This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 12 October 2015

ජනාධිපතිතුමෙනි, මීගමුව රෝහලේ නව ගොඩනැගිලි දෙකට ස්තූතියි, එහෙත් අපේ ඉල්ලීම් ඉටු නොකර 'පූච්චානම්' කථා නම් තවත් එපා !!!

කඩා වැටීමට ආසන්න මීගමුව මහ රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල වසා දමා දැන් මාස 05කි. මෙම කාලය තුලදී මීගමුව මහ රෝහලට පැමිණි රෝගීන් විවිධ අපහසුතාවයන්ට පත්වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම ගොඩනැගිල්ල ඉදිකළ දා සිට එහි වතුර කාන්දුවක් පැවති බවත්, එය ප්‍රතිසංස්කරණ කිරීමට හෝ ඒ පිලිබදව සලකා බැලීමටවත් හිටපු සෞඛ්‍ය ඇමැති, දැන් ජනාධිපතිතුමා වන, මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර නොතිබි බව මම මීට පෙර ලිව්වේමි. තවද, අඩුම තරමින් ඔහු සෞඛ්‍ය ඇමැතිව සිටියදී  මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල සම්බන්දයෙන් දැනුවත්ව, එක කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත්කර තිබුනේ නම් ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී, එනම් 01/01/2015 දින, මීගමුව 'ලේයිටං පාර්ක්' හී පැවැති ඔහුගේ රැලියේදී 'තමන් මහින්ද රාජපක්ෂ රජයට මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කිරීමට යෝජනාවක් ඉදිරිපත් කල නමුත් ඔහු එය අවඥාවෙන් බැහැර කල බව' කියනු ඒකාන්ත යැයි මම තර්ක කලෙමි. ඒ වෙනුවට ඔහු මීගමුව 'ලේයිටං පාර්ක්' හී ඔහුගේ රැලියේදී කලේ, ජාතික වීරයන්ට වඩා විජාතික වීරයන් හොදින් අදුනන, මීගමුවේ ජනයා 'චූන්' කිරීමට, ඇමෙරිකාවේ සිවිල් සහ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ගැන සටන්කල ක්‍රිස්තියානි පුජකයෙකු වූ, 'මාටින් ලුතර් කිං' ගැන කථා කිරීම යැයි ද, ඔහු කරන්නේ ද 'මාර්ටින් ලුතර් කිං' කල ඉතිහාසගත කාර්යට සමාන කාර්යක් යැයි පසක් කරදීමට වෙර දැරීම යැයිද මම ලිව්වෙමි (එය මෙතනින් කියවිය හැක). රෝහලේ එම ගොඩනැගිල්ලේ පැවති තත්වය මෙම වීඩියෝවෙන් දැකිය හැක.
ඉන් අනතුරව සිදුවුයේ මීගමුව මහ රෝහල එහි  සත්මහල් ගොඩනැගිල්ලෙන් ඉවත්වී අවට පිහිටි 'ප්‍රියශාන්ත ගොඩනැගිල්ල' වැනි ගොඩනැගිලිවලට මහ රෑ ගුවන් හමුදා භටයන් යොදවා එහි වාට්ටු රැගෙනයාමට උත්සහ කිරීමයි. එහෙත් බස්නාහිර පළාත් සභාව හෝ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතරම් කුලී මුදල් සොයාගැනීමට නොහැකිවීම නිසා එම අදහස අත්හැර නැවතත් මීගමු මහ රෝහලේම තාවකාලිකව ඉදිකල ගොඩනැගිලිවලට වාට්ටු රැගෙනයාමයි. ඉන් නොනැවතී මීගමුව මහ රෝහලේ විවිධ වාට්ටු, ප්‍රතිකාර අංශ සහ වෙනත් කොටස් අවට රෝහල්වලට අනුයුක්ත කර මීගමුව රෝහල ක්‍රමයෙන් හකුළුවා දැමීමට බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කටයුතු කිරීමට සැරසෙන ලදී. නිදහසින් පසුව ගෙවීගිය දශක හය ( 6) තුලදී මීගමුවට සිදුවූ විවිධ අකටයුතුකම් ඉවසා-දරා සිටි මීගමු වැසියන් එයට විරුද්ධව මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මෙහෙයවීම මත දැවැන්ත විරෝධතා රැළියක් සංවිධානය කර බස්නාහිර පළාත් සභා පාලනයෙන් මීගමුව රෝහල ඉවත්කර මාධ්‍ය ආණ්ඩුවට පවරා ගන්නා ලෙසත්, මීගමු රෝහලේ කිසිම කොටසක් අවට පිහිටි වෙනත් රෝහල්වලට ගෙනගොස් මීගමු රෝහල හකුළුවාලීමට කටයුතු නොකරන ලෙසත් ඉල්ලා සිටින ලදී. ඒ ගැන මෙතනින් කියවිය හැක

