත් යෑම පිලිබදවවූ අපේ උවමනාව ගිය වසරේදී අප කල් තැබුවෙමු. ඒ පාතිමා දර්ශනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පාප්තුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වැඩසටහන් සදහා 70,000 කට අධික ජන සංඛ්‍යාවක් පෘතුගාලයේ පාතිමා නුවරට පැමිණ සිටීම කරුනුකොටගෙන ඇතිවූ අධික තද බදය නිසාය. 

මේ වසරේ පළමු පාසැල් නිවාඩු සමයේම ඒ සදහා කටයුතු පිලියල කරගනු ලැබුවේ තදබදය මෙන්ම වියදම්ද අඩු සමයක්වීම නිසාය. 

පෘතුගාලයේ ලිස්බන් නුවරට ගුවන් මගින් ගොස් එතැන් සිට ලිස්බන් නුවර සිට දුරගමන් යන බස් නැවතුම් පොළ වන Sete Rios වෙත පැමිණ පාතිමා නුවර බලා අපි පිටත්වුවෙමු. ලිස්බන් නුවර සිට පැය එකාහාමරක (විනාඩි 90) දුරකින් රට තුලට වන්නට පිහිටි පාතිමා නුවරට ලගාවීම එතරම් අපහසු නැත. 

ප්‍රංශයේ ලුර්දු නුවර මෙන් වැඩි වානිජ්‍ය කරණයකට හසුව නොතිබි පාතිමා නුවර බොහෝ කඩ සාප්පු වසා තිබුනද පාතිමා සිද්ධස්ථානය විවෘතව පැවතිනි. 

අප ප්‍රථමයෙන් පාතිමා බැසිලිකා දේවස්ථානයට ගියෙමු. 1917 දේවමාතාවන් දර්ශනය වූ ජසින්තා මර්ටෝ, ෆ්‍රැන්සිස්කෝ මර්ටෝ(Jacinta and Francisco Marto) සහ ලුසියා සන්ටෝස් (Lúcia Santos) ගේ සිරුරු මිහිදන් කර ඇත්තේද මෙම බැසිලිකාව තුලද. කුඩා කදු ගැටයක් මත ඉදිකර ඇති මෙම දේවස්ථානය අතිවිශාල එළිමහන් පීඨයකින් යුතුය. විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනයා මහත් භක්තියකින් මේ දේවස්ථානය තුල යාච්ඤාවේ නිරතවේ. දේවස්ථානය රාත්‍රී 9යට වසනු ලැබේ.   

එහෙත් බැසිලිකාව ඉදිරිපිට පිහිටි කුඩා පල්ලිය පැය විසිහතර පුරාම විවෘතව පැවතිනි. 

මෙම කුඩා පල්ලියවූ කලී අනෙකක් නොව දේවමාතාවන් දර්ශනය වූ ස්ථානයේම ඉදිකළ මුල්ම දේවස්ථානයය. එහි පාතිමා දේව මාතාවන්ගේ සුරුවම තබා ඇති ස්ථානය කුඩා දරුවන් තිදෙනා දේවමාතාවන් හරියටම දුටු ස්ථානය ලෙස සටහන් කර ඇත. ගිය වසරේදී 100වන ජුබිලිය සැමරීමට පැමිණි ෆ්‍රැන්සිස් පාප්තුමා මෙම දේවමාතා සුරුවම ඉදිරිපිට දනින් වැටී යාච්ඤා කරන ඡයාරූපයක් තවමත් මගේ මනසේ මැවී පෙනේ.  මෙම කුඩා දේවස්ථානය දවසේ පැය 24 පුරාම, රාත්‍රීය එළිවනතුරුම, ජනයා විවිධ භාෂාවලින් ජපමාලය කියනු ලැබේ. පෘතුගිසි භාෂාවෙන් ඇට ගනිමින් සිදුකරන යාච්ඤාව හදුන්වන්නේ කොන්තා (kõta) කීම යනුවෙනි. ජපමාලයට ලාංකිකයන් කොන්තේ කීම යනුවෙන් හදුන්වන්නේද මෙම පෘතුගිසි යෙදුම නිසා විය යුතුය.(එමෙන්ම කොන්තා (kõta) යන්න පෘතුගීසි භාෂාව තුල ඇති අනෙක් යෙදුම් සමග විවිධ ලෙස  අරුත් දක්වන බවද මතක් කර සිටිමි. විශේෂයෙන්ම counting / accounting ආදිය සමග) කෙසේවුවද, මෙම කුඩා දේවස්ථානය තුල  මධ්‍යම රාත්‍රියේ පවා විවිධ භාෂාවලින් දේව මෙහෙයන් පත්වනු ලැබේ. ලෝකයේ විවිධ රටවලින් පැමිණි විවිධ ජන පිරිස් එහි විය. 