එන පොට හොද නැති බව තේරුම්ගත්, මීගමු ජනයාගේ ඡන්දයට ණයගැති, මෛත‍්‍රීපාල සිරිසේන සහ ඔහුගේ යහපාලන නඩයේ 'හයි' කාරයෙකු වන වර්තමාන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා වහා වහා මීගමු රෝහල් භුමියේ, දින 50ක් තුල, යුරෝපයේ මෙන්, කොන්ක්‍රීට් පදනමක් මත යකඩ සැකිල්ලක් ගසා, තට්ටු දෙකක සහ තට්ටු තුනක ගොඩනැගිලි දෙකක් තනා එහි ශල්‍යගාරයක් ද ඇතුළුව  වාට්ටු සංකීරණයක් ඉදිකළ අතර එය අද (12/10/2015) උත්සවාකාරයෙන් විවෘතකරන ලදී. 

මේ සම්බන්ධයෙන් අපි බොහෝ වාරයක් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහ  වර්තමාන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා ඇතුළුව එහිලා කටයුතු කල සියලු දෙනාටම හදවතින්ම ස්තූතිවන්ත වෙමු. නැවතත් අපි ඔබතුමලාගේ රජයට  ස්තූතිවන්ත වෙමු. අපි සියල්ලෝම ඒ ගැන ස්තූතිවන්ත විය යුතුය.  ඒ මන්දයත්, මීගමුව මහ රෝහල සිය සත්මහල් ගොඩනැගිල්ලේන් ඉවත්වීමෙන් පසු එහි ඇදවල් නැතිව, වැසිකිලි පහසුකම් නැතිව, කොරිඩෝවල, කණුයට, විවිධ දුක්ගැහැට විදිමින් දුක්විදි මීගමු රෝහලේ සිටි රෝගීන්ට යම් හෝ සහනයක් ඉන් අත්වන බැවිනි. 


මෙහිදී නිමල් ලාන්සා අමාත්‍යවරයා කොඩිවැල් අදිමින්, විවිධ ප්‍රචාරක කටයුතු කරමින් ජනාධිපතිතුමාගේ හිත දිනාගැනීමට කටයුතු කල ආකාරයවත්, ජනාධිපතිතුමා ලගට වී ෆොටෝ ගැනීමට රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ගත් උත්සාහයන් පිලිබදවත් මම යමක් නොලියමි.  ඒ ප්‍රශ්නය ඇත්තේ එතන නොවන නිසාය. 

ප්‍රශ්නය ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා වාට්ටු සංකීරණය විවෘත කිරීමෙන් පසුව පැවති උත්සවයේදී පැවසු කරනු පිළිබඳවය. මෙම උත්සවයේදී මෙම දෙපොලම කලින් කතාබස් කර සුදානම්ව පැමිණියා සේ, හොදට හරි-බරි ගසමින්, ලුණු-ඇබුල්, රස කාරක දමා කිවේ, මීගමුව රෝහල මාධ්‍යම රජයේ පාලනයට ගන්නේ නැති බවයි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එසේ නොගන්නා බවට එහෙම්-මෙහෙන් කරුණු-කාරණා ඉදිරිපත් කල අතර, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා තමා සිටගන්නේ මීගමුව රෝහල මාධ්‍යම රජයේ පාලනයට ගන්නවාට එදා මහ ඇමැති ප්‍රසන්න රණතුංගටත් වඩා විරුද්ධ ස්ථාවාරයක් දරන හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ වැන්නවුන් සමග බව ඔප්පුකරන ලදී.

එමෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙන්ම  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමාගේ ද කථාවලින් නොකියවුනේ, මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාම මුල්ගල තැබූ, කඩාවැටීමට ආසන්න මීගමුව මහ රෝහලේ සත්මහල් ගොඩනැගිල්ලට කුමක් කරන්නේ දැයි යන්නයි. වරක ජනාධිපතිතුමාගේ කතාවෙන් කියවුයේ එය කඩා දැමීමේ යෝජනාවල් ද තිබෙන බවයි. මේ වනවිට එහි වැසිකිලි, ජලාප්‍රවාහන පද්ධතිය සහ නාන කාමර පවා දැන් ගලවා ඉවත්කර ඇති නමුත්, එහිලා කඩිනම් ප්‍රතිකාරයක් කරනබවක් නොපෙනේ. 

මීගමුව මහ රෝහල මෙන්ම, මෙතෙක් මීගමුව ද සම්පුර්ණයෙන්ම නොසලකා හැර ඇති, බස්නාහිර පළාත් සභා පාලනයෙන් මීගමුව මහ රෝහල ඉවත්කර මධ්‍යම රජයේ ඍජු පාලනයට පවරාගන්නා ලෙස ඉල්ලීම මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඉල්ලීමක් පමණක් නොවේ. එය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව සහ වත්මන් යහපාලනය බලයට ගෙන ඒමට ඡන්දය දුන් සහ නොදුන් මීගමු රෝහලට බෙහෙත් ගැනීමට පැමිණෙන සියළු ජනී-ජනයාගේ ඉල්ලීමය. එම ඉල්ලීමට ගරු කර, එය ඉටු නොකර විවිධ බොරු කථාකීමෙන් පලක් නොවේ. එවැනි බොරු, පුහු කථා කියන්නන්ට මීගමු ජනවහරේ කියනුයේ 'පූච්චානම්' කථා කියනවා ලෙසිනි. එය දෙමළ භාෂාවෙන් බිදී ආවකි. දකුණු ඉන්දියාවේ කේරළ, දෙමළ, තෙළිගු සහ මරාති  භාෂාවලින්ද 'පූච්චානම්' යන්න පුහු හෝ බොරු යන්න ය. එමෙන්ම උතුරු ඉන්දියාවේ භාවිතාවන හින්දියෙන්ද මරණ පරීක්ෂණයට (Postmortem) කියනුයේද  'පූච්චානම්' යනුවෙනි. එයට හොදම උදාහරණය ප්‍රකට හින්දි චිත්‍රපටියක් වන  'Pyaar Ka Punchnama' චිත්‍රපටියේ නමයි. එහි තේරුම ආදරයේ මරණ පරීක්ෂණය නොහොත් (Postmortem of Love) යන්නය. 

ඉතින්, අපට කීමට ඇත්තේද, මීගමු ජනවහරේ එන ලෙස, අපේ ඉල්ලීම් ඉටුනොකර 'පූච්චානම්' කථා නම් තවත් මීගමුවේ අපට නොකියනු මැනවි කියාය !!!

මීගමුව මහ රෝහලේ නව ගොඩනැගිලි දෙක විවෘත කිරීමෙ උත්සවය සහ එහිදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා කල කථා මෙතනින් නැරබීය හැක.
මාකස් ප්‍රියන්ත පෙරේරා
12/10/2015.

2 comments:

  1. මම 1998 - 2000 කාලයන් හි මීගමුව රෝහලේ සේවය කලා. ඒ කාලේ තමයි මේ සත් මහල් ගොඩනැගිල්ල හැදුවේ. මේක හදපු දේශපාලකයන් ගේ චක් ගෝලයන් වූ කොන්ත්‍රාත්කාරයෝ නියම ප්‍රමිතියට මෙය හැදුවේ නැහැ. මේ නාස්ති වූයේ ජනතවගේ බදු මුදල්.

    ReplyDelete
  2. මම මේගැන තරමක් සොයාගෙන තිබෙනවා, දකුණු කොරියානු ආධාරමත දකුණු කොරියානු කියැංග්නෑම සමාගම් තමයි කොන්ත්‍රාත්තුව අරගෙන ඉදිකිරීම් කරලා තිබෙන්නේ, එහෙත් එහි කුඩා කුඩා කොටස් ලංකාවේ ඉදිකිරීම් සමාගම්වලටත් දී තිබෙනවා. මේ පිලිබදව තමයි දැන් අපි සොයාගෙන යන්නේ, ඔබලගත් යම් තොරතුරු තිබෙනවා නම් දෙන්න

    ReplyDelete