රාත්‍රී 10ට පමණ අප මෙම කුඩා දේවස්ථානයේ පැවති කොන්තය කීම   අවසන් කර පිටත්වීමට යන විටම ස්පාඤ්ඤයේ සිට බස් රථවලින් පැමිණි 700 පමණවූ වයස 15-21 අතර තරුණ තරුණියන් පිරිසක් රාත්‍රිය එළිවෙනතුරු කොන්තය කීම ඇරබීම සදහා පැමිණියේය. නව යෞවන වියේ සිටි හිරිමල් කොල්ලෝ - කෙල්ලන් රාශිය කොන්තය කීමට පොරෝන රැගෙනවිත් මෙලෙස පෙළගැසෙන හැටි බලාසිටීම පවා සතුට දැනෙන දසුනක් විය. 

ඇල්තාරයට නැග විවිධ භාෂාවලින් කොන්ත පන්ති කියන ජනයා අතර එක්වරම සිංහල භාෂාවෙන් කොන්තය කීමටද පටන්ගන්නා ලදී. එය අපට මහත් ආනන්දයක් ගෙන දුන්නේය. අපද අල්තාරය මත සිට සිංහලෙන් කොන්තය කී තැනැත්තා හා එක්ව සිංහලෙන් කොන්තය කීහ. 

පසුදිනද මෙම කුඩා දේවස්ථානයේ දිගින් දිගටම විවිධ භාෂාවලින් කොන්ත පන්ති කීම සදහා ජනයා රැස්ව සිටි අතර නොකඩවාම එම ක්‍රියාවලිය කරගෙන ගියහ. නොකඩවා කොන්තය කීම 1917 සිදුවූ පාතිමා දර්ශනයේ එක් ඉල්ලිමක්ද වී තිබුණි.

තවද, ලෙඩ රෝගවලින් සහ වෙනත් කරදරවලින් තමන් මුදවාගන්නා ලෙස ඉල්ලමින් පාතිමා දේවමාතාවන්ට බාර-හාර වූ ජනයා ඒවා ඔප්පුකිරීම පිණිස විවිධ ප්‍රමාණයේ සහ ශරීරයේ විවිධ අංගයන්ගේ හැඩයට නිර්මාණය කර ඇති ඉටිපන්දම් රැගෙන ඉටිපන්දන් දල්වන ස්ථානයේ තම වාරය එළබෙන තෙක් බලාසිටින අයුරු දුටුවිට මෙම ස්ථානය කෙතරම් ආශ්චර්යමත් ස්ථානයක්දැයි නොබදවම සිතේ. 

පාතිමා බැසිලිකාවේ එළිමහන් පීඨිකාවේ එක් කෙරවලක පොලොව යට ඉදිකර ඇති පාතිමා කෞතුකාගාරය නැරබීමටද අපි ගියෙමු. 1917 දේවමාතා දර්ශනය ගැන සියලු තොරතුරු රැස්කර තබා ඇත්තේ මෙම පාතිමා කෞතුකාගාරයේය. ඒහි ඇති තොරතුරු මරිය බැතිය පිලිබදව කතෝලික පල්ලියේ ඉගැන්වීම් පිලිබදව කදිම ශාක්ෂි සපයන්නක් විය. 

මේ පිලිබදව තවදුරත් කියවීම සදහා මා මීට පෙර ලියු 'මරිය බැතිය, පාතිමා පණිවිඩ සහ කතෝලික සභාව' ලිපිය මෙතනින් පිවිසෙන්න.


කතෝලිකයන්ගේ මහත් භක්තියටත්, ආදරයටත් පාත්‍රවූ ආශ්චර්යමත් පාතිමා පුදබිම වෙත සියලු විශ්වාසීන්ට සැදැහැ සිතින් යාමට වරම් අත්වේවායි යන්න මාගේ පැතුමයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
20/02/2018. 












මාකස් ප්‍රියන්ත පෙරේරා 
20/02/2018

No comments:

Post a Comment